විශේෂ භාණ්ඩ ආනයන බද්දට සම්බන්ධ ගැසට් පත්‍ර 5ක් පසුගිය සඳුදා (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. එහි විවාදය දවස් දෙකක් පැවති අතර පාර්ලිමේන්තුව උණුසුම් වුයේ ආනයනික සීනි සඳහා වූ බදු සහනය
ගැනය. නැතිනම් කුප්‍රකට සීනි බදු වංචාව සම්බන්ධවය.
එහිදී මේ සීනි බදු වංචාව ගැන දැනෙන කතාවක් කළේ සමගි ජනබලවේගය නියෝජනය කරන අතේ ඇඟිලි තරමටවත් නොවූ කිහිප දෙනෙකු සහ ජාතික ජනබලවේගය නියෝජනය කරන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පමණි.
ඇතැමුන් සීනි කතාව උඩින් පහුරු ගෑ අතර තවත් සමහරුන් එවැන්නක් නොදන්නා සේ නිහඬව සිටියේ කටේ දෙයියන්ගේ සීනි හිරවූ ආකාරයටය.
රාජ්‍ය ආදායමට රුපියල් කෝටි 1100 ක් අහිමි කළ මේ සීනි බදු වංචාව ගැන විපක්ෂයේ ප්‍රතිචාරය ලැජ්ජා සහගතය.
ඇතැමුන් සීනි කතාව උඩින් පහුරු ගෑ අතර තවත් සමහරුන් එවැන්නක් නොදන්නා සේ නිහඬව සිටියේ කටේ දෙයියන්ගේ සීනි හිරවූ ආකාරයටය. රාජ්‍ය ආදායමට රුපියල් කෝටි 1100ක් අහිමි කළ මේ සීනි බදු වංචාව ගැන විපක්ෂයේ ඇතැමුන්ගේ ප්‍රතිචාර ලැජ්ජා සහගතය.
මහින්දානන්දගේ සහ වසන්තගේ සද්දය !
මහින්දානන්ද සහ වසන්ත යාපා බණ්ඩාර විපක්ෂයට පොදු අභියෝගයක් කළේය.
ඒ නිසාමදෝ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විපක්ෂයට පොදු අභියෝගයක් කළේය. ඒ "වංචාවක්, දුෂණයක් සිදුව ඇත්නම් ෆයිල් එක හදාගෙන එන්න, CID යන්න මමත් එන්නම්" කියාය.
ඒ අභියෝගය භාරගන්නත් වෙන්නේ විපක්ෂයේ රටේ මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න හඬක් නගන සුළුතරයකට වීම ඛේදජනකය.
අනේ නෑනේ වංචාවක් !
තවද විවාදයට එක්වෙමින් පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරයකු වූ වසන්ත යාපා බණ්ඩාර උස් හඬින් කියා සිටියේ සීනි බද්ද ශත 25 ට අඩු කිරීමෙන් වංචාවක් සිදුනොවූ බවත් අදාළ සමාගම් සිය ව්‍යාපාර ඥානය අනුව අනුව අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මහා පරිමාණයෙන් සීනි ආනයනය කළ බවය.
ලැජ්ජා බය විපක්ෂයේ බහුතරයකටත් එහෙම හිතෙනවාද කියා අපි දන්නේ නැත. මොකද සීනි ආනයනයේදී භෞතික මුදල් සොරකම් කිරීමක් හෝ වංචාවක් පෙනෙන්න නැති නිසාය.
එහෙනම් සිදුව ඇත්තේ කුමක්ද ?
සිදුව ඇත්තේ රජයට ලැබිය යුතු බදු මුදල් රුපියල් කොටි 1100ක් පමණ මහා භාණ්ඩාගාරයට අහිමිවී පෞද්ගලික සමාගම් එම මුදල් පික්පොකට් ගැසීමය.
ඒ පොකට් ගැහිල්ලේද වැඩිම ලාභය සීනි බද්ද අඩු කිරීම ඇතුළු ඒ ආශ්‍රිත ක්‍රියාවලිය තුළ සීනි ඒකාධිකාරය හදාගන්න සමත්වූ සමාගමටය. ඒ සජාට්ගේ විල්මා සමාගමටය.
මේ සම්බන්ධ පැමිණිල්ලක් දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකර ඇත.
එනිසා අලුත් ෆයිල් අනවශ්‍ය අතර අවශ්‍ය වන්නේ ඒ පැමිණිල්ලට අදාළ විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමය.
එහෙත් විපක්ෂයේ බහුතරයටත් ආණ්ඩුවේ මේ හයියෙන් කෑ ගසා "කෝ වංචාවක් ?" යන ප්‍රශ්න කරන අයටත් දැනගන්න කුප්‍රකට සීනි බදු වංචාවට අදාළ ක්‍රියාවලිය පෙළින් පෙළට දැක්වීමට අපට සිත්විය.
සීනි මගඩියේ පෙළගැස්ම :
# 2020 ඔක්තෝබර් මස 12 වන දින සහ ඒ ආසන්න කාලයේ මෙරට වෙළඳපොළේ සීනි තොග මිල ආසන්න වශයෙන් කිලෝවක් රුපියල් 125ක් පමණ විය. සිල්ලර මිල පැවතියේ කිලෝවක් රුපියල් 128-130 අතර අගයකය.
# එදිනට ආනයන සීනි ආනයන තීරු බද්ද පැවතියේ කිලෝවක් සඳහා රුපියල් 50ක් ලෙසය. ඊට අදාළ ගැසට් පත්‍රය 2020 මැයි මාසයේ නිකුත් කල අතර එහිදී පවසා සිටියේ සීනි වලින් රට ස්වයංපෝෂිත කරන්න බදු මුදල වැඩි කළ බවය.
# මුදල් ඇමති ලෙස අගමැතිවරයා විසින් නිකුත්කළ ඔක්තෝම්බර් මස 13 දින ගැසට් නිවේදනය අනුව කිලෝවක බද්ද රුපියල් 49.75කින් අඩු කෙරිණ. ඒ අනුව ආනයනික සීනි කිලෝවක් සඳහා බද්ද ශත 25ක් විය. ඒ අවස්ථාවේ ආණ්ඩුව කිව්වේ ජීවන වියදමට සහනයක් දෙන්න සීනි බද්ද අඩුකළ බවය.
# ඔක්තෝම්බර් 29 දින ආනයන අපනයන පාලක අධිකාරි ටී. වී. දමයන්ති කරුණාරත්න විසින් සීනි ආනයනය විවෘතව සිදුකිරීමට තිබූ අවසරය (open market imports) තහනම් කර අංක ICCD / 6 / 1/ 10/ 2020 VOL යොමුව සහිත නියෝගය මගින් සිනී ආනයනය බලපත්‍ර ක්‍රමය යටතට (Import Licence ) පත්කරනු ලැබිණ.
# කෙසේ වුවත් වෙළඳපොල තුළ සීනි මිලේ අඩුවක් නොපෙන්වූ අතර ඒ හේතුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ගේ අංක 71 දරණ 2020 නොවැම්බර් 10 වැනි දිනැති ගැසට් නිවේදනය නිකුත් වන්නේ සුදු සීනි සම්බන්ධයෙන් සඳහන් වන උපරිම මිල වන රුපියල් 85.00 කට සීමා කරමින්ය.
# එසේ වුවද සීනි ආනයනය කරන ප්‍රධාන සමාගම ඇතුළු අනෙකුත් ආනයනකරුවන් සීනි මිල අඩුකළ බවක් වෙළඳපොළ තුළින් නිරීක්ෂණය වූයේ නැත.
ගජ මිතුරෝ සීනි මෙට්‍රික් ටොන් 230,000 ක් ආනයනය කරල
# එහෙත් ඒ වෙනුවට සීනි බදු අඩුකළ ඔක්තෝබර් මාසයේ සිට ගතවූ මාස 3ක කාලය තුළ සීනි මෙට්‍රික් ටොන් 230,000 ක් ආනයනය කර ඇත.
# ඒ තුළ ආණ්ඩුවේ ගජමිතුරු සමාගම් සීනි ඒකාධිකාරයක් ගොඩනගා ගැනීමටත් සමත්ව ඇත.
ෆයිල් නැතුව බඩු මාට්ටු !
# ආණ්ඩුවේ උදවිය කියන්නේ මේ කුප්‍රකට සීනි බදු ක්‍රියාවලිය තුළ සතොසට පාඩු වූ නිසා සතොස සභාපති ගෙදර යැව්වා කියාය.
# නමුත් ප්‍රශ්නය ඇත්තේ වෙන තැනකය. ඒ ප්‍රශ්නය සතොසේ සභාපති ප්‍රමිති ආයතනයේ සභාපති කර විසඳිය හැක්කක් නොවේය.
මහත්වරුනි, මෙවර උත්තර දෙන්න
01- ප්‍රශ්නය වන්නේ ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 50 ට තිබූ බද්ද ශත 25ක් දක්වා අඩුකළ පසු, කිලෝවක් රුපියල් 85 ට ලබාදෙන ලෙස ගැසට් පත්‍රයක් හරහා නියෝග කෙරුණු පසුබිමකත් සීනි රුපියල් කිලෝව 110-120 ට අලෙවි කරේ කොහොමද යන්නය.
02- බදු අඩුකිරීමට පෙර කිලෝව 125 ට දුන්න සීනි මේසා විශාල බදු අඩුකිරීමෙන් පසුව 110-120 සීමාවේ නැවතුණේ කොහොමද යන්නය ?
03- පාරිභෝගිකයාට යායුතු වාසිය මෙහිදී ආණ්ඩුවේ ව්‍යාපාරික ගජමිතුරන්ට ලැබෙන්න ඉඩහරීමක් සිදුව නැද්ද ? යන්නය.
04- ගැසට් නිසා රුපියල් 85 ට සීනි දෙන්න ගිහින් සතොසට සිදුවූ පාඩුව කොපමණද ?
05- බදු මුදල් අඩුකරේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමට නම් රුපියල් 85 ට අදටත් සීනි ඇත්තේ කොහේද ?
06- සීනි ආනයනකරුවන් මෙරට වෙළඳපොළට සීනි තොග නිකුත් කළ මිල කීයද ?
07- වෙළඳපොළ තුල සීනි වල සිල්ලර මිල පහළ නොයාමට හේතුව මොකක්ද ?
08- සියල්ලටම වඩා පාරිභෝගික අධිකාරිය විසින් සීනි සඳහා රුපියල් 85ක සීමාවක් පනවා තිබියදී ඒ නියමය වෙළඳපොළ තුළ උල්ලංඝනය වූයේ කොහොමද ?
09- පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් පත්‍රය වෙළඳපොළ තුළ උල්ලංඝනය වන විට ඊට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාද ?
10- ඩඩ්ලිගේ හාල් මෝලට ගිය සහ පොඩි කඩේ මුදලාලිගේ කන පැළෙන්න දෙන දර්ශන කිසිවක් සීනි ප්‍රශ්නයේදී දකින්න නොලැබුණේ ඇයි ?
11- ආනයන අපනයන පාලක සීනි ආනයනය සඳහා දී තිබූ විවෘත අවස්ථාව තහනම් කිරීම තුළ ආනයනය සඳහා බලපත්‍ර කීයක් නිකුත්කර තිබෙනවාද ?
12- සීනි ආනයනය මෙට්‍රික්ටොන් 230000ක් ලෙස වැඩිවීම සහ වෙළඳපොළ තුළ සීනි මිල පහළ නොයෑම සම්බන්ධව පියවර නොගත්තේ ඇයි ?
13- සියල්ලටම වඩා රජයට ලැබිය යුතුව තිබූ රුපියල් කෝටි 1100ක පමණ නැතිනම් බිලියන 11ක පමණ මුදලක් ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරික නඩය පොකට් ගසන තුරු ආණ්ඩුව මොකද කළේ ?
14- උපරිම තොග මිල නිසිලෙස ක්‍රියාත්මක වෙනවාද කියා කිසිම සොයා බැලීමක් කළාද ?
15- එහෙම පසුබිමක ඉතිහාසයේ පෙර නොවූවිරූ ලෙස සීනි තොග ආනයනය කිරීමට ඉඩදීම, ඊට බලපත්‍ර දීම තුළ "කෝ වංචාව කියා අසන්නේ ජනතාවගේ විචාර බුද්ධිය ගැන තුට්ටු දෙකකහෝ තක්සේරුවක් නැතිවද ?
16- බැඳුම්කරේ බිලියන 11නම් මහ බැංකුවේ හිරකර ගත්තා : ඒත් සීනි ගැහිල්ලේ බිලියන 11 ගන්නේ කොහොමද ?
බැඳුම්කර ගනුදෙනුව වංචාවක්, මහ දවල් මංකොල්ලයක් කී උදවියට සීනි බදු අඩු කිරීමේ ගැහිල්ල නොපෙනෙන්නේ දැන් බලය ඇති නිසාද යන්නත් ප්‍රශ්නයකි. අමතකව ඇති නිසා ලියා තබනවා නම්, යහපාලන සමයේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව නිසා රජයට සිදුවූ පාඩුව ලෙස ජනාධිපති විමර්ශන කොමිසමේ අනාවරණය වුයේ රුපියල් බිලියන 11ක් ලෙසය.
එහෙත් පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ මුදල් රඳවා ගනිමින් මහ බැංකුව විසින් ඒ පාඩුව අයකරගත හැකි ආකාරයට කටයුතු කර තිබිණ.
දැන් ප්‍රශ්නය මේ ආණ්ඩුවේ ගජමිතුරන් ඇද්ද රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමිව ගිය රුපියල් බිලියන 11 කට අධික නැත්නම් රුපියල් කෝටි 1100 ක මුදලට මොකද වෙන්නේ යන්නය.
පෙනෙන්නට ඇති දේ වන්නේ, දෙන සුද්දය සද්දෙන් වහන්න ආණ්ඩුව කටයුතු කරන අතරේ විපක්ෂයේ බහුතරයකගේත් සීනි උගුරේ හිරවීම නිසා සුද්දය නිදහසේ කරගෙන යාමට අවස්ථාව හිමිව ඇති බවය.
2020 ඔක්තෝබර් මස 13 දින ප්‍රකාශයට පත් කරන ලද නියෝගය සහ ගැසට් පත්‍රය 2021 ජනවාරි මස 13 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණ නමුත් එය තවත් මාස 3කින් දීර්ඝ කර ඇත්තේද ඒ අනුවය.
අදටත් සුද්දේ විතරක් වන අතර රුපියල් 85 ට සීනි ගන්න තැනක් නම් හොයාගන්න නැත. මේවාට අලුතෙන් ෆයිල් මොකටද ?
(newstube.lk)
සබැඳි පුවත් :
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම