leader s

තමන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රශ්නගත ඖෂධ වයල් සියය බැගින් ජර්මනියේ රසායනාගාරයකට රැගෙන ගිය බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ- නියාමන (වැඩ බලන) අර්ජුන දයාසේන පද්මපෙරුම මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළේය. 
 
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී  පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
 
එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා සාක්ෂි ලබාදීම සඳහා නිකුත්කළ සිතාසි මත අධිකරණය පෙනී සිටි අතර ඔහුගෙන් සාක්ෂි විමසන අවස්ථාවේදී හරස් ප්‍රශ්න විමසීම සඳහා මෙතෙක් අධිකරණයේ විභාග වූ සාක්ෂි ඇතුළත් නඩු වාර්තාව ලබා ගැනීමට අවශ්‍ය බව නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දෙන ලදී. 
 
එම නඩු වාර්තාවේ ඇතැම් කොටස් මේ වන විට ලබාදිය හැකි අතර කොටස් කිහිපයක් කෙටුම්පත ආකාරයෙන්ද තවත් කොටස් කිහිපයක් පටිගත කළ සටහන් ලෙස ලබා දිය හැකි බවද විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී නීතිඥවරුන්ට දන්වා සිටියේය. 
 
එහිදී නීතිඥවරු සඳහන් කර සිටියේ මෙම විමර්ශන නිලධාරියාගේ සාක්ෂියේදී විත්තිකරුවන්ගේ හරස් ප්‍රශ්නයොමු කිරීමේදී ඉතාම වැදගත් වන අතර අභියාචනයක් යොමු කිරීමේදී වුවද වැදගත් වෙන කරුණක් වන බැවින් අදාළ  නඩු වාර්තා ලබා ගැනීම විත්තිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීතිඥවරුන් ලෙස තමන්ට අවශ්‍ය බව ය.
 
 
ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලා නියෝගයක් නිකුත් කරන බව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී සඳහන් කළේය.
 
මෙම නඩුවට අදාළව සාක්ෂි කැඳවීම සඳහා සිතාසි නිකුත් කර සිටි ජර්මානු ජාතිකයාගේ සාක්ෂි ලබා ගැනීම සිදු කිරීම කළ නොහැකි බව දක්වමින් ජර්මානු රජය විසින් දැනුම් දීමක් කර ඇති බව එහිදී  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළාය.
 
මෙම අධිකරණයේ රෙජිස්ටාර්වරියට ද එවැනි දැන්වීමක් ලැබී ඇති බව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී සඳහන් කළේය
 
එම සාක්ෂි ලබා ගැනීම සඳහා විකල්ප ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් එහිදී ම අවධානය යොමු කිරීමට එහිදී තීරණය විය.
 
අනතුරුව පළවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිට නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුගෙන් වැඩිදුරටත් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
"වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ලබාගත් ඖෂධ වයල් ජර්මනියට ගෙන යාම සම්බන්ධයෙන් ඔබ ඊයේ සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔබ සඳහන් කළා සෘජුෆෝම් පෙට්ටි තුළ ඒවා ඇසුරූ බව එම සෘජුෆෝම් පෙට්ටි ලබා ගත්තේ කොහෙන්ද?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අතර සාක්ෂිකරු සඳහන් කළේ වෛද්‍ය සැපයුම් ඒකකයෙන් එම පෙට්ටි ලබාගත් බවය. 
 
අදාළ සාම්පල් ලබා ගැනීම සඳහා NMQAL ආයතනයේ ඉශානී විජේසිංහ සහ තවත් අයෙක් සහභාගි වූ බවද ගබඩා භාරකරු සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උප පොලිස් පරීක්ෂකවරයා ද ගබඩා භාරකරුගේ සහායකයන්ද එහි සිටි බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
"අදාළ සාම්පල ලබා ගැනීම නිරීක්ෂණය කිරීමට මාණ්ඩලික නිලධාරියෙක් සිටියා ද?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ අදාළ සාම්පල ලබාගන්නා බව සහකාර අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබූ නමුත් මාණ්ඩලික නිලධාරියකු එම අවස්ථාවට සහභාගි නොවූ බවය. 
 
"එම සාම්පල් ලබා ගන්නා අවස්ථාවේ දී එය නිෂ්පාදනය කළ අයිසොලේස් බයෝ ටෙක් පාමා සමාගමේ නියෝජිතයකු එහි සිටියාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැන්නෙකු නොසිටි බව ය.
 
අදාළ පෙට්ටි මුද්‍රා තැබූ අවස්ථාවේදී තමන් සහ උප පොලිස් පරීක්ෂකවරයා විසින් අත්සන් තැබූ අතර ගබඩා භාරකරුගේ මුද්‍රාව යොදා ගනිමින් මුද්‍රා තැබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
 
ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරියේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුද්‍රාව භාවිතා නොකළ බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"මුද්‍රා තැබීම සම්බන්ධයෙන් ජර්මනියට ගිහිල්ලා දෙන්න ඕන වාර්තාවක් ගත්තද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "එවැනි වාර්තාවක් ලබා ගත්තේ නෑ. ලක්සිරි මහතාත් මමත් එම භාණ්ඩ ලබා ගැනීම නිරීක්‍ෂණය කළා "යනුවෙනි.
 
'ඒ සම්බන්ධයෙන් වාර්තාවක් බාර දිය යුතුයි නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි අවශ්‍යතාවයක් මතු නොවූ බවත්, ඖෂධ සාම්පල පරීක්ෂා කළ බවත්ය.
 
" ඔබ ඒ ගැන වාර්තා රැගෙන ගියේ නැද්ද?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් එවැනි වාර්තාවක් රැගෙන නොගිය බවය.
 
"ඔබ දන්නවා අධිකරණයේ අවශ්‍යතාවයකට මෙම සාම්පල රැගෙන ගියේ කියලා. අධිකරණයට ඉදිරිපත් කිරීමටවත් එවැනි වාර්තාවක් අවශ්‍ය යි කියලා තබා ගත්තේ නැද්ද ?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි වාර්තාවක් ලබා නොගත් බවය.
 
එසේම ඒවා වීඩියෝ කිරීමක් හෝ ඡායාරූප ගත කිරීමක් නොකළ බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"මේවා විවෘත නොකර භාරදුන් බවට පිළිගත හැකි සාක්ෂියක් තියෙනවද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු එවැන්නක් නොමැති බව සඳහන් කළේය. 
 
"මෙම සාම්පල ලබා ගැනීමේදී ඔබ නිසි ක්‍රියාවලිය අනුගමනය නොකළ බවට යෝජනා කරනවා "යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අදාළ යෝජනාව තමන් ප්‍රතික්ෂේප කරන බවය. 
 
"අදාළ සාම්පල් ඇසුරුම් කළ පෙට්ටිය තුළට data loger එකක් දැමූ බව ඔබ සඳහන් කළා .ඒ data loger එක මිලදී ගත්තේ කුමන ආයතනයකින් ද"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ එය පෞද්ගලික ආයතනයකින් මිලදී ගත් අතර ඊට අදාළ පිළිවිතර තමන් සතුව ඇති බවය. 
 
"අදාළ data loger එම ඇසුරුම් තුළට ඇතුළත් කර තිබූ බවට සහතිකය තියෙනවාද?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි සහතිකයක් නොමැති බවත් ඊට අදාළ ඡායාරූප නොමැති බවත්ය. 
 
එහිදී නීතිඥවරයා "මා යෝජනා කරනවා මෙම data loger අදාළ සාම්පල් ඇතුළට දමා නොතිබූ බව" යනුවෙන් නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය. 
 
එසේම අදාළ සාම්පලවල ශීතදාමය ආරක්ෂා කර ගැනීමට කිසිදු සහතිකයක් නොමැති බවට යෝජනා කරන බව නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු එයද ප්‍රතික්ෂේප කළේය. 
 
"අදාළ ඖෂධ රැගෙන ගිය කූල් පැක් වල ජීව කාලය කොපමණදැ"යි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු ජීව කාලයක් කිව නොහැකි බවද අදාළ ශීතදාමය රැකෙන පරිදි  කාලයක් එය පවත්වා ගත හැකි බවද ප්‍රකාශ කළේය.
 
 "යම් කාලය යනු කුමක්දැ"යි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "එය දින තුනක් හෝ හතරක් විය හැකි බව" සාක්ෂිකරු කියා සිටියේය.
 
" ඒ බව සහතික කරන්න ඔබට දත්ත තියෙනවාද ?"යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ එවැනි දත්ත තමන් ළඟ නොමැති නමුත් තිබෙන අත්දැකීම් අනුව එය ප්‍රකාශ කළ හැකි බවය .
 
විදේශීය රටවලට ඖෂධ ගෙනයාම සම්බන්ධය ගෙන යාමට තමන් සම්බන්ධ වී නොමැති නමුත් එලෙස ඖෂධ ගෙන යන අවස්ථා දැක ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
 
"සීල් තබන ලද බහාලුම අරගෙන ගියේ ගුවන් යානයක ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු "ශ්‍රි ලංකන් එයාර් ලයින් සමාගමට අයත් ගුවන් යානයකින් එය රැගෙන ගිය බව" සඳහන් කළේය.
 
"ඊට අදාළ ලේඛන භාර දුන්නේ කාටද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේ ඊට අදාළ ලේඛන කිසිවක් නොමැති බව සඳහන් කළ අතර " එම සාම්පල් ඇතුළත් පෙට්ටි ලගේජ් ලෙස තමයි භාර දුන්නේ" යනුවෙන් කියා සිටියේය.
 
එහිදී නීතිඥවරයා මේ සම්බන්ධයෙන් රාජකාරිය පවරන ලද රාජ්‍ය නිලධාරියා ඔබ. මේවාට මුද්‍රා තැබූ බවට වගකීමක් නෑ. එයා ලංකා සමාගමට භාර දුන්න බවට ලියවිල්ලකුත් නැහැ. ජර්මනියේ දී ශීතදාමය තිබුණු බවට වාර්තාවකුත් නෑ. මා යෝජනා කරනවා වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ලබාගත් භාණ්ඩ ජර්මනියට භාර දීම කිසිදු වගකීමකින් කර නැති බවට" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේය. 
 
එම අවස්ථාවේදී ලේඛනයක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නීතිඥවරයා "අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය විසින් නිෂ්පාදිත සියලුම නිෂ්පාදන භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවක් සඳහන් කර තියෙනවා. මෙය ගැන ඔබ දන්නවද ?"යනුවෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරුසඳහන් කළේ තමන් විසින් එය දැක ඇති බවය. 
 
එම චක්‍රලේඛය 2023 10.17 දින නිකුත් කර ඇති බව පෙන්වා දුන් නීතිඥවරයා "ඔබ සාම්පල ලබාගත්තේ ඊට අවුරුද්දකුත් මාස හතරකට පස්සේ. එම කාලය තුළ මේ සාම්පල වෛද්‍ය සැපයුම් ඒකකයේ ම තිබූ බවට ඔබට වැටහීමක් තියෙනවද?" යනුවෙන් ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු ඊට "නැත" යන පිළිතුරු ලබා දුන්නේය.
 
"ඔබට අදාළ සාම්පල ලබාගැනීමට පෙර ඒවා තිබුණේ කොහෙද කියන එක ගැන වැටහීමක් තියෙනවාද?" යනුවෙන් නීතිඥවරයා තවත් ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු ඒ පිළිබඳව නොදන්නා බව කියා සිටියේය.
 
"ඔබ දන්නේ ඒවා ලබා ගන්නා විට එය වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ බව විතරයි නේද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු "ඔව් "යන පිළිතුර ලබා දුන්නේය. 
 
පැ.33 ලේඛනය සම්බන්ධයෙන් මූලික සාක්ෂිවලදී ඔබගෙන් විමසීමක් කළා. යහපත් නිෂ්පාදන පුරුදු (GMP) සහතිකය ලබාදීම සම්බන්ධයෙන් පැවති රැස්වීමකට අදාළ කරුණු එම ලේඛනය ඇති බව ඔබ කිව්වා. මේ රැස්වීම තිබ්බේ මොකටද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු" ලේකම්තුමාගේ සාකච්ඡාවක් අනුව එතුමා ඉල්ලා සිටියා මේ අයටත් දෙන්න බලන්න කියල. නිෂ්පාදකයා ගේ පැත්තෙන් බලන්න කියලා තමයි කිව්වේ. "යනුවෙන් කියා සිටියේය.
 
නීතිඥවරයා: ඔබේ ආයතනයේ ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් දැනුමක් තිබෙන නිලධාරීන් ඉන්නවද?
 
සාක්ෂිකරු: යන්ත්‍ර සූත්‍ර පිළිබඳව පුහුණුවක් ලබා දෙනවා දී යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කිරීම නෙමෙයි නිරීක්ෂණය කිරීම කරනවා.
 
නීතිඥවරයා: ඔබ කියන්නේ ලේඛන පරිශීලනය කරලා තොරතුරු ලබාගන්න බව නේද?
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී 
 
නීතිඥවරයා:ඒ කියන්නේ ඔබ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කරනවා යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්නේ නෑ.
 
සාක්ෂිකරු නෑ ස්වාමීනී 
 
නීතිඥවරයා:ඒ ගැන ඔබට දැනීමක් නෑනේ?
 
සාක්ෂිකරු: දැනීමක් තියෙනවා ස්වාමීනී 
 
නීතිඥවරයා ඔබගේ ආයතනය GMP සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඖෂධවේදීන් බවට මා යෝජනා කරනවා.
 
සාක්ෂිකරු: නෑ ස්වාමීනි තවත් අය එහෙ ඉන්නවා. රසායනාගාර නිලධාරීන්, vaccine වලට MRI නිලධාරීන් සහභාගී කරගන්නවා.
 
නීතිඥවරයා: ඔබ සේවය කරන්නේ ලංකාවේ ඖෂධ සුරක්ෂිතතාවය සහ නියාමනය කරන ආයතනය. ඔබලා නිෂ්පාදකයින් දිරි ගන්වන මොනවා හරි ක්‍රමවේදයක් දීලා තිබෙනවාද?"
 
සාක්ෂිකරු: නිෂ්පාදකයන්ට අවශ්‍ය කටයුතු ඉක්මනින් කරදෙන්න බලනවා.
 
නීතිඥවරයා: ඔබේ දැනීමේ හැටියට ඖෂධ සමාගම් කීයක් තියෙනවද?
 
සාක්ෂිකරු: හතරක් පහක් පමණ තියෙනවා.
 
නීතිඥවරයා: දේශීය ඖෂධ සමාගම් කීයක් තියෙනවද?
 
සාක්ෂිකරු: සමාගම් 26ක් තියෙනවා ස්වාමීනි.
 
නීතිඥවරයා: වැක්සින් නිෂ්පාදනය කරන සමාගම් කීයක් තියෙනවද?
 
සාක්ෂිකරු වැක්සින් නිෂ්පාදනය කරන සමාගම් ලංකාවේ නෑ.
 
නීතිඥවරයා: එය අසත්‍ය සාක්ෂියක් බවට මා යෝජනා කරනවා.
 
සාක්ෂිකරු නෑ ස්වාමීනී ,NMRA නොදැන එවැනි සමාගමක් තියෙන්න බෑ 
 
ඒ සමගම අදාළ හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ බව නීතිඥවරයා දැනුම් දුන් අතර ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.
 
ඒ අනුව ඔහුගෙන් නැවත ප්‍රශ්න සිදුකිරීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් සිදුකරන ලදි.
 
"2023 /01/ 26 දින රැස්වීම නිසි ලෙස සිදු නොවී CEO ට අවාසි සහගත ලෙස පැවැත්වූ බවට සටහනක් තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය එහිදී සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු එවැන්නක් නොමැති බව සඳහන් කළේය.
 
"ඔබ සාම්පල් ජර්මනියට අරන් රැගෙන යාම සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසුවා. ඒ පිළිබඳව හොයන්න කියලා උපදෙස් ලැබුණේ කාගෙන්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය  විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අධිකරණ නියෝගයක් ඒ සම්බන්ධයෙන් ඇති බවය.
 
සභාපතිවරයා විසින් තමන්ව කැඳවා ඒ බව දැනුම්දුන් බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"අදාළ අධිකරණ නියෝගයේ තියෙනවද ඡායාරූප හෝ වීඩියෝ පට ලබාදෙන්න කියලා?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි නියෝගයක් නැති බවය.
 
"ඖෂධ ගැනීමේදී රසායනාගාරයේ දෙන්නෙක් සිටි බවට ඔබ කිව්වා .ඇයි ඔවුන්ව ලබා ගත්තේ?"යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය පළපුරුද්ද ඔවුන්ට තිබූ බවය. 
 
"මෙම භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී dangerous cargo section එකට දැනුම් දීමක් කළ බව ඔබ කිව්වා" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු "ඔව් , එයට දැනුම් දීමක් කළා" යනුවෙන් පිළිතුරු ලබා දුන්නාය.
 
එහිදී විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "මොකක්ද ඒ section එක?" යනුවෙන් විමසීමක් කළේය. 
 
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ" " මෙහි biological items අඩංගු නිසා අපි ඔවුන්ට ඒ බව දැනුම් දුන්නා .ඔවුන්ට අවශ්‍ය උපදෙස් දුන්නා මේවා ඒ විදිහටම තියන්න කියලා" යන පිළිතුර සාක්ෂිකරු ලබා දුන්නේය.
 
එම අවස්ථාවේදී විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වුණේ?" යනුවෙන් විමසීමක් කළේය. 
 
"ඒවාට හානියක් නොවීම ඉන් බලාපොරොත්තු වූ බව" සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඔබ අරගෙන ගියේ රිටොක්සි මැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ලේබල් ඇති ඉන්ජෙක්ෂන් දෙසීයක්?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු ඒ බව පිළිගත්තේය.  
 
"ඒවා රේගුවෙන් පිට කිරීම සඳහා ගුවන් සමාගමේ සම්බන්ධීකරණය වැදගත්ද ?" යනුවෙන් විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු " නැත" යනුවෙන් පිළිතුරක් ලබා දුන්නේය. 
 
laboratary
 
"ඔබ රැගෙන ගිය නඩු භාණ්ඩ භාර ගැනීම අදාළ රසායනාගාර විසින් ප්‍රතික්ෂේප කළාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ එවැනි ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකළ බවය. 
 
"ගැටලුවක් ඇති බව කියා ඔබට ඒවා නැවත භාර දුන්නද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරු ගෙන් විමසීමක් කළ අතර එවැන්නක් සිදු නොවූ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
ඒවායේ තිබූ data loger දෙක තමන් භාර නොගත් බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීවරයා විසින් ඒවා ලබා ගත් බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
එම නැවත ප්‍රශ්න කිරීම් අවසන් කිරීමෙන් අනතුරුව සාක්ෂිකරුවන් ට සාක්ෂි විභාගය අවසන් කරන ලදී. 
 
අනතුරුව විත්තිකරුවන් විසින් ලබාගත් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා slt mobitel ආයතනයේ සම්බන්ධීකරණ විමර්ශක ධම්මික දිනේෂ් මහතා සිතාසි මත අධිකරණයට පැමිණ සිටි අතර ඔහුගෙන් සාක්ෂි විමසීම සිදු කිරීම සඳහා ප්‍රක්ෂේපණය යන්ත්‍රයක් සහ තිරයක් උපයෝගී කරගන්නා ලදී. 
 
mobitel ligible ආයතනය විසින් ලබා දුන් අධිකරණ නියෝගයක් මත මොබිටෙල් ආයතනය විසින් ලබාදෙන ලද ඇතුළත් CD පටයක් අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කෙරිණ.
 
ඒ ඇසුරෙන් සාක්ෂිකරුගෙන් මූලික සාක්ෂි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් සිදු කළ අතර එහිදී ඇය සඳහන් කළේ මෙම විත්තිකරුවන් අතර හුවමාරු වූ දුරකථන සම්බන්ධ සංවාද සම්බන්ධයෙන් වන දත්ත ඇතුළත් කොට පැමිණිල්ල විසින් වෙනම ලේඛනයක් සකස් කර ඇති අතර එම ලේඛනය සහ මෙම ඩිජිටල් දත්ත පරීක්ෂා කර බලමින් සාක්ෂි විමසීම සිදුකරන බවය. 
 
දුරකථන සම්බන්ධතාවයක් ලබාදීමේදී ඉදිරිපත් කළ යුත්තේ මොනවාදැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී ජාතික හැඳුනුම්පත් අංකයට අදාළව එම දුරකථන අංක ලබාදීම සිදුකරන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
දුරකථන සම්බන්ධතාවයක් ලබා ගැනීමට කොපමණ කාලයක් යනවාදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂි කරු සඳහන් කළේ මීට වසර කිහිපයකට පෙර  දින කිහිපයක් ගතවූ නමුත් මේ වන විට අදාළ සිම්පත ලබාගන්නා අවස්ථාවේදීම සම්බන්ධතාවය ලබා දෙන බවය. 
 
"අදාළ දුරකථන අංකය ලබාදුන් පුද්ගලයා හඳුනාගැනීමට හැක්කේ ඔහුගේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත් අංකය මගින් ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ එම ජාතික හැඳුනුම්පත් අංකය ට අදාළ නම, ලිපිනය ආදිය ඇතුලත් කරන බවය. ඒ අනුව අදාළ සිම්පත ලබා ගත්තේ කවුරුන්ද යන්න හඳුනා ගත හැකි බව ඔහු කියා සිටියේය.
 
"ඔබට subscribers details report එකක් හඳුනාගත හැකිදැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එය හඳුනාගත හැකි බවය.
 
"ආයතන ලෙස සඳහන් වන්නේ කුමක්ද ?" ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ slt mobitel යනුවෙන් එහි සඳහන්ව ඇති බවය. 
 
එම ලේඛනයට සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දුරකථන අංක පහක හිමිකරුවන් පිළිබඳව සාක්ෂිකරු ගෙන් විමසා සිටියේය. 
 
එස් ජේ ප්‍රනාන්දු, එච් .එස්.කේ. වික්‍රමනායක, පී ඩි.සොලමන්, එම්.එස්.ඩබ්ලිව්. කුමාර, කේ.බී.ඩි.රඹුක්වැල්ල, යන නම් සහ ඊට අදාළ දුරකථන අංක සාක්ෂිකරු විසින් එහිදී කියා සිටියේය. 
 
"මෙම දුරකථන අංක ඒ ඒ අංක සමඟ සම්බන්ධ වී ඇති ලේඛනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එවැනි ලේඛනයක් ලබාදුන් බවය. 
 
ඒ අනුව අදාළ දුරකථන වාර්තා හඳුනාගත හැකි බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
2022 වසරේ ජනවාරි මස පළමුවෙනිදා සිට 2023 වසරේ ඔක්තෝම්බර් මස 9 වෙනිදා දක්වා දුරකථන අංක අතර හුවමාරු වූ දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ඇති බව අධිකරණයට දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය දත්ත අතරින් දත්ත උපුටා ගනිමින් ලේඛනයක් පැමිණිල්ල විසින් සකස් කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය. 
 
ඒ අනුව අදාළ දුරකථන ඇමතුම් එකින් එක පිළිබඳව කරුණු විමසීමට පටන් ගත් අවස්ථාවේදී විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා මෙම ඇමතුම් පිළිබඳව පිළිගැනීමක් කිරීමට විත්තිකරුවන්ට හැකියාවක් තිබේද යන්න පිළිබඳව විමසීමක් කළේය. 
 
එහිදී එම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැනුම් දුන්නේ අදාළ දුරකථන ඇමතුම් ලබාගත් බවට පිළිගත හැකි බවය. 
 
අටවන විත්තිකාර කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්න විජේසුන්දර මහතා එහිදී අදාළ දුරකථන ඇමතුම් වාර්තාව ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව අධ්‍යයනය කර එය පිළිගන්නවද නැද්ද යන්න පිළිබඳව ඉදිරිපත් කළ හැකි බවත් අධිකරණයට දන්වා සිටියේය. 
 
ඒ අනුව සාක්ෂිකරුගේ මූලික ප්‍රශ්න මූලික සාක්ෂි විමසීම අවසන් කරන ලද අතර එකොළොස් වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි අමිත ආරියරත්න මහතා හරස් ප්‍රශ්න විමසීමක් සිදු කළේය. 
 
එහිදී මෙම නඩුවේ සාක්ෂිකරුවකු සහ පළමුවන චූදිත අතර හුවමාරු වූ දුරකථන සංවාද අනූ තුනක් සම්බන්ධයෙන් කරුණු විමසමින් තහවුරු කිරීමක් නීතිඥවරයා විසින් සිදු කරන ලදි.
 
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි ලබා ගැනීම අවසන් කරන ලදී.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

  

නවතම පුවත්