වියදම් කපාහැරීම නිසා ක්‍රීඩක ගම්මානයක් නෑ; කන්ටේනර් කුටිවල දිගෑදෙන්න බැරිව ක්‍රීඩකයෝ අසීරුවේ – දකුණු කොරියාවෙන් දැඩි විරෝධයක්.
මීටර් දෙකට වැඩි ක්‍රීඩකයන්ට කකුල් දිගහරින්න බැරි ඇඳන්; කාන්දු වන නළ සහ වැසි තර්ජන මැද නගෝයා සංවිධායකයන්ට චෝදනා වැලක්.
ජපාන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩකයින්ට ලබා දී තිබෙන ඇඳන් දිග මදි බව දකුණු කොරියාව කියනවා.

නැව් කන්ටේනර ශෛලියේ කුටිවල තිබෙන ඇඳන් ක්‍රීඩකයින්ට දිගෑදී සිටීමට නොහැකි තරමට ප්‍රමාණයෙන් කොට බව දකුණු කොරියානු බාස්කට්බෝල් ප්‍රධානියා පවසනවා.
මේ ආසියානු ක්‍රීඩා උළෙලේ තිබෙන්නේ එදා මෙදා තුර නරකතම ඉඳුම් හිටුම් බව ද දකුණු කොරියානු නිලධාරීන් ප්‍රකාශ කරන්නේ බරපතල කාමර හිඟයක් ද පවතින බවට අනතුරු අඟවමින්. පිලිපීනයෙන් පැමිණි නිලධාරීන් Airbnb නමැති පළාතේ නවාතැන් සොයාගත හැකි මාර්ගගත වෙළඳ වේදිකාව වෙත යොමුව තිබෙනවා.
ක්‍රීඩක ගම්මානයක් වෙනුවට ලී කැබින් සහ කෲස් නැවක්

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන් කෙරුණු ක්‍රීඩක ගම්මානයක් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට නැහැ. ඒ වෙනුවට සංවිධායකයින් සංචාරක යාත්‍රාවක්, තාවකාලික ලී කැබින් හා හෝටල කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ වියදම් අඩු කිරීමේ අරමුණින්.
නගෝයා හා අයිචි නගරවල පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග නිල වශයෙන් විවෘත වන්නේ සෙනසුරාදා (අද) වුවත්, පාපන්දු හා බාස්කට්බෝල් තරග ඊට කලින් ආරම්භ වුණා.
මීටර් දෙකක් උස අපට මේවා හරිම අසාධාරණයි
කොරියානු බාස්කට්බෝල් සංගමයේ උපසභාපති Jung Jae-yong ජාත්‍යන්තර මාධ්‍යයට ප්‍රකාශයක් කරමින්, පිරිමි බාස්කට්බෝල් කණ්ඩායම නතර වී සිටින කැබින් පිළිබඳව තමා ඉතාමත් අසතුටට පත්ව සිටින බව කියා තිබෙනවා.

“මගේ පළපුරුද්දට අනුව, මේක තමයි වඩාත්ම නරක නැවතීමේ පහසුකම” යනුවෙන් ඔහු කියනවා.
“මීටර් දෙකකට වඩා උස ක්‍රීඩකයින්ට මේ ඇඳන් උඩ ඔවුන්ගේ කකුල් දිගහරින්න බැහැ. ඒක හරිම අසාධාරණයි.”
බාස්කට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන Byeon Jun-hyeong ඔහුගේ කැබින් කුටියේ තිබෙන ජලය කාන්දුවන සිංක් එක සහ හොඳටම තෙත්ව ඇති බිම පෙන්නුම් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පෝස්ට් කරමින්, “කරුණාකර අපට උදව් කරන්න” යනුවෙන් සටහන් කර තිබෙනවා.
සති දෙකකට වැඩි ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 2,000කට වැඩි දෙනෙකුට මේ කුටි ඔවුන්ගේ නිවාස බවට පත්වනවා.
ඉන්දියානු ක්‍රීඩා නිලධාරීන් මේ කැබින් ගැන කොතරම් කනස්සල්ලට පත්ව සිටිනවාද කිවතොත් ඔවුන් ඔවුන්ගේ ක්‍රීඩකයින්ට ඊට හුරුවීම සඳහා කරන උපකාරයක් වශයෙන් ඒවායේ ආකෘතින් පවා ඉදිකළා.
කාන්දු වන ජලය සහ අයහපත් කාලගුණයේ බලපෑම
දකුණු කොරියාවේ උවමනාවන්ට ප්‍රතිචාර දැක්වීමට අසමත් වූ බවට උපසභාපතිවරයා සංවිධායකයින්ට චෝදනා කරනවා.
“සංවිධායකයින් අපට තවමත් කිසිම දෙයක් කියලා නැහැ” ඔහු කියනවා.
“මේ ගැන ඉතාමත් සැලකිලිමත්ව සිටින අපි මීට කළ යුත්තේ කුමක්ද කියා කොරියානු ක්‍රීඩා හා ඔලිම්පික් කමිටුවෙන් නිතර විමසමින් ඉන්නවා.”
වාර්තාගත වර්ෂාපතනයක් පසුගිය සතියේ නගෝයා නගරයට පතිත වීම හේතුවෙන් සිය ගණන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන් නතර වී සිටි තැන්වලින් කෙටි කාලයකට ඉවත් කෙරුණා.
ඉදිරි දිනවල මීට වඩා වැඩි වර්ෂාවක් පිළිබඳව කාලගුණ අනාවැකි පළව තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







