පිරිත් යනු, ‘‘පරිත්ත’’ නමැති වචනයෙන් බිඳී ආ වචනයකි. මෙහි අර්ථය නම්: ‘මෙලොව පරලොව ආරක්ෂාව, සංසාර දුකෙන් මිදී ලබන්නා වූ ලෝකෝත්තර ආරක්‍ෂාව සත්වයාට ලබා දෙන්නේ ය’ යන්නයි.
 
සමස්තයක් ලෙස ගත් විට අද අප භාවිතා කරන ‘‘මහා පිරුවානා පොත් වහන්සේ’’හි අන්තර්ගත ඇතැම් පිරිත් බුදුන් වහන්සේ විසින් ම පරිත්ත කරන ලද්දෝ ය. 
 
ඊට හොඳ ම උදාහරණය ලෙස මහා මංගල සුත්‍රය දේශනය අවසානයේ දී බුදුන් වහන්සේ ආනන්ද මහ රහතන් වහන්සේ අමතා ‘‘ආනන්ද මේ මංගල පිරිත ඉගෙනගන්න: මෙය භික්‍ෂූන්ට උගන්වන්න.’’ යනුවෙන් වාදාළා ඇති බව සඳහන් වේ.
 
 
 
දෙවනුව:
‘‘ආනන්ද මේ රතන සූත්‍රය උගෙන පූජා භාණ්ඩ ද ගෙන්වාගෙන ලිච්ඡවි රජවරුන් සමග විශාලා මහනුවර තෙපවුර වටා සැරිසරමින් පිරිත් කරන්න’’ යැයි වදාළ බව ද පිරිත පිළිබඳ ඉතිහාස ගත ලේඛනවල සඳහන් වේ.
 
පිරිතෙහි ආරම්භය, විශාලා මහනුවර දී දේශනා කළ රතන සූත්‍ර දේශනාව යැයි සඳහන් වුව ද ලංකා ඉතිහාසයේ සඳහන් අන්දමට පිරිත් දේශනාවේ ඇරඹුම සිදුවන්නේ බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදු වූ අවස්ථාවේ බව මහා වංශයේ සඳහන් වේ. 
  
ඉතිහාස ගත කරුණු සලකා බලන විට සිද්ධාර්ථ ගෞතමයන් බුදු බව ලබාගැනීමෙන් අනතුරු ව ප්‍රථමයෙන් වැඩම කළ විදෙස් රට ලංකාව බව ද ඉතිහාස කෘති සාක්ෂි දරයි. ප්‍රථම වරට පිරිත් දේශනාවක් පවත්වන ලද්දේ ලංකාවේ ය යන්න සනාත කිරීමට මෙය ද කදිම සාක්‍ෂියකි. 
 
එම පිරිත් සූත්‍ර අඩංගු ග්‍රන්ථය සිංහල බෞද්ධයන් විසින් හඳුන්වන ලද්දේ ‘‘පිරුවානා පොත් වහන්සේ’’ යන ගෞරව නාමයෙනි.
 
 
 
පිරිත් ධර්මය
 
පිරිත නොහොත් පරිත්‍ත යන්නෙහි අර්ථය වන්නේ ‘‘සියලූ අන්තරායන් දුරු කරමින් රකින්නේ ය’’ යන්න ය. එමෙන් ම, ‘‘සියලූ ස්වාභාවික උවදුරෙන් ද, සත්වයන් විසින් ඇති කරන්නා වූ බියෙන් ද රකින්නේ ය’’ යන අර්ථය යි.
 
පිරිතේ ආරම්භය සහ එහි අර්ථය කුමක් ද යන්න පැහැදිලි කිරිමට සිත් වූයේ අද්‍යතන බෞද්ධයන් පිරිත් දේශනා පවත්වන්නේ ද, පිරිත් දේශනාවලට සවන් දෙන්නේ ද එහි යථාස්වරූපය පිළිබඳ අනවබෝධයකින් බව දක්නට ලැබුණ හෙයිනි.
 
බුදුන් වහන්සේගේ සියලූ දේශනා මෙන් ම පිරිත් දේශනා ද වදාළා ඇත්තේ පාලි භාෂාවෙනි. එකී භාෂාව ශබ්ද නගා, රිද්මයානුකූල ව ගායනා ස්වරූපයෙන් විකාශය කළ හැකි භාෂාවකි. අප අසන කියන සියලූ ගාථාවල කිසියම් රිද්මයානුකූල භාවයක් පෙන්නුම් කරනු ලබන්නේ එබැවිණි.
  
පාලි භාෂාවෙහි ගැබ්ව ඇති උච්ඡ ස්වර ඇතැම් තැන්හි දී අපගේ හද ගැස්ම පවා වෙනස් කරවන සුලූ ය. පිරිත් ඇසෙද්දී යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්ඩයන් පලා යන්නේ යැයි මතයක් පවතින්නේ ද එබැවිණි. එහෙත් මෙහි කිසිඳු සත්‍යයතාවක් නොමැති බව පර්යේෂණ මගින් ඔප්පු කර ඇත. මන්ද, යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ යනුවෙන් කිසිවකු නොමැත.
 
පිරිත් සජ්ඞායනයේ දී පවත්නා රිද්මයානුකූල භාවය නොමැති වූයේ නම් එය ශ්‍රවණය කිරීම සඳහා මිනිසුන් නො පෙළඹෙන බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. එහෙත් අප උකහා ගත යුත්තේ එහි ශබ්ද රසය හෝ රිද්මයානුකූල භාවය නොව අදාළ පිරිතෙහි අඩංගූ ‘වචනාර්ථ’ ය. 
 
නමුදු එදා සිට අද දක්වා කිසිදු බෞද්ධයෙක් මේ පිළිබඳ ව අවධානය යොමු කර ඇති බවක් දක්නට නැත. 
 
ඔබ අප සියලූ දෙනා පුරුදු පුහුණු වී සිටින්නේ සංඝයාවහන්සේලා විසින් දේශනා කරනු ලබන පිරිත් ශ්‍රවණය කර සාධුකාර පිරිනැමීම පමණි. සැබෑ බෞද්ධයන් නම් කළ යුත්තේ අදාළ පිරිතෙහි වචනාර්ථය මැනවින් අවබෝධ කර ගෙන ඒ අනුව තම දිවි පෙවෙත සකසා ගැනීම ය.
 
 
සෙත් පිරිත් :
 
මීළඟට අවධානය යොමු කළ යුත්තේ බුදුන් ධරමාන යුගයේ දෙසු පිරිත් සහ පසු කාලයේ දී සෙත් පිරිත් වශයෙන් සඳහන් කර ඇති පිරිත් කෙරෙහි ය. බෞද්ධාගමිකයන් වන අප දන්නා පරිදි ‘‘පිරුවානා පොත් වහන්සේ’‘ නමින් ගෞරවාදරයට පාත්‍ර වූ පිරිත් පොතෙහි ද මේ සෙත් පිරිත් සහ බුද්ධ පිරිත් යන දෙවර්ගය ම අන්තර්ගත ය.
 
බන්‍ධ පිරිත, ධජග්ග පිරිත, අටවිසි පිරිත, ආටානිටිය පිරිත මේ අතුරින් විශේෂිත ය.
 
මෙම සිව් පිරිත් හැරුණුවිට මහා පිරුවානා පොත් වහන්සේ තුළ මතු සඳහන් පිරිත් ද අන්තර්ගත ය.
 
මෝර පිරිත, චන්‍ද පිරිත, සූරිය පිරිත, ආරක්‍ෂක පිරිත, ඇණවුම් පිරිත, අංගුලිමාල පිරිත, ජය පිරිත. බොජඣඞග පිරිත, මත්‍යසාර පිරිත, සීවලි පිරිත, ජ්වර පිරිත, ආසිචක්‍ඛ පිරිත, ආරන්‍යක පිරිත, අභය පිරිත, වත් පිරිත, තිස් පෑ පිරිත, ගිනි පිරිත, වැසි පිරිත, වක්‍ත පිරිත, ජලනන්‍දන පිරිත සහ  දසමාර පිරිත.
 
මෙම පිරිත් සමුහයට අමතර ව තවත් පිරිත් බොහෝ ප්‍රමාණයක් පොත-පතෙහි සඳහන් වුව ද, බෞදධයන් විසින් නිරන්තරයෙන් භාවිතා කරනු ලබන්නේ මෙම පිරිත් වර්ග කිහිපය යි.
 
 
 
පිරිතෙහි අන්තර්ගතය:
 
pirith
 
පිරිතෙහි අන්තර්ගතය කුමනාකාර ද යන්න වටහා ගැනීම සඳහා සියලූ පිරිත් ගෙනහැර දැක්විය නොහැකි වුව ද උදාහරණයක් ලෙස පිරිත් කිහිපයක් උපුටා දක්වන්නට අදහස් කළෙමි.
 
අප පළමුවෙන් ම බන්‍ධ පිරිත (මෙය ‘කඳ පිරිත’ නමින් ද හැඳින්වේ) වෙත අවධානය යොමු කරමු.
 
බුදුන් වහන්සේ විසින් මෙම පිරිත වදාරණ ලද්දේ කවුරුන් සඳහා ද, කුමක් සඳහාද යන්න විමසා බලමු.
 
සැවැත් නුවර එක්තරා භික්‍ෂුවකට සර්පයකු දෂ්ට කිරීමෙන් අනතුරු ව උන්වහන්සේ කලුරිය කළේ ය. අනතුරු ව බොහෝ භික්‍ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ අබියසට පැමිණ මෙපුවත සැල කිරිමෙන් ඉක්බිති බුදුන් වහන්සේ, අදාළ භික්‍ෂුවට එසේ සර්පයෙක් දෂ්ට කළ හේතුව පැහැදිලි කර වදාළේ ය. 
 
පසු කලක දී මෙම සිදුවීම සහ බුදුන් වහන්සේ කළ දේශනය පිරිතක් ලෙස දේශනා කළෝ ය. මෙම පිරිත පාලි භාෂාවෙන් ආරම්භ වන්නේ මේ ආකාරයෙනි.
 
‘‘ඒවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, තෙන ඛො පන සමයෙන සාවත්‍ථියං අඤඤතරො භික්‍ඛු අහිනා දටෙඪා කාලකතො හොති’’
 
මෙම පද පේළිය රිද්මයානුකූල ව සජඞායනා කරද්දි බොහෝ විට: ‘‘මෙ’’ යන වදන ‘‘මේ’’ වශයෙන් ද, ‘‘ආරාමෙ’‘ යන වදන ‘‘ආරාමේ’’ වශයෙන් ද සජඞායනා වන අතර මහප්‍රාණ අක්‍ෂර හඬනගා සජඞායනා කරන විට ද වෙනස් ම වූ සංවේදිත්වයක් මිනිස් හදවතට මෙන් ම වෙනත් ප්‍රාණීන්ගේ මනසට ද දැනෙන්නට පිළිවන. එහෙත් අප විමසා බැලිය යුත්තේ මෙම වදන් පෙළෙහි ගැබ්ව තිබෙනා ‘වචනාර්ථය’ යි.
 
එම වචන සමුහය ඇතුළත් පෙළ සිංහල භාෂාවට පෙරළූ විට එහි අර්ථය මේ අකාරයට සඳහන් වේ.
 
‘‘මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි අනේපිඬු සිටුහුගේ දෙව්රමෙහි වැඩ වසන සේක. එසමයෙහි සැවැත් නුවර එක්තරා භික්‍ෂූ නමක් සර්පයකු විසින් දෂ්ට කරනු ලැබ කලුරිය කළේ වෙයි. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව හුන්නාහුය. එකත් පස්ව හුන්නාහු ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. ‘‘ස්වාමිනි, මේ සැවැත් නුවර එක් භික්‍ෂු නමක් සර්පයකු විසින් දෂ්ට කරනු ලැබ කලුරිය කළේ ය’’
 
මෙය වඩාත් සරල බසට නගන්නේ නම්,
 
‘‘එක් සමයක බුදුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද දෙව්රම් වෙහෙරෙහි වැඩ විසු සේක. එ සමයේ (ඒ කාලයේ) සැවැත් නුවර විසු එක්තරා භික්‍ෂු නමකට සර්පයෙක් දෂ්ඨ කළේ ය. එම සර්ප විස ශරීර ගතවීම හේතුවෙන් උන්වහන්සේ අපවත් වූහ. පසුව භික්‍ෂූන් වහන්සේලා පිරිසක් බුදුන් වහන්සේ අභියසට පැමිණ ගෞරව පුර්වකව වැඩ සිටියෝ ය. එසේ ගෞරව පූර්වකව වැඩ හිඳිමින් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසූහ. ‘‘ස්වාමිනි, මේ සැවැත් නුවර භික්‍ෂූන් වහන්සේ නමක් සර්ප විෂකින් අපවත් වූහ....’’
 
 
පිරිත යනුවෙන් හැඳින්වෙන මෙම පද පේළියෙහි සැබැ අරුත දැන් ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි. ඔබ වඩාත් හොඳින් විමසා බලන්නේ නම්, පිරිත ආරම්භයේ දී ම පවසන්නේ එක්තරා සිදුවීමක් බව පසක් වනු නොඅනු මාන ය. නමුදු පාලි භාෂාවෙන් සජ්ඞායනය කරන විට මෙවැනි හැඟීමක් ඔබ සිත තුළ පැන නොනගින බව නම් ස්ථීර ය. මන්ද සජ්ඞායනයේ ස්වරය සහ රිද්මය විසින් එහි වචනාර්ථය සෙවීමේ උනන්දුව අප වෙතින් පලවා හැර ඇති බැවිනි.
 
 
සූත්‍ර මොනවාද සහ ‘‘සූත්‍ර’’ යනු මෙනවාද ?
 
මෙය වඩාත් තහවුරු කර ගනු පිණිස ඉදිරියේ දී තවත් පිරිත් කිහිපයක අන්තරා කොටස් කිහිපයක් විමසා බලමු. ඊට පෙර පිරිත් සජ්ඞායනයක දී සජ්ඞායනා කරනු ලබන සූත්‍ර මොනවාද සහ ‘‘සූත්‍ර’’ යනු මෙනවාද යන්න විමසා බලමු.
 
‘‘සූත්‍ර’’  නමැති වචනය ද පාලි වචනයකි. කාලයාගේ ඇවැමෙන් එය සිංහල භාෂාවට ද එකතු වී ඇත. ''යන්ත්‍ර සූත්‍ර''  ‘‘සූත්‍ර ආහන’’, ‘‘සූත්‍ර කර්තනය’’ ‘‘සුත්තරකාරයා’’ නමැති වචන ද මෙම ‘‘සූත්‍ර’’  යන පදයෙන් බිඳී ආ බව වාග් විදයාඥයෝ පවසති. 
 
බුදු දහම විෂය කෙරෙහි ලා සලකන විට ‘‘සූත්‍ර’’ යන වචනයෙන් හැඳින්වෙන්නේ , ‘‘බුදුන් වහන්සේ විසින් මනා ලෙස දේශනා කරන ලද විශේෂ අර්ථ ප්‍රකාශ කරන ධර්ම කොට්ඨාසයක්’’ යනුවෙනි.
 
‘සූත්‍ර’’  යන්නෙන් හැඳින්වෙන්නේ ‘‘දේශනා’’ බව දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි.
 
බුදුන් වහන්සේ නොයෙක් අවස්ථාවල දී නොයෙක් ආකාරයේ දේශනා වදාළද්දී ද ඇතැම් විට යම් රිද්මයානුකූලත්වයකින් එකී දේශනා පවත්වන්නට ඇති බවට මෙය කදිම නිදසුනකි. වර්තමානයේ සිංහල භාෂාවෙන් ‘‘කවි බණ’’ වදාරන්නේ ද එහි ම තවත් දිගුවක් ලෙස යැයි සැලකිය හැකි ය.
  
සූත්‍ර පිටකයෙහි අන්තර්ගත සූත්‍ර ප්‍රමාණය දහසය දහස ද ඉක්මවන බව ප්‍රකට කරුණකි. එහෙත් මහා පරිත්‍රාන ධර්ම දේශනයක දී වුව ද සජ්ඞායනා කරනු ලබන්නේ සුත්‍ර පහළොවකටත් අඩු ප්‍රමාණයකි. ඊටත් වඩා අඩු ප්‍රමාණයක් සජ්ඞායනය කළ ද, වැඩි ප්‍රමාණයක් සජ්ඞායනය කළ ද ඒවායේ අරුත කුමක් ද යන්න සොයා බලන්නට අප කිසිවකු නොපෙලඹෙන බව ඒකාන්ත ය. 
 
 
 
කරණීය මෙත්ත සූත්‍රය :
 
එබැවින් සූත්‍ර නොහොත් දේශනා ශ්‍රවණය කිරීමෙන් පමණක් සැබෑ බෞද්ධයකු විය නො හැකි ය. කළ යුත්තේ එකී සූත්‍රවල හෝ පිරිත්වල අන්තර්ගත කරුණු හදාරා ඒ පිළිවෙත් පිළිපැදී ම ය.
 
සූත්‍ර කිහිපයක විවරණ සැපයීමට ප්‍රථමයෙන් අප කවුරුත් පාහේ නිරන්තරයෙන් ශ්‍රවණය කරන්නා වූ එක් සුත්‍රයක පද පැහැදිලි කර ගනිමු.
 
කරණීය මෙත්ත සූත්‍රය අප උදේ හවා ශ්‍රවණය කරන සූත්‍රයක් බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරමු.
 
එය ඇරඹෙන්නේ මෙලෙසිනි,
 
කරණීත්‍මත්‍ථ කුසලෙන
යං තං සන්‍තං පදං අභිසමෙච්ච
සක්ඛෝ උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදුඅනතිමානී.
 
 
නිතර ශ්‍රවණය වන මෙම සූත්‍රයේ ‘‘කුසලෙන’’ නමැති වචනය අපට ශ්‍රවණය වන්නේ ‘‘කුසලේන’’ යනුවෙන් බව ඔබට මතක ඇතැයි සිතමි. එමෙන් ම ‘‘සක්ඛෝ’’ නමැති වචනය අපට ශ්‍රවණය වන්නේ ‘‘සෙක්‍කා’’ යනුවෙන් බව ද ඔබට සිහිවනු ඇතයි සිතමි. මෙය අපගේ  ශ්‍රවණේන්‍ද්‍රියේ ආබාධයක් නොව අප විසින් හුරු කර ගත් රිද්මයානුකූල භාවය යි. 
 
මෙය සජ්ඞායනා කිරීමේ දී ද පාලි භාෂාවේ ‘‘ලොප්’’ වී ඇති ‘‘හලන්තය’’ භාවිත නොවේ. එම පදවල අග අක්‍ෂරය ඇද පැද සජ්ඞායනා කරන්නේ සිංහල උරුව එය වන හෙයිනි. ‘‘සුවචො’’ නමැති වචනය ද ශබ්ද නගන්නේ ‘‘සුවචෝ’’ යනුවෙනි. මෙය දේශනා ස්වරූපය ඉක්මවා ගිය ගායනා ස්වරූපයකි. කලින් සඳහන් කළ පරිදි එකී ගායනා ස්වරූපය නොතිබෙන්නට අප පිරිත් හෝ සූත්‍ර ශ්‍රවණය කරන්නට නොපෙළඹෙන බව ස්ථීර ය.
 
දැන් අප මෙහි සිංහල අර්ථය විමසා බලමු.
 
‘‘ශාන්ත පදය වූ නිවනට පැමිණ වසන්නාහු විසින් යමක් කටයුතු ද තම අභිවෘද්ධියෙහි දක්ෂයා විසින් එය කළ යුතුය. හෙතෙමේ සමතෙක් වන්නේය; ඍජු වන්නේය; මනා කොට ඍජු වන්නේය; කීකරු වන්නේය; නිහතමානි වන්නේය.’’
 
මෙය වඩාත් සරල බසට නගන්නේ නම්,
 
‘‘සැනසුණු පදය වූ නිවන අවබෝධ කර ගත් අය යමක් කරන්නේ නම්, තම දියුණුවේ දක්ෂ කෙනෙක් ම එය කළ යුතු ය. ඔහු සමත් පුද්ගලයෙක් වන්නේ ය; ඍජු (අවංක, නොනැමෙනසුලු) පුද්ගලයෙක් වන්නේ ය; ඉතා මැනවින් ඍජු වන්නේ ය; කීකරු වන්නේ ය; නිහතමානි වන්නේ ය.’’  
 
දැන් නැවතත් සිතන්න.... ඔබ කිසි දිනක මෙහි අරුත මේ ආකාරයෙන් වටහා ගත්තේ ද? වටහා ගෙන එකී පිළිවෙතෙහි සරන්නට අදිටන් කර ගත්තේ ද? ඔබ එසේ නොවුයේ නම් කොතෙක් බණ භාවනා කළ ද නිර්වානය මතු නොව අල්පේච්ඡ ජීවිත පැවැත්මකට හෝ නැඹුරු නොවනු ඇත. අප වටහා ගත යුත්තේ මෙන්න මේ සත්‍යය යි. ක්‍රියා  කළයුත්තේ ඒ සත්‍යය මත පදනම් ව ය.
 
 
‘‘දවත්‍තිංසාකාරො’’ නමැති ගාථාව
 
ඉදිරියේ දී තවත් පිරිත් කිහිපයක් සහ සූත්‍ර කිහිපයක් පිළිබඳ විවරණයක යෙදෙන්නට පෙර සැදැහැවත් බෞද්ධ ඔබ නිතර භාවිතා කරනා ගාථා පිළිබඳ ව ද යම් විමසීමක යෙදෙමු.
 
මේ සඳහා මහා පිරුවානා පොත් වහන්සේ හි අන්තර්ගත ‘‘දවත්‍තිංසාකාරො’’  නමැති ගාථාව විමසා බලමු.
 
දවත්‍තිංසාකාරො.
 
‘‘අත්‍ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්‍තා තචො, මංසං නාරු අට්ඨි අට්ඨිමිඤජා වක්‍කං. හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං, අණතං අන්‍තගුණං උදරියං කරිසං, පිත්‍තං සෙමහං පුබ්බෙ ලොහිතං සෙදො මෙදො, අස්සු වසා ඛෙලො, සිඞඝානිකා ලසිකා මුත්‍තං මත්‍ථකෙ මත්‍ථලුඞගන්‍තී ති.’’
 
මෙම ගාථාවෙන් හැඳින්වෙන්නේ ශරීරයේ පිහිටි කෙස් ලොම් ආදි පිළිකුල් සහගත කොටස්  පිළිබඳව ය. මෙම ගාථාවේ සිංහල අර්ථය මෙසේ ගෙනහැර දක්වා ඇත.
 
දෙතිස් කුණපයෝ
 
‘‘මේ (මිනිස්) කයෙහි: කෙස්, ලොම්, නිය, දත්, සම, මස් පිලලඩු, නහර, ඇට, ඇට මිදුලූ, හදවත, අක්මාව, දලබුවය (වැදෑමහ), බඩදිව, පපුව, බඩවැල, අතුණුබහන්, උදරය, අහර මල, පිත, සෙම, සැරව, ලෙය, ඩහදිය, මේදය, කදුළු, වුරුණු තෙල් (මසෙහි ඇතුළත් තෙල්), කෙළ, සොටු, සඳමිඳුලු (සන්ධි ස්ථානයන්හි තැන්පත්ව ඇති ජෙලි වැනි ද්‍රව්‍යය), මුත්‍ර සහ හිස් මුදුනෙහි මොළය.’’
 
දැන් ඔබ මොහොතක් සිතන්න....
 
ඔබ මෙතෙක් මහත් අභිරුචියෙන් ශ්‍රවණය කළේ: කුණු වී,  ඕජස් ගලා, දිරා පොළොවට පස් වන මිනිස් සිරුරේ අන්තර්ගත ශරීරාවයව පිළිබඳ හෙළිදරව් කරන පද පෙළකට නොවේ ද? අප භාවිතා කරන සාමාන්‍යය වහරෙන් විමසද්දී මෙකී ඇතැම් කොටස් පිළිබඳ පිළිකුල් සහගත බවක් ඇති වනවා නොඅනුමාන ය. 
 
එහෙත් ඉහත ගාථාව ශ්‍රවණය කරද්දී වුව ද අප සැවොම සාධුකාර පිරි නො නමන්නේ ද? අනිවාර්යයෙන් ම සාධුකාර පිරීනමන්නේ ය. ඒ සැදැහවත් බෞද්ධයා ‘‘පරිත්ත’’ නොහොත් ‘‘පිරිත’’ කෙරෙහි දක්වන ගෞරව පූර්වකත්වය හේතුවෙනි. එකී ගෞරව පූර්වකත්වය අපගේ සිතිවිලි නිදහසේ ගලා යාම වළක්වා ඇති බව මේ මොහොතේ ඔබට පසක් වනු ඇතැයි සිතමි.
 
එහෙයින් අප අනිවාර්යයෙන් ම පිරිතෙහි වචනාර්ථය වටහා ගත යුතු ව ඇත. ලොව්තුරා බුදුන් වන්සේ දෙසා වදාරණ ලද බුද්ධ වචනය කුමක් ද?, එහි සැබැ අරුත කුමක් ද?, එකී අරුත් වටහාගෙන ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න අවබෝධ වන්නේ අන්ධ භක්තියෙන් වියුක්ත ව සැබැ යථාර්ථය අවබෝධ කර ගැනීමෙන් පමණි.
 
12
 
දැන් නැවතත් ‘‘පරිත්‍ත’’ නොහොත් ‘‘පිරිත’’ පිළිබඳ විමංසනයක යෙදෙමු.
 
මීට පෙර සඳහන් කළේ බන්‍ධ පිරිතෙහි පළමු ඡේදයෙහි අර්ථ විවරණය යි. ‘‘පරිත්‍ත’’ නොහොත් ‘‘පිරිත’’ යනු කුමක්දැයි වඩාත් පුළුල් ව අවබෝධ කර ගැනීම සඳහා එම පිරිතෙහි ම දෙවන ඡේදය කෙරෙහි අවධානය යොමු කරමු.
 
‘‘අථ ඛො සම්බහුලා භික්‍ඛු යෙන භගවා තෙනුපස්සඬ්කමිංසු. උපාසඬ්කමිත්‍වා භගවන්‍තං අභිවාදෙත්‍වා එකමන්‍තං නිසී දිංසු, ඒකමන්‍තං නිසින්‍නා ඛො තෙ භික්‍ඛු භගවන්‍තං එතදවොචුංත’’
 
දැන් පෙර පරිදි ම මෙහි සිංහල අර්ථය පිළිබඳ විමසමු.
 
‘‘මහණෙනි, ඒ භික්‍ෂුව ඒකාන්තයෙන් සතර අභිරාජ කුලයන් කෙරෙහි මෙත් සිත නො පැතිර වීය. ඉදින් ඒ භික්‍ෂුව සතර අභිරාජ කුලයන් කෙරෙහි මෙත් සිත පැතිර වූයේ නම් ඒකාන්තයෙන් ඒ භික්‍ෂුව සර්පයකු විසින් දෂ්ට කරනු ලැබ කලුරිය නොකරන්නේ ය. සතර අභිරාජ කුලයෝ කවරහු ද යත්:’’
 
සතර අභිරාජ කුලයෝ කුමක් ද යන්න මෙම පිරිතෙහි ඉදිරි පරිච්ඡේදයන්හි සාකච්ඡා කෙරේ. ඒ සියල්ල කෙරෙහි අවධානය යොමු කිරීමට ඇති ඉඩ-කඩ සීමා සහිත බැවින් අප මෙම ඡේදය තවත් සරල කර මෙසේ පැහැදිලි කර ගනිමු.
 
‘‘භික්‍ෂූන් වහන්ස, කලුරිය කළා වු ඒ භික්‍ෂූන් වහන්සේ සතර අභිරාජ කුල (විරූපක්‍ඛ - වරම් දෙව් රජුන්ගෙන් එක් අයෙක්, ඒරාපථ, ඡඛ්‍යාපුත්‍ථ, කණ්හා ගෝතමක) වෙත මෛත්‍රී සිත පැතිර වුයේ නම් කිසිසේත් ම ඒ භික්‍ෂුව සර්පයකු විසින් දෂ්ට කරනු ලැබ අපවත් නොවන්නේ ය’’
 
මඳක් සිතන්න....
 
ඔබ පිරිත් සජ්ඞායනාවන්ට සවන් යොමු කරන මොහොතක මෙම කොටසෙහි මෙවන් අරුතක් තිබේ යැයි වටහා ගත්තේ ද? ඔබ එසේ වටහා ගත්තේ නම් එතැන් සිට සතර අභිරාජ කුලයන් කෙරෙහි මෙත් සිත් පතුරවන්නට පෙළඹෙන්නේ ද? එයට ‘‘ඔව්’‘ හෝ ‘‘නෑ’’ යන පිළිතුර සැපයීමේ අයිතියක් මා සතුව නොමැති බැවින් ඔබ ම සිතා-මතා ඒ පිළිබඳව නිගමනයකට එළඹෙන්න. නැවත නැවතත් සිතන්න. පිරිත් ශ්‍රවණය කළ පමණින් සැබැ බෞද්ධ අරමුණ ඉටු නොවන බව පසක් කරගන්න.
 
අප දන්නා බොහෝ සූත්‍ර ඇරඹෙන්නේ මේ ආකාරයෙනි.
 
‘‘එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ කො අඤඤතරා දෙවතා අභික්‍කන්‍තාය රත්‍තියා අභික්‍කන්‍තවන්නා කෙවලකප්පං ජතෙවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඬ්කමි. උපසඬ්කමිත්‍වා භගවන්‍තං අභිවාදෙත්‍වාඒකමන්‍තං අට්ඪාසි.එකමන්‍තං ඪිතා ඛො සා දෙවතා භගවන්‍තංගාතාය අජ්ක්‍ඞභාසි :-’’
 
මේ මහා මංගල සූත්‍රයේ ඇරඹුම යි. දැන් මෙහි සිංහල අරත පිළිබඳ ව විමසා බලමු.
 
‘‘මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේත වනයෙහි අනේපිඬු සිටානන්ගේ දෙව්රම් අරම්හි වැඩ වන සේක. ඉක්බිති එක්තරා දෙවියෙක් රාත්‍රී පෙරයම ඉකුත්ව ගිය කල්හි ඉතා වර්ණවත් වුයේ මුළු ජේතවනය හාත්පසින් බබුළුවමින් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව සිටියේ ය. එකත් පස්ව සිටි ඒ දෙවියා ගාථාවකින් භාග්‍යවතුන් වහන්සේට (මෙසේ) කීය.’’
 
පිරුවානා පොත් වහන්සේහි සඳහන් මෙම පැහැදිලි කිරීම තවත් සරල සිංහලයට නගන්නේ නම්. එය මෙසේ ය.
 
‘‘එක් කාලයක බුදුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටතුමාගේ දෙව්රම් වෙරෙහි වැඩ සිටියෝ ය. එවිට එක්තරා දෙවියෙක් රාත්‍රී පළමු යාමයේ (රාත්‍රී දහයට පමණ) දී මුළු ජේතවනය ම ඒකාලෝක කරමින් බුදුන් වහන්සේ වැඩසිටි ස්ථානයට සැපත් (පැමිණියේ ය) වූවේ ය. පැමිණ උන්වහන්සේට ගෞරවාපූර්වක ව වැඳ නමස්කාර කර සිටියේ ය. එසේ ගෞරවාපූර්වකව වැඩ සිටිමින් ඒ දෙවියන් බුදුන් වහන්සේට ගාථාවකින් මෙසේ කියා සිටියේ ය.’’
 
සරල සිංහල මතු නොව පුරාණ සිංහල බස ඇසුරෙන් වුව ද මෙහි අර්ථය වටහා ගැනීම එතරම් අසීරු නොවේ. එනම්, මෙහි දී ද සඳහන් කරන්නේ එක්තරා සිදුවීමකි. 
 
එකී සිදුවීම ප්‍රකාශයට පත්කරන ආකෘතිය සම්පූර්ණයෙන් ම පාහේ කාව්‍යාත්මක ය. ඒකතානව ගලාගෙන යයි. එහෙත් ඔබ ඉහත සඳහන් පාලි වාක්‍යය කෙරෙහි දැඩි අවධානය යොමු කරන්නේ නම් එහි නැවතීමේ ලකුණු, කොමා, තිත් කොමා මතු නොව දෙතිත ද යොදා ඇති බව පැහැදිලි වනු ඇත. මෙම ගාථාව යනු වාක්‍ය ඛණ්ඩ කිහිපයක් බව ඉන් ගම්‍ය නොවන්නේ ද? එම වාක්‍ය ඛණ්ඩ කිහිපය තුළින් පවසන්නේ බුදුන් ධරමාන යුගයේ සිදු වූ තවත් එක් සිදුවීමක් පමණි.
 
 
දැන් අපි තවත් සූත්‍රයක ඇරඹුම වෙත එළඹෙමු.
 
‘‘එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත‍්‍ර ඛො භගවා භික්‍ඛු ආමෙන්‍තසිත භික්‍ඛවොති, භදෙන්‍තති තෙ භික්‍ඛු භගවතො පච්චසෙසාසුං. භගවා එතදවොච:
 
දස ඉමෙ භික්‍ඛවෙ ධම්මා පබ්බජිතෙන අභිණහං පච්චවෙක්‍කිතබ්බා. කතමෙ දස?’’
 
මේ දස ධර්ම සූත්‍රයේ ඇරඹුම ය.
 
බහුතරයක් සූත්‍ර ඇරඹුමේ දී ‘‘එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.’’ නමැති කොටස අන්තරගත වන බව මෙහි දී ඔබට පැහදිලි වනු ඇත. 
 
මින් හැඟවෙන්නේ බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානය යි. ජාතක කතා පොත පරිශීලනය කරන විට දී ද ඔබ මෙවන් අත්දැකීමකට මුහුණ දී ඇතුවාට සැක නැත එනම් එහි බොහෝ කතන්දර අරඹන්නේ: ‘‘තවද එක් සමයෙක්හි අසරණයන් සරණ වු සර්වඥයන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසද් දී....’’, ‘‘තවද එක් සමයෙක්හි චතුර් වෛශාරද ඥානයෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ වේළුවනා රාමයෙහි වැඩ වසන සේක.’’, ‘‘තවද එක් සමයෙක්හි රාගාදී සංග රහිත තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක.’’ ආදි වශයෙනි. 
 
මෙහි දී බහුතරයක් ජාතක කතා ඇරීඹීමේ දී ‘‘තවද එක් සමයෙක්හි’’ යන යෙදුම භාවිතා කර ඇත. ඉන් ගම්‍ය වන්නේ අදාළ  ආත්ම කතනය දේශනා කරන මොහොතේ උන්වහන්සේ වැඩවාසය කළ ස්ථානය යි. පිරිතක් හෝ සූත්‍රයක්: විශේෂයෙන් ම සූත්‍රයක් ආරම්භයේ දී ද මේ ආකාරයෙන් ‘‘එවං මෙ සුතං, එකං සමයං’’ යනුවෙන් හැඳින්වෙන්නේ ද අදාළ පිරිත හෝ සූත්‍රය වදාරණ අවස්ථාවේ උන්වහන්සේ වැඩ සිටි ස්ථානය යි.
 
 
දැන් නැවතත් ‘‘දස ධර්ම සූත්‍රයේ’’ ඇරඹුමෙහි සිංහල අරුත වටහා ගන්නට උත්සාහ දරමු.
 
‘‘මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටානන්ගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘‘මහණෙනි’’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘‘ස්වාමීනි’‘ යැයි භික්‍ෂූහු පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ‘මහණෙනි, පැවිදි වූවහු විසින් නිතර මෙනෙහි කළ යුතු කරුණු දහක් ඇත. ඒ කවරේද යත්’’
 
මෙය තවත් ලිහිල් බසින් පැහැදිලි කරන්නේ නම්:
 
‘‘මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර පිහිටි අනේපිඬු සිටුතුමාගේ ජේතවනාරාමයෙහි වැඩ විසුවෝ ය. එහි දී බුදු රජාණන් වහන්සේ ‘මහණෙනි’ යනුවෙන් භික්‍ෂූන් ඇමතුවෝ ය. භික්‍ෂූන් ද ‘ස්වාමිනි’ යනුවෙන් බුදු රජාණන් වහන්සේට පිළිතුර සැපයූහ. එවිට බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. ‘මහණෙනි පැවැදි වූවන් විසින් නිරන්තරයෙන් සිහිපත් කළ යුතු කරුණු දහයක් ඇත. ඒ කරුණු දහය නම්....,’’
 
මෙම සූත්‍රය ද අරඹන්නේ එක්තරා සිදුවීමක් පසුබිම් කර ගෙන බව දැන් ඔබට වැටහෙනු ඇත.  මෙහි මා කලින් සඳහන් කළ පරිදි: තිත්, කොමා, තිත් කොමා, දෙතිත මතු නොව ප්‍රශ්නාර්ථය ද අන්තර්ගත ය. 
 
එහෙත් පිරිත් සජ්ඞායනයේ දී හෝ ශ්‍රවණය කිරීමේ දී එහි මෙබඳු ලකුණු කිසිවක් ඇතැයි ඔබ මෙතෙක් විමසා සිටියේ ද? ඒ පිළිබඳු අබ මල් රේණුවක තරමවත් දැන සිටියේ ද? අප විශ්වාස කරනාකාරයට නම් ඔබ ඒ පිළිබඳ ව දැනුවත් වී සිටින්නට අවකාශ නොමැත. මන්ද, ඔබ පිරිත් ඇසුවා මිස ‘‘පිරුවානා පොත් වහන්සේ’’ කියවා නැති හෙයිනි.
 
බුදුන් වහන්සේ දේශනා කරන ලද පිරිත් හෝ සූත්‍ර දේශනා කර ඇත්තේ  ඕපාදුප කතාකරනවා වැනි හැඟීමකින් නොවේ. උන්වහන්සේ මේ සියල්ල දේශනා කොට ඇත්තේ යම් පුද්ගලයෙක්, කණ්ඩායමක්, දේශයක්, ද්වීපයක් සුවපත් කරනා අටියෙනි. ඒ සෑම සූත්‍රයක ම පිරිතක ම අන්තර්ගතය ඉතා වටනේ ය. 
 
එහෙත් එහි අරුත වටහා නොගනිමින්, එහි පාරභෞතික තත්ත්වය වෙත පමණක් අවධානය යොමු කිරීම හේතුවෙන් සැබෑ බෞද්ධයන් ලෙස පෙනී සිටින්නන්ට මතු නොව උත්සාහයෙන් ධර්ම කරුණු අවබෝධ කරගන්නට වෙහෙසෙන, සැබැ බෞද්ධයකු වන්නට සැරසෙන පුද්ගලයන්ට පවා සැබැ බුදු දහම කුමක් ද? සැබැ බුදු දහමෙහි අරුත කුමක් ද යන්න වටහා ගැනීම සාරාසංඛෙය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා හෝ අවබෝධ කර ගත නොහැකි ය. 
 
මා මේ ලියැවිල්ල හරහා වෙර දරන්නේ මෙසේ මංමුළා වී සිටින බෞද්ධයාට සැබෑ බෞද්ධත්වය යනු කුමක්දැයි වටහා දීමට යත්න දරීමය.
 
 
 
ධජග්ග පිරිත :
 
දැන් අප තවත් පිරිතක් කෙරෙහි අවධානය යොමු කරමු. මෙය ‘‘පිරුවානා පොත් වහන්සේ’’හි අන්තර්ගත ප්‍රධාන පිරිත් දහසයේ අවසන් පිරිත වන ධජග්ග පිරිත යි.
 
මෙහි ඇරඹුම ද බහුතර පිරිත් ඇරඹුමෙන් වියුක්ත නොවේ.
 
‘‘එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. ත්‍ත‍්‍ර ඛො භගවා භික්‍ඛු ආමෙන්‍තසිත භදනෙත්‍ති තෙ භික්‍ඛු භගවතො පච්චසේසාසුං, භගවා එතදවොචත
 
මෙහි සිංහල අර්ථය ද පෙර පරිදි ම වේ එහෙත් එය ඔබගේ පහසුව පිණස මෙසේ සටහන් කරමි.
 
‘‘මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි අනේ පිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වන්සේ ‘මහණෙනියි’ භික්‍ෂූන් ඇමතූ සේක.’’
 
දැන් මෙය වඩාත් සරල සිංහලයට නගමු.
 
‘‘ම විසින් මෙසේ අසන ලදී. එක් කාලයක බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර අනේ පිඬු සිටුතුමාගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ විසුවේ ය. එහි දි බුදුන් වහන්සේ ‘මහණෙනි’ යැයි භික්‍ෂූන් ඇමතූ සේක.’’
 
මෙතෙක් කළ සියලු පැහැදිලි කිරිම්වලට අනුව බහුතරයක් පිරිත් මෙන් ම සූත්‍ර ද ආරම්භ කර ඇත්තේ ඒ ඒ සමයන්හි බුදුන් වහන්සේ වැඩ විසු ආරාම පිළිබඳ ව විස්තරයක් සපයමිනි. එය ජාතක කතාකරුවා කතන්දරය ආරම්භයේ දී බුදුන් වහන්සේ වැඩ විසු ස්ථානය හඳුන්වා දෙන ආකාරය ම ය. 
 
කතන්දරය කතන්දරයක් ලෙස නොපවසා රිද්මයානුකූල ව පැවසීම පිරිතෙහි සහ සූත්‍රයෙහි ඇති වෙනස බව දැන් ඔබට වැටහෙනු ඇතැයි සිතමි. 
  
බහුතරයක් පිරිත් සහ සූත්‍රවල ඇරඹුම  ඒ ආකාරයෙන් පවතිද්දී ඒවායේ අන්තරා කොටස් පිළිබඳ ව ද යම් තරමක විමසීමක යෙදිම සුදුසු යැයි හැඟේ. එබැවින් පළමුවෙන් ම එක් පිරිතක පාලි පද පෙළ සහ එහි සිංහල අරුත විමසා බලමු.
 
 
01. බහු දෙවා මන්ස්සාච - මංඞලානි අචින්‍තයුං
      ආකක්‍කමානා සොත්‍ථානං - බ්‍රෑහි මඞගලමුත්‍තමං
 
 
02. අසෙවනා ච බාලානං - පණ්ඩිතානඤ සෙවනා
      පූජාච පුජනියානං - එතං මඞගලමුත්‍තමං
 
 
 
මේ මහා මංගල සූත්‍රයේ පළමු ගාථා ද්වය යි. මෙහි සඳහන් වන්නේ දෙවියන් බුදුන් වහන්සේගෙන් විමසු පළමු පැනය සහ ඒ සඳහා බුදුන් වහන්සේ සැපයු පිළිතුරයි. දැන් එහි සිංහල අරුත විමසා බලමු. (මෙහි අරුත බොහෝ බෞද්ධයන් දැන සිටින්නට පිළිවන)
 
 
01. තම යහපත කැමති වන්නා වූ බොහෝ දෙවියෝ ද මංගල කරුණු ගැන සිතූහ. උතුම් මඟුල් කරුණු වදාළ මැනවි.
 
(එවිට භාත්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක)
 
 
02. නුවණ මඳ බාලයන් ඇසුරු නො කිරීම, නුවණැති පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, යන මේවා උතුම් මඟුල් ය.
 
  
පිරිත් ඇසීමෙන් හෝ පිරිත් සජ්ඞායනා කරවීමෙන් බුදුන් වහන්සේ දෙසු උතුම් ධර්මය ප්‍රායෝගික තලයේ පිහිටා තබන්නට නොහැකි බව මින් ගම්‍ය නොවන්නේ ද? 
  
ඔබ අසන පිරිතේ හෝ සවන් දෙන පිරිතේ කොතැනක හෝ මෙබඳු කරුණු අන්තර්ගත ව තිබුණේ දැයි ඔබ දැන සිටියේ ද? එසේ දැන සිටියේ නම්, දැන සිටි ඒ උතුම් අවවාද අනුශාසනා ක්‍රියාත්මක කළේ නම් අද ඔබ වෙනුවෙන් මෙවන් ලිපියක් සම්පාදනය කරන්නට නොලැබෙන බව ඒකාන්ත ය. 
 
එසේ හෙයින් නැවත නැවතත් සදැහැවත් බෞද්ධ පින්වතුන්ගෙන් කරනු ලබන එකම ආයාචනය ඔබ සජ්ඞායනා කරවනා පිරිත, ඔබ ශ්‍රවණය කරනා පිරිත වඩාත් ඵලදායිතාවක් සඳහා යොමු කරවන්නට නම් ඒවායේ අඩංගු උතුම් කරුණු නිවැරදි ව අවබෝධ කර ගත යුතු ය. ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කළයුතු ය.
 
විටින් විට යම් යම් පිරිත් සූත්‍ර ඇසුරෙන් ඔබ දැනුවත් කරන්ට යත්න දරන්නේ ඔබ පැටලී සිටින මායාවෙන් මුදවා යථා ලෝකය වෙත කැඳවාගෙන ඒමට බව මතක තබා ගන්න. මෙය කරදයක් හිරිහැරයක් යැයි නොසිතන්න. තව තවත් හදාරන්න. ගැඹුරින් සිතා බලන්න. බුදුන් වහන්සේ දෙසූ සැබෑ බුද්ධ දර්ශනයේ පිහිටා කටයුතු කරන්නට අදිටන් කරගන්න.
 
සූරිය පිරිතේ ඇරඹුම:
 
නැවතත් පිරිතක් වෙත අවධානය යොමු කරමු.
 
‘‘එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සුරිය දෙවපුත්‍තා රාහුනා අසුරින්‍දන ගහිතො හොතා. අථ ඛො සුරියො දෙවපුත්‍තා භගවන්‍තං අනුස්සරමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි.’’
 
මේ සූරිය පිරිතේ ඇරඹුම යි.
 
දැන් අප එහි සිංහල අර්ථය විමසා බලමු.
 
‘‘මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි අනේ පිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩ වසන සේක්. එකල්හි වනාහි සූරිය දේව පුත‍්‍ර තෙමේ රාහු අසුරේන්‍ද්‍රයා විසින් අල්ලා ගන්නා ලද්දේ වෙයි. ඉක්බිති සූරිය දේව පුත‍්‍ර තෙමේ එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ සිහි කරමින් මේ ගාථාව කීය’’
 
මෙහි අර්ථය තවත් ලිහිල් බසින් විමසමු.
 
‘‘ම විසින් මෙසේ අසන ලදී. එක් කළෙක බුදු රජාණන් වහන්සේ සැවත් නුවර අනේ පිඬු සිටුතුමාගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ හුන් සේක. එකල ම රාහු අසුරේන්‍ද්‍රයා විසින් සූරිය දේව පුත්‍රයා අල්ලා ගන්නා ලදී. අනතුරුව සූරිය දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේ සිහි කරමින් මෙම ගාථාව කීවේ ය.’’
 
මෙය ද පිරිතක් ලෙසින් සජ්ඞායනා කරනා යම් සිද්ධියකි. ඒ ඇසුරෙන් උන්වහන්සේ මිනිස් සමාජය වෙත විශාල දැනුම් සම්භාරයක් මුදාහළෝ ය. අප ග්‍රහණය කර ගත යුත්තේ එකී දැනුම් සම්භාරය යි. මෙය තව දුරටත් තහවුරු කර ගැනීම පිණිස එකී පිරිතෙහි ම වෙනත් අන්තරා කොටසක් වෙත යොමු වෙමු.
 
‘‘නමො තෙ බු`ඞවීරත්‍ථු, විප්පමුත්‍තාසි සබ්බ්ධී, සම්බාධපටිපෙන්‍නාසමි, තස්ස මෙ සරණං භවාති.’’
 
දැන් අප එහි සිංහල අර්ථය විමසමු.
 
‘‘‘බුද්ධ විරයාණනි, ඔබ වහන්සේ සියලූ කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් ම මිදුණු සේක. ඔබ වහන්සේට නමස්කාර වේවා. මම සම්බාධයකට (හිරිහැරයකට) පැමිණියේ වෙමි. ඒ මට පිළිසරණ වුව මැනවි.’ එවිට භාග්‍යවතුන් වහන්සේ සුරිය දිව්‍ය පුත‍්‍රයා අරභයා රාහු අසුරේන්‍ද්‍රයාට ගයකින් (ගාථාවකින්) මෙසේ වදාළ සේක.’’
 
මෙහි අර්ථය තවත් ලිහිල් බසින් විමසමු.
 
‘‘බුදුවරයාණනි, ඔබ වහන්සේ සියලූ කෙලෙස් තැවූ, විශේෂිත වූ උත්තමයෙකි. මම ඔබට නමස්කාර කරමි. මම කරදරයකට මුහුණ පා ඇත. එසේ කරදරයකට මුහුණ පා ඇති මට ඔබ වහන්සේ පිහිට වුව මැනවි.’ එවේලෙහි බුදුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයා වෙනුවෙන් රාහු අසුරේන්‍ද්‍රයාට ගාථාවකින් මෙසේ වදාළ සේක.’’
 
මිනිසුන් මතු නොව දෙවියන් ද ඇතැම් අවස්තාවල දී කරදරවලට, හිරිහැරවලට මුහුණ පාන බව මින් ගම්‍ය නොවන්නේ ද? එසේ කරදර, හිරිහැරවලට මුහුණ දුන් දිව්‍ය පුත්‍රයෙක් වෙත බුදුන් වහන්සේ පිහිට වු ආකාරය සූරිය පිරිතෙන් විදහා දැක්වේ.
 
 
 
 
සැබැ බෞද්ධයකු වීමට නම්....
 
බුදුන් වහන්සේ දෙසු සූත්‍රවලින් ද පිරිත්වලින් ද සපුරා ගම්‍ය වූයේ මිනිස් භව ලැබ ඉපිද අනේක විධ දුක් කරදර විඳිනා මිනිසුන් එ’දුකින් මුදවාලීමේ මාර්ගය සැකසීම ය. ඒ සඳහා අත්වැල් ඇල්ලීම ය. එහෙත් පශ්චාත් බුද්ධ යුගයේ මතු නොව අද්‍යතනයේ  වෙසෙන මිනිසුන් ද උන්වහන්සේ එළි-පෙහෙළි කර දුන් මාර්ගයේ නො ගොසින් හිතු මතේ ගමන් කරන ආකාරයක් දක්නට ලැබේ. 
  
එමෙන් ම උන්වහන්සේ දෙසු දහම වෙළෙඳ භාණ්ඩ බවට පරිවර්තනය කරගෙන ඇත. මේ හේතුවෙන් බුදුන් වහන්සේ ලොවට පහදා දුන් සත්‍යය ආවරණය වි අසත්‍යය නිරාවරණය වීමේ  ප්‍රවණතාවක් දක්නට ඇත. 
 
එසේ හෙයින් සැබෑ බෞද්ධයන්ගේ යුතුකම සහ වගකීම වනුයේ උන්වහන්සේ පහදා දුන් කරුණු කාරණා පිළිබඳ නිවැරදි දෘෂ්ටි කොණයකින් බලා, ඒ සියල්ල නිවැරදි ව ග්‍රහණය කරගෙන තමාගේත් මතු පරම්පරාවේත් යහපත උදෙසා එකී සත්‍යය ලොවට හෙළිදරව් කිරීම ය.
 
අද මේ දරන ප්‍රයත්නය එහි ඇරඹුමක් නොව ඇරඹුමෙහි ඇරඹුමක් පමණි. 
 
සැබැ බෞද්ධයකු වීමට නම් ඔබ සියලූ දෙනා මේ මොහොතේ සිට පිරිතේ, සූත්‍රයේ මතු නොව කුඩා කුඩා ගාථාවල පවා නියම අර්ථය දැන හැඳින, ඒ අනුව එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නංවනු ඇතැයි විශ්වාසය තබමි.
 
ඔබ සැම නිවැරදි බුදු දහම අවබෝධ කර ගනිත්වා!
ඔබ සැම නිවැරදි බුදු දහම අවබෝධ කර දෙත්වා!!
 
 
(මෙම ලිපිය සම්පාදනය කිරීමේ දී: රාජකිය පණ්ඩිත ශාස්ත්‍රාචාර්ය නාගොඩ ආරියදාස සෙනෙවිරත්න මහතා විසින් සිංහලයට අනුවාද කළ ‘‘පිරවානා පොත් වහන්සේ’’, මහාචාර්ය හර්ශ්චන්‍ද්‍ර විජේතුංග මහතාගේ ‘‘ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂය 01 සහ 02’’, සිරිමල් සුවඳරත්න මහතාගේ ‘‘සංඛ්‍යාර්ථ’’, වැලිවිටියේ සෝරථ හිමිගේ ශ්‍රී සුමංගල ශබ්දකෝෂය කාණ්ඩ 01 සහ 02, අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්දත්ත නායක ස්ථවීර වහන්සේ විසින් සම්පාදිත ‘‘පාලි - සිංහල අකාරාදාය’’, ආචාර්ය පණ්ඩිත කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන් මහතාගේ ‘‘මහා සිංහල සාහිත්‍ය ශබ්දකෝෂය’’, සිරි ලියනගේ මහතා විසින් සම්පාදිත බෞද්ධ ශබ්දකෝෂය 01 සහ 02, සහ ඩී. එෆ්. කාරියකරවන මහතාගේ ‘‘අරුත් නිරුත්’’ යන කෘති මහඟු පිටිවහලක් සැපයු බව ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය.)
 
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

 

 


 

THE LEADER TV
 

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස් මෙන්න - විධිමත් පරීක්ෂණයක් කරන්න

 

 

කොරෝනා අලුත් බෙහෙත කරාපිටි දොස්තරගේ ගරානාවක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්