leader s

*අභියාචනයෙන් පසු මරණ දඬුවම නියම වූ බවට පවුලේ අයගෙන් ප්‍රකාශයක්


*රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව රජය පවසයි


සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

අම්පාර, කල්මුනේ නට්පිට්ටිමුනේ ප්‍රදේශයේ පදිංචි අනෝජන් නමැති මෙම තරුණයාට මුල් නඩු තීන්දුවෙන් නියම වූ දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු මරණ දඬුවම නියම වී ඇති බවට පවුලේ පාර්ශ්වය සහ මහජන නියෝජිතයන් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම සිදුවීම කෙරෙහි දැඩි අවධානයක් යොමුව තිබේ.

විදේශ අමාත්‍යාංශයේ නිල ස්ථාවරය

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රජා රාජ්‍යතාන්ත්‍රික අංශය (Public Diplomacy Division) විසින් සැප්තැම්බර් 18 වැනිදා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය සමඟ එක්ව මෙම තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරන බවයි.

අදාළ ශ්‍රී ලාංකික තරුණයාගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ආරක්ෂා කරගැනීම උදෙසා ගත හැකි සියලුම සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත්, අවශ්‍ය සහයෝගය ලබාදීමටත් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ පියවර ගනිමින් සිටින බව අමාත්‍යාංශය නිල වශයෙන් සඳහන් කර ඇත. කෙසේ වෙතත්, අදාළ නිවේදනය මගින් ඔහුට මරණ දඬුවම නියම වී ඇති බවට නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, ඊට අදාළ ලිඛිත අධිකරණ තීන්දුව මෙතෙක් ලැබී නොමැති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

anjan letter
සිද්ධියේ නීතිමය පසුබිම

සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටි අනෝජන්ට එරෙහිව චෝදනා එල්ල වූයේ සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ සිදුකළ බව කියන ආගමික අදහස් දැක්වීමක් පදනම් කරගනිමිනි. එම සටහන පළවීමෙන් සුළු වේලාවකට පසු ඔහු විසින්ම එය ඉවත් කර ප්‍රසිද්ධියේ සමාව අයැද තිබුණද, ඊට අදාළ තිර ඡායාරූප (screenshots) සංසරණය වීම හේතුවෙන් සෞදි සයිබර් අපරාධ නීතිය යටතේ ඔහු අත්අඩංගුවට පත්විය.

ඉකුත් ජූලි මාසයේදී අල්-අහ්සා අපරාධ අධිකරණය විසින් ඔහුට වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් (ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 24කට ආසන්න මුදලක්) නියම කර තිබුණි.

අභියාචනය සහ මතු වූ තත්ත්වය

එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව, මුල් දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ දමා ඇති බවට පෙනී සිටි නීතිඥවරයා තානාපති කාර්යාලය වෙත වාචිකව දැනුම් දුන් බව පවුලේ සාමාජිකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් ප්‍රකාශ කළේ, අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු දඬුවම මෙලෙස බරපතල තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී රජයෙන් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවයි. අනෝජන් වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි ඉහළම නීතිමය ක්‍රියාමාර්ග මෙන්ම රාජකීය සමාව අයැදීම (Royal Pardon / Clemency) වැනි විකල්ප කෙරෙහිද රජයේ අවධානය යොමු විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

නීති විශාරදයන් සඳහන් කරන්නේ අභියාචනාධිකරණයේ ලිඛිත තීන්දුව ලැබුණු පසු, ඒ සම්බන්ධයෙන් එරට උත්තරීතර අධිකරණය (Supreme Court) වෙත කරුණු ඉදිරිපත් කිරීමට තවත් මාසයක නීතිමය කාලයක් පවතින බවයි.

ජනාධිපතිවරයාගෙන් මව කළ ඉල්ලීම

මේ අතර, අනෝජන්ගේ මව මාධ්‍ය හමුවේ සංවේදී ප්‍රකාශයක් සිදුකරමින් තම පුත්‍රයාගේ ජීවිතය රැකදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටියාය.

"මගේ පුතා කරපු දේ වැරැද්දක් තමයි. ඒකට සමාව දීලා මගේ පුතාව මට ගෙනත් දෙන්න. ගොඩක් දුක් විඳලයි මම පුතාව හැදුවේ. ජනාධිපතිතුමනි, මට මගේ පුතාව බේරලා දෙන්න," යැයි ඇය කඳුළු සලමින් සඳහන් කළාය.





විගමනික ශ්‍රමික ආරක්ෂණය සහ නව ප්‍රවණතා

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි දේශීය සහ සයිබර් අපරාධ නීති පිළිබඳව විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයන් වඩාත් දැනුවත් විය යුතු බව මේ වන විට ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙයි.

සෞදි අරාබියේ රඳවා සිටින සිවරාසා අනෝජන්ගේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් වන නිල අධිකරණ ලේඛන ලැබෙන තෙක් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රියාද් තානාපති කාර්යාලය අවශ්‍ය පියවර ගැනීම සඳහා සූදානමින් පසුවන බව රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්