leader s

1956 අන්ත පරාජයෙන් පසු ජේ.ආර්. පක්ෂය ගොඩනැගූ පාඩමෙන් නාමල් 2.57% උස්සන්න තනියම ගමට යද්දී, 32%ක් අතැති සජබය තවමත් සන්ධාන මුක්කු හොයන්නේ ඇයි?


සමසමාජය විකල්පය වෙද්දී ජේ.ආර්. එජාපය හැදුවේ සන්ධාන ගහලා නොවේ; විපක්ෂයේ සැබෑ බලවේගය වීමට නම් සජබය සහ එජාපය කළ යුත්තේ මුලින්ම තනි තනිව ගමට ගොස් ශක්තිමත් වීමයි.


‘1956 මැයි 03දා පටන් දින 10ක් නොකඩවා එක දිගට මම සිරිකොත මැඳුරට ගියෙමි. බොහෝ විට උදේ 10ට සිරිකොතට ළඟාවී ඇතැම් දිනවල පස්වරුව වනතෙක් එහි ගතකළෙමි…’
ජේ.ආර්.ගේ දිනපොත

යූ.ඇන්.පී.යට විපක්ෂ නායකකමත් අහිමි වූ 1956 මහ මැතිවරණයේ අන්ත පරාජයට පසු ජේ.ආර්. ඔහුගේ දිනපොතේ මේ සටහන දැම්මේ ඇයිද යන්න ජේ.ආර්.ගේ සමීපතම ගෝලයකු වූ පසු කලෙක ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමැතිවරයකුද වූ ආනන්ද තිස්ස ද අල්විස් ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයට විස්තර කළේ මෙසේය. ඔහු එකල යූ.ඇන්.පී. උපලේකම්වරයෙක් විය.

‘1956 පරාජයෙන් පසු පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ගරාවැටුණු අම්බලමක් මෙන් විය. දූවිල්ලෙන් වැසී ගිය පරණ ලිපිගොනු, පුවත්පත් කඩදාසි හා තැන් තැන්වල ගොඩගසා තිබූ කැඩුණු බිඳුණු පුටු මේසවලින් අසික්කිත වූ මුස්පේන්තු හොල්මන් මන්දිරයක් මෙන් පාළුවට ගිය සිරිකොතට ඉබාගාතේ යන මංමුළාවූ පාක්ෂිකයකු හෝ දෙදෙනකු ඉඳහිට ගොඩවූවත් පක්ෂයට යළි හිස ඔසවන්නට හැකි වෙතැයි ඇදහූ අය ඔවුන් අතර සිටියේ නැත…’

ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය
පිටුව – 482

Japan: September 12, 1979 TokyoPresident of Sliranka Junius Richard JAYAWARDENE at Japan National Press ClubPhoto by Kaku KuritaƒXƒŠƒ‰ƒ“ƒJ‘哝—Ì

 

පරාජයෙන් පසු ජේ.ආර්. හැමදාම ගියේ ආනන්ද තිස්ස ද අල්විස් කියන හොල්මන් මන්දිරයක් වූ මේ පක්ෂ කාර්යාලයටය.

‘ඉහළට ගිය ඔන්චිල්ලාව පහළටත් එනවා…’

මේ, ජේ.ආර්. සිය සගයන්ට නිතරම සිහිපත් කළ ආප්තෝපදේශයය.

‘1956දී එජාපයට ඡන්දදායකයන් 700,000ක් (29%ක්) ඡන්දය දුන් බව අමතක නොකර එම පදනම ශක්තිමත් කර ඵල නෙළාගැනීමට දැන් දැන්ම සංවිධානය වන ලෙස ඔහු උපදෙස් දුන්නේය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට නම් පක්ෂයට නව මුහුණුවරක් දී නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කර නව මුහුණුවලින් පක්ෂ නායකත්වය ශක්තිමත් කළ යුතු යැයිද ඔහු අවධාරණය කළේය…’
ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය
පිටුව – 483

‘එජාපය නව රජයට අභියෝගයක් විය හැකි එකම විකල්පය බවට පත්කිරීමට ජේ.ආර්. පත්කිරීමට ජේ.ආර්. තුළ වූ අභිප්‍රාය හැමෝගේම මවිතයට හා ප්‍රණාමයට හේතු විය…’

ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් මේ වචන ටික හරිම වැදගත්ය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ විකල්පය වූයේ යූ.ඇන්.පී.ය නොව ලංකා සම සමාජ පක්ෂයය. ඇන්.ඇම්. පෙරේරා විපක්ෂ නායක විය. ප්‍රධාන විපක්ෂය වූයේ ලංකා සම සමාජ පක්ෂයය. 1956 ඡන්දයෙන් ලංකා සම සමාජ පක්ෂය ආසන 14ක් ගත්තේය. යූ.ඇන්.පී.යට හිමිවූයේ ආසන 8කි. මේ වෙලාවේ ජේ.ආර්., බණ්ඩාරනායක පරද්දන්න ලංකා සම සමාජ පක්ෂය එක්ක එකතු වෙමු යැයි කීවේ නැත.


සමසමාජයට නොනැමුණු ජේ.ආර්.ගේ ‘ෆීනික්ස්’ උපාය"


ජේ.ආර්.ට ඕනෑ වුණේ බණ්ඩාරනායකට එරෙහි එකම විකල්පය ලංකා සම සමාජ පක්ෂය නොව යූ.ඇන්.පී.ය බව රටට පෙන්වන්නටය. ඒ සඳහා ජේ.ආර්. පක්ෂය මුළුමනින්ම වෙනස් කරලා පක්ෂයට අලුත් මුහුණු එකතු කරගෙන ගමින් ගමට ගොස් අළු මතින් නැගී සිටි ෆීනික්ස් පක්ෂියා සේ යූ.ඇන්.පී.ය නැගිට්ටුවේය.

 

FB IMG 1770707570366
‘අද නාමල් කරන්නෙත් ඒකමද..?’

නාමල් කරන්නේත් ඒකමය. ඔහු රනිල් පස්සේ ගියේත් නැත. ශ්‍රීලනිපය පසුපස ගියේත් නැත. ඔහු ජේ.ආර්. වගේ තනියම ගමක් ගමක් ගානේ ගොස් පක්ෂය සංවිධාන කළේය. ඔහු 2024 ජනාධිපතිවරණයේදී පක්ෂයේ ඡන්ද පදනම 69%ක සිට 2.57%කට වට්ටාගත් නායකයෙකි. 2024 මහ මැතිවරණයට තරග කළොත් පරාජය වෙයි යැයි බිය වූ ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේය.


2.57% උස්සන්න නාමල් තනියම ගමට යයි

‘2.57% වැඩි කරගන්න අපි යූ.ඇන්.පී.යට සෙට් වෙමු…’

‘මවු පක්ෂය ශ්‍රීලනිපය එක්ක සන්ධානගත වෙමු…’

‘ආණ්ඩුව පරාජය කරන්න ඔක්කොම එකතු කරගමු…’

නාමල් එහෙම කීවේ නැත. ඔහු තනියම පක්ෂයත් එක්ක 2.57% උස්සගන්න ගමින් ගමට ගියේය. රනිල් සංවිධානය කරපු නුගේගොඩ රැලිය ඔහු පොහොට්ටුව යටතට ගත්තේ අනෙක් පක්ෂ එක්ක එකතු වෙන්න කලින් පොහොට්ටුව යළි ලංකාවේ ලොකුම පක්ෂය බවට පත් කරගෙන එදා ජේ.ආර්. හිතුවා වගේ ආණ්ඩුවේ එකම අභියෝගය සහ විකල්පය බවට පත්වෙන්නටය.

 

808285861 1610207333804789 2801961882435062507 n

යූ.ඇන්.පී.යත් ශ්‍රීලනිපයත් ඒකාබද්ධ විපක්ෂයත් අනුරාධපුර රැලියට නාමල් ආරාධනා පත්‍ර එවන තෙක් තළු මර මර බලාගෙන සිටියත් නාමල් ඔවුන්ට ආරාධනා පත්‍ර යැව්වේ නැත්තේ ජේ.ආර්. හිතුවා වගේ පක්ෂයට නව මුහුණුවරක් දී පක්ෂයේ ඉදිරි පෙළට නව නායකයන් හඳුන්වා දී සමගි ජන බලවේගය අභිභවා පොදු ජන පෙරමුණ ලංකාවේ ප්‍රධානතම විපක්ෂය සහ ආණ්ඩුවේ එකම විකල්පය බවට පත් කරගන්නටය.

හැබැයි 2019දීත් 2024දීත් මෙරට ජනතාව තීරණය කළේ ආණ්ඩුවේ එකම විකල්පය විය යුත්තේ සමගි ජන බලවේගය කියාය. සජිත් විපක්ෂ නායක වුණේ ජනතාව දුන් තීන්දුවට අනුවය. නාමල් 2024 ජනාධිපතිවරණයේදී 2.57%ක් ගනිද්දී සජිත් 2024 ජනාධිපතිවරණයේදී 32%ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තේය.

"32%ක් අතේ තියාගෙන සජබය මුක්කු හොයන්නේ ඇයි?"

‘3%ක් ගත්ත නාමල් තනියෙන් නැගිටින්න දත කද්දී 32%ක් ගත්ත සජබය නැගිටින්න යූ.ඇන්.පී.යේ මුක්කු හොයන්නේ ඇයි…?’

පුදුම හිතෙන ප්‍රශ්නය ඕකය.

‘යූ.ඇන්.පී.ය එක්ක එකතු වෙන්න ඕනා…’

‘යූ.ඇන්.පී.ය එක්ක එකතු වුණේ නැත්නම් ආයෙත් පරදිනවා…’

‘අලියා ඕනා…’

මේ, සමගි ජන බලවේගයේ ඡන්ද දිනන මන්තරයය.

 

image e2e66a7076
"පෙරමුණු හදන්න කලින් පක්ෂය හදාගන්න!"

‘එතකොට යූ.ඇන්.පී.ය හෝ අනෙක් පක්ෂ එක්ක එකතු වෙන්න කලින් ජේ.ආර්. 29% වැඩි කරගන්න ගමින් ගමට ගියා සේ නාමල් 2.57% වැඩි කරගන්න ගමින් ගමට යනවා සේ ගමින් ගමට යායුතු නැද්ද…?’

යූ.ඇන්.පී.ය සමග සමගි ජන බලවේගය එක්විය යුතුය. ඒ ගැන විවාදයක් නැත. හැබැයි ඒ අවසාන පියවරය. පළමු පියවර විය යුත්තේ පක්ෂය නැගිට්ටවීමය. ඒක 2.57%න් පටන්ගන්නා නාමල්ට වගේ අමාරු වැඩක් නොවේ. ලෙහෙසි වැඩකි.

‘අපි 32% 40%ක් කරගන්න පක්ෂය ගමට ගෙන යන්නම්. යූ.ඇන්.පී.යත් පක්ෂයේ ඡන්ද පදනම හදාගන්න ගමින් ගමට යන්න. අපි තනි තනිව ශක්තිමත් වෙලා අවසානේ එකතු වෙමු…’

සමගි ජන බලවේගය යූ.ඇන්.පී.යට කියන්න ඕනා ඕකය. ජවිපෙ 3%ක ඡන්ද ප්‍රතිශතය 68% කරගත්තේ අනෙක් පක්ෂ එකතු කරගෙන නොවේ. ජවිපෙට එකතු වෙන්න ඩලස් අලහප්පෙරුමලා කැමැත්තෙන් සිටියේය. ඒත් ජවිපෙ ගේම ගැහුවේ තනිවමය. ඒ, මිනිස්සු අලුත් ආණ්ඩුවක් අලුත් ඇමැති මණ්ඩලයක් ඉල්ලපු නිසාය. වසර 30කට වඩා පැරැණි පොදුජන පෙරමුණු – ශ්‍රීලනිප ආණ්ඩුව 1994 දැක්ක මුහුණු සහිත ඇමැති මණ්ඩලය මිනිස්සු ප්‍රතික්ෂේප කළ නිසාය.

සමගි ජන බලවේගයට පරණ මුහුණු එක්ක අලුත් වෙන්න බැරිය. යූ.ඇන්.පී.යත් අලුත් විය යුතුය.

දිනන මන්තරය: තනියම නැගිටිමු - එකතු වී බලය ගමු

2019 පොදුජන පෙරමුණ ජප කළේත් මේ මන්තරයමය. පොදුජන පෙරමුණ හදද්දී මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරු පොදුජන පෙරමුණ සමග සන්ධාන ගහන්න ආවත් පොදුජන පෙරමුණ ඔවුන්ට ටටා බායි කීවේය. පක්ෂය හදලා ශක්තිමත් කරලා 2019 ජනාධිපතිවරණය ළං වෙනවිට ශ්‍රීලනිපයට සන්ධානගත වෙන්න ආරාධනා කළේය. සමගි ජන බලවේගයත්, යූ.ඇන්.පී.යත් දිනන්න ඕනෑ නම් ජප කරන්න ඕනෑ මන්තරය ඕකය.


(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews.lk

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්