සිංහල, දෙමළ සහ හින්දි ගීත සඳහා අය කිරීම්; නිර්මාණකරුවන්ගේ හිමිකම් වෙනුවෙන් නව රෙගුලාසි.
රුපියල් 20,000 සිට 125,000 දක්වා බලපත්‍ර ක්‍රමයක්; හෝටල් සහ සංචාරක අංශයෙන් සංවාදයක්.
ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ හිමිකම් සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස විවාහ මංගල උත්සව, සාද, සුපිරි වෙළඳසැල්, බැංකු සහ ආයතනික උත්සවවලදී ගීත වාදනය කිරීම වෙනුවෙන් විශේෂ බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කරමින් නව රෙගුලාසි මාලාවක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ ලියාපදිංචි ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් මෙම නියාමන ක්‍රමවේදය හඳුන්වා දී ඇත.
බලපත්‍ර ගාස්තු සහ ක්‍රියාත්මක වන ආකාරය
මෙම නව රෙගුලාසි යටතේ හෝටල් සහ උත්සව ශාලාවල පැවැත්වෙන සංගීතමය වැඩසටහන් සඳහා සහභාගී වන ජන සංඛ්‍යාව පදනම් කරගනිමින් රුපියල් 20,000 සිට 125,000 දක්වා වන ගාස්තු කාණ්ඩ යටතේ බලපත්‍ර ලබාගත යුතු බව දැනුම් දී තිබේ.
මූලික අදියරේදී මෙම බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සංගමය නියෝජනය කරන දේශීය සංගීත නිර්මාණ මෙන්ම, ඉන්දීය ප්‍රසාංගික හිමිකම් සංගමය (IPRS) හරහා නියෝජනය වන හින්දි සහ දෙමළ සංගීත නිර්මාණ සඳහා පමණි. සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය සංගීත නිර්මාණ පමණක් වාදනය කෙරෙන උත්සව සඳහා මෙම බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය නොවන බව සඳහන් වේ.
අදාළ බලපත්‍රය උත්සවය පැවැත්වීමට දින 14කට පෙර හෝටලය හෝ උත්සව සංවිධායකයන් විසින් ලබාගත යුතු අතර, උත්සවය අවසානයේ වාදනය කළ ගීත හඳුනාගත හැකි ශ්‍රව්‍ය පටිගත කිරීමක් (audio recording) සංගමය වෙත ලබා දිය යුතුය.
සංචාරක අංශයේ ප්‍රතිචාර සහ නිර්මාණකරුවන්ගේ ස්ථාවරය
මෙම පියවර සම්බන්ධයෙන් හෝටල් ක්ෂේත්‍රය ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර එල්ල වෙමින් පවතී. ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සභාපති අශෝක හෙට්ටිගොඩ පෙන්වා දෙන්නේ, මෙම අමතර බලපත්‍ර ගාස්තුව හෝටල් කර්මාන්තය මත මූල්‍ය පීඩනයක් ඇති කරන අතර එය සංචාරක ක්ෂේත්‍රයටද බලපෑම් එල්ල කළ හැකි බවයි. එමෙන්ම සංචාරකයන් මෙරට සංස්කෘතික අත්දැකීම් විඳගැනීමට පැමිණෙන පසුබිමක මෙවැනි බරපතළ බාධාවන් හේතුවෙන් හෝටල් තුළ දේශීය සංගීතය වාදනය කිරීම සීමා වීමේ අවදානමක් පවතින බව පවසන ඔහු , මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
කෙසේ වෙතත්, සාම්ප්‍රදායිකව ගීතයක් ජනප්‍රිය වීමේදී ගායකයාට වැඩි අවධානයක් සහ වටිනාකමක් හිමි වුවද, එහි සැබෑ හිමිකරුවන් වන ගී පද රචකයන් සහ සංගීත නිර්මාණකරුවන් නිරන්තරයෙන් අමතක වීමකට ලක්වන බව ACPOSL සභාපති නිලාර් එන්. කාසිම් පවසයි. වාණිජමය මට්ටමින් සංගීතය භාවිත කරන සෑම අවස්ථාවකදීම එම නිර්මාණකරුවන්ට සාධාරණ කර්තෘභාග (Royalties) සහ නිසි ඇගයීම හිමිකර දීම මෙම නියාමනයේ මූලික අරමුණ බව ඔහු අවධාරණය කරයි.
වාණිජ සහ ප්‍රවාහන සේවා සඳහා වාර්ෂික ගාස්තු
මංගල සාදවලට අමතරව සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල්, බැංකු, මූල්‍ය ආයතන, ප්‍රදර්ශනාගාර, සාප්පු සංකීර්ණ සහ සිනමා ශාලා වැනි වාණිජ ස්ථාන සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කෙරේ. එම ගාස්තුව අදාළ ස්ථානයේ වර්ග ප්‍රමාණය සහ එය පිහිටි පළාත් පාලන ආයතන බලප්‍රදේශය (මහා නගර සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා) අනුව වෙනස් වේ. මීට අමතරව මගී බස් රථ, සංචාරක ප්‍රවාහන රථ සහ මගී දුම්රිය සඳහාද මෙම නියාමනය අදාළ කර ගැනීමට නියමිතය.
වැඩිදුර කියවීම සඳහා මුලාශ්‍රය:
Sunday Times - Music licence strikes sour note at weddings and parties







