ඒකට මිනිහට කේන්ති ආව. ඒ නිසා ම ද කොහෙද ‘‘මොකෝ තමුසෙගෙ ඔච්චර ගනං...’’ කියල මගෙන් අහන අතර ම දෙවෙනි පඩිපෙළටත් නැග්ග.
නැගල ‘‘හරි හරි... දැං බැරිනං පස්සෙ කියනවකො... ආං අරෙහෙං වාඩිවෙලා ඉන්නව’’ කියල හෝටලේ පළවෙනි තට්ටුවෙ ඉස්සරහ පැත්ත පෙන්නුව.
මම එතනට හෙමින් හෙමින් ගියේ තැන් තැනවල තිබුණු: දිගඇරල තිබුණ, අකුළල තිබුණ, තුනට හතරට නවල තිබුණ: පැදුරු, කාඩ්බෝඩ්, බෙඩ් ෂිට්, කුණුකෙල පැල්ලම් තිබුණ කොට්ට, තැන තැන තිබුණ සිගරට් කොට, බීඩි කොට, සුරුට්ටු කොට වගේ ම චිත්‍රකතා පත්තර සහ වෙන වෙන පත්තර පිටු තැන තැන විසිරිලා තිබුණ ඒවා බොහොම අමාරුවෙන් මගඇරල. මොකද හරියට ම කෙළින් ගියානං මට ඒ ජනේලෙ ගාවට යන්න වෙන්නෙ මේ කියපු හැම දෙයක් ම පාගගෙන. තැන් තැන්වල පුටු දෙක තුනක් තිබුණත් මම ඒ එකකවත් වාඩි වුණේ නෑ. මම කෙළින් ම ගියේ ජනේලෙ ගාවට.
ඇත්තට ම එතනට ගියාම මම ඉන්නෙ කොතනද කියලත් මට අමතක වුණා. එතනට ගාල්ල ටවුම ම පේනව කියලයි මං හිතුවෙ. හැබැයි ටවුමෙන් බාගයක් වගේම කොටුවෙ පැත්තකුත් එතනට පෙනුන. මං ඒ කොටුව කියල දැනගත්තෙ දවසක් තාත්තක් එක්ක ආපු වෙලාවක ‘අන්න අර තියෙන්නෙ ගාලු කොටුව’ කියල තාත්ත පෙන්නපු නිසා. එතනට සමනල පාලමෙනුත් බාගයක් විතර පෙනුණ. මල්වත්තත් පෙනුණ. දකුණු පැත්ත බැලුවම බෝ ගහට බාගයක් විතර වැහුණ කුණු ඇළයි ඊට එගොඩින් තියෙන කෝච්චි ස්ටේෂන් එකෙනුත් බාගයක් හොඳට පෙනුණ.
ඒ කාලෙ ලංකාවෙ දිගම බස් ස්ටැන්ඩ් එක විදියට ප්‍රසිද්ධ වෙලා තිබුණෙත් ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එක. මම හිටපු තැනට ඒ බස් ස්ටෑන්ඩ් එක පෙනුනෙ හරියට දිග ම දිග කෝච්චියක් වගේ. වෙනසකට තිබුණෙ ඒ කෝච්චියෙ පෙට්ටි වෙන් කරල තිබුණෙ නෑ. ඒ වගේ ම කෝච්චිය රේල් පාරෙ වේගෙන් ගියෙත් නෑ. ඒ වෙනුවට බස් ස්ටෑන්ඩ් එක ඇතුළෙයි පිටයි මිනිස්සු හරි කලබලෙන් එහා මෙහා යනව පෙනුණ. හැබැයි එකම මිනිහෙකුගෙ හරි ගෑනියෙකුගෙ හරි මූණ හරියාකාරව පෙනුණෙ නෑ. නිකං රූප ටිකක් එහා මෙහා යනව තමයි පෙනුණෙ. ඒ එක්ක ම ලංගම බස් එක දිගට නතර කරල තියෙනව. හිටපු ගමන් බස් ඇවිත් නතර කරනව. හිටපු ගමන් බස් පිටත් වෙලා යනව. ඒකත් මට හරියට පිචර් එකක් බලනව වගේ. වෙනසකට තිබුණෙ සිංදු ඇහිච්ච නැති එකයි, ෆයිට් දකින්න නොතිබුණ එකයි, එක එක මිනිස්සු ගෑනු මොන මොනවද කතා කෙරුවත් ඒ වචනත් පැහැදිලිව ඇහුණෙ නැති එකයි විතරයි. පිචර් එකට වඩා පොඩ්ඩයි වෙනස්.
ඔන්න ඔය අතර තමයි මම නැගගෙන ආපු පඩිපෙළ පැත්තෙන් ‘‘ඕයි... මේ ඕයි... අන්න තමුසෙට ලොකු සර් කතා කරනව...’’ කියල කවුද කැගහන සද්දෙ ආවෙ. මං එක වතාවක් ඒ පැත්ත බලල ආයෙත් ටවුම පුරාම මගේ ඇස් කරකැව්ව. එතකොට ම ආයෙත් ‘‘ඕයි තමුසෙට තමයි කතා කරන්නෙ...’’ කියන සද්දෙ ආව.
මං පඩිපෙළ දිහා බලද්දි දැක්කෙ කමිසයක්වත් නැතුව පඩිපෙළේ හිටගෙන, මගේ දිහා බලාගෙන ඉන්න තලෙලු, කෙට්ටු, ඇස්වල පොඩි වපරයක් තියෙන, බුලත් හපයෙක් කියලත් කියන්න පුළුවන් මිනිහෙක්. මිනිහ මාව දැක්ක ගමන් ‘‘මෙහට්ට එනව ඕයි... අන්න තමුසෙට ලොකු සර් කතා කරනව,’’ කියල ආයෙත් කිව්ව.
‘‘මං ඕයි නෙවෙයි ඕයි... මගෙ නම යසසිරි... රොහාන් යසසිරි... ඔහේගෙ නම කොහොමෙයි...’’ කියල මං ඇහුවෙ ඔය ඕයි තමුසෙ කියල මිනිස්සුන්ට කතා කරන එවුන් මට පේන්න බැරි නිසා. හැබැයි මිනිහට මගේ කේන්තිය තේරුණා ඒ නිසා නෙ මිනිහ ‘‘හරි හරි... මං ඉති ඔහේගෙ නම දන්නෑ නෙ... මං ගුණපාල. එනව එනව...’’ කියල කිව්වට පස්සෙ තමයි මං මිනිහ ළඟට ආවෙ.
හෝටල් හිමිකරු හෙවත් ක්වීන්ටස්
ගුණපාල, කොල්ල මා ගාවට එක්කරගෙන ආපු ගමන් ඌ මගේ දිහා බලපු විදියෙන් ම මට තේරුණා ඌ හිතුවක්කාරයෙක් කියල. කොයිකටත් කියල මං මිනිහගෙන් විස්තර ඇහුව. මං කිව්ව බොරු නොකිය ඇත්තම කියන්න කියල. පවු ඉතිං... යමක්-කමක් ඉගෙනගෙනත් තියෙනව. කුඩම්මගෙ වෙනස්කම් ඉවසගන්න බැරුව තමයි ඇවිත් තියෙන්නෙ. සමහර විට හිතුවක්කාරකම් කරන්නෙත් ඒ නිසා ම වෙන්න ඇති. ඒ කියපු විස්තර එක්ක බැලුවම මැනේජර් කිව්ව වගේ ම කොල්ලව පිඟන් හෝදන්න දාන්න මටත් හිතුණෙ නෑ.
‘‘මොනවයි තමුසෙගෙ බැග් එකේ තියෙන්නෙ...’’ කියල ඇහුවම ඒකට උත්තර දෙනව වෙනුවට මිනිහ බස්සෙක් වගේ මගේ මූණ දිහා බලාගෙන හිටිය. මෙහෙම එවුන් සෑහෙන ගණනක් එක්ක මම ගනුදෙනු කරල තියෙන නිසා මට තේරුණා කොල්ල එහෙම බැලුවෙ ඇයි කියල. ඒ නිසා ම මං ‘‘ආ... මට අහන්නත් බැරි උණානෙ... මොකද්ද තමුසෙගෙ නම කිව්වෙ...?’’ කියල අහල ඉවරවෙන්නත් ඉස්සෙල්ල ම කොල්ල ‘‘රොහාන් සර්... රොහාන් යසසිරි සර්...’’ කියල කිව්වෙ අර බකුසු මූණ එහෙම පිටින් ම වෙනස් කරල හොඳට හිනාවෙන ගමන්. ඒ කියන්නෙ කොල්ල කැමති නෑ මේ... අයිෂෙ, තමුසෙ වගේ කතා කරනවට. මට ඒක හොඳට ම තේරුණා.
‘‘ආ... හරි... දැන් මොනවයි රොහාන්ගෙ බෑග් එකේ තියෙන්නෙ...?’’
‘‘කොට කලිසං දෙකයි ෂර්ට් දෙකයි සර්...’’
‘‘ම්ම්ම්... සල්ලිත් තියෙනවයි...’’
‘‘ඔ... ඔවු සර්... රුපියල්...,’’ කියන ගමන් කලිසම් සාක්කුවට අත දාල සල්ලි කීයක්ද අරගෙන ගණං කරන්න පටංගත්ත.
‘‘සර්... රුපියල් හැටපහක් විතර තියෙනව සර්...’’
‘‘ආ... හරි... ඔහේ මීට කලිං හෝටල්වල වැඩ කරල නැති හිංද පිඟං හෝදන්න තමයි දාන්න ඕන... ඒ උනාට මේ... මැනේජර් මහත්තය කිව්වනෙ ඔහේ මේ... අර ජස්ටින් ටීමේකර්ගෙ නෑයො කියල. ඒ හිංද වේටර් වැඩේ කරනව හරිය...’’ කියල මම කියද්දි කොලුව ඔළුව දෙපැත්තට වැනුවෙ ‘හා’ කියන අදහසින්.
‘‘ඒත් බෑනෙ... මෙහේ හැම වේටර් කෙනෙක් ම ඉන්නෙ සරම ඇඳල... ඔහේට සරං නැහැ කියලත් කිව්ව නෙහ්...’’
‘‘ඔවු සර්...’’
කොල්ල ඒ වචන දෙක කිව්වෙ සතුටෙන්ද තරහෙන්ද දුකෙන්ද කියල මට තේරුණේ නෑ. හැබැයි කොල්ල දැං ටිකක් විතර සතුටෙන් ඉන්නෙ කියල මට තේරුණා.
‘‘හරි රොහාන්... දැන් ඔහේ ළඟ තියෙන සල්ලි ටික මැනේජර් මහත්තයට දීල ඔය බෑග් එකත් කොහෙන්ද තියන්නෙ කියල අහගෙන මැනේජර් මහත්තය කියන විදියට වැඩ කරනව හරිය... මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නං අර බිල් මහත්තයට හරි මැනේජර් මහත්තයට හරි කියනව හරිය... හරි... දැං ගිහිං මැනේජර් මහත්තයට කතා කරනවකො හරිය...’’
මං කොල්ලට එහෙම කියල මැනේජර් මහත්තය ගාවට පිටත් කරා. මොකද මං කොල්ලත් එක්ක කතා කරන්න ඉස්සෙල්ල ම මැනේජර් මහත්තය කිව්ව කොල්ල දැනට ඉස්සරහ ගිෆ්ට් අයිටම් කෑල්ලට දාමු කියල. මූ ටිකක් ඉගෙනගෙනත් තියෙනව නෙ. අනෙක කතා බහ වුනත් ටිකක් නිවිච්ච ගතියක් තියෙනව. ගණං කටයුතුත් පුළුවන් ඇතිනෙ.
ගිෆ්ට් අයිටම් කොටසේ බාරකරු හෙවත් සුමනසිරි
මැනේජර් මහත්තය මට කොල්ලව බාර දුන්නෙ ‘‘සුමනෙ... මෙන්න මෙයාට ඔතන වැඩ ටික කියල දෙනව. සමහර විට මෙයා මෙතන තියෙන දේවල් අඳුරන්නෙත් නැතුව ඇති. ඒවත් කියල දීල ඔතන වැඩ කෙරෙන පිළිවෙළ කියල දෙනව හරිය. ලොකු සර් තමයි එව්වෙ.’’ කියල.
කොල්ල මූණ පුරවල මාත්තෙක්ක හිනා වුණේ කාලෙක ඉඳං දන්න අඳුරණ කෙනෙක් වගේ. කළු වුනාට කොල්ල සිරියාවන්ත පාටයි. කස්ටමර්ස්ලට ම හරියන හිනාව. පොඩි එකා වුනාට ෂර්ට් එක ඇඳල හිටියෙ කොට කලිසමට යට කරල.
‘‘වැඩි විස්තර රෑට කතා කරගන්න පුළුවං. ඔහේගෙ නම මොකද්ද...?’’ කියල මං ඇහුවෙ මොනව කියල දෙන්න කලිනුත් නම දැනගන්න ඕන නිසා.
‘‘නම... රොහාන්... රොහාන් යසසිරි... අයියගෙ නම...?’’
මිනිහ නම කියන ගමන් ම ගෙ නමත් අහපි.
‘‘ඇයි ඇහුන් නැද්ද මැනේජර් මහත්තය කතා කරද්දි...’’
‘‘ඇහුණ ඇහුණ... මැනේජර් මහත්තෙය කිව්වෙ නමෙං කෑල්ලයි නෙ අයියෙ... මං අහන්නෙ නම... සුමනපාල ද, සුමනදාස ද, සුමනසිරි ද, සුමනවීර ද...’’
කොල්ල එක දිගට ම අහගෙන ගියේ හරියට පොලිස්කාරයෙක් වගේ...
‘‘හා ඇති ඇති... මගේ නම සුමනසිරි...’’ කිව්වට පස්සෙ කොල්ල දීපු උත්තරෙත් එක්ක තමයි මට වැඩේ තේරුණේ...
‘‘ඒකනෙ සුමනසිරි අයියෙ... ඒ විදියට නම කිව්වෙ නැත්තං මටත් ඔහේට කියන්න වෙන්නෙ සුමනෙ අයිය කියල නෙ... ඒත් වැඩිහිටි අයට එහෙම කතා කරන්න හොඳ නැහැ නෙ... අන්න ඒකයි මං සම්පූර්ණ නම ඇහුවෙ... ඔහේ තරහ නැහැ නෙ සුමනසිරි අයියෙ...’’
එහෙම තමයි කොල්ල උත්තර දුන්නෙ.
‘‘ඒක නෙවෙයි සුමනසිරි අයියෙ... මේ... මෙතනට ගිෆ්ට් අයිටම් කෑල්ල කිව්වට මෙතන ගිෆ්ට් අයිටම් කියල දෙයක් නැහැ නෙ.. මෙතන තියෙන්නෙත් එක එක ජාතියෙ කැම වර්ගම නෙ...’’
‘‘ඇයි... ඔහේ හිතුවෙ ගිෆ්ට් අයිටම් කිව්වම සබන්, පවුඩර්, සෙන්ට්, මාල, වළලු, ඔරලෝසු එහෙම තියෙනව කියල ද... ඒවත් ගිෆ්ට් අයිටම් තමයි. මෙතන තියෙන මේ: බූන්දි, පුහුල් දෝසි, රටඉඳි, මස්කට්, කළු දොදොල්, තලකැරලි, රුලං කේක්, බිස්කට්, කේක් වගේ දේවලුත් ගිෆ්ට් තමයි. ඔය මිනිස්සු ගම්වලට යද්දි ගෙවල්වලට අරගෙන යන කෑම වර්ගනෙ මෙතන තියෙන්නෙ. තව අර පිටි වර්ග තියෙනවා... හදාගෙන බොන බීම වර්ග තියෙනවා... මේවත් ඉතිං ගිෆ්ට් තමයි... සමහර අය... ඇතුළෙ තියෙන කෑලි කපපු කේක් නොකා මෙතනින් කේක් ගෙඩියක් අරගෙන ඇතුළට ගිහින් කපාගෙන කාල තේ බීලත් යනව.’’
මං කොල්ලට ඒ ටු ඉසඩ් කියල දුන්න.
* * *
කියල දුන්න කියන්නෙ සුමනසිරි අයිය මට හැම දෙයක් ම කියල දුන්න. දොදොල් කපන විදිය, මස්කට් කපන විදිය, කිරන විදිය, බිස්කට් කිරන විදිය, පැක් කරන විදිය, ඒ ඒ ප්‍රමාණයට අනුව දාල දෙන්න ඕන මොන මොන ප්‍රමාණයේ බෑග්වල ද වගේ හැම දෙයක් ම කියල දුන්න.
මං එතනට ගිහින් විනාඩි දහයකට පහළොවකට විතර පස්සෙ සරමයි ෂර්ට් එකයි ඇඳපු කෙට්ටු, මගේ තරම්ම උස, රතු, ටිකක් හැඩකාර, ආඩම්බර පෙනුමක් තියෙන කොල්ලෙක් ඇතුළට ම ආව. මම දැනගත්ත මිනිහත් මෙතන ම වැඩ කරන එකෙක් කියල. සුමනසිරි අයිය ඇඳල හිටියෙත් සරමයි ෂර්ට් එකයි තමයි. හැබැයි එයා ඇඳල හිටියෙ සුදු සරමකුයි ෂර්ට් එකකුයි. මේ කොල්ල ඇඳල හිටියෙ කොටු කොටු සරමක්. ෂර්ට් එකත් ඒකට ම හරියන තනි ළා නිල් පාට ෂර්ට් එකක්.
ඒ කොල්ල එතනට එද්දි ම සුමනසිරි අයිය... ‘‘පාලිත... මේ රොහාන්... මැනේජර් මහත්තය කිව්ව මෙයාට මෙතන පුරුදු කරන්න කියල. ලොකු සර්මයි එවල තියෙන්නෙ...’’ කියල කිව්ව.
ඒක අහගෙන හිටපු පාලිත මගේ දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳල ‘‘ආ... එහෙම ද... ඒ උනාට සුමනෙ අයියෙ මෙතන තුන්දෙනෙකුට කරන්න තරං දෙයක් නැහැනෙ,’’ කියල කිව්වෙ නිකං ඌ මට පඩි ගෙවනව වගේ. හැබැයි ඒ වෙලාවෙ සුමනසිරි අයිය මරු උත්තරයක් දුන්න.
‘‘මෙතන තුන්දෙනෙක් වැඩ කරනව ද... දෙන්නෙක් වැඩ කරනව ද... හතර දෙනෙක් වැඩ කරනවද කියල තිරණේ කරන්නෙ ඔහෙයි මායි නෙවෙයි නෙ. ලොකු සර්... ලොකු සර් මැනේජර් මහත්තෙයට කියනව... මැනේජර් මහත්තෙය අපිට කියනව... අපි කරනව. එයාල අපිට පඩි ගෙවනව... එච්චරයිනෙ... හරි... දැං මෙහෙම හිතනවකො... මට නිවාඩුවක් ගන්න ඕනෙ උණා... ඔහේට ඇහැකිය මෙතන තනියම වැඩ කරන්න... ඔහේට නිවාඩුවක් ගන්න ඕනෙ උණා... අන්න එදාට මටත් බෑ තනියම වැඩ කරන්න... ඉතිං තව කවුරුහරි පුරුදු කරල තියෙන එක කොච්චර දෙයද්ද... නැද්ද මං අහන්නෙ...’’
‘‘ඒකනං එහෙම තමයි... ඒත් ඉතිං...’’
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/10/13
අපලෝකන - පසුගිය කොටස්
අපලෝකන 03 : අද නං ජස්ටිං අයිය කාමරේට ම බට්ටෙක් අරගෙන ඇවිත් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන (01): මුවන් පැලැස්සේ හිඟන කොල්ලා - ජයසිරිගේ අලුත්ම නවකතාව
වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)