1200 x 80 DMirror
 
 

එකල්හි කපිලවස්තු නුවර සොබා මධු ලෝලියා වූයේ සරකානි ශාක්‍යසිංහය. 
 
 
උයන්තලා මල් ගොමු අතර වැතිර සුරා මී දියෙන් ලවන් පොඟමින් ඔහු ගී ගැයුවේය. ඒ ගී ඔහුගේම ය. තවත් කලක සදපාහන පායා පතිත රාත්‍රියක රෝහිණී නදී ඉවුරට විත් තම සළු උණා නිරුවත් වූයේය. 
 
ශාක්‍යසිංහයන්ටම උරුම කහ රෝස කමණීය පුරුෂ ලාලිත්‍යයෙන් අනූන තම සිරුර සඳ දියට තෙමෙන්නට ඉඩ දී සරකානි කීවේ, හෙතෙම සඳ දියේ බැස රමණයේ යෙදෙන බවකි. 
 
තව විටක ගණපත අඳුරු රැයක ඔහු රන්තරු මාල බඳින අහස සමඟ රාග සුව වින්දේය. පුදුමය සරකානී කිසි කලෙක කුමරි පහසක හෝ කුමර පහසක රාග බන්ධනවේ නොවූ හැටිය ය. සැබවින්ම සරකානිගේ රාග බැඳීම මධූ මී ය. 
 
මේ සියල්ල අතර ඔහුගේ දිවිය සපුරා සුරාව සමග මුසුව සොබා දහමට සහාවාස වූ ප්‍රණිත සංතර්පණයකි.
 
මේ සරකානි කිඹුල්වත් නුවර රමණිය රුක් ගොමු අතර වැද ලලිත කතා ගෙත්තම් බැන්දේය. දිවිය සහ එහි අරුත සම්ප්‍රදාය අතික්‍රමණය කිරීම බැව් ඔහු, ඔහු තුළම අත්වින්දේය. ඒත් ඔහුට කන් දුන්නේ ගහ කොළ, ඇල දොළ, මල් පියලි, සතා සීපාවා සහ සඳ තරු විතරම ය. 
 
 
තම අභිමානවත් වංශය විසින් ඔහුට උරුම කළ විසල් දේපළ අතහැර දැමූ සරකානි කෙතරම් සුරාවට පෙම් බැන්දේදයත් ඔහුට ශාක්‍යසිංහ කිරුළ හිමි වූ කල එයද ප්‍රතික්ෂේප කළේය.
 
  
සරකානි ශාක්‍යසිංහගේ පියා වූයේ මහානාම ශාක්‍යසිංහ ය. එනම් අමිතෝදන ශාක්‍යසිංහගේ මල්ලී ය. අමිතෝදන ශාක්‍යසිංහ වූ කලී සුද්දෝධන ශාක්‍යසිංහගේ මල්ලී ය. සුද්දෝධන ශාක්‍යසිංහ වූ කලී සිදුහත් ශාක්‍යසිංහ හෙවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ පියා ය. 
 
එනම් සරකානි ශාක්‍යසිංහ ද සිදුහත් ශාක්‍යසිංහ ද එකම සම්භාව්‍ය රාජ පරපුරක එකම පුරුෂ වංශයක කුල කුමරුවන් ය. 
 
සිදුහත් තෙමේ බුදු පදවිය ලද කල, ඔහුගේ කිරුළ ඔහුගේ පුත් කුමරු රාහුල ශාක්‍යසිංහට හිමි වුවද ඔහු තම පියා මෙන් ලොව් තුරු සසුනට එක් වූ කල් හි ඒ කිරුළ ආනන්ද ශාක්‍යසිංහට හිමි විය. ඔහුත් ශ්‍රමණ දිවි සිරිතට එක් වූ කල, කිරුළෙහි උරුමකරුවා වූයේ සරකානි ශාක්‍යසිංහ ය. 
 
 
ඒත් මනුෂ්‍ය දේශපාලනය ශිෂ්ට ගත කළ සංස්කෘතික දේශපාලනයෙහි ආරම්භකයා වූ මහා සම්මත ශාක්‍යසිංහ විසින් උත්පාද කළ තම පවිත්‍ර වංශ කිරුළ සරකානි ප්‍රතික්ෂේප කළේය.
 
  
ඒ තෙමේ සුරාවට බැඳි ප්‍රේමණීය බව නිසාම එතැන් පටන් සරකානි උමතු මිනිසෙකු ලෙස සමාජය දුටුවේය. ශාක්‍යයන් පවා සරකානිව පිළිකුල් කරන්නට පටන් ගති. ඒ ඔහු දොඩන්නට පටන් ගත්තේ සංකල්පවලින් ඔබ්බට දිවෙන කමණීය දර්ශනයක භාවිතාර්ථයක සෞන්දර්යාශයක් නිසාය. 
 
කෙසේ වෙතත් සංතෘප්ත නූතනවාදී මගධ භාරත සමාජය තුළින් සිතුවිලි කැරැල්ල පටන් ගෙන තිබූ මේ සමයෙහි සිතුවිලි ඇති හැමෝම බල කඳවුරු බදිද්දී සරකානි සිතුවිලි සමග රමණයේ යෙදෙමින් පා වෙන්නට පටන් ගත්තේය.
 
ජීවිතයේ ඉම, මායාව සමග කැලතී ඇති බව කියමින් සරකානි සුරාවෙන් මායාව විනිවිද ජීවිතය වින්දනය කළ අපූරු මිනිසා විය. ඔහුට දේශනා කරන්නට හෝ ලියන්නට දර්ශනයක් නොවිණි. ඔහු දර්ශනය තුමූම වින්දනය කරමින් පරම ප්‍රිතී ප්‍රහර්ෂය අත්දුටුවේය.
 
විටක තම ලොකු තාත්තාගේ රාජධානියේ ම වීදියක සුරාවෙන් කිමිද සුවසේ නිදන්නේ ය. තවත් විටක සොහොන් බිමක වැද නිදි සුව වින්දේ ය. එක් දිනෙක ශාක්‍ය කෝලිය දෙවංශය ජාතිවාදයෙන් පුපුරා රෝහිණි නදී දියවරට යුද වදින්නට විය. එවිට සරකානි ඒ නිල් ගඟුලේ කිමිද කිමිද මධු මී බොමින් පාව ගියේය.
 
තවත් කලෙක නුවර වීදී කාණුවල බැස ඔහු ගී මුමුණමින් නිදන්නේ ය. පුදුමය තවත් කාලයක සරකාණි මල් උයනක වැද පර මල් ඇතුරු යහනක සැතපී සුරා මී තොල ගාමින් කල් ගත කළ අපූරුව ය. වස්ත්‍ර, ආහාර, නීතී රිතී තබා ඔහුට දින කාල වන් කිසිදු සංකල්පයක්වත් වැදගත් වූයේ නැත.
 
සරකානි ශාක්‍යසිංහ පුදුමයකි. ඔහු කිසිවිටක අභියෝග නොකළ කිසිවක් සමග නොගැටී ජීවිත වන්දනාවක් කර ගත් යාත්‍රිකයෙකි. ඔහුට රාජධානියේ ඔබ මොබ සරන සමනලයෙකු සමග කියන්නට කතාවක් තිබුණද එහි යන එන දස දහස් ගණන් දෙස් විදෙස් ජනයාට කියන්නට කිසිත් නැත. 
 
 
වීදි සරනා රාගී ලියන් ද, මැඳුරු පුර වෙසඟනන් ද ඇවිත් සරකානිගේ ලලිත උමතු පුරුෂ ආඛ්‍යානය විඳින්නට තැත් කළ විට ඔහු තෙමේ තම මැදුරු වතු උයන් ඔවුනට පවරා ස්වකීය පුරුෂ පිවිතුරුව රැක ගත්තේය. සැබවින් ම සුරාවට පිඳූ සිරුර සරකානි කිසිවෙකුට පුදන්නට නොගියේ ය. සුරාව වූ කලී, පූජාවක් කොට ස්ව සිරුරම එයට පූජා කරමින් සරකානි දිවි සරන්නට විය.
 
  
කාලය මෙලෙස ගෙවෙන කල ඔහු සොයුරු සිදුහත් ශාක්‍යසිංහ කෙලෙස් නේරංජනාව තරණය කොට බුදු පදවි ලද්දේය. ළපටි හිරිමල් සමයට පසු සරකානි ද සිදුහත් ද යළිත් ජීවමානව කිසි කලෙක හමුවී තිබුණේ නැත. 
 
සිද්ධාර්ථ තෙමේ බුදු පදවි දිනා තම මව්බිමට පා තබන දා මුළු ශාක්‍යසිංහ සනුහරයම රොඳ බැඳ සිටියද එහි නොසිටි එකම ශාක්‍යසිංහයා වූයේ සරකානි ශාක්‍යසිංහ ය. 
 
කාලය තව තිස් දෙවසරක් සංකල්පීයව ගෙවී ගියේය. දිනෙක සඳ පහන නිවි ඉර මල පිපිදෙන යාමයේ සරකානි ශාක්‍යසිංහ කිඹුලවත් නුවර මල්මදාරා මාවතේ ගජමදාරා මල් ගොමුවක මියැදී සිටියේය. වංශයට කැළලක් වූ ද, හුදී ජනතාවට පලක් නොවූ ද ඔහුගේ නිසල සිරුර ඔහේ තිබිණ. 
 
 
ගෞතම බුදුරජාණන් වහන්සේ ගම් සිය දහස් දුර ගෙවා ආනන්ද හිමියන් ද කැටුව කිඹුල්වත් නුවර මල් මදාරා මාවතට වැඩම කළහ. සරකානිගේ සිරුර තම දෝතින් ගෙන ගෞරවණීයව මිහිදන් කළහ. ලොව්තුරා බුදුවරයෙකු මිහිදන් කළ එකම මළ සිරුර එය ය. එය සුරාලෝලියෙකුගේ ය.
 
  
එකල් හි මේ පුවතින් රටම කැළඹිණි. සදාචාරවාදීන් ඊනියා සුචරිත බලමුළු වීදී බැස්සෝය. බුදුන් විනය විරෝධි අසංස්කෘතික අසම්මතයෙකු බවට බමුණු පූජක ගණයා තවත් හඬින් කියමින් පෙළපාලියකින් ආරාමය වට කළෝය. සුචරිතවාදීන්ගේ වියරු හඬ අරාම මළුව බිඳ නැගෙන්නට විය. ඔවුන් ඉදිරියට ම පියවර මැන වැඩම කළ තථාගතයන් වහන්සේ මෙලෙස වදාරන්නට වූහ. 
 
සරකානි සෝවාන්ගාමී ය....... තොප සියල්ලන්ට ම ඥාණය කළ නොහැකි වූ සදාචාරය දුටුවෙකි..... ඔහු බුද්ධ රාජ්‍යයේ පුරවැසියෙකි.........
 
 
සරකානි ශාක්‍යසිංහට ගෞරවක් සේ ථෙරවාදී ත්‍රිපිටකය තුළ අදත් මේ පුවත එලෙසම ලේඛනාරූඪව ඇත. ඒ ‘සරකානි සුත්‍රය’ නමිනි. සියවස් ගණනාවක් මුළුල්ලේ පස්වන සිල්පදය වරදවා ගත් ජාතියටත් ද, සුරාවේ ඇරඹුම ඉම නොදත් සියල් සුරා ලෝලීන්ට ද සරකානි ශාක්‍යසිංහ කුමරු තෙමේ භාවනාවක්ම වේවා. !
 
 
 
Sujith 2021සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 

 

 


 

THE LEADER TV 
 
සිරිසේනගෙන් තව උගුලක්!
 
 
 
බැසිල් - විමල් ගැටෙයි: අගමැති නිහඬයි !
 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්