මධ්‍යම ආණ්ඩුවේ නායකයන් සහ ජනවාර්ගික නායකයන් අතර බලය තමන් වෙත නතුකර ගැනීම සදහා සිදුවන ජනවාර්ගික හෙට්ටු කිරීමේ

ස්වභාවය අනුව එය ජනවාර්ගික අර්බුදයක් බවට දිග්ගැස්සෙනවාද? නැද්ද? යන්න තීන්දු වේ.

එබැවින්, එම හෙට්ටු කිරීම ප්‍රායෝගිකව සිදු වන ආකාරය ගැන මහාචාර්ය ෆිලිප් ජී. රෝඩර් පෙන්වා දෙයි.Prof. Pilip Rodder

සාමාන්‍ය දේශපාලන තත්ත්වයක් පවත්නා විට ජනවාර්ගික හෙට්ටු කිරීම ව්‍යවස්ථානුකූල රාමුව තුළ සිදු කෙරෙයි.

මෙම ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන මගින් මධ්‍යම, කලාප හෝ පලාත් පාලන ආණ්ඩුවල තීරණ ගැනීමේ අයිතීන් දක්වයි.

එකී අයිතීන් පිළිබඳ එකිනෙකා අතර ගැටුම් ඇති වුවහොත් ඒවා විසදා ගැනීමට පරිපාටීන් ද එම ව්‍යවස්ථානුකූල රාමුවල දක්වා ඇත.

කෙසේවෙතත්, ගැටුම දේශපාලනයට ආවේණික යථාර්ථයක් බැවින්, ජනවාර්ගික හෙට්ටු කිරීම ද ගැටුම්කාරී ස්වභාවයක් ගැනේ.

එම නිසා රටේ ස්ථාවරභාවය රැක ගැනීම පිළිබඳ ප්‍රායෝගිකව වැදගත් වන්නේ ජනවාර්ගික හෙට්ටු කිරීම් සම්බන්ධව පැන නැගෙන ගැටුම් නැති කිරීමට උත්සාහ දැරීම නොව, වැඩි වර්ධනය වීම පාලනය කර ගැනීමයි.

''එම නිසා රටේ ස්ථාවරභාවය රැක ගැනීම පිළිබඳ ප්‍රායෝගිකව වැදගත් වන්නේ ජනවාර්ගික හෙට්ටු කිරීම් සම්බන්ධව පැන නැගෙන ගැටුම් නැති කිරීමට උත්සාහ දැරීම නොව, වැඩි වර්ධනය වීම පාලනය කර ගැනීමයි. ''

මෙහිදී එම ගැටුම් ව්‍යවස්ථානුකූල රාමුව තුළ නිරාකරණය කර ගතහොත්, ගැටුම් වැඩි වර්ධනය වීමට නොදී, පශ්චාත් - සිවිල් යුධ ගිවිසුම් එකගතා ඇතුලු ආයතනවල ස්ථාවරභාවය ආරක්ෂා කර ගත හැකිය. එසේ නොවුණහොත් ගැටුම් ව්‍යවස්ථානුකූල රාමුව ඉක්මවා වැඩි වර්ධනය වනු ඇත.

ගැටුම් වැඩි වර්ධනය කිරීමට මධ්‍යම රජයේ සහ ජනවාර්ගික ප්‍රභූන් අංග දෙකක් කෙරෙහි අවධානය යොමු කරයි.

එකක්, තමන්ගේ බලය වැඩි කර ගැනීම සදහා අනෙකාගේ යම් යම් අයිතීන් ද තමන්ට ලබා දෙන ලෙස එකිනෙකාට එරෙහිව කරන ඉල්ලීම් උත්සන්න කිරීමයි.

දෙවැන්න, එම අයිතීන් ඉල්ලීමට ගන්නා ක්‍රියාමාර්ගයන්හි උත්සන්නතාව තීව්‍ර කිරීමයි.

පළමු අංගය සම්බන්ධයෙන් සලකා බැලූ විට ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම හා බෙදා ගැනීමට අදාලව  සංවර්ධන සභා ක්‍රමයෙන් පළාත් සභා ක්‍රමයටත්, එතැනින් 13+ ඉල්ලීම් වලටත්, එයිනුත් නොනැනවතී ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කරන කොන්සොසියේෂනල් ක්‍රමවේදය පදනම් කරගත් බලය බෙදා ගැනීමේ (power sharing) ව්‍යවස්ථාවක් සදහා යෝජනා සැකසීම දක්වාත් ජනවාර්ගික ප්‍රභූන්ගේ හෙට්ටු කිරීම උත්සන්න කර ඇත.

වෙනම ඊලාම් රාජ්‍යක් නිර්මාණය කිරීමට අදාල කතා හැරුණු කොට, වාසනාවට එම උත්සන්න කිරීම් ව්‍යවස්ථානුකූල ‍රාමුව තුළට කොටු කර ගැනීමට මෙතෙක් හැකිව තිබේ.

''වෙනම ඊලාම් රාජ්‍යක් නිර්මාණය කිරීමට අදාල කතා හැරුණු කොට, වාසනාවට එම උත්සන්න කිරීම් ව්‍යවස්ථානුකූල ‍රාමුව තුළට කොටු කර ගැනීමට මෙතෙක් හැකිව තිබේ.''

දෙවන අංගය සම්බන්ධයෙන් සලකා බැලූ විට ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රභූන් තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග අවස්ථානුකූලව වෙනස් කරන බව පෙනේ.

කතාවකින් ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ සිට, උද්ඝෝෂණ, වර්ජන, හර්තාල්, සහ ත්‍රස්තවාදී ප්‍රහාර දක්වා එකී ක්‍රියාමාර්ග වෙනස් කර ඇති බව පෙනේ.

ගැටුම් උත්සන්න කරනවාද? නැද්ද? යන්න මධ්‍යම රජයේ සහ ජනවාර්ගික ප්‍රභූන් විසින් තීරණය කරන්නේ එසේ කිරීමෙන් වාසියක් ලැබෙන බවට දේශපාලන ගණන් හදා බැලූ පසුවය.

එම ගණන් හදා බැලීමට අනුව වාසියක් ලැබීම නතර වන විට ජනවාර්ගික හෙට්ටු කිරීමේ දී ගැටුම් උත්සන්න කිරීම නවතා දැමීමට ප්‍රභූන් පෙළඹේ.

jaffna library 1982

ගැටුම් උත්සන්න කිරීමේ වාසිය නොලැබෙන්නේ කරුණු දෙකක් මතය.

එකක්, තම ඉල්ලීම් වලට අනෙක් කණ්ඩායමෙන් යහපත් ප්‍රතිචාර නොලැබෙන විටයි.

 දෙවැන්න, ගැටුම් උත්සන්න කිරීමට සිදු කරන වියදමට සාපේක්ෂව ලැබෙන වාසිය තව දුරටත් ගැටුම් උත්සන්න කිරීමෙන් නොලැබීමයි.

තමන්ට අවශ්‍ය ලෙස අනෙකා ලවා ක්‍රියා කරවා ගැනීමට තමන් විසින් අනෙකා මත එල්ල කරන පීඩනයේ ප්‍රමාණය ගණනය කර, අවශ්‍ය ප්‍රමාණයට පමණක් පීඩනය එල්ල කිරීමට ප්‍රභූන් ක්‍රියා කරයි.

 උදාහරණයක් ලෙස, ජනවාර්ගික ප්‍රභූන් විසින් ඉල්ලීම් දිනා ගැනීම සදහා මධ්‍යම රජයේ ජන ජීවිතය, ආර්ථිකය, ස්ථාවරභාවය අඩාල කරමින් ගන්නා උද්ඝෝෂණ, හර්තාල්, ත්‍රස්තවාදී ප්‍රහාර යනාදී ක්‍රියාමාර්ග නිසා ඇති වන පාඩුව දරා ගැනීමට නොහැකි මට්ටම කුමක්දැයි ගණනය කර, අවශ්‍ය පීඩනය එල්ල කරයි.

ඉල්ලීම් පවා එක් සීමිත ප්‍රතිපාදනයක් වෙනස් කරවා ගැනීමේ සිට ස්වෛරී බලය තමන්ට ලබා ගැනීම දක්වා පරාසයක ජනවාර්ගික ප්‍රභූන් අවස්ථාවෝචිත පරිදි හැඩ ගස්වා ගනී.

අනෙක් අතට, මධ්‍යම රජයේ ප්‍රභූන් ද ජනවාර්ගික ප්‍රභූන් මත ඇති කරන පීඩනය තමන් ගන්නා ක්‍රියාමාර්ග උත්සන්න කිරීම හරහා තීව්‍ර කරයි.

එම ක්‍රියා මාර්ග වාචික ප්‍රකාශ වල සිට  කලාප ඉලක්ක කරමින් පනවන සම්බාධක, ශාරීරික හානි සිදු කිරීම දක්වා පරාසයක විහිදේ.

මෙසේ දෙපාර්ශවයම එකිනෙකාට එරෙහිව ගැටුම් උත්සන්න කරන විට එය ජනවාර්ගික අර්බුදයක් දක්වා වර්ධනය වීම වළක්වා ගත හැක්කේ එකිනෙකාට එරෙහිව ගැටුම් උත්සන්න නොකිරීමට එකිනෙකා තීරණය කර ගන්නා විටයි.

එම තීරණය ගැනීම රදා පවතින වැදගත් සාධකයක් වනුයේ දේශපාලනමය වශයෙන් පවතින්නේ  බලය බෙදා ගැනීමේ (power sharing) ආයතනමය ව්‍යුහයක් ද? නැති නම්, බලය වෙන් කිරීමේ (power dividing) ආයතනමය ව්‍යුහයක් ද? යන්නයි.

''එම තීරණය ගැනීම රදා පවතින වැදගත් සාධකයක් වනුයේ දේශපාලනමය වශයෙන් පවතින්නේ  බලය බෙදා ගැනීමේ (power sharing) ආයතනමය ව්‍යුහයක් ද? නැති නම්, බලය වෙන් කිරීමේ (power dividing) ආයතනමය ව්‍යුහයක් ද? යන්නයි.''

ඒ අනුව පවතින බලය බෙදා ගැනීමේ ආයතනික රාමුව, ජනවාර්ගික හෙට්ටු කිරීමේ පැන නගින ගැටුම් වැඩි වර්ධනය වනවාද? නැද්ද? යන්න කෙරෙහි වැදගත් බලපෑමක් එල්ල කරන බව පෙනේ.

වාසි සහගත ලෙස ගැටුම් උත්සන්න කිරීමට හැකි විට ප්‍රභූන්ට තම බලය ස්වෛරී බලය ලබා ගැනීම දක්වා වැඩි කර ගැනීමට හැකි වන අතර, ගැටුම් උත්සන්න කිරීම වාසි ගෙන නොදෙන විට ගැටුම් උත්සන්න කිරීම අත හැර දැමීමට ප්‍රභූන් පෙළඹේ.

Prof ALඒ අනුව බලය බෙදා ගැනීම හෝ බලය වෙන් කිරීම සදහා වන දේශපාලන ආයතනමය රාමු පිළිබඳ අවබෝධ කර ගැනීම මගින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට සුදුසු විසදුම සම්බන්ධයෙන් යම් අනුමිතියන්ට එළඹීමට අපට හැකිවේ.

ඒ අනුව මුලින්ම පසුගිය යහපාලන රජය සමයේ බලය බෙදා ගැනීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළ 'කොන්සොසියේෂනල්' ක්‍රමවේදය පදනම් කර ගත් බලය බෙදා ගැනීමේ (power sharing) දේශපාලන ආයතනමය රාමුව තුළ රටේ ස්ථාවරභාවය ආරක්ෂා වන ලෙස ජනවාර්ගික හෙට්ටු කිරීම සිදු කළ හැකිද? නැද්ද? යන්න විමසා බලමු.

බලය බෙදා ගැනීම (power sharing) - කොන්සොසියේෂනල් ක්‍රමවේදයේ න්‍යාචාර්‍ය මහාචාර්ය අරෙන්ඩ් ලෙයිෆාර්ට් (Arend Lijphart) 2002 දී දක්වන ආකාරයට බලය බෙදා ගැනීම ආරම්භ වන්නේ ජනවාර්ගික කණ්ඩායම් අතරින් ප්‍රධානම කරදරකාර ප්‍රභූන් හදුනා ගෙන ඔවුන්ට ආණ්ඩුවේ කෑල්ලක් ලබා දී බලවත් කිරීමෙනි.

සාමාන්‍යයෙන් මෙය මධ්‍යම ආණ්ඩුවේ නිශ්චිත තනතුරක් සහ කලාප ආණ්ඩු අතර බලපාන බලයක් ලබා දීමෙන් සිදු කෙරේ.   මහාචාර්ය ෆිලිප් ජී. රෝඩර් පෙන්වා දෙන්නේ බලය බෙදා ගැනීමේ ආයතන මගින් ගැටුම් උත්සන්න කිරීමට ජනවාර්ගික ප්‍රභූන්ට උත්තේජනයක් ලබා දෙන බවයි.

''මහාචාර්ය ෆිලිප් ජී. රෝඩර් පෙන්වා දෙන්නේ බලය බෙදා ගැනීමේ ආයතන මගින් ගැටුම් උත්සන්න කිරීමට ජනවාර්ගික ප්‍රභූන්ට උත්තේජනයක් ලබා දෙන බවයි.''

එය ඉල්ලීම් වල බරපතලකම වැඩි කිරීමේ සිට ඉල්ලීම් ඉදිරිපත් කරන ක්‍රමවේදයේ උත්සන්නතාව වැඩි කිරීම යන අංග දෙක හරහාම සිදු කිරීමේ ඉඩකඩ බලය බෙදා ගැනීමේ ආයතන හරහා ලැබෙයි.

ඒ අනුව මධ්‍යම රජයේ නායකයන්ට දරා ගත නොහැකි පාඩු සිදු කරමින් හෝ එසේ කරන බවට තර්ජනය කරමින් තම ජනවාර්ගික කණ්ඩායම් වෙනුවෙන් තමන්ට බලය වැඩියෙන් ලබා දෙන ලෙස ඉල්ලා ජනවාර්ගික ප්‍රභූන්ට ගැටුම් උත්සන්න කිරීමට හැකිවන ලෙස බලය බෙදා ගැනීමේ ආයතන ජනවාර්ගික ප්‍රභූන්ට හැකියාව ලබාදෙයි.   බලය බෙදා ගැනීමේ විසදුම මගින් ඇති කරන ආයතන මගින් ඇති කරන එකිනෙකට සම්බන්ධ ප්‍රතිපල තුනක් නිසා  වාර්ගික ලෙස බෙදී ගිය රටවල අභ්‍යන්තර දේශපාලනයේ ජනවාර්ගික නැඹුරුව වැඩි කරන අතර, එමගින් ජනවාර්ගික හෙට්ටු කිරීමේදී ගැටුම් උත්සන්න කිරීමට ජනවාර්ගික ප්‍රභූන්ට සහ මධ්‍යම රජයේ නායකයන්ට යෝග්‍ය වාතාවරණයක් නිර්මාණය කරයි.

 එක, බලය බෙදා ගැනීමේ විසදුම මගින් සියලුම ප්‍රතිපත්තිමය අර්බුදවලට ජනවාර්ගික මුහුණුවරක් ලබා දී, අනෙකුත් සමාජ, ආර්ථික, දේශපාලන බෙදීම් වල වැදගත්කම නැති කරයි.

දෙවැන්න, ජනවාර්ගික කණ්ඩායම් එකිනෙකා එකට එකතු වී මධ්‍යම රජයේ නායකයන්ට එරෙහිව බලපෑම් කිරීමට ඇති හැකියාව ආයතනගතමය කරයි.

තුන්වැන්න, තම බලය සදහා සටන් කිරීමට අවශ්‍ය ආයතනිකමය ආයුධ ජනවාර්ගික ප්‍රභූන් අත සම්මුච්ඡගත කිරීම මගින් එම ඉල්ලීම් ඉදිරිපත් කරන ක්‍රමවේද රාශියක් ජනවාර්ගික ප්‍රභූන් වෙත බලය බෙදා ගැනීමේ ආයතන මගින් ලබා දෙයි.   මේ ආකාරයට බලය බෙදීමේ විසදුම් මගින් ඇති කරන ආයතන විසින් ජනිත කරන, ඉහත සාකච්ඡා කළ, එකිනෙකට සම්බධිත ප්‍රතිපල තුන හේතුවෙන් ජනවාර්ගික ප්‍රභූන්ට සහ මධ්‍යම රජයේ නායකයන්ට ජනවාර්ගික හෙට්ටු කිරීමේදී ගැටුම් උත්සන්න කිරීමට හැකියාව ලැබෙන්නේ කෙසේද? යන්න ලබන සතියේ සාකච්ඡා කරමු.

ලබන සතියේ - බලය බෙදා ගැනීමේ විසදුම ගැටුම් උත්සන්න කරයි!

Dinesh Dodamgoda(නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 [දිනේෂ් දොඩම්ගොඩ වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර, බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලය) ගෝලීය ආරක්ෂාව සහ ආරක්ෂක හමුදා කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි.   ජාතික ආරක්ෂාව පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු වන ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.]

 (උපුටා ගැනීම: ‘'ඉරිදා දිවයින ෆෙඩරල් කොලම' - 3’ - 2020 සැප්තැම්බර් 12)

 

සබැඳි පුවත් : ‘

වරිගය සහ වරිගවාදය’ - නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ  

වරිග ප්‍රශ්නය සහ අලුත් ආණ්ඩුව  -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්