leader s

* පුනර්ජනනීය බලශක්තිය හා තිරසාර කෘෂිකර්මාන්තයට ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කරගැනීමේ ජාතික සැලැස්ම ADFIAP සමුළුවේදී හෙළිවෙයි

* Fitch ශ්‍රේණිගත කිරීම්වල ප්‍රගතිය සහ ඩිජිටල් ගෙවීම් පද්ධතිවල නව පිම්ම සමග ආසියා-පැසිෆික් කලාපය දිනාගැනීමේ පෙරමග ලකුණු

 

දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන යටිතල පහසුකම්, තිරසාර කෘෂිකර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා දේශීය හා ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවට සැලැස්මක් ඇති බව මහ බැංකු අධිපති කියයි.

 

ඉදිරියේදී ඇතිවිය හැකි දේශගුණික විපර්යාසයන්ට නොබියව මුහුණ දීමට හැකිවන ආකාරයට මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ඇති කිරීමට සය අවුරුදු ජාතික දේශගුණික මූල්‍ය උපාය මාර්ග වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ADFIAP 49 වන වාර්ෂික සමුළුවේදී ප්‍රකාශ කළේය.

 

 
ගෝලීය වශයෙන් මතුවෙමින් පවතින අවිනිශ්චිතතාවන්ට හා අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ආසියා-පැසිෆික් කලාපයේ ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය තහවුරු කිරීම සඳහා කලාපීය සහකාරීත්වය හා මූල්‍ය සංකලනය (Financial Integration) සක්‍රීය ලෙස ශක්තිමත් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

 

ආසියා සහ පැසිෆික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතනයන්ගේ සංගමයේ (ADFIAP) 49 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළ අතර, මෙවර සමුළුවේ තේමාව වූයේ “සමෘද්ධිය සඳහා සහකාරීත්වය: කලාපීය විභවතාවයන් අගුළු හැරීම” (“Partnerships for Prosperity: Unlocking Regional Potential”) යන්නයි.

 

වත්මන් ගෝලීය ආර්ථිකය තුළ ආසියා-පැසිෆික් කලාපය ප්‍රධානතම වර්ධන එන්ජිම ලෙස ක්‍රියාත්මක වන නමුත්, භූ-දේශපාලනික අර්බුද, වෙළඳ කඩනොවීම්, දේශගුණික අවදානම් මෙන්ම බලශක්ති හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු හමුවේ ආර්ථික ඔරොත්තුදීමේ හැකියාව පරීක්ෂාවට ලක්ව ඇත. ඕනෑම රටකට හුදකලාව පවතිමින් මෙම අභියෝගවලට මුහුණ දිය නොහැකි අතර, ඩිජිටල් ගෙවීම්, පුනර්ජනනීය බලශක්තිය, සැපයුම් ජාල සහ කලාපීය අගය එකතු කිරීමේ දාමයන් (Regional Value Chains) හරහා එකිනෙකා හා බද්ධ වීම අත්‍යවශ්‍ය වී තිබේ.

 

ආසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සහ ASEAN යටිතල පහසුකම් අරමුදල (AIF) වැනි සංවර්ධන මූල්‍ය ආයතන (DFIs) කලාපීය යටිතල පහසුකම් හා ආර්ථික සහයෝගිතාව උදෙසා විශාල මෙහෙවරක් ඉටු කරයි. 1976 දී ආරම්භ වූ ADFIAP සංගමය වර්තමානයේ රටවල් 42 ක සාමාජික ආයතන 97 කින් සමන්විත වන අතර, ශ්‍රී ලංකාවේ DFCC බැංකුව එහි ආරම්භක සාමාජිකයෙකි.

 

ප්‍රාග්ධනය සම්පූර්ණ කිරීම, අවදානම් බෙදාගැනීම (Risk-sharing), මිශ්‍ර මූල්‍යකරණය (Blended Finance) සහ විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් (SMEs), කාන්තාවන් හා තරුණ ප්‍රජාව සබල ගන්වන මූල්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම කෙරෙහි සංවර්ධන මූල්‍ය ආයතනවල අවධානය යොමුවිය යුතු බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

ආර්ථික ස්ථාවරත්වය සහ හරිත ආයෝජන ඉලක්ක

 

ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරගෙන ඇති අතර, Fitch Ratings ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළ නංවා ස්ථාවර මට්ටමක පවතින බව නිවේදනය කිරීම මගින් මෙම ප්‍රගතිය තහවුරු වේ.

 

තවද, ශ්‍රී ලංකාව තිරසාර හා හරිත ආයෝජන ප්‍රවර්ධනය සඳහා පහත සඳහන් ප්‍රධාන ක්‍රියාමාර්ග ගෙන ඇත.

 

  • ජාතික දේශගුණික මූල්‍ය උපායමාර්ගය 2025–2030 (National Climate Finance Strategy) දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන යටිතල පහසුකම්, තිරසාර කෘෂිකර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා දේශීය හා ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කර ගැනීම.
  • සුරක්ෂිත මූල්‍ය මාර්ග සිතියම (2025–2029) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ක්ෂේත්‍රය තිරසාර ආර්ථික කටයුතු වෙත යොමු කිරීම සඳහා හඳුන්වා දී ඇත.

 

ඩිජිටල් ගෙවීම් සහ ගෝලීය මූල්‍ය සබඳතා

 

ශ්‍රී ලංකා මහ බැංකුව LANKAQR සහ GovPay වැනි ඩිජිටල් ගෙවීම් පද්ධති ව්‍යාප්ත කර ඇති අතර, LANKAQR පද්ධතිය India හි UPI, China හි UnionPay, Alipay+, WeChat Pay සහ NepalPay වැනි ජාත්‍යන්තර හා කලාපීය ගෙවීම් පද්ධති සමග සම්බන්ධ කර ඇත. මේ මගින් විදේශීය සංචාරකයින්ට සහ ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාව තුළ පහසුවෙන් ගෙවීම් කිරීමට අවස්ථාව ලැබී ඇත. එමෙන්ම, ජාතික ගෙවීම් පද්ධති මාර්ග සිතියම 2026–2027 මගින් ආරක්ෂිත හා ගෝලීයව සම්බන්ධ වූ ගෙවීම් පද්ධතියක් ගොඩනැගීමට පියවර ගනිමින් සිටී.

 

කලාපීය සහකාරීත්වයන් හුදෙක් සාකච්ඡාවලට පමණක් සීමා නොවී ප්‍රායෝගික ව්‍යාපෘති, ආයෝජන සහ ප්‍රතිඵල බවට පරිවර්තනය විය යුතු බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය. සම්පත්, තාක්ෂණය සහ දැනුම හුවමාරු කරගනිමින් ආසියා-පැසිෆික් කලාපය පුරා සාධාරණ හා තිරසාර වර්ධනයක් ඇති කර ගැනීමට එකමුතුව කටයුතු කිරීම වත්මන් යුගයේ ප්‍රධානතම අවශ්‍යතාවයි.

 

(සටහන | ජේ.මුණසිංහ)

 

සබැඳි වාර්තාව :

“Partnerships for Prosperity:Unlocking Regional Potential” | Governor Dr. Nandalal Weerasinghe

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්