leader s

* ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ විරෝධතා මර්දනයට නව නීති හදන බවට චෝදනා

* ආර්ථික පීඩනයට එරෙහි හඬ වැළැක්වීමේ උත්සාහයක් බව ජන අරගල සන්ධානය පවසයි

 

මැතිවරණ පොරොන්දු සහ නව පනත් කෙටුම්පත

 

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ මඟින් මෙරට ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා බරපතළ ලෙස උල්ලංඝනය වන බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පවසයි. නුගේගොඩ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු අමතක කරමින් වත්මන් පාලනය පෙර පැවති නීතිවලටත් වඩා භයානක මර්දන නීතියක් ගෙන ඒමට සූදානම් වන බවයි.

 

දශක ගණනාවක් තිස්සේ දේශපාලන ක්‍රියාකාරීන් සහ සිවිල් ජනතාව මර්දනය කිරීමට යොදාගත් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) අහෝසි කරන බවට ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවේදී දිගින් දිගටම ප්‍රකාශ කළ බව සිහිපත් කළ දුමින්ද නාගමුව, දැන් සිදුවන්නේ එම පනත අහෝසි කිරීමේ මුවාවෙන් ජනතා අයිතීන් තවදුරටත් සීමා කෙරෙන නව පනතක් සම්මත කරගැනීම බව පෙන්වා දුන්නේය.

 

ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ අර්ථ දැක්වීම

 

නව කෙටුම්පතෙහි අන්තර්ගත වගන්ති විශ්ලේෂණය කරමින් නාගමුව පෙන්වා දුන්නේ, රජයට හෝ කිසියම් ජාත්‍යන්තර සංවිධානයකට යම් තීරණයක් ගැනීමට හෝ නොගැනීමට බලපෑම් කිරීම පවා ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ ලෙස අර්ථකථනය විය හැකි පරිදි නීති සකස් කර ඇති බවයි.

 

"කවුරුහරි රජයට කිව්වොත් බදු බර අඩු කරන්න කියලා, එහෙමත් නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට එරෙහිව හඬක් නැගුවොත්, ඒ සාධාරණ විරෝධය පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් කිරීමේ අවදානමක් මෙහි තිබෙනවා. සාමාන්‍ය උද්ඝෝෂණ සහ විරෝධතා මර්දනය කිරීමට මෙතෙක් භාවිත කළ පොදු දේපළ පනතේ කරුණු පවා ත්‍රස්තවාදී වැරදි ලෙස නම් කරමින් මෙම නව කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා," යැයි ඔහු සඳහන් කළේය.

 

විරෝධතා තහනම සහ සෝදිසි කිරීමේ බලතල

 

මෙම පනත් කෙටුම්පතෙහි භයානක කරුණු රැසක් පවතින බව පෙන්වා දුන් නාගමුව, රැඳවුම් නියෝග අත්සන් කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැවරීමට නියමිත වීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි බව ප්‍රකාශ කළේය. මීට අමතරව, කෙටුම්පතේ 51 වැනි වගන්තිය මඟින් පොලිසියට උද්ඝෝෂණ තහනම් කිරීමේ නියෝග ලබාගැනීමේ පහසුකම් සලසා දී ඇති බවත්, එමඟින් පුරවැසියන්ගේ විරෝධය දැක්වීමේ මූලික අයිතිය සම්පූර්ණයෙන්ම යටපත් කෙරෙන බවත් ඔහු පැවසීය.

 

එසේම, හමුදාවට, පොලිසියට සහ වෙරළාරක්ෂක බලකායට ඕනෑම අවස්ථාවක සෝදිසි කිරීම් සිදුකිරීමට පුළුල් බලතල ලැබෙන බවත්, 66 වැනි වගන්තිය යටතේ එම ක්‍රියා ‘සද්භාවයෙන් කළ ක්‍රියා’ ලෙස සලකා නීතිමය මුක්තියක් ලැබෙන බැවින්, ආරක්ෂක අංශ අතින් සිදුවන වැරදිවලට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් හෝ ගොනුකිරීමේ ඉඩකඩ අහිමි වන බවට ද ඔහු අනතුරු ඇඟවීය. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සංවිධාන තහනම් කිරීමට ඇති බලය ද අත්තනෝමතික ලෙස භාවිත විය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

ආර්ථික වැඩපිළිවෙළ සහ මහජන වගකීම

 

වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය සහ මෙම මර්දන නීති අතර සෘජු සබඳතාවක් පවතින බව නාගමුව ගේ අදහසයි. ජනතාව මත පටවන අධික බදු සහ ආර්ථික පීඩනය හමුවේ ඉදිරියේදී මතුවිය හැකි මහජන නැගිටීම් නිහඬ කිරීම සඳහා මෙවැනි දරුණු නීති කල්තියා සූදානම් කරමින් සිටින බව ඔහු චෝදනා කළේය.

 

මෙම පනත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පවා නුසුදුසු එකක් බව පෙන්වා දුන් ඔහු , පාර්ලිමේන්තුව තුළ සිටින සම්ප්‍රදායික විපක්ෂය ද මෙවැනි මර්දනකාරී නීතිවලට නිහඬ එකඟතාවක් පළකරන පසුබිමක, මෙම පනත් කෙටුම්පත පරාජය කිරීමේ ප්‍රධාන වගකීම සහ බලය පවතින්නේ රටේ පොදු ජනතාව සතුව බව අවධාරණය කළේය.

 

රජයේ ස්ථාවරය

 

මේ අතර, රජය මීට පෙර සඳහන් කර තිබුණේ ජාතික ආරක්ෂක අවශ්‍යතා මෙන්ම නූතන ලෝකයේ මතු වන සංකීර්ණ ආරක්ෂක තත්ත්වයන්ට මුහුණ දිය හැකි පරිදි සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සලකා බලමින් මෙම නව පනත් කෙටුම්පත සකස් කළ බවයි. කෙසේ වෙතත්, ගැසට් පත්‍රය නිකුත් වීමත් සමඟම ඒ පිළිබඳව සමාජයේ විවිධ පාර්ශ්ව අතර පුළුල් විවාදයක් නිර්මාණය වී ඇති අතර, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අධිකරණමය හා ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ග ගැනීමට ද සිවිල් සංවිධාන සූදානම් වන බව වාර්තා වේ.

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්