*බිත්තරයෙන් රුපියල් 11කුත්, චිකන් කිලෝවෙන් 310කුත් රජයට: අත්‍යවශ්‍ය ප්‍රෝටීන මිලෙන් තුනෙන් එකක් බදු ලෙස උදුරා ගනිමින් 70 දශකයේ සාගත ව්‍යසනය යළි කැඳවන හැටි.
*පෝෂණය අහිමි කරමින් දරුවන්ගේ අනාගතය අඩපණ කරන අදූරදර්ශී බදුකරණය වෙනුවට, මානව ප්‍රාග්ධනය රැකගන්නා තත්කාර්යවාදී ආර්ථික ප්‍රතිපත්තියක හදිසි අවශ්‍යතාව.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රතිපත්ති සහ බදු ව්‍යූහය තුළ වඩාත්ම ඛේදනීය තත්ත්වයක් බවට පත්ව ඇත්තේ, මහජනතාවගේ මූලික පෝෂණ අවශ්‍යතාවන් මත පනවා ඇති දැඩි බදු බරයි. විශේෂයෙන්ම, ළමා හා තරුණ පරපුරේ කායික සහ මානසික වර්ධනයට අත්‍යවශ්‍ය වන පහසු ප්‍රෝටීන් ප්‍රභවයන් ඉලක්ක කරගනිමින් පනවා ඇති බදු, හුදු ආර්ථික ගැටලුවක් පමණක් නොවේ; එය බරපතළ සමාජ අසාධාරණයක් සහ අනාගතයට එරෙහිව සිදුකරන අපරාධකාරී ක්‍රියාවක් ලෙස විග්‍රහ කළ යුතුය.
බදුකරණයේ ආර්ථික යථාර්ථය සහ පාරිභෝගිකයා මත පැටවෙන බර

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ දත්තවලට අනුව, පාරිභෝගිකයෙකු එක් බිත්තරයක් මිල දී ගැනීමේදී රුපියල් 11ක මුදලක් ද, කුකුල් මස් කිලෝග්‍රෑමයක් මිල දී ගැනීමේදී රුපියල් 310ක මුදලක් ද රජයට බදු ලෙස ගෙවීමට සිදුව තිබේ.
මෙම වක්‍ර බදුකරණය නිෂ්පාදන මට්ටමෙන් නතර වන්නේ නැත. සාමාන්‍ය සිල්ලර කඩයකින් හෝ සුපිරි වෙළඳසැලකින් පාරිභෝගිකයා තම දෛනික ආහාර ද්‍රව්‍ය (උදාහරණයක් ලෙස නැවුම් එළවළු, මාළු, බේකරි නිෂ්පාදන හෝ මස් වර්ග) මිල දී ගෙන පිටවීමේදී, එකී සිල්ලර වෙළඳසැල් මට්ටමේ බදු ද මේ මත නැවත වරක් එකතු වේ. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ බිත්තරයක සහ කුකුල් මස් කිලෝවක සමස්ත මිලෙන් තුනෙන් පංගුවක්ම (1/3) රජයේ බදු ලෙස අය කෙරීමයි.
පෝෂණ ඌණතාව සහ 1970 දශකයේ ඓතිහාසික පාඩම
මෙසේ පහසුවෙන් ලබාගත හැකි ප්‍රෝටීන් ප්‍රභවයන් වෙත අධික බදු පැනවීම හරහා අද දවසේ වැඩෙන දරුවන් බරපතළ ප්‍රෝටීන් ඌණතාවකට (Protein deficiency) ලක් කෙරේ. දරුවන්ගේ මෙම පෝෂණ ඌණතාවන් සමස්ත ජනගහනයකම අනාගත මානව ප්‍රාග්ධනයට සෘජුවම බලපායි.
අප 1970 දශකයේ ළමයින් ලෙස මෙම ඛේදනීය යථාර්ථයේ සජීවී සාක්ෂිකරුවන් වෙමු. එසමයේ සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ස්වයංපෝෂිතභාවය නමින් නිර්මාණය කරන ලද ආවෘත ආර්ථිකය සහ සාගතය හේතුවෙන්, එවකට වැඩෙන පරපුරේ ශාරීරික සහ මානසික වර්ධනයට දැඩි බලපෑම් එල්ල විය. මෙය හුදු බැලූ බැල්මට කියන ආනුභවික කතාවක් පමණක් නොව, වෛද්‍ය විද්‍යාත්මක, සමාජවිද්‍යාත්මක සහ පෝෂණවේදී අධ්‍යයන දත්ත මගින් ඕනෑ තරම් තහවුරු කළ හැකි ඓතිහාසික සත්‍යයකි. අද අය කරන මේ අසාධාරණ ප්‍රෝටීන් බදු ද වර්තමාන ළමා පරපුර තුළ කායිකව අභ්‍යන්තරීකරණය වන අතර, එය හෙට දවසේ බරපතළ මහජන සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කරනු ඇත.
තත්කාර්යවාදී (Pragmatic) ප්‍රතිපත්තිමය වෙනසක අවශ්‍යතාව
රජය මෙම ගැටලුව දෙස බැලිය යුත්තේ හුදු ජනතාවාදී (Populist) කෝණයකින් නොවේ. ඒ වෙනුවට එය බුද්ධිමත්, උපයෝගිතාවාදී (Utilitarian) සහ තත්කාර්යවාදී (Pragmatic) ප්‍රවේශයකින් කියවිය යුතුය. ඒ සඳහා පහත ප්‍රතිපත්තිමය වෙනස්කම් කඩිනමින් සිදු කළ යුතුව ඇත:

මානව ප්‍රාග්ධනයට ආයෝජනය කිරීම: බිත්තර සහ කුකුල් මස් මත පනවා ඇති බදු සම්පූර්ණයෙන්ම අතහැර දැමීම රජයට අහිමි වන ආදායමක් ලෙස නොසිතිය යුතුය. එය අනාගතයේ ශක්තිමත්, බුද්ධිමත් සහ නිරෝගී පරපුරක් වෙනුවෙන් රාජ්‍යය විසින් සිදුකරන සෘජු ආයෝජනයකි.
මූලික ආහාර බදුවලින් නිදහස් කිරීම: සහල්, රනිල බෝග, කිරි නිෂ්පාදන, එළවළු සහ පලතුරු ආදී අත්‍යවශ්‍ය පෝෂණ මූලාශ්‍ර මත පවතින බදු ප්‍රතිශතයන් කඩිනමින් අඩු කළ යුතුය.
විකල්ප ආදායම් මාර්ග (Pigouvian Taxes): රජයේ ආදායම තුලනය කර ගැනීම සඳහා, මහජන සෞඛ්‍යයට අහිතකර සීනි වැනි නිෂ්පාදන මත පනවන බදු ඉහළ නැංවීම ආර්ථික මෙන්ම සෞඛ්‍යමය වශයෙන් ද බෙහෙවින් යුක්ති සහගත ය.

(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්...







