The Leader News
BREAKING
කාසල්රී ජලාශය කැළිකසළින් පිරී ධීවර හා සංචාරක කර්මාන්ත අර්බුදයක●කොළඹදී ඇමරිකානු මැරීන් බළකායේ 251 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි●යුද අනාථයන් දහස් ගණනකට තවමත් උන්හිටි තැන් නැති බව ජනපති හෙළිකරයි● හරිත සංක්‍රාන්තියට හරිම පාර කොතැනද?●පනාමුරේ කතාව (20 කොටස) : දිසාවේ ගේ අවසන් ගමන | ඉන්දු පෙරේරා●හිමි කරගත නොහැකි ප්‍රේමයක් පිළිබඳ කතාවක් පමණක් නොවන ‘මැයි මාර ප්‍රසංගය’●පාර්ලිමේන්තුව යනු ජනතාවට 'කොකා පෙන්වන' තැනක් නොවිය යුතුය●ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය - 2027; අවසන් දිනය දෙසැම්බර් 15●අමෙරිකානු ආරක්ෂක සබඳතා හමුවේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අභියෝගයක්ද?●සිනමා ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ වටිනාකම මත අය කළ වැට් බද්ද ඉවත් කරයි●
Top Ad
විශේෂාංග

හරිත සංක්‍රාන්තියට හරිම පාර කොතැනද?

Awara

Awara

November 19, 2026 • 6:10 PM

 හරිත සංක්‍රාන්තියට හරිම පාර කොතැනද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හරිත සංක්‍රාන්තිය, පසුගිය දශකයේ වඩා කතාබහට ලක්වූ ජනවහරට නුහුරු මේ යෙදුම පෘථිවි ගෝලයේ අනාගත පැවැත්ම තීරණය කරන්නක්.
  • දැනුවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉහළ යන ගෝලීය උණුසුම අනතුරුදායක දේශගුණ විපර්යකාරකයක් ලෙස මානව හා වගකීමෙන් නිදහස් කළ යුතු අහිංසක සත්ත්ව ජීවිතවලද සමස්ත පෘථිවි ගෝලයේද අනාගත පැවැත්ම තීරණය කරමින් තිබේ.
  • මානව වර්ගයා ඇතුළු ජීව පද්ධතියේද, පෘථිවියේද මරණ සහතිකය ලියා ගැනීම පමා කරන්නට නම් ගෝලීය උණුසුම ඉහළ යාමට හා අහිතකර දේශගුණ විපර්යාසවලට හේතුවන ක්‍රියාකාරකම් ක්‍රමිකව අතහරිමින් පූර්ණ නැවතුමක් සඳහා යොමු වීම අනිවාර්ය වී තිබේ.
  • පරිසර විශේෂඥයින්ට අනුව දැන් මිනිසා හමුවේ ඇත්තේ විනාශය සඳහා යොමුවීමට නියමිත කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

හරිත සංක්‍රාන්තිය, පසුගිය දශකයේ වඩා කතාබහට ලක්වූ ජනවහරට නුහුරු මේ යෙදුම පෘථිවි ගෝලයේ අනාගත පැවැත්ම තීරණය කරන්නක්.

දැනුවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉහළ යන ගෝලීය උණුසුම අනතුරුදායක දේශගුණ විපර්යකාරකයක් ලෙස මානව හා වගකීමෙන් නිදහස් කළ යුතු අහිංසක සත්ත්ව ජීවිතවලද සමස්ත පෘථිවි ගෝලයේද අනාගත පැවැත්ම තීරණය කරමින් තිබේ. මානව වර්ගයා ඇතුළු ජීව පද්ධතියේද, පෘථිවියේද මරණ සහතිකය ලියා ගැනීම පමා කරන්නට නම් ගෝලීය උණුසුම ඉහළ යාමට හා අහිතකර දේශගුණ විපර්යාසවලට හේතුවන ක්‍රියාකාරකම් ක්‍රමිකව අතහරිමින් පූර්ණ නැවතුමක් සඳහා යොමු වීම අනිවාර්ය වී තිබේ. පරිසර විශේෂඥයින්ට අනුව දැන් මිනිසා හමුවේ ඇත්තේ විනාශය සඳහා යොමුවීමට නියමිත කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ඔවුන්ට අනුව දුක්ඛදායක අවසානයක් කරා එළඹීමට නියමිත කාලය පමා කර ගැනීම උදෙසා, මිනිසා හමුවෙහි ඇති කොළ එළි දැල්විය හැකි එකම විකල්පය හරිත සංක්‍රාන්තිය පමණි.

හරිත සංක්‍රාන්තිය යනු කුමක්ද?


හරිත සංක්‍රාන්තිය යන්නෙහි අර්ථය ලෝකය පාරිසරික වශයෙන් තිරසර පුනර්ජනනීය හෙවත් හරිත බලශක්තිය මත යැපෙන ආර්ථික හා සමාජ ක්‍රමයකට පරිවර්තනය වීමයි. මෙහි කියැවෙන වැදගත්ම නිර්ණායකය පුනර්ජනනීය හෙවත් හරිත බලශක්තියයි. අවසන් අරමුණ ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කරගනිමින් දේශගුණ විපර්යාස අවම කරගැනීමයි.

මිනිසා දේශගුණ විපර්යාස අවම කරගත යුතු වන්නේ ඇයිද යන්න මෙහිදී විමසිලිමත් විය යුතු වැදගත් ප්‍රශ්නයකි. දේශගුණ විපර්යාස පිළිබඳ විචාරාත්මක කෘතියක් සම්පාදනය කරන ටිම් ෆ්ලැනරි සිය කෘතිය නම් කරන්නේම “දේශගුණය අපේ නිමැවුමකි” (සිංහල පරිවර්තනය - විජයානන්ද ජයවීර) යනුවෙනි. උත්තරය ඇත්තේ එතැනය. දේශගුණ විපර්යාසවලට මිනිසා වගකිව යුතු නම් ඒවා අවම කරගැනීම කෙරෙහිද ඔහු දායක විය යුතුය. මිනිසා එසේ කළ යුතු වන්නේ ඇයි? ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කරගනිමින් දේශගුණ විපර්යාස අවම කිරීම සහ පෘථිවි සම්පත් අනාගත පරපුර සඳහා ආරක්ෂා කිරීම වෙනුවෙන්ද ඔහු එය කළ යුතුය.

හරිත සංක්‍රාන්තියට යන හරිම පාර කුමක්ද?

හරිත සංක්‍රාන්ති සංකල්පයෙහි වැදගත්ම අංගය හරිත බලශක්තියයි. දේශගුණ විපර්යාසවලටද ප්‍රධාන වශයෙන් හේතුවන ගෝලීය උණුසුම ඉහළ යාමට බලපාන මූලික කාරණය කාබන් විමෝචනය ඇතුළු හරිතාගාර වායු පරිසරයට බැහැර වීමයි. රථවාහන ධාවනය, විදුලිබල උත්පාදනය ඇතුළු කාර්යයන් රැසකට අවශ්‍ය බලශක්තිය සපයා ගැනීමේදී මෙලෙස කාබන් ආශ්‍රිත වායු සහ අනෙකුත් හරිතාගාර වායු විශාල වශයෙන් විමෝචනය වේ.

එමනිසා ගල්අඟුරු, පෙට්‍රෝලියම් ද්‍රව හා වායු ඉන්ධන දහනයෙන් බලශක්තිය උපයාගැනීම ක්‍රමයෙන් අත්හැරීමට මිනිසා යොමුවිය යුතුය. එහිලා මිනිස් වර්ගයා හමුවේ ඇති විකල්පය ෆොසිල ඉන්ධන දැවීමෙන් බලශක්තිය නිපදවා ගැනීම වෙනුවට ජලවිදුලිය, හිරු බලය, සුළං බලය ආදියෙන් බලශක්තිය සම්පාදනය කරගැනීමට යොමුවීමයි. නැවත නැවතත් උත්පාදනය කළ හැකි හෙවත් පුනර්ජනනීය බලශක්තිය ලෙස හැඳින්වෙන එය හරිත බලශක්තිය ලෙස හඳුන්වන්නේ එමඟින් කාබන්මය හෝ අනෙකුත් හරිතාගාර වායු විමෝචනයක් සිදු නොවන නිසාය.

කිසියම් රටක් හරිත සංක්‍රාන්තියට පිවිසීම සඳහා හරිත බලශක්ති භාවිතයට යොමුවීම යනු පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට යොමුවීම පමණක්ම නොවේ. රථවාහන ධාවනයේදී පවා ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වීම හෝ අවම කිරීම හෝ පවා එහි අනිවාර්ය අංගයකි. විදුලි බලයෙන් ධාවනය වන රථවාහන භාවිතය ගැන පවා මෙහිදී කියැවෙන්නේ එබැවිනි.

ව්‍යාජ හරිත බලශක්තිකරණය සහ පාරිසරික අවදානම

එහෙත් හරිත සංක්‍රමණය ඉලක්ක කරගනිමින් සිදුවන හරිත බලශක්ති පරිවර්තන ක්‍රියාවලියකදී වුව සලකා බැලිය යුතු කරුණු ගණනාවක් තිබේ. සැබැවින්ම ඕනෑම රටකට මුහුණදීමට සිදුවන අභියෝගය වන්නේද ව්‍යාජ හරිත බලශක්තිකරණයෙන් මිදී පරිවර්තන ක්‍රියාවලියකට මුහුණදීමයි.

විමුක්ති ද සිල්වා

පරිසරවේදිනියක සහ සමාජ ක්‍රියාකාරිණියක වන විමුක්ති ද සිල්වා දකින්නේ ෆොසිල ඉන්ධන භාවිතයෙන් මිදී හරිත බලශක්තිය වෙත යොමුවීමේ ක්‍රියාවලිය පවා නිසි කළමනාකරණයක් නොමැතිව සිදුවන්නේ නම් එමඟින් උද්ගත වනු ඇත්තේ තවත් “පාරිසරික වින්නැහියක්” බවයි. ඇය පවසන අන්දමට, හානි තක්සේරුවකදී ෆොසිල ඉන්ධන භාවිතයේදී අත්විඳින පරිසර හානිවලට වඩා හරිත බලශක්තිය වෙත යොමුවීමෙන් උද්ගත වන පාරිසරික බලපෑම් ඉහළ නම් ඉන් අත්වන සුගතියක් නැත. කෙසේවුවද මේ සම්බන්ධයෙන් පුළුල් ප්‍රක්ෂේපණයකට පෙර ලංකාවේ බලශක්ති අවශ්‍යතාව, භාවිතය සහ බලශක්ති ජනනයේ ස්වභාවය අවබෝධ කර ගත යුතුය.

ලංකාවේ ඉන්ධන පරිභෝජනය සහ කාබන් විමෝචනය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, බලශක්ති අමාත්‍යාංශය සහ මහ බැංකුවේ දත්තවලට අනුව මෙරට දෛනික ඉන්ධන පරිභෝජනය ආසන්න වශයෙන් ඩීසල් ලීටර් මිලියන 5.5ක්, පෙට්‍රල් ලීටර් මිලියන 3.8ක්, භූමිතෙල් ලීටර් ලක්ෂ හතරක්, ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් සහ දැවිතෙල් ලීටර් මිලියන 2.5ක් වශයෙනි. ඉන් ගුවන් යානා ඉන්ධන හැර සෙසු ඉන්ධන භාවිත වන්නේ, රට තුළ ප්‍රවාහනය, ධීවර සහ වෙනත් කර්මාන්ත මෙන්ම විදුලි බලය උත්පාදනය සඳහාය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය මණ්ඩලයේ දත්ත අනුව මෙම ඉන්ධන දහනයෙන් දිනකට කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් 31,000ක් අවම වශයෙන් ජනනය වේ. එහි වාර්ෂික අගය මෙට්‍රික් ටොන් මිලියන 11 ඉක්මවා යයි. ඊට අමතරව මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ කළු පැහැති කාබන් අංශුද පරිසරයට මුදා හැරේ. මේ සියල්ල සෘජුව හෝ වක්‍රව හරිතාගාර ආචරණයට හේතුවන අතර වායුගෝලයේ ඉහළ වියනක් සේ රැඳී තිබෙමින් පොළොව මත පතිත වන හිරු තාපය අභ්‍යවකාශයට මුදාහැරීම වළක්වයි. ගෝලීය උණුසුම ඉහළ යාමට බලපාන ප්‍රබලම හේතුවද එයයි.

ගල්අඟුරු බලාගාරය සහ දර ලිප්වල බලපෑම


මෙම සංඛ්‍යාත්මක දත්තවලට විදුලිය නිපදවීම සඳහා දහනය කරනු ලබන ගල්අඟුරුවලින් පිටවන කාබන් ප්‍රමාණයද එකතු කළ යුතුය. නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙහි මෙගවොට් 300 බැගින් විදුලිය උත්පාදනය කරනු ලබන ඒකක තුනක් තිබේ. ඉන් දිනකට මුදාහැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පමණක් මෙට්‍රික් ටොන් 16,000 ඉක්මවයි. එහි වාර්ෂික අගය මෙට්‍රික් ටොන් මිලියන 5.5කි. සෙසු වායූන්, පාවෙන අළු, බැරලෝහ සහ රසදිය වාෂ්ප මීට අමතරවය.

මෙහිදී විමසා බැලිය යුතු සිත්ගන්නාසුලු තවත් කරුණක් තිබේ. ඒ ආහාර පිසීම නිසා භාවිත කරන දර ලිප්වලින් කාබනික හරිතාගාර වායු විමෝචනය වන්නේද යන්නයි. දර කාබන් චක්‍රයේ කොටසක් බැවින් ඒවා දැවීමෙන් පිටවන වායු හරිතාගාර ආචරණයට හේතුවන වායු ලෙස පොදුවේ පිළිනොගැනුණද ලංකාවේ ලිප්වල කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලුවක් ඇති බැවින් ඒ ගැනද සැලකිලිමත් විය යුතු බව විශේෂඥ මතයයි. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ආසන්න වශයෙන් දිනකට කාබන් ඩයොක්සයිඩ් ටොන් 13,000ක් පමණ (මෙට්‍රික් ටොන් මිලියන ගණනක වාර්ෂික අගයක් සහිතව) ජනනය වේ. මෙරට ගෘහස්ථ උදුන්වල දර දහන කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන්නේ නම් එම ප්‍රමාණය අඩු කර ගත හැකි වේ. කෙසේවුවද ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති යොමුවීම සාකච්ඡාවට ලක් කළ යුතු වන්නේ උක්ත සියලු දත්ත පසුබිමෙහි තිබියදීය.

හරිත බලශක්ති ප්‍රවේශය සහ පැරිස් ගිවිසුම

පැරිස් ගිවිසුම යනු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වළක්වා ගැනීමේ අරමුණ ඇතිව ලෝකයේ රටවල් 2015 වසරේදී එළඹි එකඟතාවකි. ශ්‍රී ලංකාවද ඒ සඳහා එකඟ වෙමින් ජාතික වශයෙන් නිර්ණය කළ එකඟතා කිහිපයක් ඉටු කරන බවට ප්‍රතිඥා දී ඇත. ඒ අතර ප්‍රමුඛ එකඟතා වන්නේ හරිත බලශක්ති උත්පාදනය වෙත යොමුවීම තහවුරු කරන ඒවායි.

2030 වර්ෂය වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය හෙවත් සූර්ය, සුළං, ජල විදුලි සහ ජෛව ස්කන්ධ බල උත්පාදනවලින් සපුරා ගැනීම පළමු ඉලක්කයයි. ඒ අනුව 2050 වසර වන විට කාබන් විමෝචනය ශුන්‍ය මට්ටමට ගෙන ඒමට අපේක්ෂා කෙරේ. එසේම විදුලි බලය උත්පාදනය පිණිස නව ගල්අඟුරු බලාගාර ඉදි නොකිරීමටද ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

2030 සහ 2050 විදුලි ඉල්ලුම පිළිබඳ පුරෝකථන

ශ්‍රී ලංකාව මෙකී එකඟතාවලට එළඹීම දේශීය මෙන්ම ගෝලීය වශයෙන්ද ඉතාමත් වැදගත් බවට විවාදයක් නැත. එහෙත් දැනටමත් ජලවිදුලි නිෂ්පාදනය උපරිමයට එළඹ තිබෙන සහ න්‍යෂ්ටික බලය පිළිබඳ සිහිනයක් පමණක් ඇති ජාතියක් ලෙස ලංකාව මේ එකඟතාවන්ට එළඹෙනුයේ වාර්ෂිකව වැඩිවන විදුලි ඉල්ලුමක්ද සමඟය. ඉදිරියේදී මෙරට ප්‍රවාහන පද්ධතියද විදුලි වාහන වෙත නැඹුරු වුවහොත් විදුලි ඉල්ලුම තවදුරටත් ඉහළ යා හැකිය.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර

පැරිස් ගිවිසුමට අනුව දී ඇති ප්‍රතිඥාවන්ට අදාළ ඉලක්ක වර්ෂවල විදුලි ඉල්ලුම පිළිබඳ පුරෝකථන විමසා බලමු. ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලැස්ම, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මූලාශ්‍ර මෙන්ම සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර පෙන්වා දෙන පරිදි මෙරට විදුලි ඉල්ලුම වාර්ෂිකව ඉහළ යයි. 2026 වසර හෙවත් අද වන විට මෙරට වාර්ෂික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 17,000ක් පමණ වේ. උපරිම ඉල්ලුම ඇති විට දෛනිකව මෙගවොට් 3,000කට ආසන්න ජනනයක් අවශ්‍ය වේ.

පුරෝකථනයට අනුව 2030 වන විට වාර්ෂික ඉල්ලුම ගිගාවොට් පැය 24,000 ඉක්මවන අතර නිෂ්පාදනය මෙගවොට් 4,100ක් වුවමනාය. 2050 වන විට මෙම අගයන් පිළිවෙළින් ගිගාවොට් පැය 55,000+ සහ මෙගවොට් 9,500 දක්වා ඉහළ යනු ඇත. එසේ නම් පැරිස් ගිවිසුමේ ප්‍රතිඥා ඉටු කරන අතර මෙම ඉලක්ක සපුරා ගැනීම අභියෝගයක් නොවන්නේද? සැබෑ කැපවීමක් හා අවංකබව පිළිබිඹු නොකරන්නේ නම් පැරිස් ගිවිසුමෙන් විතැන් වීමට මෙන්ම අනාගත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන්නේද? කිසිසේත් අමතක නොකළ යුතු වන්නේ ක්‍රමයෙන් ප්‍රවාහන අංශය විද්‍යුත්කරණය කරමින් 2050 වන විට කාබන් විමෝචනය ශූන්‍ය තත්ත්වයකට ගෙන ඒමට ලංකාව අපේක්ෂා කිරීමයි.

න්‍යෂ්ටික බලශක්ති සිහිනය සහ ආර්ථික බාධක

පරමාණුක බලශක්ති ඒජන්සියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විද්‍යාඥ නාලක ප්‍රියංග රත්නායක

ලංකාව සතුව ඇත්තේ මොනවාද? පැහැදිලිය. දැන් ශ්‍රී ලංකාව සතුව ජලවිදුලිය නිපදවීමට සෑහෙන මූලාශ්‍ර තවදුරටත් නැත. ගෝලීය දේශපාලන දුබලයෙකු වන ලංකාවට න්‍යෂ්ටික බල උත්පාදනයද තවමත් සිහිනයකි. ශ්‍රී ලංකාවේ ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විද්‍යාඥ නාලක ප්‍රියංග රත්නායක පෙන්වා දෙන්නේ භූ දේශපාලනයට වඩා ආර්ථික දුබලතා ශ්‍රී ලංකාවට පරමාණුක බලය කැඳවා ගැනීම පමා කරන බවයි.

එහෙත් ඔහු පවසන අන්දමට ප්‍රංශය, රුසියාව, ජපානය සහ ඉන්දියාව යන රටවල් සාමකාමී විදුලි බල උත්පාදනය සඳහා ලංකාවට සහාය දීමේ අභිලාෂය දක්වා තිබේ. කුඩා පරිමාණ මොඩියුලර් ප්‍රතික්‍රියාකාරකයක් ස්ථාපිත කොට අවම වශයෙන් මෙගාවොට් 300ක විදුලිබලයක් නිපදවීම 2032 වසරේ ලංකාවට ඇති ඉලක්කයක් බව ඔහු පවසයි. එහෙත් ලංකා රජය ඒ සඳහා සූදානම්ද යන්න මීළඟට මතුවන බරපතළ ගැටලුවයි. පරමාණුක බලශක්ති උත්පාදනය ගැන එළිපිට කතා ආණ්ඩුව පාර්ශ්වයෙන් ඇසෙන්නේ නැත. ආසන්න අයවැයකදී හෝ න්‍යෂ්ටික බලාගාරයක් සඳහා ප්‍රතිපාදන වෙන් වූ බවක් දිස්වන්නේද නැත.


රජයේ ස්ථාවරය සහ භූ දේශපාලන යථාර්ථය

පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර

එහෙත් ආණ්ඩුවේ නියෝජිතයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර පවසන්නේ සිය කණ්ඩායමට බලශක්තිය පිළිබඳ සුපැහැදිලි දැක්මක් ඇති අතර න්‍යෂ්ටික බලය නිපදවීම ගැනද අනාගත සැලසුමක් තිබෙන බවයි. බලශක්තිය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ සහ යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයා පවසන්නේ දැනට ආණ්ඩුවේ අරමුණ වී ඇත්තේ මුහුණ දෙන විදුලි අර්බුදයෙන් මිදීම සඳහා කෙටි කාලීන විසඳුම් වෙත යොමුවීම බවයි. දෛනිකව හිරු එළියෙන් නිපදවන බලය පවා පද්ධතිය බිඳ නොවැටී බෙදාහැරීම අභියෝගයකි. රාත්‍රී කාලයේ භාවිතයට එම බලය ගබඩා කරගැනීමද එලෙසමය. එබැවින් මේ මොහොතේ මුහුණ දෙන ගැටලු විසඳා ගනිමින් අනාගත සැලසුම් සකස් කරන බව ඔහු පවසයි. එසේම භූ දේශපාලන බාධා නොමැති නමුත් ආර්ථික ස්ථාවර බව න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ස්ථාපිත කිරීම සඳහා දැඩිව බලපානු ඇතැයි යන්න ඔහුද පිළිගනියි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමාජ විද්‍යාඥවරියක වන විනීශියා මුණසිංහ වෙනස් අදහස් දැක්වීමක් කළාය. ඇය පැවසූයේ දැනට නැතැයි කීවද න්‍යෂ්ටික බල උත්පාදන ව්‍යාපෘතියකදී භූ දේශපාලන බලපෑම් පිළිබඳ යථාර්ථය ලංකාව අනිවාර්යයෙන් වටහා ගත යුතු බවයි. ඉන්දු-චීන පසමිතුරු ආකල්ප මැද ලංකාව දෙරටේම හොඳ හිත ආරක්ෂා කරගත යුතුය. අපට උපකාර ගන්නට සිදුවන්නේ ඉන්දියාවද කැමති රටකිනි. රුසියානු උපකාර යුරෝ-ඇමරිකානු කලාපයේ හොඳහිත පළුදු නොකළ යුතුය. එසේම රට තුළ ජනතා ආකල්ප කළමනාකරණයද අභියෝගයකි. න්‍යෂ්ටික ශක්තිය ගැන ඇති බිය සහ මිථ්‍යාවන් පෙරට ගෙන ඒමට ඇතැම් පිරිස් කටයුතු කරන්නට ඉඩ තිබෙන බවද ඇය පෙන්වා දෙයි.

සමාජ විද්‍යාඥවරියක වන විනීශියා මුණසිංහ

එසේ නම් මේ මොහොතේ ඉතිරිව ඇති වඩා හොඳ කෙටිකාලීන විකල්ප මොනවාද? ඉංජිනේරුවරයෙකුද වන පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාරට අනුව ජෛව ස්කන්ධ භාවිතයෙන් ඉලක්ක සපුරා ගැනීමට නොහැකිය. අප සතුව ඇති වඩා තිරසර හරිත බලශක්ති මාවත වන්නේ සූර්ය බලය සහ සුළං බලය බව ඔහු පවසයි. සූර්ය බලයෙන් නිපදවන විදුලිය ගබඩා කිරීමට බැටරි ඒකක පිහිටුවීම, පාවෙන සූර්ය බලාගාර තැනීම වැනි කාර්යයන් සඳහා ආණ්ඩුව කැප වී ඇත්තේ ඒ හේතුවෙන් බව ඔහු පවසයි.

සුළං සහ සූර්ය ව්‍යාපෘතිවල විනිවිදභාවය පිළිබඳ විවේචන

සූර්ය විදුලි බලය නිෂ්පාදනය සඳහා සහ සුළං බල උත්පාදනය සඳහා වන ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිශ්චිත සහ පැහැදිලිද? මේ වැදගත් ප්‍රශ්නය ආණ්ඩුවෙන් ඇසිය යුතු බව පවසන්නේ පරිසරවේදිනී විමුක්ති ද සිල්වාය.

ඉන්දියාවේ අදානි සමූහය මන්නාරම සහ පුනරීන් ආශ්‍රිතව මෙගවොට් 484ක සුළං බල උත්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට එකඟ වූවත් පසුව ඉන් ඉවත් විය.

විමුක්ති ද සිල්වා පවසන්නේ ඒ සඳහා මෙරට ආණ්ඩුව පාරදෘශ්‍ය නොවන ප්‍රවේශයක් ගත් බවය. අදානි සමූහයෙන් ලංකාව විදුලි ඒකකයක් අධික මිලකට ලබාගන්නට සූදානම් වීම ගැටලුවක් බව ඇය පෙන්වා දෙයි. එසේම මෙවැනි කටයුත්තකදී කළ යුතු ටෙන්ඩර් කැඳවීමෙන් බැහැරව ක්‍රියාකිරීම සදාචාර විරෝධී බව ඇගේ අදහසයි. එසේම ඇය තර්ක කරන්නේ එක් සුළං බල ජනන යන්ත්‍රයකට අක්කර පහක පමණ භූමිය යෙදවෙන බවයි. එසේම පර්යටන පක්ෂීන්ට හා සමුද්‍ර ජීවීන්ට එල්ලවන ගැටලු පාරිසරික වශයෙන් බරපතළ බව ඇගේ අදහසයි. මෙහිදී මන්නාරමේ ධීවර ජනයාටද බලපෑම් ඇතිවිය හැකි බව විමුක්ති ද සිල්වා පවසයි.

අනෙක් බලශක්ති විකල්පය වන සූර්ය බල උත්පාදනය පිළිබඳවද විමුක්තිට ඇත්තේ දැඩි විවේචනයකි. ඇය පවසන්නේ ආණ්ඩුව වනාන්තර අක්කර සිය ගණන් හෙළි කරමින් සහ ගොවීන්ගේ භූමිය අහිමි කරමින් සූර්ය බල උත්පාදන ව්‍යාපෘති දියත් කරන අතර පාවෙන බලාගාර මිරිදිය ධීවරයින්ටද බලපෑම් එල්ල කරන බවයි. විමුක්ති පවසන්නේ ආණ්ඩුව මහා පරිමාණ සූර්ය බලාගාර දිරිගන්වමින් නිවෙස් මත විදුලිය නිපදවන සාමාන්‍ය ජනයා නොසලකා හරින බවයි. එය අධිකාරිවාදයට පාර කපන මෙන්ම සාධාරණ සංක්‍රාන්තිය අවහිර කරන ක්‍රියාවක් බව ඇගේ මතයයි.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පිළිතුර සහ සුළං විභවය

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ලංකාවේ වගකීම දරන ආයතනය සුනිත්‍ය බලශක්ති අධිකාරියයි. මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර එහි සභාපතිවරයාය. ලංකාව 2030 වසර වන විට බලශක්ති උත්පාදනයෙන් සියයට 70 දක්වා පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවීම වෙත යොමුකිරීමේ ඉලක්කය අසීරු නොවන බව ඔහු පවසයි. ඔහුට අනුව දැනටමත් එම ඉලක්කයට ආසන්න වී ඇත. එහෙත් අප කාබන් සීරෝ ප්‍රතිඥාව ඉටු කරන්නටද වග බලා ගත යුතු බව ඔහු පවසයි.

එහිදී ඇතැම් ස්ථාවර තීන්දු තීරණ ගන්නට සිදු වේ. මහා පරිමාණ ව්‍යාපෘතිවලට යොමුවන්නට සිදුවන්නේද ඒ අනුවය. මහාචාර්යවරයා පවසන්නේ ජාතික පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කරගනිමින් සහ දහවල නිපදවන විදුලිය ගබඩා කරගනිමින් සූර්ය බලය කළමනාකරණය කරගන්නට සිදුවන බවයි. එසේම රජයකට පාරිභෝගිකයා ගැනද සිතන්නට සිදුවන නිසා වහළ මත නිපදවන විදුලි ඒකකයකට ගෙවන මිල අඩු කරන්නට සිදු වූ බව ඔහු පවසයි. ආණ්ඩුව සූර්ය බල නිෂ්පාදනය සඳහා යොදාගන්නා අක්කර සිය ගණන්වල ඉඩම් වනාන්තර හෝ වගාබිම් ය යන මතය බැහැර කරන ඔහු පවසන්නේ පාවෙන බලාගාර මත්ස්‍ය ගහනය ඉහළ යාමට සහ වාෂ්පීකරණය අඩුවීමට හේතුවන නිසා ධීවරයින්ට තර්ජනයක් නොව උපකාරයක් බවයි.

ලංකාවට ඉදිරි විදුලි ඉල්ලුම සපුරා ගන්නට නම් අනිවාර්යයෙන්ම සුළං බලයටද යොමු වීමට සිදු වේ. ඔහුට අනුව දැනට ලංකාව සුළං ආශ්‍රිතව නිපදවන්නේ ගිගාවොට් දශම පහක විදුලි බලයකි. ඒ සඳහා මෙරට විභවය ගිගාවොට් 100කට අධිකය. ලෝක බැංකු අධ්‍යයනයකට අනුව ගොඩබිම ගිගාවොට් 24ක්, වෙරළ ආශ්‍රිතව ගිගාවොට් 26ක්, ලංකාවට අනන්‍ය ගැඹුරු මුහුදේ ගිගාවොට් 29ක් පමණ සුළං විදුලිබලය ජනනය කළ හැකි විභවයක් තිබේ. වැඩිවන ඉල්ලුම අනුව සහ අනාගතයේ ෆොසිල ඉන්ධන දහනය අවම කරගන්නට නම් මේ සම්පතද භාවිත කළ යුතුය.

කෙසේවෙතත් සූර්ය බල නිෂ්පාදනය ක්‍රමානුකූලව ඉහළ නංවා ගනිමින් ඉල්ලුම සපුරා ගතහොත් සහ අනාගතයේදී න්‍යෂ්ටික බලයද නිපදවා ගන්නේ නම් පරිසරයට හානි සිදු කරමින් සුළං බලය නිපදවීම ගැන නැවත සිතා බැලිය හැකි බව මහාචාර්යවරයා පවසයි. එසේම වැදගත් තවත් කරුණක් වන්නේ වඩා අඩු හානිය තෝරා ගනිමින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අඩු කර ගැනීම සහ මිනිසා විසින් නිර්මාණය කරන දේශගුණ විපර්යාස වළක්වා ගැනීම බව ඔහු පෙන්වා දෙයි. ආණ්ඩුව පුනර්ජනනීය බල උත්පාදනය මෙගවොට් එකකට වඩා ඉහළ නිෂ්පාදන සඳහා අවශ්‍ය දෑවලට බදු සහන පවා ලබාදෙන්නේ එහෙයින් බව ඔහු පවසයි.

හම්බන්තොට තෙල් පිරිපහදුව සහ ගජමිතුරු චෝදනා

එහෙත් ඒ අතර ශ්‍රී ලංකා රජය හම්බන්තොට තෙල් පිරිපහදුවක් සහ ඛනිජ තෙල් ආශ්‍රිත වෙනත් ව්‍යාපෘති ගැන ඇතැම් අවස්ථාවල උදම් අනන්නේ ඇයි? සුනිත්‍ය බලශක්ති අධිකාරියෙහි සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර පවසන්නේ හම්බන්තොට තෙල් පිරිපහදුව ගැන කතාව මේ වන විට අවිනිශ්චිත බවයි. එසේම එවැන්නක් පිහිටුවූවද එහි අරමුණ විය යුත්තේ පිරිපහදු කළ තෙල් අපනයනය සහ නාවික කර්මාන්තයට යොදාගැනීම බව ඔහුගේ අදහසයි. ලංකාවේ ඉදිරි ඉලක්කය පොදු ප්‍රවාහනය පවා හරිතකරණය බව ඔහු පවසයි.

එහෙත්, ආණ්ඩුවේ හරිත බලශක්ති වැඩසටහනට එල්ලවන චෝදනාද ගණනාවකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ පවසන්නේ මහජන මුදලින් බැටරි ගබඩා පද්ධති ස්ථාපිත කර ඇත්තේ ව්‍යාපාරික ධම්මිකට සහ අක්බාර්ට සහන ලබාදීම සඳහා ඔවුන්ට අයත් බලාගාර ආශ්‍රිතව බවයි. එය ප්‍රතික්ෂේප කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර පැවසුවේ ස්ථානය තෝරාගන්නේ ගබඩා පහසුකම් පිළිබඳ අවශ්‍යතාව පමණක් අරමුණු කරගනිමින් බවයි.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධන පෙරමුණද ආණ්ඩුවට එරෙහිව චෝදනා රැසක් එල්ල කරයි. ඔවුන් පවසන්නේ ආණ්ඩුව වහළ මත සෝලා නොසලකා හරින බවයි. ඔවුන්ට අනුව සහන සලසා දී ඇත්තේ ගජමිතුරු මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණය. අයවැයෙන් සහන ලැබී නොමැති අතර ජනාධිපතිවරයා හමුවීම සඳහා ඉල්ලූ අවස්ථාවද නොසලකා හැර ඇත. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාරද එම චෝදනා බැහැර කරන අතර ජනාධිපති මාධ්‍ය ඒකකයද 2026 නොවැම්බර් 13 මාධ්‍ය නිවේදනයකින් දක්වා ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට බලශක්ති ක්ෂේත්‍රයේ නව අවස්ථා ලබාදීමට පියවර ගනිමින් සිටින බවයි.

සාධාරණ සංක්‍රාන්තිය සහ කාන්තා ජීවනෝපාය

නෑ බෑ කියා බේරෙන්න පුළුවන්ද? ආණ්ඩුවට මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගැලවී යා නොහැක. පරිසරවේදිනී විමුක්ති ද සිල්වා පෙන්වා දෙන අන්දමට අධිකාරිවාදී මහා පරිමාණ ව්‍යාපාරික අධිරාජයන්ට පමණක් සහන සලසා දුනහොත් සාධාරණ සංක්‍රාන්තිය අහෝසි වේ. ඇතැම් මහා පරිමාණ ව්‍යාපෘති නිසා පිරිමින්ටත් වඩා සුළු පරිමාණ ගොවි හා ධීවර කාන්තාවන් අසරණ වේ. මේවා කළමනාකරණය කරගැනීම ආණ්ඩුවේ වගකීමකි. විමුක්තිට අනුව එක තැනක පිහිටුවන දැවැන්ත ව්‍යාපෘතිවලට වඩා විමධ්‍යගත හා ගෘහස්ථ බල උත්පාදනය සාධාරණ සංක්‍රාන්තියට දිරි දෙයි. එමඟින් කාන්තාවන්ගේ ජීවනෝපායද සුරක්ෂිත කරයි.

නමුත් මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාරට අනුව බලශක්තිය බෙදාහැරීම ජල පරිවහනයට වඩා අසීරු නිසා මේ ඇතැම් කතා ක්‍රියාවට නැඟීම පහසු නැත. එහෙත් ගැටලුවක් පෙනෙන්නට ඇත. එම ගැටලුව ඇත්තේ කොතැනද?

ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් නොමැති වීමේ අර්බුදය


ආචාර්ය රාජ්නී ගමගේ

අපට ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් තිබෙනවාද? උත්තරය දැනට එවැන්නක් නැතිය යන්නයි. එසේ නම් එවැන්නක් නොමැති වීමත් මේ ගැටලුවලට හේතුවක් විය නොහැකිද? සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව කථිකාචාර්ය හා පර්යේෂිකා ආචාර්ය රාජ්නී ගමගේ පවසන්නේ නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති නිසා ලංකාව බලශක්ති ක්ෂේත්‍රයේ භූ දේශපාලන ගැටලුවලට පවා මුහුණ දිය හැකි බවයි.

ඇයට අනුව “බලශක්ති ක්ෂේත්‍රය තුළ බල දේශපාලනය ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරයි. මධ්‍යම පන්තියේ පරිභෝජන රටාවන් ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ බලශක්ති ඉල්ලුම ඉහළ යන කුඩා රටවල් මුහුණ දෙන්නේ සංකීර්ණ තත්ත්වයකටය. එනම්, ලෝකය ෆොසිල ඉන්ධනවලින් ක්‍රමයෙන් ඉවත්වෙමින් සිටින අවධියක ඔවුන්ට සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට සිදුවීමයි. ගවේෂණ හා පතල් කැණීම් සඳහා වැයවන පිරිවැය ඉහළ යාමත්, හරිත බලශක්තියේ පිරිවැය අඛණ්ඩව පහත වැටීමත් සැලකිල්ලට ගත් විට, කිසිදු රටකට සම්පූර්ණයෙන්ම ෆොසිල ඉන්ධන මත රඳා පැවතීම ආර්ථික වශයෙන් තාර්කික නොවනු ඇත.

වර්තමානයේ ෆොසිල ඉන්ධන මත ආධිපත්‍යය හා පාලනය තහවුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර තරගයක් පැවතියද, බලශක්තිය අත්පත් කර ගැනීමේ හා පාලනය කිරීමේ අරගලය ක්‍රමයෙන් නව බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වෙමින් පවතී. ෆොසිල ඉන්ධන කර්මාන්තය තුළ ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා අරගලයක් පවතින්නාක් මෙන්ම, හරිත හා පිරිසිදු බලශක්ති ක්ෂේත්‍රය තුළ ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා ද ප්‍රබල බල දේශපාලනික තරගයක් පවතී.

බටහිර රටවල සහ චීනයේ අත්දැකීම් දෙස බැලීමේදී, මෙම ක්ෂේත්‍රවල තාක්ෂණික ප්‍රගතිය වේගවත් කිරීම සඳහා රාජ්‍යය සහ පෞද්ගලික කර්මාන්ත අංශය විශාල වශයෙන් ආයෝජනය කර ඇති ආකාරයත්, තවදුරටත් ආයෝජනය කරමින් සිටින ආකාරයත් පැහැදිලිව දැකගත හැකිය. මෙම රටවලට ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය මෙන්ම දේශපාලන බලය ද පවතී. විශේෂයෙන්ම, මහා පරිමාණ ව්‍යාපාරික ඒකාධිකාරීන් (Oligarchs) සහ දේශපාලන බල අධිකාරීන් අතර පවතින සමීප සබඳතා දෙස බැලීමෙන් මෙම බල සම්බන්ධතාවයේ ස්වභාවය වඩාත් හොඳින් අවබෝධ කරගත හැකිය.


තාක්ෂණික පරතරය සහ ස්වාධීන ප්‍රතිපත්තිමය මාවත

අප වැනි රටවල් සඳහා ඉදිරි ගමන් මඟ බොහෝ විට හරිත බැඳුම්කර (Green Bonds) වැනි මූල්‍ය යාන්ත්‍රණ හරහා සකස් වී තිබේ. එනම්, තිරසර සංවර්ධනය වෙනුවෙන් මූල්‍ය ආධාර හෝ ආයෝජන ලබාගැනීමයි. එහෙත්, මෙහි තවත් පැත්තක් ද තිබේ. අපගේ ප්‍රධාන අරමුණ හරිත ආවරණය (Green Cover) ආරක්ෂා කර ගැනීම පමණක් වන තාක්, ගෝලීය උතුරේ රටවල් (Global North) සිය තාක්ෂණික ප්‍රගතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අප සහ ඔවුන් අතර පවතින තාක්ෂණික පරතරය තවදුරටත් පුළුල් විය හැකිය.

ශ්‍රී ලංකාව ඉදිරියට යා යුතු මඟ වන්නේ, ජාතික ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජන සඳහා අවශ්‍ය අවකාශය නිර්මාණය කිරීමයි. ඒ සඳහා රජයට ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති නම්, පෞද්ගලික කර්මාන්ත ක්ෂේත්‍රයට සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන්ට ආයෝජනය කිරීමට ආරාධනා කළ යුතුය. එමෙන්ම, ප්‍රධාන ගෝලීය හෝ කලාපීය බලවතුන්ගේ න්‍යාය පත්‍ර අනුව අපගේ බලශක්ති ප්‍රතිපත්තිය තීරණය වීමට ඉඩ නොදී, ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී වැඩි ස්වාධීනත්වයක් හා තීරණ ගැනීමේ බලයක් ශ්‍රී ලංකාව සතු කරගත යුතුය.”

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා වන, ජාතික බලශක්ති ප්‍රතිපත්තිය කෙටුම්පත්කරණ කමිටුවේද සාමාජික මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර පවසන පරිදි මේ වන විට ලංකාව සිය ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සකස් කරමින් සිටියි. කඩිනම් කළ යුත්තේ අංශ ගණනාවකින් සමන්විත එය ඉක්මනින් සකසා ක්‍රියාවට නැංවීමයි. රටක් ලෙස ශ්‍රී ලංකාවට හරිත සංක්‍රාන්තියේ නිවැරදිම මාර්ගය සොයාගැනීමට හැකිවන මාලිමාව වන්නේ එයයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...