1200 x 80 DMirror
 
 

 සැප්තැම්බර් 15දාට යෙදුන ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනය‍ වෙනුවෙන් සුබ පණිවිඩයක් පසුගිය 13දා මොණරාගල මහාධිකරණයෙන් ලැබුණි.
මහාධිකරණ විනිසුරු රංග දිසානායක එම තීන්දුවෙන් පලාත් පාලන මැතිවරණයක දී අල්ලස් ලබා දුන් බවට සනාථ වූ මහජන නියෝජිතයකුගේ අසුන අහිමි කරන ලදී.
 
ඊට දිනකට පෙර යෙදී තිබුණේ ජාතික සිරකරු දිනයයි. එදින රාජපක්ෂ  ආණ්ඩුවේ බන්ධනාගර ඇමැති බීමත්ව සිය ප්‍රියම්භිකාවකද තවත් සහටරයින්ද සමඟ වැළිකඩ සිර ගෙදරට ගොස් අනීතික රංගනයක යෙදුණේය.
 
අනතතුරුව රජයේ හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට ගොස් අනුරාධපුර සිර ගෙදරට ඇතුලු වී එහි රඳවා සිටි සිර කරුවන්ගේ හිසට පිස්තෝලය තබා මරා දමන බවට තර්ජනය කළේය.
 
මෙම සිදුවීම සමාජ ජාල මගින් වාර්තා කරන ලදුව එවකට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වූ උපුල් තුෂාර තෙල්දෙනිය කියා සිටියේ එවැනි සිදුවීමක් වාර්තා වී නැති බවයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ එවැනි සිදුවීමක් පිළිබඳ පැමිණිල්ලක් ලැබී නැති බවයි.
 
 
 
අවසානයේදී ඇමැති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර ඇමැතිකමින් පමණක් අස්විය. බීමතින් සිරගෙදරකට අනීතිව ඇතුලු වී සුලක්ෂන් නම් සිරකරු මරා දමන බවට පිස්තෝලයක් ඇද තර්ජනය කළ ඇමැති රත්වත්තේ තවම යහතිනි. 
 
 
මෙරට දේශපාලන ප්‍රභූ පංතියේ මෙම දාමරික හැසිරීම ලොහාන් රත්වත්තේට ආවේණික දෙයක් නොවේ.
 
නාමල් රාජපක්ෂ පයිසර් එන්නත් හම්බන්තොටට ගෙන ගියේය. ලොකුගේ සංචරණ සිමා තනි කැමැත්තට බිද  දැමුවේය. වජිර අබේවර්ධන ජාවාරම්කාරයකුගේ උකුලේ නැළවෙමින් දිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායකට මර උගුළක් ඇටෙව්වේය. ජේ.ආර්ද , වන්ද්‍රිකා ද, සිරිසේන ද, ගෝඨාභය ද සිරදඩුවම් විදිමින් සිටි මීනීමරුවන්ට ජනාධිපති සමාව දුන්නේය.
 
ජේ. ආර්. 82 ඡන්දය මංකොල්ල කෑ අතර චන්ද්‍රිකා වයඹ ඡන්දය මංකොල්ල කෑවේය.
 
‍අපට අද වැනි දිනක අපට අවශ්‍ය වන්නේ මොණරාගල දී අසුන අහිමි වූ ඒම දේශපාලනඥයාගේ පක්ෂය හෝ පා‌ට පමණක් නොවේ. සිර ගෙවල්වලට සිය බීමතින් සිය ප්‍රියම්භිකාවන් සමඟ විනෝද සංචාර යන දාමරික ඇමතිවරයාගේ පක්ෂය හෝ පමණක් නොවේ.
 
මන්ද යත් මෙම දේශපාලන මැරකම් සහ  ඡන්ද මංකොල්ල මෙරට එක් දේශපාලන පක්ෂයකට හෝ ධාරාවකට සිමා වී නැති නිසාය.
 
 
 
අපට අවශ්‍ය වන්නේ එක අතකට ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය වන නිදහස් සහ සාධාරණ මැතිවරණ ක්‍රමය වංචනිකයින්ගේ සහ දාමරිකයින්ගේ රජ දහනක් බවට පත් වූයේ කෙසේද සහ ඊට ඇති විසඳුම් මොනවාද යන්න විමසීමය. අනෙක් අතට මෙරට දේශපාලන ප්‍රභූ පංතිය භුක්ති විදින වරදට දඩුවම් නොලැබීමේ මුක්තිය අවසානයක් කරන්නේ කෙසේද යන්න විමසීමය.
එය පටන් ගත යුත්තේ සහ අවසන් කළ යුත්තේ කොතැනකින්දැයි තීරණය කිරීමට දුෂ්කර තරම්ය. එබැවින් මේ සටහන මේ සම්බන්ධයෙන් කැරෙන කතාබහට එකතුවක් පමණකි.
 
 
 113352854 c3020812 b4eb 47c7 9320 c30319ff53a7
 
මොණරාගල ප්‍රාදේශීය සභා ඡන්ද දායකයිනට එකී උක්ත මහජන නියෝජිතයා විසින් අල්ලස් ලෙස ලබා දෙන ලද මුදල රුපියල් ලක්ෂ 30ක් යැයි කියනු ලැබේ.  එම ප්‍රාදේශීය සභාවෙහි පොදු ජන එක්සත් පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 18065 වූ අතර එහි කවර හෝ මංත්‍රීවරයකු ලද වැඩිම ඡන්ද සංඛ්‍යාව අයත් 2319කි.
 
අල්ලස් වශයෙන් ලක්ෂ 30ක් වැය කළ අපේක්ෂකයාට ඡන්ද 2000ක් ලැබුණේ යැයි උපකල්පනය කල හොත් ඔහු විසින් එම එක් ඡන්දයක් සඳහා වැය කරන ලද අල්ලස රුපියල් 16,500කි.
 
දුර බැහැර, ග්‍රාමීය පෙදෙසක පලාත් පාලක මැතිවරණයක් සඳහා මෙතරම් මුදලක් වැය කරන මෙරට දේශපාලන පංතිය පාර්ලිමේන්තු මැතිවරණය හෝ පලාත් සභා මැතිවරණය සඳහා කොතරම් වැය කරනු ඇති දැයි සිතා ගැනීම දුෂ්කරය.
 
මෙමගින් පෙන්නුම් තවත් වැදගත් කාරණයක් තිබේ. එනම් හුදෙක් ප්‍රශ්ණය ඇත්තේ සමානුපාතික ක්‍රමයෙහිම නොවන බවයි. ආසන ක්‍රමය මත පදනම් වූ කේවල ඡන්ද ක්‍රමයක් ඇති කළද මෙම අල්ලස් දේශපාලනය එලෙස ම පවතිනු ඇති අතර මෙවැනි ජාවාරම්කාර දේශපාලඥයින්ට එවිට අල්ලස් දීමට සිදු වනු ඇත්තේ තමන් තරඟ කරන ආසනය තුල පමණය.
 
 
 
 
පසුගිය ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ විසින් වැය කරන ලද මුදල රුපියල් බිලියන 10ක මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය තක්සේරු කර තිබුණි. තවද එන්න එන්නම වේගයෙන් මැතිවරණ වැය ඉහළ යන බවද එය පෙන්වා දී තිබේ.
 
සිය පක්ෂ මැතිවරණ අරමුදල් ලබා ගත්තේ කෙසේද වැය කළේ කෙසේද යන්න රහසිගතව තබා ගන්නේ ප්‍රධාන පක්ෂ පමණක් නොවේ. ජවිපෙ සහ දෙමළ සන්ධානය වැනි පක්ෂ පවා මැතිවරණ අයවැය ප්‍රසිද්ධ කරන්නේ නැත.
 
මෙම මුදල් බොහෝ විටම ලැබෙන්නේ දෙස් විදෙස් ව්‍යාපාරික ප්‍රජාවෙනි. මැතිවරණ වියදම් සදහා සීමාවක් මෙරට පනවා තිබූ නමුත් එය ජේ.ආර්. ජයවර්ධනගේ සහ එජාපයේ 1978 ව්‍යවස්ථාවෙන් අහෝසි කරන ලදී.
 
 
 
අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයක්
 
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිරිසිදු කිරීමට නම් අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයක් වන්නේ මැතිවරණ වැය පිළිබඳ සීමා කිරීමක් ඇති කිරීමයි. ඒ සඳහා සකස් කරන ලද නීතිය 2019 වසරෙහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් එය තවමත් හමස් පෙට්ටියේය.
 
ජයවර්ධනට අවශ්‍ය වූයේ ජාවාරම්කරුවන්ට මෙරට දේශපාලනය පාලනය කිරීමට අවස්ථාව සළසා දීමත් අනෙත් අතට ප්‍රභූ දේශපාලන පංතියක් නිර්මාණය කර එය ජාවාරම්කාර පංතිය සමඟ බද්ධ කිරීමටත්ය.
 
මැතිවරණ ක්‍රමය දූෂණය කිරීම ඊට පෙර සිරිමා බණ්ඩාරනායක සහ සමසමාජ- කොමියුනිස්ට් නායකයින් විසින් ආරම්භ කර තිබුණි.
 
1975 මහා මැතිවරණය කල් දමා පාර්ලිමේන්තු කාලය දීර්ඝ කර ගත්තේ සිරිමා ප්‍රධාන එකී තුන් හවුලය.
 
නිසි කලට පැවැත්වෙන නිදහස් සහ සාධාරණ මැතිවරණ අහෝසි කිරීම ඇරඹුණ එත් තීරණාත්මක මං සන්දියක් එයයි.
 
 
 
1977 මහා මැතිවරණයේදි එජාපය මැතිවරණ ක්‍රමය දූෂ්‍ය කිරීමේ තවත් ජනප්‍රියවාදී පියවරක් හඳුන්වා දෙන ලදී. එනම්  එජාපය බලයට පැමිණීමෙන් පසු රැකියා ලබා දීම පිණිස රැකියා බැංකු ඉල්ලුම් පත්‍ර සිය අනුගාමිකයින් අතර බෙදා හැරීමයි.
 
 
 
ඒ අනුව 77 එජාප පාලනය එම රැකියා බැංකුවට බඳවා ගත් පිරිස්වලට වගා නිලධාරීන් සහ නිලධාරිනියන් ලෙස රජයේ රැකියා ලබා දෙන ලදී. ඒ කොතෙක් ද යත් කලක් අප ජීවත් වූ කිසිදු කෘෂි කර්මයක් නොමැති අම්බලන්ගොඩ හිරේවත්ත ග්‍රාම සේවක කොට්ඨාශයටත් වගා නිලධාරියකු පත් කරන ලදී.
 
මොණරාගල උක්ත ඡන්ද අපේක්ෂකයා දුන් අල්ලසට බොහෝ සෙයින් විශාල වූ ඒම රැකියා බැංකු අල්ලස නීතියට හසු වන්නේ නැත.
 
 
 
# එජාප ආණ්ඩුව පරාජය කළ 1994 චන්ද්‍රිකා කුමාරතුංග දේශපාලන ව්‍යාපෘතිය  විසින් කරන ලද්දේ වගා නිලධාරි අල්ලස සමෘද්ධි නිලධාරීන් නමින් අලුත් කිරීමකි.
 
 
# රනිල් වික්‍රමසිංහගේ බ්‍රෙස්ලට් වනාහී ජයවර්ධනගේ සතියකට ධාන්‍ය රාත්තල් අට සහ සිරිමාගේ හඳෙන් හාල් ගෙනැවිත් දීමේ දිඟුවක් පමණක් විය.
 
 
# ගෝඨාභය රාජපක්ෂගේ අධ්‍යපන සුදුසුකම් නැති ලක්ෂයකට රැකියා දීමේ යෝජනාවද ප්‍රායෝගික වශයෙන්  රාජපක්ෂ පාක්ෂිකයිනට රැකියා ලබා දීමේ අල්ලස් දේශපාලනයේම වන අනුවාදයක් බවට පත් විය.
 
 
 
මෑත කාලයෙහි ෆැප්රල් සහ සීඒම්ඊවී වැනි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මාර්තු 12 වැනි පුළුල් ජන පෙරමුණු මගින් ද මැතිවරණ ක්‍රමය පිරිසිදු කිරීම කරා වූ වැදගත් දායකත්වයන් ලබා දී තිබේ.
 
මොණරාගල නඩු තීන්දුව ලැබුණේ ශ්‍රී ලාංකික දේශපාලන පංතියේ බල පරාක්‍රමය පෙන්වන නීච ඇමැතියාගේ දුෂ්ඨ ක්‍රියාවකට පසු දිනය.
 
එය හරියටම වර්ථමාන ලංකාවේ දේශපාලනයේ ඉඩ ප්‍රස්ථා සහ තර්ජන පිළිබඳ සංකේතයක් වැන්න.
 
සීමාවක් නැති දේශපාලන පංතියේ තර්ජනාත්මක දුෂ්ඨ බලයත් ඊට අභියෝග කිරීමේ ඉඩ ප්‍රස්ථාවනුත් එමගින් අපට පෙන්වයි.
 
ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය දා “සමබිම” විසින් ප්‍රජාතන්ත්‍රවාදයට ඇබ්බැහි වෙන්න යනුවෙන් පැවැති අන්තර් ජාල සාකච්ඡා සභාවට සියයකට වැඩි පිරිසක් සහභාගි වෙමින් සිටියේය.
 
'සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය' විසින් සෑම සතියකම මෙරට දේශපාලන ප්‍රජාතන්ත්‍රීය කිරීමට අදාළ මාතෘකා ඔස්සේ අන්තර් ජාල සාකච්ඡා දෙකක් පවත්වයි.
 
විවිධ සිවිල් සහ  වම් ඉවුරේ දේශපාලන කණ්ඩායම් විසින්  පවත්වනු ලබන අන්තර් ජාල සාකච්ඡා වලින්  ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පිරී යමින් තිබේ.
 
සමාජ ජාල පරිශිලකයින් සහ පරිශිලිකාවන් විසින් අතෝරක් නැතිව  මුදා හරින දේශපාලන හාස්‍ය සහ විරෝධතා විසින් දමනය කළ නොහැකි ප්‍රජාතන්ත්‍රවාදී ඇබ්බැහිවීමක් ජනනය කරයි.
 
අයිතීන් සදහා අරගලයේ තෝතැන්න වන වීදිය වැඩ කරන ජනයා සහ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් නොනැවත වර්ණ ගන්වයි. ජව සම්පන්න වෙයි.
 
මෙම ක්‍රියාකාරත්වයන් විවිධය. ඒනමුත් ඒ සියල්ලෙහි මහා පොදු සාධකය සමාජ යුක්තිය, හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වේ.
 
 
මෙරට දූෂිත පක්ෂ දේශපාලන පවා පිරිසිදු කෙරෙනු ඇත්තේ එවැනි සිවිල් - පුරවැසි, ස්ත්‍රී- පුරුෂ, සිංහල-දෙමළ-මුස්ලිම්, සහ සමානාත්මතාව සඳහා හඬ නගන බොහෝ වූ ක්‍රියාකාරිත්වයන් මැදිනි.
 
එබැවින් මෙම ප්‍රජාතන්ත්‍රවාදයේ ලෝක දිනය, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී මහෝත්සවයක මං ලකුණු අප රටෙහි සලකුණු කරයි.
 
ඒ අතරම, ප්‍රභූ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ, හදිසි නීතියේ සහ පොලිස් අව නීතියේ අඳුරු වළා  සතර අතින් දිස්වෙයි. ප්‍රචන්ඩ ඇමැතියෝ පතුරන් පිරවූ පිස්තෝල ඉනේ ගසා ගෙන ඇවිදිති.
 
මේ ගතිකත්වයක් දෙක හෝ තුන හතර මුණ ගැසෙනු ඇත්තේ මුහුණ දෙන දෙකින් එකක් ජය ගන්නා එක් මං තීරුවක නොවේ. හතර මං හන්දියකටත් වඩා බෙදී යන මාවත් ඇති දේශපාලන බිමකය.
 
පාර වැරදීමට ඇති ඉඩ වැඩි බව 1994, 2002 සහ 2015 අපට පෙන්වයි.
 
ඉදින්, අප මෙතැනින් කොතැනටද?
 
ප්‍රජාතන්ත්‍රවාදයේ ලෝක දිනයට ජයවේවා!
 
 
 
z p 17 The return 01
 
සුනන්ද දේශප්‍රිය 
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
(2021 සැප්තැම්බර් 15)
 
THE LEADER TV 
 
ලොක්කෝ මෙච්චර ලොහාන්ට බය ඇයි? 
 
 
බොක්කත් හූරං කන කොරොනා මාෆියාවක්! 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්