ජනාධිපති කෙනෙකුව සිට මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තු ආ මහින්දට එකල බොහෝ දෙනා සිනහසුණහ. උසුලූ විසුලූ කළහ. එහෙත් මහින්ද ඒ කිසිවක් වගක් නොකර පාඩුවේ හිඳ නැවත අගමැති විය. ඒ ලංකාවේ
දේශපාලනයේ හැටි කියනවාට වඩා කැත යැයි කීම උචිතය.
 
මේ තක්කඩි දේශපාලනයේ කිසිදු විලි ලැජ්ජාවක් නැති අනෙක් චරිතය රනිල්ය. 
 
එජාප නායකත්වය මියෙන තෙක්ම තම සන්තකයේ තියා ගැනීම ඔහුගේ එකම හීනයය. 
 
මෙරට දේශපාලන ඉතිහාසයේ ඔහු තරම් පරාජිතයෙක් නැති තරම්ය. කොතරම් පරාජයට පත් වුවත් ඔහුත් නායකයෙකි. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායකයාය.
 
පසුගිය මහ මැතිවරණයෙන් එජාපයට ලැබුණේ එක් මන්ත්‍රී ආසනයක් පමණි. එයද ලැයිස්තු මන්ත්‍රී ධුරයකි. 
 
එය නියෝජනය කරනුයේ රනිල්ම බව සහතිකය. ඒ අරමුණෙන්ම රනිල් නැවත කරළියට පැමිණ ඇත. රනිල් එජාප නායකයාය. ඔහු මියයන තෙක්ම එජාප නායකයාය.
 
 
 
 

 114676281 dem manifesto biden index promo976ඇමරිකවේ නව ජනපති ලෙස ජෝ බයිඩන් පත්වීමත් සමග රනිල්ට නව පණක් ආවේය.

 
 
 
ඇමරිකවේ නව ජනපති ලෙස ජෝ බයිඩන් පත්වීමත් සමග රනිල්ට නව පණක් ආවේය. ලංකාවේ දේශපාලනය තීරණය වන්නේ ඇමරිකාව සහ ඉන්දියාවට වුවමනා පරිදිය. කවුරු මොනවා කීවත් ඇත්ත එයය. 
 
 
 
 
ලංකාවේ දේශපාලන නායකයා කවුද යන්න තීරණය කරනුයේ ඉහත රටවල් දෙකය. එහිදී බයිඩන් ප්‍රමුඛ ඇමරිකාවේ තේරීම රනිල්ය. රනිල් නැවත පණ ගසා එනුයේ බයිඩන්ගේ ආගමනය නිසාය. මේ සඳහා රනිල් කරට ගන්නට තවත් මෙරට දේශපාලනයේ කෛරාටිකයෙක් ඉදිරිපත් වී ඇත. ඒ දේශපාලනයෙන් සමුගත්තා යැයි කෑමොර දුන් මංගල සමරවීරය.
 
 
 
 මංගල යනු දේශපාලන පාතාලයෙකි. ඔහු දේශපාලන චරිත විනාශ කිරීමේ රුසියෙකි. ‘රනිල්ට බෑ’ කියා රට වටේ පෝස්ටර් ඇලවූ මංගල පසුව රනිල් ළඟට විත් කිව්වේ ‘රනිල්ට බෑ’ කියලා කිව්වෙම රනිල්ට පුළුවන් කියන එක යැයි යනුවෙනි. 
 
එවැනි අඳ භූත කතා කියන්නට මංගල රුසියෙකි.
 
 ඔහු නොබෝදා කියනුයේ කිසිදු දේශප්‍රේමියෙකුට නැගෙනහිර ජැටිය විකුණනවාට විරුද්ධ විය නොහැකි බවය. දේශප්‍රේමීන් කවුද? ඒ අය හැසිරිය යුත්තේ කෙසේද යන්න මංගලගෙන් උගත යුතුය. ඔහුත් නැවත අලූතින් පණ පිහිටුවා දේශපාලනය කරන්නට පටන් ගෙනය. ඔහුගේ නායකයා රනිල්ය. මේ එක අත්තේ වහන එක ජාතියේ කුරුල්ලෝය.
 
රනිල්ට මෙන්ම මංගලටත් මේ අමුතු ප්‍රාණය ලැබෙන්නේ ඇමරිකාවේ නව ජනපති ජෝ බයිඩන් වීම නිසාය. 
 
මංගලගේ ගජ මිතුරියක් වන සමන්තා පවර් ජෝ බයිඩන් ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකාවකි. 
 
ඇය ‘USAID’ හි පරිපාලක ප්‍රධානියා වන අතර ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයකුද වේ. මෙය මංගලට අමුතුම හයියක් ගෙන එනවා ඇත. 
 
 
 

Samantha Power with mangalaමංගලගේ ගජ මිතුරියක් වන සමන්තා පවර් ජෝ බයිඩන් ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකාවකි. 

 
 
 
මෙරට 2024 ජනාධිපතිවරණයේදී ඇමරිකාව ලොකු පෙරළියක් කරනවා ඇත. එහිදී 2024ට උචිත පොදු අපේක්ෂකයකු හෙවීම රනිල්, මංගල භාරගෙන ඇත. එයට පැන්ෂන් යා යුතු රනිල් මංගල පන්නයේම මාධ්‍ය ප්‍රධානීන්ද උපරිම සහය දෙනු ඇත. මේ සඳහා ඇමරිකාව රාජ්‍ය නොවන සංවිධාන හරහා විශාල ලෙස මුදල් පොම්ප කරනු නියතය. මෙහි භාණ්ඩාගාරය භාරගනු ඇත්තේ මංගලය. බොහෝ අය එම මුදල්වලට දැන් සිටම සිහින මවනවා සහතිකය.
 
 
 
මංගල, රනිල් කල්ලිය යනු මෙරට දේශපාලනයෙන් අතුගා දැමිය යුතු චරිතය. බොහෝ අය නැවත නැවත නව දේශපාලන සංස්කෘතීන් ඇති කිරීමට බලාපොරොත්තු වන්නේ මෙවැනි පිළුණු චරිත හරහාය. එලෙස සිහින දකින්නෝද පිළුණු වී බොහෝ කල්ය.
 
මංගලට සමන්තා පවර්ගේ බලය උපරිම ලැබෙනු ඇත්තේ මංගලගේ ළඟම මිතුරියක් ලෙස ඇය ඉතිහාසයේ පටන් සිටින බැවිනි. 
 
2019දී තමාගේ දේශපාලන ජීවිතයට වසර තිහක් පිරීම නිමිත්තෙන් දොරට වැඩි ‘ඛේමාගේ කොලූවා’ පොත දොරට වැඩුමේදී ප්‍රධාන දේශකවරිය වූයේ සමන්තා පවර්ය. 
 
එසේ නම් තව කුමන කතාද? ‘ඛේමාගේ කොලූවා’ යන්නට එදා පෙරමුණ ගත් බොහෝ අයද අදද හෙටද මේ ව්‍යාපෘතියේ පදාසයක කොටස්කරුවෝමය. එයට මාධ්‍ය සහය ගෙනයෑම සඳහා නව මාධ්‍ය සංස්කෘතීන්ද ගොඩ නගනු නියතය. ඒ සඳහා ඕනෑතරම් මුදල් ඉදිරියේදී ඇමරිකාවෙන්ම ලැබෙනු ඇත.
 
අහෝ රනිල්
 
 
ලෝකෙ දේශපාලනයේ කොතෙක් දේශපාලන චරිත වෙනස් වුවද ලංකාවේ රනිල්-මහින්දලා වෙනස් නොවන චරිත වී ඇත. බුද්ධාගම කර තබාගෙන වෙනස්වීම ගැන බණ කියන රටක දේශපාලන චරිත වෙනස් නොවේ. 
 
මරණය හරහා කෙළවර නොදකින්න ඒවා එතැනින් සෙළවිය හැකිවත් නොවේ. 
 
අනූ තුනේදී ඇමරිකාවේ ජනපති ජෝර්ජ් බුෂ්ය. ඊට පස්සේ ක්ලින්ටන්ය. ඒ වාර දෙකකි. ඔහුගෙන් පසු බුෂ්ගේ පුතා ආවේය. එයද දෙවරකටය. වසර අටකටය. ඔහු ගිය පසු ඔබාමා වාර දෙකක් සිටියේය. ඔබාමාගෙන් පසු ට්‍රම්ප් ද එක් වරක් පාලනය කොට අලූතින් බයිඩන් පත්වී ඇත. 
 
එතරම් දිගු ඉතිහාසයක ඇමරිකාවේ දේශපාලනය එලෙස වෙනස් වෙද්දී රනිල් මෙරට දේශපාලනයේ බුෂ් පියාගේ කාලයේ සිට ලැග ගෙන සිටී. 
 
ඉන්දියාවේද කොතරම් අය මේ කාලය තුළ වෙනස්වීද? ප්‍රතාප් සිංගේ සිට අගමැතිවරු හත්දෙනෙකි. එහෙත් ලංකාවේ එජාප නායක රනිල්ය. මේ විලිලැජ්ජා නැතිකම අගයන වර්ණනා කරන එවැනිම තක්කඩි රැළක්ද සිටිති. රනිල් තමයි දේශපාලකයා කියමින් කර තබා ගන්නා අය ටික දෙනෙක්ද සිටිති. මේ නරක ආදර්ශ රටේ හැටි කියනවාට වඩා රටේ කැතම විදහාපාන්නකි.
 
අද යූඑන්පියට හිමිව ඇති එකම ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තු එන්නේ රනිල්මය. එය ස්ථිරය. රනිල් ආවද නාවද අමුතු දෙයක් වනු නැත. ඔහු බලය ඇති කාලයේත් කළේ මහින්ද රකින එකය. මහින්ද කළෙත් රනිල් රකින එකය. 
 
මේ රටේ බොහෝ අය රනිල්-මහින්ද තරම් මේ රටේ දේශපාලකයින් නැතැයි කියන්නේම මේ තක්කඩි ඞීල් දේශපාලනය හොඳටම කළ හැකි දෙපළ මේ අය නිසාය. 
 
දක්ෂතම ගේම්කාරයින් මෙන්ම ඞීල්කාරයෝද මේ දෙපළ වන බැවිනි. 
 
එහිදී ගෝඨා-සජිත්ලා පොඩි ළමුන්ය. බබ්බුය. 
 
 
 

Goata Ranil 2021.02.01

 
ගෝඨා ජනපති වුවද මිනිස්සු ආස මහින්දටය. සජිත් විපක්ෂ නායක වුවද මිනිස්සු ආස රනිල් හිටියා නම්ය. ඒ මෙරට දේශපාලන පොළොවේ අටුවම් බැස ඇත්තේ මේ දෙපළගේ සටකපට, තක්කඩිකම් නිසාය. දේශපාලනයේ නැති මංගල මහා කෙරුමෙක් වන්නේද මේ තක්කඩි දේශපාලනයේ පාතාල චරිතය ඔහු මනාව කරන නිසාය.
 
 
 
මේ අයගේ එකතුවීම ඇමරිකාවේ ආශිර්වාදයෙන් ඉදිරියට ඇදෙනු ඇත්තේ 2024 ඉලක්ක කරගෙනය. එහිදී වෙන මාවතකින් පැමිණ හැමදා රනිල්ට වාරුව සැපයූ කරුද එකතු වෙනු ඇත. කරු යනු කරුවක්මය. චන්ද්‍රිකාද එකතු වනු ඇත. එහි සිරිසේන සිටියද පුදුම විය යුතු නැත. චම්පික, විමල්, ගම්මන්පිල එහි ලැග්ගද පුදුම විය යුතු නැත. ලංකාවේ දේශපාලනයේ හැටි නොව කැත එබඳුය. මේ තුළ තව බොහෝ චෞරයන් සිටිය හැකිය.
 
තමා අගමැතිව සිටියදී තමා විසින්ම කැබිනට් පත්‍රීකා ඉදිරිපත් කර තම ආණ්ඩුව විසින්ම ගොඩ නගන ලද ආයතනවලට එරෙහි රාජපක්ෂ ආණ්ඩුවේදී රජයේ සාක්ෂිකරුවෙක් ලෙස ක්‍රියා කළ ලොව එකම පාවා දෙන්නා වූයේ රනිල් විය යුතුය.
 
ඔහු නැවත කරළියට ඒම තුළම ඇත්තේ රටේ දේශපාලන පෙරළියක් නොව තව කාලාන්තරයක් රාජපක්ෂලාට බලයේ තබන ව්‍යාපෘතියක්ය. 
 
යහපාලන කාලයේ රනිල්ට, රවිට දෝෂාභියෝග ගෙනා විට මහින්දලා හැංගුණේය. ඒ රනිල් වෙනුවෙනි. මහින්දට විපත් ආ හැම කල්හිම රනිල් උපරිම උදව් කළේය. 
 
මේ දෙපළ දේශපාලනයෙන් අතුගෑවෙන තෙක් මෙරට දේශපාලනයට අලූත් කියවීමක්, අලූත් මානයක් උදා නොවනු ඇත.
 
 
(ටිරන් කුමාර බංගගමආරච්චි - රාවය පුවත්පතේ පලවී ඇති ලිපියකි)
 
 
 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්