* නාමල් රාජපක්ෂගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශයක් ගැනීමට අල්ලස් කොමිසමට අවසර
* ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීමේ සාක්ෂි විමසීම ලබන 2 වනදා
කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍ර භූමිය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් පුද්ගලික සමාගම වෙත පැවරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන ලබන ඔක්තෝබර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂිකා අමා විජේසිංහ අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රය නමැති භූමිය මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් සමාගම වෙත කඩිනමින් ලබාගැනීමට සහ අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමේ අරමුණින් මෙම අල්ලස් මුදල ලබා දී ඇති බවයි.
අල්ලස් මුදල් හුවමාරු වූ ආකාරය
2012 වසරේ ඔක්තෝබර් 15, නොවැම්බර් 18 සහ දෙසැම්බර් 12 යන දිනවලදී රුපියල් මිලියන 40ක්, මිලියන 10ක් සහ මිලියන 20ක් බැගින් අවස්ථා තුනකදී මෙම මුදල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත ලබා දී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.
මෙම මුදල් හුවමාරුව දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා ගේ බැංකු ගිණුමක් හරහා සිදු කර ඇති බවත්, තමන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් නිමල් පෙරේරා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි බව දන්වා ඇති මුත් අදාළ මුදල් හුවමාරුව පිළිබඳව ඔහු ප්‍රකාශයක් මගින් තහවුරු කර ඇති බවත් කොමිසම අධිකරණය හමුවේ අනාවරණය කළේය.
සැකකාර ජානකී සිරිවර්ධන අදාළ සමාගමේ සියලු මූල්‍ය කටයුතු, ගිවිසුම් සහ අධ්‍යක්ෂ මණ්ඩල තීන්දු පිළිබඳ මනා දැනුවත්භාවයකින් යුතුව කටයුතු කර ඇති බවත්, ඒ අනුව ඇය නිර්දෝෂී මනසකින් ක්‍රියා කර නොමැති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේය.
විත්තියේ නීතිඥ තර්කය: එකම සිද්ධියට නඩු දෙකක්
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල දිසානායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ රුපියල් මිලියන 70ක මුදල රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට ලබාගෙන සාපරාධී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ ට එරෙහිව දැනටමත් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර නඩුවක් විභාග වෙමින් පවතින බවයි.
එම මහාධිකරණ නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක් ලෙස තම සේවාදායිකාව නම් කර ඇති පසුබිමක, එකම සිද්ධියක් මුල් කරගනිමින් අල්ලස් පනත යටතේ මෙලෙස වෙනම නඩුවක් ගොනු කිරීම ගැටලුසහගත බව පෙන්වා දුන් නීතිඥවරයා, තම සේවාදායිකාවගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු කරුණු සලකා බලා ඇයට සුදුසු ඕනෑම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය සඳහන් කළේ මහාධිකරණයේ පවතින සාපරාධී විශ්වාසය කඩකිරීමේ නඩුවට පරිබාහිරව, අල්ලස් ලබාදීම සහ ලබාගැනීම පිළිබඳව නව දූෂණ විරෝධී පනත යටතේ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් කොමිසමට පූර්ණ නීතිමය බලය පවතින බවයි.
අධිකරණ නියෝගය සහ ඉදිරි පියවර
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මහාධිකරණයේ පවතින නඩුවක කරුණු මෙම අවස්ථාවේදී සලකා බැලිය නොහැකි බවත්, දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ කොමිසම සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත්ව නොමැති බවත් ප්‍රකාශ කළේය. ඒ අනුව සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇය ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
මීට අමතරව, දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් මෙම සිද්ධියට අදාළව බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අවසර දෙමින් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ දැනට ඉන්දියාවේ රැඳී සිටින අමිත් කත්‍යාල් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයට වරෙන්තු නිකුත් කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි ලබන ඔක්තෝබර් 02 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කරන ලදී.







