*නිවාස 7,500කට විදුලිය දෙමින් වාර්ෂිකව විදේශ විනිමය ඩොලර් මිලියන 3ක් රටට ඉතිරි කරන හැටි
*ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දේශීය ඉංජිනේරු තාක්ෂණයෙන් නිමවූ මෙගාවොට් 05ක මෙහෙයුම ඇරඹේ
දඹුල්ල, ඉබ්බන්කටුව වැව මතුපිට අක්කර 10.5ක වපසරියක ඉදි කළ මෙගාවොට් 05ක ධාරිතාවෙන් යුත් ‘දිය ජනනි’ පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ සිදු විය.
දේශීය ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් නිම වූ මෙම ව්‍යාපෘතිය හරහා වාර්ෂිකව සාමාන්‍ය නිවාස 7,500කට අවශ්‍ය විදුලි බලය සැපයීමට නියමිත අතර, ඉදිකිරීම් කාලසීමාව තුළ ප්‍රදේශයේ 150 දෙනකුට සෘජු රැකියා අවස්ථා හිමිව තිබේ.
තෙල් වියදමට තිතක්: රටට ඉතිරි වන ඩොලර් මිලියන 3
ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය වෙනුවෙන් වැයවන අධික පිරිවැය සහ ඛනිජ තෙල් ආනයනය සඳහා රටින් පිටතට ඇදී යන විදේශ විනිමය පාලනය කරගැනීමට මෙම ව්‍යාපෘතිය සෘජු දායකත්වයක් සපයයි.
තාප විදුලි බලාගාර සඳහා වාර්ෂිකව දහනය කෙරෙන ඩීසල් ලීටර් මිලියන 2.5ක් මෙමගින් ඉතිරි කරගත හැකි අතර, එමගින් වසරකට රටට ඉතිරි වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3ක් (රුපියල් කෝටි 90කට ආසන්න මුදලක්) පමණ වේ. ඊට අමතරව වාර්ෂිකව පරිසරයට මුදාහැරෙන කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6,440කින් කපාහැරීමට හැකිවීම පාරිසරික වශයෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභයකි.
ගෝලීය හරිත ප්‍රවණතාව සහ ශ්‍රී ලංකාවේ ඉලක්ක
භූමිය සීමිත රටවල ගොඩබිම් ඉඩම් පරිහරණය නොකර ජලාශ මතුපිට සූර්ය පැනල ස්ථාපිත කිරීම (Floating Solar PV) වර්තමාන ලෝකයේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වන ක්‍රමවේදයකි. ජලයේ සිසිලනය හේතුවෙන් සාමාන්‍ය ගොඩබිම් සූර්ය පැනලවලට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් විදුලිය උත්පාදනය වීමත්, ජලාශයේ ජලය වාෂ්පීකරණය වීම අවම වීමත් මෙහි ඇති අමතර තාක්ෂණික වාසියකි.
2030 වන විට මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ ජාතික ඉලක්කයට මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු ගෝලීය ආයතන අවධාරණය කරන 'හරිත ආර්ථික ප්‍රතිසංස්කරණ' සාක්ෂාත් කරගැනීමට මෙවැනි ව්‍යාපෘති තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
ප්‍රදේශවාසීන්ට සහ පාසල්වලට ප්‍රජා සත්කාර
බලාගාරය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි ප්‍රධාන පාලක මැදිරිය වෙත ගොස් මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කළ අතර, ව්‍යාපෘතියට සමගාමීව ප්‍රදේශයේ ප්‍රජාව වෙනුවෙන් සිදුකෙරුණු සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක්ද සංකේතාත්මකව නිලධාරීන් වෙත භාර දෙන ලදී.
* ශ්‍රී විවේකාරාම විහාරස්ථානයට ජෙනරේටරයක් සහ ධර්ම ශාලා ප්‍රතිසංස්කරණයට රුපියල් 800,000ක මුදලක්
* ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ මඩ පොකුණු සැකසීමට සහ ආම්පන්න වෙනුවෙන් රුපියල් මිලියන 2ක ආධාර
* 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ හරිත උද්‍යානයකට රුපියල් මිලියනයක මුදලක්
* ආනකටාව ප්‍රාථමික විදුහලේ සියලු සිසුන්ට වසරක පාසල් උපකරණ සඳහා රුපියල් 800,000ක්
* වීර මොහාන් ජයමහ විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් 400,000ක්
මෙම අවස්ථාවට වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි, අමාත්‍යාංශ ලේකම් රසල් අපොන්සු, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හා විදුලිබල මණ්ඩල අනුප්‍රාප්තික සමාගම්වල ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම WindForce PLC කළමනාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා ඇතුළු ආයෝජක නියෝජිතයෝ සහභාගි වූහ.








