leader s

ජේ.ආර්. සැමරුමෙන් රට හෙල්ලූ නායකයින් දෙදෙනාගේ හමුව සහ බුද්ධික-සාගල-ලක්ෂ්මන් සුබ නැකත හැදූ හැටි.

22 වැනි සංශෝධනයට එරෙහිව 24 වැනිදාට සූදානම් වන දැවැන්ත සටන සහ අගමැතිනියගේ නිහඬතාවට එල්ල වන සජබ ප්‍රහාරය.

ශ්‍රී ලංකාවට නිදහස දිනා දුන් පක්ෂය කුමක්ද? කියා ඇසූ සෑම විටකම කිසිම කුහකත්වයකින් තොරව ලක්ෂ 220ක් පුරවැසියන්ගේ මුවඟට නැගෙන්නේ UNP යන වචන තුනය.

ඒ UNP ය එහෙමත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයට දැන් අවුරුදු 80ක්ය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනය ලෝක ප්‍රවනතාවන්ට ගැලපෙන ලෙස පුළුල් කරමින් 1978 දී මේ රටේ දේශපාලන, ආර්ථික විප්ලවයක් කළ JR ජයවර්ධන නම් වූ පළමු විධායක ජනාධිපතිවරයාගේ 120 වන ජන්ම දිනය සැප්තැම්බර් 17 වනදාට යෙදී තිබිණි.

ඒ වෙනුවෙන් කොළඹ ජාතික පුස්ථකාල ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබූ, “ජේ.ආර්. ආණ්ඩුකරණය හා මැද මාවත -  දේශපාලන කථිකාව” මේ රටේ දේශපාලන අනාගතය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වේයැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.

සජබ - එජාප සමගි කළ මෙහෙයුම
 
| සජබ - එජාප සමගි කළ මෙහෙයුම
 
සමගි ජනබලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් කිසිදා එක් නොවන බවට මතවාද සමාජ ගතකළ සියල්ලන් පරාජය වූ දිනයක් පසුගිය බ්‍රහස්පතින්දා (17) එළැඹියේය.

ඒ රනිල් - සජිත් එකම වේදිකාවක සිට දෙපිලේ එකමුතුවක් ගැන කතා කරමින් දුන් ඓතිහාසික සහතිකය නිසාය.

මෙහිදී සභාව අමතමින් සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ…
 
“අපි සතුටු වෙනවා. සමගි ජනබලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් එක වේදිකාවක, එකතුවීම පිළිබඳව. අපි හැමෝම දන්නවා අපි ඉතාමත් තීරණාත්මක හැරවුම් ලක්ෂයකට මුහුණදෙමින් සිටින්නේ. රටට විකල්පයක් හොයන මොහොතක සමගි ජනබලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත්, එකට එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ ජනතාවාදී ප්‍රගතිශීලී ප්‍රතිපත්ති රාමුවක් තුළ කියන එක අද මේ රටේ ලක්ෂ 220 ජනතාවට අපි ප්‍රකාශ කර සිටිනවා.” කියාය.

“මේ අවස්ථාවේදී සමගි ජනබලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් එක වේදිකාවකට අරගන්න ගත්ත පියවර ගැන අපි ස්තුතීවන්ත වෙන්න ඕන.”  කියමින් සජබ - එජාප එකමුතුවට සුබපැතුම් එක් කළ රනිල් ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සරයට සජබයේ සියල්ලන්ට ආරාධනා කළේය.
 
000sjb 12| සජබ - එජාප නායකයින් එක්වූ JR සැමරුම

නායකයින් දෙදෙනා ඉතා සුහදශීලී අයුරින් අදහස් හුවමාරු කරගන්නා සැටි සජබ - එජාප බොහෝ පිරිසක් බලා සිටි අතර…, ඔවුන් මේ එකමුතුව ගැන දැඩි උද්යෝගයකින් අත්පුඩි ගසමින් ප්‍රතිචාර දක්වන අයුරුද දැකගත හැකිවිය.

මේ දිනය උදාකර ගන්නට වසර ගණනක් තිස්සේ, මාස ගණන්, සති ගණන්, දින ගණන්, පැය ගණන් විවිධාකාරයේ සැලසුම් දියත් කළ පිරිසක් අප්‍රසිද්ධියේ සිය යුතුකම් කොටස ඉටුකළ අයුරු රට දැන සිටියේ නැත.

සජබ - එජාප සමගියක් ගැන දෑස් දල්වා බලා සිටි, ප්‍රාර්ථනා කරපින්නාගෙන සිටි පාක්ෂිකයින්ගේ ඒ බලාපොරොත්තුව මල්ඵල ගැන්වීම එක රැයකින් සිදුවූවක් නොවිණි.

එය අවස්ථා ගණනාවකදී පක්ෂ දෙකෙහිම ජේ‍යෂ්ඨයින් එක්ව සිදුකළ සාකච්ජාවල කූඨප්‍රාප්තියක් විය.

සජබ - එජාප එකමුතුවක් ගැන කථාබහ 2024 මහමැතිවරණයටත් පෙරට දිවයන්නක් බව ඔබ දැන නොසිටින්නට ඇත. එහෙත් රටම නොදන්නා ඇත්ත දැන් රටම දැනගත යුතුයැයි අපට සිතේ.

2024 මහමැතිවරණයටත් පෙර පක්ෂ දෙකේ සමගියට මුල්පියවර තබන්නේ හුණුපිටිය ගංගාරාම පුදබිමේදී වූ අතර පළමු හමුවීමට රනිල් පාර්ශවයෙන් සාගල රත්නායකත්, සජිත් පාර්ශවයෙන් ලක්ෂ්මන් ෆොන්සේකාත් සහභාගීවී තිබුණි.

එසේ ඇරඹි සජබ - එජාප සමගියේ සාකච්ජා වෙනුවෙන් බොහෝ පිරිසක් තිරය පිටුපස සිට තම දායකත්වය ලබාදී තිබුණි.

රංජිත්, තලතා, කබීර්, වජිර, අකිල, නවීන්, රුවන්, සාගල සහ ලක්ෂ්මන් අවස්ථා ගණනාවකදී විවිධ දෑ පිළිබඳ සිදුකළ සාකච්ජා, එකඟතාවල අවසානය පසුගිය 17 වනදා රනිල් - සජිත් එකම වේදිකාවකට ගෙන ඒම තෙක් වර්ධනය වී තිබුණේ ඉතා රහසිගත ලෙසින්ය.

මේ වැඩසටහන නිමා වෙද්දී සමගියේ සහ එජාපයේ නියෝජිතයින් එකිනෙකා වැළඳ ගනිමින් සතුට ප්‍රකාශ කරද්දී, කබීර් අසළට පැමිණි තලතා විමසුවේ…,

“කොහොමද කබීර් අයියා” කියාය. “ හොඳයි හොඳයි, දැන් අපේ ලොක්කයි, ඔයාගේ ලොක්කයි කියපු දේත් එක්ක අපිට හොඳටම හොඳයි. දැන් ඉතිං දිනන ගමන තමයි යන්න ඕන.” කබීර් තලතාට සිනා සෙමින් උත්තර දුන්නේය.


මාතර බුද්ධික තිරය පිටුපසට විසි කළා ද? විසි උනා ද?
 
000sjb 11| මාතර බුද්ධික තිරය පිටුපසට විසි කළා ද? විසි උනා ද?
 
සජබ - එජාප, සමගියේ සාකච්ජා සාර්ථකවීමෙන් පසු සජිත් - රනිල් එකම වේදිකාවකට ගෙන ඒමට සාගල රත්නායකත්, ලක්ෂ්මන් ෆොන්සේකාත් සුභ නැකතක් බලමින් සිටියේය.

ඒ අතර තුර දිකන් සජිත් සහ ලක්ෂ්මන් හමුවූ බුද්ධික පතිරණ තමන් ඉදිරියේදී සිදු කරන්නට යන වැඩසටහනක් ගැන දැනුවත් කළේය.

“ සර්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ 120 වන උපන්දිනය සැප්තැම්බර් 17 අපි, මහාමාන්‍ය ඩී.එස්.සේනානයක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය ඒකට විශේෂ සැමරුමක් සහ “ජේ.ආර්.ආණ්ඩුකරනය හා මැදමාවත” කියලා දේශපාලන කථිකාවතක් සංවිධානය කරන්න බලාගෙන ඉන්නේ, අපේ කට්ටියට මේක ලංකාවම හොල්ලන වැඩක් කරන්න ඕනලු.”

ඉතිං මොකක්ද ඔයාලගේ අදහස… සජිත්, බුද්ධිකගෙන් ඉතා ඕනෑකමින් විමසීය. ඊට මැදිහත් වූ ලක්ෂ්මන් ෆොන්සේකා අපූරු යෝජනාවක් කළේ තමන් සහ සාගල දින ගණනක් බලාසිටි නැකත පැමිණි ඇති බව හැඟී ගිය නිසා විය යුතුය.

“ අපි ඔය වැඩේට, සජිතුයි, රනිලුයි දෙන්නම ගෙන්නමු.”
 
000sjb 10| සජබ - එජාප සමගියේ කතාව
 
තිදෙනාගේම එකඟතාවයෙන් රනිල්ට ආරාධනා කිරීමේ වගකීම බුද්ධිකට පැවරුණේ, සුබ නැකත උදා කළ මගුල් ගෙදර හිමිකරු බුද්ධික වීම නිසාය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ හමුවූ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක දේශපාලන පීඨයේ සභාපති බුද්ධික පතිරණ මේ සමගියේ වේදිකාවට නායකයින් දෙදෙනා ගොඩ කිරීමේ මෙහෙයුම ආරම්භ කළේය.

ඊට සමගි ජනබලවේගය පාර්ශවයෙන්, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, තිස්ස අත්තනායක, හර්ෂ ද සිල්වා තම පූර්ණ සහාය දක්වද්දී, එජාපය පැත්තෙන් තලතා අතුකෝරළ, වජිර අබේවර්ධන, සාගල රත්නායක, නවීන් දිසානායක, රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම් සහ රවී කරුණානායක තම පූර්ණ සහයෝගය බුද්ධිකට ලබාදී තිබුණි.

ලක්ෂ්මන් ෆොන්සේකා සමඟ එක්ව 17 වනදා උත්සවය සැලසුම් කළ බුද්ධික එම අවස්ථාවේ තිරය පිටුපසට වී සිටියේ ඇයි ?…. සජිත් බුද්ධිකගෙන් විමසුවේ එදා රාත්‍රියේය.

“ බුද්ධික වැඩේ හොඳට සිද්ධ වුනා, ඒත් ඔයා හැංගිලා වගේ හිටියේ මොකද? මම කීහිපසැරයක් ඔයාව බැලුවා. මම අර සිංදුව එළිදක්වන තැනදිත් ඔයාට කතා කළා. මොකෝ මොකක් හරි අවුලක් ද?”

“ අනේ නෑ සර්, මට ඕන උනේ වැඩේ ඉස්මූත්ලි යන්න. මම තිරේ පිටිපස්සේ හිටියේ වැඩේ හරියට වෙන්න ඕන නිසා, මොකද අපේ ඇකඩමියේ ළමයි ටිකටත් මම පේන්න ඉන්න ඕන, නැත්නම් එයාල තීරණ ගන්න තාම දෙපාරක් හිතනව නේ, ඒකයි මම පස්සට වෙලා හිටියේ. වැඩේ හොඳටම තිබුනා ඒක නිසා හැමෝම සතුටින් ඉන්නේ සර්. මට ඕන වුනේ මේ මගුල් ගෙදර මගේ ගෙදර ගන්න ඉතිං ඒක හොඳටම වුනා”.

22 ට එරෙහිව 24
000sjb 9| 22 ට එරෙහිව 24
 
සජිත් පසුගිය සතිය පුරා බොහෝ වෙහෙසුනේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පුලුල් පෙළගැස්මක් ගොඩනැගීමටය. 22 වැනි සංශෝධනය පරාජය කරන ලොකුම වෙඩිමුරය පත්තු කිරීමේ සටනට සජිත් අවතීර්ණවීමෙන් පැහැදිලි වන්නේ  ඒ වෙනුවෙන් 24 වැනිදා දැවැන්ත විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට ගොඩනැගීම ඔහුගේ සැලසුම බවය.

සජබ සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයින්, සහ පක්ෂයේ සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් සමග සාකච්ඡා කළ සජිත්ගේ අපේක්ෂාව වී ඇත්තේ අතිවිශාල ජනකායක් 24 කොළඹට කැඳවීමය.

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල පළාත් පාලන මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුන් හමුවූ සජිත් කියා සිටියේ…,
 
“ අපි කරන්නේ මේ දේශපාලනයක් නෙමෙයි. අපි මේ කරන්නේ රටේ ජනතාවගේ අනාගත නිදහස තහවුරු කිරීම වෙනුවෙන් වූ අරගලයක්. ඒ නිසා මේක සමගියේ විතරක් නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදය අගයන, නිදහස තවදුරටත් රට තුළ තිබිය යුතු බව පිළිගන්නා හැමෝගෙම වගකීමක්. අපි දේශපාලන වාසියක් මේ තුළින් ගන්න අපේක්ෂා කරන්නේ නෑ. මේක අපි හැමෝගේම වගකීමක්. ඒ වගකීම ඉටුකරන්න ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලිය පරාජය කරන්න ලබන 24 වැනිදා පාර්ලිමේන්තු වටරවුමට හැම කෙනෙක්ම එන්න..”

සමගි නීතීඥ සංගමය, සමගි රණවිරු බලවේගය හා දේශීය වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති ඇතුළු සංවිධාන කිහිපයක් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව පසුගිය සතිය හමුවිය.

එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දුන්නේ…
 
000sjb 8| සමගි නීතිඥ සංගමය සාකච්ජාවට
 
“22 න් වෙන බලපෑම ගැන ජනතාව දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරල තියෙන්නේ අපි විතරයි සර්. අපි අර පටන් ගත්ත මහජන පෙත්සම නිසා නගරවල ජනතාවට මේකේ බලපෑම තේරිලා තියෙනවා. වෙන අය එක එක තැන්වල කියෙව්වට 22 වෙනි සංශෝධනයෙන් සමාජයට වෙන බලපෑම ගැන මිනිස්සුන්ට කියල දෙන්න ඵලදායී පියවරක් අරන් නෑ. අපි කරපු දේ විතරයි ගම් මට්ටමට ගිහින් තියෙන්නේ. සර්, තවදුරටත් මිනිස්සු මේ ගැන දැනුම්වත් කරන්න පියවර ගන්න පුලුවන් නම් හොඳයි”
එය හොඳ යෝජනාවක් බව කියා සිටි සජිත් අවධාරණය කළේ, “ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිලා තියෙන ජනතා විරෝධය අපි 24 වෙනිදට හරියටම පෙන්නමු. ඊට පස්සේ බිම් මට්ටමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමු. ඒක හොඳ යෝජනාවක්.”

ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමේ වගකීම වෘත්තීය සමිති වෙත පැවැරීමටද සජිත් කටයුතු කළේය.

අගමැති නිහඬයි - රටම අනාථයි
000sjb 7| අගමැති නිහඬයි - රටම අනාථයි
 
22වන සංශෝධනයට මේ වන විට මාළිමාව අභ්‍යන්තරයෙන්ම විරෝධයක් එල්ල වී ඇති බවත්, අගමැති හරිනි අමරසූරිය, නීතිඥ උපුල් කුමරප්පෙරුම වැනි වෘත්තිකයින් අද නිහඬවී ඇති බවත් සමගි ජනබලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ පැවසුවේ පසුගිය සතියේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

“ අපි පහුගිය දවසේ දැක්කා මාලිමාවේ ලාල් විජේනායක එළිපිටම 22 ට විරුද්ධ වුණා. ඒ වගේම උපුල් කුමරප්පෙරුමලා, හරිනි අමරසූරියලා දැන් නිහඬ පිළිවෙතක ඉන්නේ. සමහරවිට ඔවුන්ට තමන්ගේ බලනහර ගැන බියක් ඇති වෙලා වෙන්නත් පුලුවන්.

හරිනි අමරසුරිය අගමැති වුණත් 22 ගැන වචනයක් කතා කරන්නේ නෑ. කොණ්ඩේ මල්ගහගෙන තැන තැන ගියත්, ඇය 22 ගැන කතා කරන්නේ නෑ. ඇත්තටම මේකෙන් අපිට තේරෙන්නේ අගමැතිනියත් ලොකු පීඩනයකින් ඉන්න බව. ඒත් මේ රටේ ජනතාව මාළිමාවට ඡන්දය දුන්නේ ජේ.වී.පී. එක ගැන විතරක් විශ්වාසය තියලා නෙමෙයි. හරිනිලා වගේ අයගේ එකතුවීමත් එක්කයි ජනතා විශ්වාසයක් ගොඩනැගුණේ. එහෙම නම් රට අඳුරේ ගිල්වන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන තමන්ගේ හදවතේ උපදින අදහස ප්‍රකාශ නොකර ඉන්න අගමැතිවරිය විදිහට හරිනිට අයිතියක් හෝ අවස්ථාවක් නෑ. හරිනි අනිවාර්යෙන්ම තමන්ගේ ස්ථාවරය රටට ප්‍රකාශ කළ යුතුමයි.”

මෙහිදී මාධ්‍යවේදියකු විමසා සිටියේ, 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජනබලවේගයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවටත්, එය සජිත් - අනුර ඩීල් එකක් බවටත්, සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන ප්‍රවෘත්තියට හේතුව කුමක්ද යන්නය.

විපක්ෂ නායක සජිත්, පෙර දිනයේ තමන්ට ලබාදුන් මුද්‍රිත පොතක් පෙන්වමින් වරුණ ඊට පිළිතුරු දුන්නේය.
 
“ මේ පිටු 78 පොත විපක්ෂ නායකතුමා මට දුන්නේ ඊයේ, 22ට එරෙහිව සමගියේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ කියලා පිරිසක් කැම්පේන් එකක් කරනවා මමත් දැක්කා, ඒ අයට ජනබලයක් තියෙනව ද? කියලා අපි මුලින්ම බලන්න ඕන. පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගත නොහැකිවූ සහ ජනතාව සහමුලින්ම ප්‍රතික්ෂේප කරපු පරාජිත පුද්ගලයින් විසින් මෙම මතවාදය ව්‍යාප්ත කරන බව අපිට පේන්නම තියෙන යතාර්තය. 22 වන සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ක්‍රියාමාර්ගයක් බව පෙන්වා දෙමින් විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේ මැයි මාසෙ 06 වැනිදා. නමුත් එහෙම විවාදයක් දෙන්න තරම් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදි වුණේ නෑ. ඊට පස්සේ අපි පක්ෂයක් ලෙස මැදිහත් වෙමින් මේ සංශෝධනයට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ සමඟ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ජා කරලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළා. 22 වන සංශෝධනයේ ඇති බලපෑම පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කරන්න කියලා අපි නීතිඥ සංගමයට ඉල්ලීමක් කළා. නමුත් ඒකටත් ආණ්ඩුව ඉඩ දුන්නේ නෑ. අධිකරණය හමුවේ ඇති ගැටලු විසදිමේ යාන්ත්‍රණයක් සකස් කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හදන්නත් යෝජනා කළේ අපි. ගමක් නගරයක් පාසා ගිහින් මේ අනතුරුදායක තත්ත්වය ගැන ජනතාව දැනුවත් කරමින් මහජන පෙත්සමක් අත්සන් කරන්න මූලික වුණෙත් අපි. නීති ක්‍රියාමාර්ගවලට දායකත්වය වගේම නායකත්වය දුන්නෙත් සමගි ජනබලවේගය. ඒ වගේම 22ට එරෙහිව විරෝධතා පැවැත්වුවෙත් අපි. ආණ්ඩුවේ ඒකාධිපති ගමන ගැන ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් දැනුම්වත් කරන පියවර ගත්තේ අපි. ඒ නිසා අපි මේ වෙනුවෙන් බොහෝ දේ කරලා තියෙන බව, මේ වාර්තාවේ පිටු 78 කියෙව්වා නම් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්.”

සජබ - එජාපය එක්වීමට කකුල් මාට්ටු දමන කල්ලියක්.
 
000sjb 6| සජබ - එජාපය එක්වීමට කකුල් මාට්ටු දමන කල්ලියක්.

සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්වීමේ ජනතාවාදී අපේක්ෂාව ඉටුවනවා දැකීමට නොහැකි අවස්ථාවාදී හා පරාජිත කල්ලියක් විපක්ෂය අතර ඇති වන එකඟතා කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියට නිරතව සිටින බව සමගි ජනබලවේගයේ දිවුලපිටිය, සම සංවිධායක සංඛ චන්දිම අභයවර්ධන පසුගිය සතියේ පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
 
“මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුවට අභියෝගයක් වෙන්න නෙමෙයි. මේ අයගේ එකම අපේක්ෂාව සමගිය බෙදීම. ගොඩනැගෙමින් ඇති එජාප - සමගි එකමුතුව කඩාකප්පල් කිරීම. 22 ගැන කතා කරන්න විපක්ෂයේ පක්ෂවලට පොදු වේදිකාවක් හදලා දුන්න සජිත්ටම මේ අය පහර දෙමින් ඉන්නේ ඇයි ? ඇත්තටම දැන් රටේ ප්‍රබලම චරිතය සජිත්. සජිත් වැට්ටුවෙ නැත්නම් මේ අයට ගමනක් නෑ. ඒ අය එදත් එහෙමයි. අදත් එහෙමයි. අපි දැක්කා පොළොන්නරුවේ පැවැති ගොවීන් නොසිටි ගොවිජන රැලියේදී ජනාධිපතිවරයාගේ වැටීමේ තරම කොච්චරද කියලා. ඒ අයගෙම ඔත්තුකරුවෝ දැනටත් මේ කඩාවැටිම ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කරලත් ඇති. ඒ වගේම විපක්ෂයේ ඉන්න කල්ලියක්, ඒ කල්ලියේ සල්ලිවලට ලියන රළලාත්, සමගියට පහරදීම වෙනුවට ආණ්ඩුවේ මර්ධනකාරී, ඒකාධිපති වියරුව හමුවේ ගොඩනැගෙමින් තිබෙන ගින්නෙන් ජනතාව බේරගන්නේ කෙහොමද කියලා කල්පනා කර බැලිය යුතුයි.”
දේශපාලන ව්‍යාපාරයක් ලෙස සමගිය, 22ට එරෙහි සටනට නායකත්වය ලබාදීලා අවසන් බවත්, එහි වාසිය සහ එහි පීතෘත්වය ලබාගන්න තවත් පිරිසක් දැන් උත්සාහ ගනිමින් සිටින බවත් සංඛ අභයවර්ධන අවධාරණය කළේය.

සජිත් හමුවූ ජර්මානු ටීම් එක...
 
000sjb 4| සජිත් හමුවූ ජර්මානු ටීම් එක...
 
ජර්මානු බුන්ඩස්ටාග් දකුණු ආසියානු පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය 15 වනදා විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් හමුවුණේ කරුණු කිහිපයක් මුල්කරගෙනය. ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කරගැනීමත් ඒ ඔස්සේ ගෝලීය වශයෙන් මුහුණදීමට සිදුව ඇති ගැටලුවලට විසදුම් සෙවීමත් ජර්මානු කණ්ඩායමේ අපේක්ෂාව වී තිබුණි. ඊට එකඟත්වය පළ කළ සජිත්ට ස්තූතිය පුදකළ  ජර්මානු බුන්ඩස්ටාග් දකුණු ආසියානු පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානී නික්ලස් කේප්, ඉදිරියේදී සිය කණ්ඩායම, විපක්ෂ නායකවරයා අතර සමීප සබඳතාවක් පවත්වනු ඇති බවට සහතිකයක්ද ලබා දුන්නේය.

FinTech Summit මුලසුන සජිත්ට
 
000sjb 3| FinTech Summit මුලසුන සජිත්ට
 
2026 ශ්‍රී ලංකා මූල්‍ය තාක්ෂණ සමුළුව (Sri Lanka FinTech Summit) දින දෙකක් පුරා පැවැත්වුනේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීය. ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, මූල්‍ය ආයතන, තාක්‍ෂණ නායකයින්, ආයෝජකයින් සහ ෆින්ටෙක් නවෝත්පාදකයින් එක්රැස් සහභාගී වී සිටි මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.

එහිදී සමුළුව ඇමතූ සජිත් කියා සිටියේ, ශ්‍රී ලංකාව දකුණු ආසියාවට සහ ඉන්දියානු සාගර කලාපයට විශ්වාසදායක මූල්‍ය තාක්ෂණ දොරටුවක් ලෙස ස්ථානගත කළ යුතු බවය.  ඩිජිටල් පරිවර්තනය සඳහා දිගුකාලීන ජාතික ප්‍රවේශයක් හදුන්වාදීමේ වැදගත්කමත් පැහැදිලි කළ සජිත්, ඩිජිටල් මූල්‍යකරණය තාක්‍ෂණය භාවිතා කිරීමෙන් ඔබ්බට ගොස් වැඩි ඵලදායිතාව, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව, මූල්‍ය ස්ථාවරත්වය, සයිබර් ආරක්ෂාව සහ පුද්ගලික දත්ත ආරක්ෂාව ශක්තිමත් කිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කළේය.

සමුළුවට සමගාමීව පැවැති සංවාදයේදී ව්‍යාපාරික පරිසරය බිඳවැටීම හා එමගින් සමස්ත ආර්ථික පද්ධතියට එල්ලවන බලපෑම ඔබ දකින්නේ කෙසේද යන්න පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව සජිත්ගේ මතය විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ සජිත් කියා සිටියේ…,
 
000sjb 2
“ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා සමාජ තත්ත්වයන්ට අහිතකර බලපෑම් 05ක් හඳුනාගන්න පුලුවන්. එකක් තමයි පාස්කු දින එල්ලවූ අන්තවාදී ප්‍රහාරය. දෙවනුව කොරෝනා වසංගතය. ආර්ථිකය බංකොලොත්වීම හා මෑතකදී ඇති වූ දිට්වා සුළිකුණාටුවේ බලපෑම. වර්තමානයේ මැද පෙරදිග උද්ගතව ඇති යුද තත්ත්වයත් අපි සලකා බැලිය යුතුයි. මෙවැනි ආකාරයේ බලපෑම් එල්ල වුවත් ඉන් සිදුවන සෙසු බලපෑම් අවම කරගන්න හෝ සැලස්මක් අපිට තිබුණේ නෑ. ඒ නිසා ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්වුණා‍”
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායන්ගෙන් අපේ ආර්ථිකයට ලැබෙන දායකත්වය 52%ක්. නමුත් වර්තමානයේ ඒ කර්මාන්තකරුවන්ට රැකවරණයක් නෑ. ව්‍යවසායකයෙකුට සහන පොලියට මූල්‍ය සහනයක් හෝ ලබාගන්න පුලුවන් ක්‍රමවේදයක් රට තුළ නිර්මාණය වෙලා නෑ. මේ අනාරක්ෂිතතාවය මේ රටේ ආර්ථිකයේ පිරිහීමට විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා”


මෝදිට සජිත්ගෙන් සුබපැතුම්.
 
000sjb 1| මෝදිට සජිත්ගෙන් සුබපැතුම්.
 
සියළු කටයුතු හමුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනයට සුබපැතුම් පිරිනැමීමටද සජිත් පියවර ගත්තේය. සිය X ගිණුම හරහාය.

නිරෝගීභාවය, සතුට සහ අර්ථවත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සජිත් සිය සටහන අවසන් කර තිබුණේ.
“ Have a wonderful birthday, Prime Minister. 

(මම | බංගලා හන්දියේ ලියුම්කරු) 

 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්