අධිනීතිඥ ලාල් විජේනායක චරිතාපදානය 'ලාල් විජේනායක- ජීවිතය හා දේශපාලනය' නාමකරණයෙන් පසුගිය ජූලි 30 වෙනි සිකුරාදා මහනුවර ධර්මරාජ
ශ්‍රවනාගාරයේදී, එළි දැක්විණ.
පසුගිය අගෝස්තු 10 වෙනිදාට අධිනීතිඥ ලාල් විජයනායකගේ නීතිඥ වෘත්තියට පනස් වසරක් පිරිණ. ලාල් සර්ට සුභ පැතීමට මා මෙය අවස්ථාව කර ගනු කැමැත්තෙමි.
කාලයේ අවකාශය වසා ගත් වසංගත අවදානමට සාපේක්‍ෂව අපේක්‍ෂා නො කළ තරම් පිරිසක් මෙහිදී දැකගත හැකි විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ අනිද්දා කර්තෘ නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන දේශන පැවැත්වූ අතර, නොවැළැක්විය හැකි හේතුවක් නිසා අනෙක් ආරාධිතයා, දේශබන්ධු කරු ජයසූරිය, නො පැමිණියද, ඔහුගේ සුබපැතුම් පණිවිඩයක් සභාවට කියවනු ලැබීය.
චරිතාපදාන කර්තෘ මණ්ඩලයේ ලියනගේ අමරකීර්තිගේ සාරවත් පූර්විකාවකින් ආරම්භ වූ පසුව සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ශාස්ත්‍රිය ප්‍රවේශයකින් ආරම්භ කළ දේශනය, මේ ළබැඳි නිමේෂයට ලබාදුන් වටිනාකම බෙහෙවින් අගය කළ යුතුවේ.
අනුර කුමාර දිසානායක
ලාංකේය දේශපාලනයේ බොහෝ දෙනෙකුගේ ඇස නො ගැටුණ අතුරු පටු මං පෙත් රාශියක සක්මන් කිරිමේ අවකාශය ලබාදෙන එකී චරිතාපදානය, සමකාලීන ලාංකේය දේශපාලනය පිළිබඳ විචාරශීලි අධ්‍යයනයට හරවත් වේදිකාවක් විවෘත කරයි.
අනුර, තම සුපුරුදු ශෛලියෙන් ලාංකේය ප්‍රගතිශීලි දේශපාලනයට ලාල් විජේනායක, ලබාදුන් දායකත්වය, සිය දේශපාලන කෝනයෙන් විග්‍රහ කළේය.
2019දී ජාතික ජන බලවේගය නමින් සංධානගතව ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ ජනාධිපති මැතිවරණ සටන වර්ණවත් කිරීමට මේ ලාල් නම් අද්විථීය වාමක්‍රියාධරයා දුන් දායකත්වය අනුරගේ සම්භාවනාවට ලක් විය.
මෙහි වර්ණවත් කිරිම යන සුවිශේෂී යෙදුම ලාල්ගේ චරිතාපදානයේ ලාල්ගේ වචනයෙන් විස්තර කෙරෙන පහත සටහන කියැවීමේන් ඇතිවූ ප්‍රහර්ශය සාරාංශ කිරිමකි.
“.... අපි අනුර කුමාර දිසානායක ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් කරන්න තීරණේ කළා. අපි ගාලුමුවදොර පිට්ටනියෙ කරපු රැස්විමට ලක්‍ෂයකට වැඩි සෙනඟක් ආවා. මම තමයි ඒ රැස්විමේ පළමු කතාව කළේ. ජනාධිපතිවරණේදී අපේ ඡන්ද ව්‍යාපාරේ තමයි හොඳම මැතිවරණ ව්‍යාපාරේ. ඒත් අපට හම්බ වුණ ඡන්ද හොඳටම මදි. නමුත් අනුර ඉතාම හොඳට ඒ මැතිවරණ ව්‍යාපාරය කළා.’‘ 277 පිට. (උපුටා ගැනීම අවසන්ය.)
ගාලුමුවදොර පිට්ටනියේ රැස්විමට ලක්‍ෂයකට වැඩි සෙනඟක්
මැතිවරණ ව්‍යාපාරයක් වර්ණවත් වුණාද වේගවක් වුණාද යන්න තහවුරු කිරීමට තනි මිනුම් දණ්ඩක් යොදා ගත නොහැකිය. එහි කෙටි කාලින හා දීර්ඝ කාලින වශයෙන් කියවීම් රාශියකි.
ආසන්න මිනුම් දණ්ඩ නිල මැතිවරණ ප්‍රතිපලය වේ දෙවැන්න ජයග්‍රහණයයි.
සටන ජයග්‍රහණයෙන් කෙළවර නොවුණා නම්, ඊළඟ ඉසව්වේ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට අවශ්‍ය අඩිතාලම දමා ගත යුතුවේ. එසේත් නොවේ නම්, එකී දේශපාලනය මුළුමනින්ම උඩුයටිකුරු කොට, නව කියවීමකට යා යුතුවේ.
එසේ නොවේ නම්, සරත් මහමේන්ද්‍ර, සරත් කෝන්ගහගේ බත්තරමුල්ලේ සීලරතන හිමි ආදින්ගේ ඉල්ලන් කෑමේ කැටගරියට වැටේ. එහෙත් සිරිතුංග ජයසුරිය යනු මෙහි වෙනම කියැවීමකි.
ලංකාවේ ජනාධිපති මැතිවරණය ඉඳුරා ජයග්‍රහණයකින් අවසන් නොවේ නම් අසාර්ථකවූ කාට කාටත් එය නිර්පාක්‍ෂිකව නොමිලේම අත් විඳීමට සිදුවන පසුබෑම හෝ විනාසය, සටන්කාමීන්ගේ පමක් නොව ජයග්‍රහණය ශක්තිමත් කළ බහුතර ජනතතාවගේද ඉරණම බවට පත් වේ.
ගෝඨාභය රාජපක්‍ෂ වර්තමානයේ දෙවා වදාරණ සැප සනීප ඊට ආසන්නම උදාහරණය වේ.
රෝහණ විජේවීර
ජනතා විමුක්ති පෙරමුණ 1971දී දේශපාලනයට පිවිසියේ කිසිදු ලාංකිකයෙකු අත් නොවිඳී තිගැස්මක් ඇති කරවමිනි. එවකට තුන් හැවිදිරිව සිටි අනුර කුමාර දිසානායකට ඒ ගැන දැනුමක් තිබිය නොහැකිය.
ඉන් වසර 11ක් ඉක්ම ගිය ගැන, හිරෙන් විලංගුවෙන් නිදහස්වූ රෝහණ විජේවීර, විප්ලවයට, කොමාවක් තබා ප්‍රජාන්ත්‍රවාදී ඉඩක හරිබරි ගැහිණ. (එය ජේ.ආර්. ජයවර්ධන අපේක්‍ෂා කළ තත්වයක් ලෙස සමහරු දකිති. ප්‍රතිවාදි වාමවාදී පිල් විභේදනය කරන නව මෙවලමක් නිර්මානය කිරීමේ ජේආර්.ගේ උපක්‍රමයට ජනතා විමුක්ති පෙරමුණ අදටත් හසුව සිටින්නේද?)
මේ විග්‍රහයේදී සමහරු 1988-89 සිද්ධි දකින්නේ විජේවීර ඊට ගොදුරු නොවී දෙපයින් නැගී සිටිමක් හැටියටය.
එහෙත් 1988-89 පැතිරවූ භීෂණය හරහා ලංකා දේශපාලනයේ සාක්‍ෂරතාවය පමණක් නොව, දේශපාලන සෞඛ්‍යද විනාස වී රටට ගමට නැති චරිත නිර්මානය විය.
අදත් එයින් ලාංකේය දේශපාලනයට කරන හානිය කිසිවෙකු නිරික්‍ෂණය කර තිබේද?
දමු දසනායක - රෝහිත අබේගුණවර්ධන
1988 මහ මැතිවරණයේදී පුත්තලමට තරඟ කළ විශ්වවිද්‍යාල උපාධිධාරියෙකුවූ ඩී.ඩි.විමලසුරිය වෙනුවට, 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක, මැද පෙරදිග රියැදුරෙකු ලෙස සේවය කරමින් සිට දමු දසනායක ගෙන්වා නාම යෝජනා දීමත්, 1988 මැතිවරණය අතර ඝාතනයවූ ශ්‍රීලනිපයේ ඉන්ද්‍රපාල අබේවීරලාගෙන් විතැන්වූ කළුතර වාමවාදී දේශපාලනය, එජාප නියෝජ්‍ය අමාත්‍ය එදිරිවීර ප්‍රේමරත්නගේ රියැදුරාවූ රෝහිත අබේගුණවර්ධනලා අතට මාරු වීමත් ප්‍රකට උදාහරණ දෙකක් පමණකි.
2001දී පාර්ලිමේන්තුවට පත්වූ රෝහිත අබේගුණවර්ධන වසර 2008දී රුපියල් මිලියන 140ක් උපයා ගත් ආකාරය පැහැදිලි කිරිමට නොහැකිව අල්ලස් කොමිසමට කැඳවූ දවසේ නයෙකු දෂ්ඨ කරනු ලැබීය. මේ 1988-89දී ක්‍රියාත්මකවූ නිල හා නිල නොවන භීක්‍ෂණයේ ප්‍රතිපල වේ.
1982දී පැවති පළමුවන ජනාධිපති මැතිවරණයට ජේ.ආර්.ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව, කොල්වින් ආර් ද සිල්වා, කුමාර් පොන්නම්බලම්, වාසුදේව නානායක්කාර ආදි ප්‍රවීන දේශපාලනඥයන් අතර රෝහණ විජේවීද අපේක්‍ෂකයෙකු විය.
එතැන් සිට 2018 තෙක් වසර 36ක් ජවිපෙය වරින් වර සිව් වරක් ඍජුව රටේ විධායක ජනාධිපති ධුරය අපේක්‍ෂාවෙන් සටන් වැදිණ. තෙවරක් හිතවාදි අපේක්‍ෂකයන්ට සහාය දැක්වීය.
1982 ජනාධිපති වරණයට විජේවීර ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණ ඉන් හය වසරකට පසුව, 1888දී එළඹී ජනාධිපති වරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්‍ෂේප කොට ඡණ්ද පොළට වෙඩි තැබීමෙන් ඉතිහාසයට එක් විය.
1994 තෙවන ජනාධිපති මැතිවරණය අතර මගදී නිහල් ගලප්පත්ති නිතරඟ ගිවිසුමක් අනුව, ඉවත් කරවාගෙන, චන්ද්‍රිකා බණ්ඩාරනායකට සහාය දැක්වීය. එකඟවූ එකම කොන්දේසිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්නය.
චන්ද්‍රිකාට 1994-1999 කාලයේ පැවති පාර්ලිමේන්තු බහුතරය, ව්‍යවස්ථාවක් ගෙන ඒමට තබා, තුනෙන් දෙකක බහුතරයකින් පනතක් සම්මත කරවා ගැනීමේ හැකියාව හෝ නොවීය.
එහෙත් 2000 මැතිවරණයෙන් බලයට පත් චන්ද්‍රිකා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉදිරිපත් කළ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේදි පරාජය කළේ රනිල් වික්‍රමසිංහ විසිනි. එකම හේතුව, බලයේ සිටින විධායක ජනාධිපතිගේ නිල කාලයට යටත්ව ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එරෙහිවය.
එදා රනිල් ඊට සහාය දැක්වූවා නම් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීන් 107ක් සහ ප්‍රධාන විපක්‍ෂයේ මන්ත්‍රීන් 89ක අති විශාල බහුතරයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හැකිව තිබිණ.
මේ පෙළ ගැස්මට සමපාතව, විධායක ජනාධිපති මැතිවරණ ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණ ස්ථානගත වීම අනුව, ජවිපෙය ලද, වර්ධනයන් හා පසුබෑම් විමසිය යුතුවේ.
# 1982දී රෝහණ විජේවිරට ලැබුණ ඡන්ද ප්‍රමාණය 273428කි. ප්‍රතිශතය 4.19%කි.
# 1988 මැතිවරණය වර්ජනය කළේය.
# 1994දී (පසුව තරගයෙන් ඉවත්වූ) නිහාල් ගලප්පත්තිට ලැබුණ ඡන්ද ප්‍රමාණය 22749කි. ප්‍රතිශතය 0.30%කි,
# 1999දී නන්දන ගුණතිලකට ලැබුණ ඡන්ද ප්‍රමාණය 344173කි. ප්‍රතිශතය 4.08කි.
# 2005දී මහින්ද රාජපක්‍ෂට ඍජුව සහාය දැක්වීය.
# 2010 සරත් පොන්සේකාට ඍජුව සහාය දැක්වීය.
# 2015 වෙනම වේදිකාවක සිට පොදු අපේක්‍ෂකයාගේ ජයග්‍රහණයට සහාය විය.
# 2018දී අනුර කුමාර දිසානායකට ලැබුණ ඡන්ද ප්‍රමාණය 418553 ප්‍රතිශතය 3.16%කි.
ජවිපෙයේ ජනාධිපති මැතිවරණ වාර්තා සියයට අගය පමණක් පෙළ ගැස්වූ විට, පිළිවෙලින් මෙසේය.
1982දී - 4.19%කි.
1994දී - 0.30%කි,
1999දී - 4.08කි.
2018දී 3.16%කි.
විජේවීර අත්පත් කරගත් වපසරිය ඉන් පසු කිසි විටෙක ජවිපෙයට හිමි වී නැත. හෙවත් අවපාතයක් මිස ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ප්‍රගතියක් ලබා නැත. මේ කාලයේ මහ මැතිවරණ වලදී ජවිපෙ වාර්තා කළ සක්‍යතාවන්ද පෙළ ගැස්විය යුතුය.
# ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද රාජපක්‍ෂ සමග එක්සත් ජනතා නිදහස් සංධානය ලෙස 2004 මහ මැතිවරණයේදී තරග කළද තුනෙන් දෙකකට සමීප නොවුණා පමණක් නොවේ. සරල පාර්ලිමේන්තු බහුතරය හෝ නොලැබිණ.
# මහින්ද ජවිපේ සංධානයට ලැබුණේ මන්ත්‍රී ආසන ගණන 105ක් පමණකි. එවර ජවිපෙය මන්ත්‍රීන් තිස් ගණනක් තේරී පත් විය.
# 2000 මහ මැතිවරණයේදී ජවිපෙය වෙනම තරඟ කර ආසන තුනක් ලබා ගනිද්දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පොදු ජන එක්සත් පෙරමුණ ලබාගත් මන්ත්‍රී ආසන 107ක් ලබා ගැනිමට සමත් විය.
# ජවිපෙය 2010 මහ මැතිවරණය සරත් පොන්සේකාගේ නායකත්වයෙන් තරඟ කොට ලැබූ සමස්ත ඡන්ද ප්‍රමාණය 441,251කි. ප්‍රතිශතය 5.49කි.
# 2015 මහ මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණ ලෙස තනිව, ලබා ගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 543944කි. ප්‍රතිශතය 4.87කි.
# 2020 මහ මැතිවරණය ජාතික ජන බල වේගය ලෙස ලබා ගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 445,958කි. ප්‍රතිශතය 3.84කි.
# 2018 හා 2020 අතර පැවති මැතිවරණ දෙකෙහි ජවිපෙය ලබා ගත් ඡන්ද ප්‍රමාණය අතර වෙනස ඡන්ද 27441කි.
ජනාධිපති සහ ජාතික මැතිවරණ ප්‍රතිඵල පෙළ ගැස්ම අනුව, ජනතා විමුක්ති පෙරමුණ සිය අඩවස හෙවත් 50 වෙනි වසර ගෙවමින් සිටියදී රටේ යහපතට පෙළ ගස්වා ඇති ජන පවුරේ දිග පළල ගැඹුර ඒ ආකාරයෙන් අපට වටහා ගත හැකි වේ. හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ මෙතෙක් කතාව අනුව, රට ඇල්ලීමට සිදුවන්නේ අනුරලාගේ මුණුපුරන්ලාටය.
1964දී ටෝකියෝ ඔලිම්පික් තරඟයේදී මීටර් 10,000 පිරිමි ධාවන තරඟය අවසන් කිරිමෙන් ඉතිහාසගතවූ අපේ ආර්.ජේ.කේ.කරුණානන්දගේ අභ්‍යාසයට ලැබුණ වටිනාකම, මැතිවරණ සංසිද්ධියක පසුබෑම, ලැබෙන්නේ නැත.
අපේ කරුණාදාස, ජපානයේ පාසල් පාඩම් පොත් හරහා විශිෂ්ට චරිතයක් බවට පත් විය. ඒ විනය උද්යෝගය කැපවීම මානසික අභ්‍යාසය ආදි ක්‍රීඩාවේ ගුණධර්ම වර්ණවත් කිරීමට කළ කැප කිරීම නිසාය.
එහෙත් කිසිදු ක්‍රීඩකයෙකු මම තරඟය අවසන් කර දෙවෙනි කරුණානන්ද කෙනෙකු වීමට සැලසුම් නොකරනු ඇත.
දේශපාලන ක්‍රීඩාව හරහා ලැබූ අත්දැකිම් වැරදි නිවැරදි කර නොගනී නම් පලක් නොවේ. හෙවත් දෙවෙනි කරුණාදාස කෙනෙකු වීමට කිසිදු ක්‍රීඩකයෙකු අපේක්‍ෂා නොකරනවා මෙන්ය. ඉතිහාසයද එවැන්නන් අපේක්‍ෂා නොකරති.
වසර 86ක් ගෙවූ ලාංකේය වාමාංශික ව්‍යාපරයට කරුණාදාසට ලැබෙන ඓතිහාසික වටිවාකම ලැබෙන්නේ නැත.
මෙයට සමගාමිව, ලංකාවේ සාම්ප්‍රදායික වමේ දේශපාලනයේ උරුම කරුම පෙළ ගැස්වීම පලදායි වේ. ලංකාවේ පැරණී වමේ දේශපාලනය ඉතිහාසය සාරාංශ කළොත් මෙසේය.
1935 ආරම්භව 1977 වන විට, ලංකා වාමාංශික ව්‍යාපාරයට වසර 42ක් ගෙවි ගෙවී තිබිණ. මෙහිදී 1977 පාදක කර ගන්නේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිටර් කෙනමන් දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ ආදි සියලු වාමාංශිකයන් 1977දී ඇද වැටුණ නිසාය.
ලංකා සමසමාජ පක්‍ෂ ඉතිහාසයේ සාර්ථකම අරගලය 1953 හර්තාලයයි. එයින් මෙපිට කළ හැම දේශපාලන මැදිහත්වීමකදීම ඔවුන් එක්කෝ සංධානයකි. නැතහොත් නිතරඟ ගිවිසුමකි. ආපසු හැරී බලන විට හර්තාලය යනු ජනතාව සුභ සාධානය වෙනුවෙන් කළ සටනකි.
1970 මහ මැතිවරණයේදී මැතිනිය හඳෙන් හෝ හාල් ගෙනවිත් දෙනවා යනුවෙන් කළ මැජික් කතාව අසා, එම වේදිකාවේ සිටි වමේ පක්‍ෂ එක පෙළට අත්පොලසන් දුන් බව ඉතිහාසයේ ලියැවී ඇත.
එහෙත් ගෞරවයෙන් කිව යුත්තේ 1973 ලෝක ව්‍යසනයේදී රාජ්‍ය වියදමෙන් කොටසක් ජනතාව දැරිය යුතුය යන ප්‍රතිපත්තියට අනුගත වූ බවය.
මුදල් අමාත්‍ය ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා, රෝහල් සේවා සඳහා ශත 25ක මුද්දරයක් ඇලවීමට තීරණය කිරිම ආදි ලෙස රට නව මානයකට යොමු කිරීමට දායක විය.
එසේම විනිමය සංචිත රැකීමට අනවශ්‍ය ආනයන නතර කිරීමටද ක්‍රියා කළේය. හෙවත් ඇන්.ඇම්.ලා රටේ සැබෑව යථාර්ථයට අනුව ක්‍රියා කිරීමට, යම් උත්සාහයක් දැරීය.
මෙසේ මැතිවරණ ඉතිහාසය විමසීමේදී වටපිටාව, ජනගහන වර්ධනය හා දේශපාලන උත්තේජනය ආදිය පසෙක තබා සංඛ්‍යාත්මක ගත් කළ පැරණි වම හෝ එහි විකල්පය වූ ජවසම්පන්න වම හෙවත් ජවිපෙ මහාප්‍රාතිහාර්යයක් පෙන්වා නැත.
2024ට පෙළ ගැසෙන දේශපාලනයේදී ජනතා විමුක්ති පෙරමුණ නැවත පක්‍ෂයේ නම වෙනස් කර, ලාංචනයද අලුත් කර නව සංධානයකින් පොදු අපේක්‍ෂකයෙකු රේස් එකට රිංගවීමට සැලසුම් කරමින් සිටිති.
සැලසුම් නොකළ අත්හදා බැලීමක් ගැන, කේන්දර ලිවීම අනාවැකි කීම යහපත් නැත. එහෙත් 2020 තෙක් ජවිපෙය තනිව සහ කූට්ටාලි වෙමින් රැස්කර ගත් අත්දැකීම් (පව් පින්) හරහා යම් තක්සේරුවක් කළ හැකිය.
පසුගිය සතියේ මගේ ලිපියේ ඇතුලත්වූ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ හැසිරීමක් පිළිබඳ පහත සටහන මෙසේ යළි උපුටා දක්වමි. එය මෙසේය.
කේ.ඩි. ලාල් කාන්ත
2020 මැතිවරණයේදී මහනුවර ගමක එජාපට සමීප පවුලක ඡන්ද 5ක් විය. එජාප කණ්ඩායම් නායකයා දිනුවොත් එයා රාජපක්‍ෂලාට එකතුවේ යයි කවුරුත් සැක කළහ. පාර්ලිමේන්තුවේ හඬක් නැගීමට, කේ.ඩි. ලාල් කාන්තට දිනවීමේ එකඟතාවක් ඇතිවිය. මැතිවරණ දින සවස තේ පානයේදී ගෘහණියත් ඇයගේ නැගෙණියත් දුවණියත් ඡන්ද කටුගා දැමූ බව හෙළිවිය. ජවිපෙ නිසාය.
කිසි විටෙකත් නිවැරදි එකම නිදර්ශනය ලෙස හඳුනා නොගත යුතු මේ සිද්ධිය කියන්නේ කුමක්ද? ජවිපෙය තේරුම් නොගත් දස බිම්බරක් සෙනඟ ලාංකේය යටි බිම්ගත දේශපාලනයෙහි ජීවත්වන බවය.
මා දකින්නේ ලාංකේය දේශපාලනයේ සීසීකඩ විසිවූ වමේ කඳවුරු යනු ජාතික දේශපාලනයේදී පැලැස්තරයක් කිහිළි කරුවක් මිස හිස කඳ හෝ ප්‍රතිපත්ති තීරකයා විය නොහැකි බවය. ජනතාව තුළ එවැනි හාන්කවිසියක් හෝ නැති බවය. ජවිපෙය පක්‍ෂයේ නම හෝ ලාංචනය නැවත වෙනස් කර පළක් නැත. ඉතිරිව ඇත්තේ තවත් උත්සාහයක් පමණි.
එනම් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් වෙනස් කිරීම පමණකි. මේ සීරියස් යෝජනාවක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණ අනෙක් සාම්ප්‍රදායික වමේ පක්‍ෂ මෙන්, පොලිට් බියුරෝ අත් අඩංගුවේ පසුවේ. මේ ස්වරූපය වර්තමාන ලාංකේය දේශපාලනයේ කතිපයාධිකාරි පොදු සම්මතය වී ඇත.
අද ආණ්ඩුවේ සියලු තීරණ ගන්නේ රාජපක්‍ෂලා තිදෙනෙකි. සමගි ජන බල වේගය එක් ගැහැනියකගේ හා පිරිමින් දෙදෙනෙකුගේ අත් අඩංගුවේ පවතී.
එජාපය විසි අට වසරක් තිස්සේ තමාම නායකයා වෙමින් තීන්දු ගත්තේ රනිල් වික්‍රමසිංහ ය. පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට ලංකාවේ එක් දිස්ත්‍රික්කයක් පමණක් භාරදී තවත් එක් චරිතයක් බවට පත් කිරීමමත් ජවිපේ පොලිට් බියුරෝ පාලනය වැන්නකි.
මෙය ලංකා සමසමාජ පක්‍ෂයේ පළමුවන ලේකම් සහ බ්‍රේස්ගේඩ්ල් නඩුවේ පෙත්සම්කරුවූ නීතිඥ වර්ණන් ගුණසේකර වෘතිය සමිති කටයුතු පිණිස මහනුවරට පටවා යැවීමට සමානය. වර්ණන්ට කැපුවේ කොල්වින් ආර්.ද සිල්වාට පෙත හදා ගැනීමටය. රුවන් විජේවර්ධන මෙසේ ස්ථානගත කරන්නේ ඇවන්ගාර්ඩ් නියෝජිතයන්ගේ මෙහයෙවිම අනුවය.
ජවිපෙ ප්‍රධාන ක්‍රියාකාරකයෙකු වරක් ජනතා විමුක්ති පෙරමුණ ගැන මගේ අදහස විමසීය. කිසිදු අදහසක් නැත කියා ප්‍රශ්නය මගහැරිය යම් මොහොතක් මා දෙස බලා සිට නැවත ඒ විමසීම කළේය.
“ලංකාවේ මිනිස්සු ඔයාලට තුනෙන් දෙකක් දුන්නත් ජවිපෙය ක්‍රියාත්මක කරන්නේ ජනතා මතය නොවේ. ඒ නිසා පුද්ගලිකව මා ජවිපෙට කැමති නැත.” මම එසේ කී විට, ඔහු මෙසේ ඇසීය.
“ උදාහරණයක් කියන්න....
“සුනාමි සහන මණ්ඩල සිද්ධිය ගන්න. ඔබලා ආණ්ඩුවෙන් ගියා. එදා ජවිපෙට පාර්ලිමේන්තුවේ සුවිශාල බලයක් තිබුණා. ඔයාලා ලැබුණ අවස්ථාව ආරම්භයේම නැති කර ගත්තා. කවදාවත් නැවත එවැනි බලයක් නො ලැබෙන්නට පුළුවන.
“ පක්‍ෂයක් ලෙස අපි සුනාමි සහන මණ්ඩලයට විරුද්ධ වුණා. ආණ්ඩුව අපට කන් දුන්නේ නෑ. අපි එළියට බැස්සා.”මගේ මිත්‍රයා ඒ ටික කීවේ මහත් ආඩම්බරයෙනි.
“සුනාමි සහන මණ්ඩලය කියන්නේ කෙටි කාලීන වැඩ සටහනක්. ඒකට ඔබලාට විරුද්ධ වෙන්න පුළුවන්. එසේම, ඒ ආණ්ඩුවේ නායකයන්ට එය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වුණා. ජනතාව ඔබේ පක්‍ෂය ආණ්ඩුව ඇතුළට තල්ලු කළේ එකට වැඩ කරන්න මිස, කැරළි ගහන්න නොවෙයි. ලබා ගත හැකි අන්තිම ජයග්‍රහණයක් වෙනුවෙන් පෙනී සිටීමක් ජනතාව අපේක්‍ෂා කළා. ඔයාලා ගියාට ආණ්ඩුව වැටුණේ නෑ. මම හිතන්නේ ඔබලා පක්‍ෂයේ ස්ථාවරය ප්‍රසිද්ධියේ කියලා ආණ්ඩුවේ සිටිය යුතුව තිබුණා. ඔබලා කුඩා පක්‍ෂයක්. ඔපමණ හිතුවක්කාර දඩබ්බර හැසිරීමයි 71 හැසිරිමයි අතර කිසි වෙනසක් නෑ. ඔබලාට තනි ආණ්ඩුවක් දුන්නොත් වෙන්නේ කුමක්ද? පක්‍ෂයේ මතය වෙනුවෙන් රටේ ජනතාව අකමැති තීරණ ගන්නවා. මේ මගේ අනුමානයක් විතරයි. රටේ බහුතරයක් ඔබලාට අකමැති ආන්න ඒ සිතුවිල්ල නිසා. මිත්‍රයා මදක් නිහඬව සිට මා දෙස බලා මෙසේ කීය.
“එදා අපි බහුතරයක් හිටියේ ඔබ කියන ආණ්ඩුවෙන් නොයා යුතුය මතයේ. ඒත් පක්‍ෂ යාන්ත්‍රණය ආණ්ඩුවේ එල්ලිලා ඉන්න හදනවා කියලා අප චෝදනා කළා. අප පක්‍ෂ තීරණයට අප අවනත වුණා.’‘ ඔහු පාවිච්චි කළ අවනත යන වචනය විශේෂිතවේ. හේතුව ජනතා විමුක්ති පෙරමුණ බාහිර ඕනෑම බලවේගයකට එරෙහි වෙන්නේ අපි අවනත පක්‍ෂයට පමණයි. එය මාන්නයකි. හෙවත් ජවිපේ මානසිකත්වය.
එය ඔබලා හඳුන්වන්නේ පක්‍ෂයේ ස්ථාවරය යන වචනයෙනි. බොහෝ දෙනා ජවිපෙට කැමතිය. ආදරේය. ඇහුන්කම් දෙනවාය. එහෙත් එකඟ නොවේ. පක්‍ෂ විනය අනුව, සුරා සූදුවෙන් වෙන්වී මනා විනයකින් වැඩ කළ ගම්වල තරුණයන් තමන් දන්නා හඳුනන ගමේ මිනිසුන් මුහුණ වසාගනෙ ගොස් වෙඩි තබා මැරුවේ අර කියන පක්‍ෂයට අවනත වීම අනුව ය.
ජවිපෙය 2005දී මහින්දට උදව් කළේ ඇයි? එජාපයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම වැළැක්වීමටය. 2001-2004 කාලයේ රටේ සිදුවූ සුභවාදි ආර්ථීක වෙනස්කම් බොහෝ ය. සටන් විරාමය හරහා කොටි ත්‍රස්තවාදය ජාත්‍යන්තරය තුළ සිරකිරීමට සමත් විය. එය ප්‍රභාකරන්ට අවාසිදායක විය.
ඒ තත්වය ජවිපෙය නිරික්‍ෂණය කළේ රටේ පැත්තෙන් නොව, පක්‍ෂයේ පක්‍ෂයේ ස්ථාවරයට අනුගතවය. ජවිපෙට අවශ්‍ය වුණේ යකා සමග හෝ එක්ව පක්‍ෂයේ ස්ථාවරයට අනුගත වීමය.
ජවිපෙය රනිල් වෙනුවට, මහින්ද රාජපක්‍ෂ තෝරා ගන්නා විට, හෙල්පින් හම්බන්තොට කළු සායම් මහින්දගේ ඇඟෙ තැවරී හමාරය. විප්ලවවාදි කල්ලියකට පක්‍ෂයේ ස්ථාවරය වෙනුවෙන් කළ නොහැකි දෙයක් නැත.
2005දී ජවිපෙය ශක්තිමත් කළේ හෙල්පින් හම්බන්තොට මඩක් නා ගත් අපේක්‍ෂකයාය. එසේම 2005 ජනාධිපති මැතිවරණ ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නාර්ථයකි.
2015දී ජවිපෙය සිටියේ පොදු වේදිකාවේ නොවේ. හේතුව...... අපට ආසාවෙන් අසා සිටිය හැකි පරිදි අනුර කුමාරට විස්තර කළ හැකිය. එහෙත් ඡන්දයකදී ලැබෙන ප්‍රතිචාරය නම් 4.00% ඉක්මවන්නේ නැත. නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.
ඉතිරි කොටස.....
යහ පාලනය ජවිපෙට තහනම් වචනයකි. - ලබන සතියේ.
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි.)
THE LEADER TV
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න