‘‘ටිප් එක ගැනනං නෙවෙයි අංකල්. ඒ ගෑනු දුන්නු ටිප් එකට අමතරව තව රුපියල් හතරක් ද පහක්දත් හම්බුණා.

ඒත්... මං කල්පනා කරේ ඒ ගෑනු ගැන; ඒ ගෑනු ගැන එක එකා කියන අහන කතා ගැන. සුමනෙ අයියත් කිව්ව මට ඒ ගැන මක්කද කියන්න තියෙනව කියල. කෝ එයැයි තවම පැත්ත පළාතක ආවෙ නෑනෙ...’’

ඒ වචන ටික මගේ කටින් එළියට පැන්නෙ හරියට බස් එකේ ගමනක් යද්දි වමනෙ යන්න ඇවිත් ඒක තද කරගෙන ඉඳල ඉඳල බැරිම තැන එක පාරටම වමනෙ ගියා වගේ. ඒත් ඉතිං වමනෙ ගියාට පස්සෙ මක්ක කරන්නෙයි... මං හිතන්නෙ අංකල්ටත් ඒක තේරුණා.

‘‘ආ... ඒකයි මේ කොල්ල කල්පනා කරේ... දැං මක්කයි ඔහේට එවුං ගැන දැනගන්න ඕනෙ...?’’

Unknownහිතේ තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕනෙ නම් ප්‍රශ්නෙට පිළිතුරු දන්න කෙනෙකුගෙන් ඒ ප්‍රශ්නෙ අහන්න ම ඕනෙ කියල කියල තිබුණෙත් මෙල් සර්. ඒ නිසා හිත හිත ඉන්නෙ නැතුව මම බතික් අංකල්ගෙන් කෙළින්ම ප්‍රශ්නෙ ඇහුව.

‘‘මේකයි අංකල්... අංකල් කියන විදියට ඒ ගෑනුන්ට බණින අය ම ඒ ගෑනුත් එක්ක බුදියන්න යනවනෙ... ඉ...’’

‘‘ඔවු...’’

මගේ ප්‍රශ්නෙ අහල ඉවර වෙන්නත් කලින් බතික් අංකල් කෙටි උත්තරයක් දුන්න.

‘‘ඉතිං අංකල්... එවුං ඇයි ඒ ගෑනුන්ට බැණ බැණ ඒ ගෑනුත් එක්ක ම බුදියන්න යන්නෙ. අනෙක අර මේ... කවුද මේ... චන්දරේ කිව්ව මේ... ‘සල්ලි දීල දෙමළිච්චියොත් එක්කත් බුදියනව නෙ...’ කියල. ඒ කියන්නෙ ඒ දෙමළ ගෑනු කෙනත් එක්ක සිංහල අය බුදියනව කියන එකනෙ. ඉතිං සල්ලි දීල නං ඕක කරන්නෙ ඒකට කොහොමද සිංහල දෙමළකමක් බලපාන්නෙ...?’’

van gogh the brothel

අංකල් මගේ ප්‍රශ්නෙට උත්තර දෙනව වෙනුවට කටත් බාගෙට වගේ ඇරගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටිය. මට හිතුණෙ මං අහන්න සුදුසු නැති දෙයක් ඇහුව ද කියල.

ඔන්න ඔය අතරෙ තමයි පැදුරු කොට්ට අරගෙන සුමනසිරි අයිය අපි හිටපු තැනට ආවෙ.

‘‘ආ... යසේ... අංකල් එක්ක බර කයියක් වගේ ආ... මොනවයි අංකල් යසේ අහන්නෙ...?’’ කියාගෙන සුමනසිරි අයියත් අපි ගාවින් ම වාඩි වුණා.

සුමනසිරි අයියගෙ කටහඬ ඇහුණ විතරයි එච්චර වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටපු බතික් අංකල් ‘‘ංආ... නෑ... මේ... මෙයැයි අහන්නෙ... සුමනේ මේ...’’

215669
අංකල් ගොතගහනව මිසක මං අහපු ප්‍රශ්නෙ සුමනසිරි අයියගෙන් අහන්නෙ නෑ. එයා මගේ මූණ දිහා බලනවා... ආයෙ සුමනසිරි අයිගෙ මූණ දිහා බලනවා. බැරිම තැන අංකල්ගෙන් අහපු ප්‍රශ්නෙ මං සුමනසිරි අයියගෙන් ඇහුව.

‘‘ඔවු යසේ... ඒක ඇත්ත. ඔයි ගැන මාත් කල්පනා කරනව. ඒත් මට තාම ඒකට හරිහමන් උත්තරයක් හොයාගන්න බැරි වුණා. මාත් ඔය ආවයි කියන එක ගෑනියෙක් එක්ක... මං හිතන්නෙ විනීත... අර තන් එහෙම ලොකු ගෑනි. අන්න ඒ ගෑනිත් උණවටුනෙ තැනකට ගිහින් තියෙනව. එක පාරක් දෙකක් නෙවෙයි. කීප පාරක් ම. හැබැයි යසේ මං උනත් පාරෙදි දැක්කම උං එක්ක කතා කරන්නෑ. කඩේට ආවහම කොහොමටත් කතා කරන්නෑ. බැරිම උනොත් මූණිච්චාවට ඩිංගක් හිනාවෙනව. පස්සෙ පවු කියලත් හිතෙනව. ඒත් ඒක එහෙම තමයි යසේ. මං හිතන්නෙ එවුනුයි අපියි දෙගොල්ලොම කරන්නෙ වැරැද්දක්. වෙනසකට තියෙන්නෙ එවුන් ඒ වැරැද්ද කරන්න බය නෑ. හැබැයි අපි... අපි බයයි; ලැජ්ජයි. අන්න ඒ ලජ්ජාවයි බයයි නිසා අපි, අපි හරි ෂෝක් මිනිස්සු වගේ ඉන්නව. ඔහේ දැං ඕක ගැන ඔයි හැටි කල්පනා කරන්නෝනෙ නෑ. ඔහේ තාම පොඩි එකා නෙ. නැද්ද අංකල්...’’

‘‘හම්ම්ම්... ඔවු ඔවු... ඔහේ උං පස්සෙ යන්න පුරුදු නොවී ඉන්නකො. කඩේට ආවොත් කන්න බොන්න දුන්නා... බිල දුන්නා... බිල ගෙව්වා... උං ටිප් එකක් දුන්න නුදුන්න ඒක එතනිං ඉවරයි. ආයි එහෙදි මෙහෙදි හම්බෙන්න තියාගන්නෙපා. දැං ඔහේම කිව්වනෙ ඉස්කෝලෙදි කියල දීපු දේවල්...’’

සුමනසිරි අයිය කතා කරල ඉවරවෙනවත් එක්ක ම අංකල් එයාගෙ අදහස කිව්වෙ හරියට ගිහි පිරිතක් කියද්දි කට්ටියක් කොටසක් කියල ඉවර වෙද්දිම තවත් කට්ටියක් ඉතිරි කොටස කියවන්න පටන් ගත්ත වගේ. ඒක තවත් ඔප්පු වුණේ ‘‘ඔවු... ඔවු... දැං ඔව්ව ගැන කතා කරල වැඩක් නෑ. අපි බුදියමු...’’ කියල කියන ගමන් ම සුමනසිරි අයිය කොට්ටෙයි පැදුරයි අරගෙන නැගිට්ටම බතික් අංකලුත් ඒ එක්ක ම ‘‘ඔවු ඔවු අපි බුදියමු...’’ කියල නැගිට්ට.

*          *          *
1.hans mattis teutsch na przodku 1200x676
මං මෙහාට ඇවිල්ල ඊයෙට හරියට ම මාසයයි. මම නම් ඔය දවස් මතක තියාගෙන හිටියෙ නෑ. මං ඒක දැනගත්තෙ මැනේජර් මහත්තගෙන්. එයා උදේ දහයට විතර මගේ ළගට ඇවිත් ‘‘යසසිරි... අද දෙකට නේද ඕෆ් එක...?’’ කියල ඇහුව.

‘‘ඔවු මැනේජර් මහත්තයො...’’

‘‘මේ... ඕෆ් වෙච්ච ගමං කාල උඩම තට්ටුවට ගිහිං කළු මහත්තය හම්බවෙනව හරිද. ඊට පස්සෙ නාකියාගන්න වැඩටික කරගන්නව හරිද...’’

‘කළු මහත්තය’ කියන්නෙ අර උදේට දර පොල්ලක් අරගෙන ඇවිත් අපිව නැගිට්ටවන එකා. මං කල්පනා කරා මට ඇයි ඌ හම්බ වෙන්න කියන්නෙ කියල.

‘‘ම... ම... මං මක්කටෙයි මැනේජර් මහත්තයො කළු මහත්තෙය හම්බෙන්නෙ...?’’

මැනේජර් මහත්තයා පොඩි හිනාවක් එහෙම දාල ‘‘ඇයි... කළු මහත්තෙය හම්බෙන්න යන්න බයයිද...?’’ කියල මගෙන් ඇහුවෙ උරහිසට තට්ටු කරන ගමන්.

‘‘න්... නෑ ඉතිං...’’

මම කියාගන්න දෙයක් නැතුව තාවර වෙද්දි මැනේජර් මහත්තය ම කතා කරා.

il 570xN.1261452620 8qw7
‘‘ඔහේ දන්නැති උනාට ඊයෙට ඔහේ ඇවිත් මාසයයි. පඩි හදල ඇති. ගිහිං ඉල්ලගන්නව. ඒක ඉල්ලගෙන ඇවිත් අනික් වැඩ කරගන්නව. හරිද...?’’

හිතට සැනසුමක් ආවෙ මැනේජර් මහත්මය එහෙම කිව්වට පස්සෙ. මොකද මං අහල තියෙන විදියට ඔය කළු මහත්තය කියන එකා කොල්ලන්ට ගහනවලු. ඒ ඉතිං නිකං නෙවෙයි. මොනව හරි වැරැද්දක් කරාම. ඒ කියන්නෙ මේ... කන්න බොන්න එන අයට බිල අඩුවෙන් දාල සල්ලි ගත්තම එහෙම. හෝටල්වල ඔය වගේ පොඩි පොඩි හොරකං වෙනවලු. සමහර අය බිල ගෙවන්න සල්ලි ඉල්ලගෙන ගිහිං ඉතුරු දෙන්න තියෙන්නෙ පොඩි ගාණක් වගේ නම් උගේ අතං ඒ සල්ලි දාල ඉතිරි සල්ලි දීල බිලේ සල්ලි ඒකා තියාගන්නවලු. එක සැරයක් මෙහේ වැඩ කරපු කොල්ලෙක් එහෙම කරල අහු උනාට පස්සෙ උගේ නහයෙන් කටින් ලේ එන්න ගහල එළෙව්වලු. හැම වේටර් කෙනෙකුට ම අංකයක් දීල තියෙන්නෙ ඒකෙන් පස්සෙලු.

ගෙවන හැම බිලක් ම ගහන්න කැෂිර් එකේ පොඩි කම්බියක් හයි කරපු චූටි ලෑලි කෑල්ලක් තියෙනව. ඉස්සර නම් ඒ කම්බියෙ උඩ මට්ටමට  එනකම් බිල් එකතු වුණාම ඒ ටික විසිකරන්න කියල බිල් ගෙවන්න එන වේටර් කෙනෙකුට දෙනවලු. ඔය සිද්ධියෙන් පස්සෙ බිල් මහත්තය සැරින් සැරේ ගිහින් ඒ බිල් ටික අරගෙන එනවලු. බිල් ලියද්දි ලියන්නෙ කාබන් කොළයක් තියලනෙ. ඉතිං හැම බිලක ම කොපියක් බිල් මහත්තෙය ගාව තියෙනව. එයා කැෂියර් එකෙන් බිල් ටික අරගෙන ඇවිත් ඒ ඒ වේටර් අරගෙන ගිය බිල් එතන තියෙනව ද කියල චෙක් කරනව. හදිසියෙවත් බිල් මහත්තය ගාව තියෙන බිලක් කැෂියර් එකේ නොතිබුනොත් ඒ අංකෙ අයිති වේටර් ඉවරෙට ම ඉවරයි. එක පාරක් එහෙම එකක් වෙලා. හැබැයි හොඳ වෙලාවට එහෙම වෙලා තියෙන්නෙ අර ඇක්මන් කියන පරණ වේටර්ගෙ බිලකට. බිල් මහත්තය හොඳ විශ්වාසවන්ත මිනිහලු. ඒ නිසා බිල් මහත්තය සිද්ධිය මැනේජර් මහත්තෙයට කියල. ලොකු ගාණකුත් නෙවෙයි ලු. රුපියල් තිස් හයයි පනහක් වගේ ගාණක්. පස්සෙ මැනේජර් මහත්තෙය කිව්වලු කොයිකටත් කැෂියර් එකේ ජෙගනාදන්ගෙන් අහන්න කියල. එයාගෙන් ඇහුවම ටිකක් වෙලා කල්පනා කරල කිව්වලු ඒ ගාණෙ බිලක් ආවා හැබැයි ගෙනාවෙ කන්න ආපු කෙනාමයි කියල. ඊට පස්සෙ කැෂියර් එක ගාව බිම ටිකක් හොයද්දි ඒ බිල බිම තිබුල හම්බ වෙලා. එදයින් පස්සෙ කල්පනාවෙන් වැඩ කරන්න කියල මැනේජර් මහත්තය ජෙගනාදන්ටත් අවවාද කරල.

il fullxfull.5021961213 7a56
‘‘මක්කයි යසසිරි කල්පනා කරන්නෙ...? ගිහින් අන්න අර මේසෙ බලනවකො...’’

මට සිහි කල්පනාව ආවෙ මැනේජර් මහත්තය ටිකක් සැරෙන් කියපු වචන ටික ඇහිල. එතකන් ම මම හිටියෙ වෙන ලෝකෙක.

*          *          *

දෙකට ඕෆ් වෙලා කාපු ගමන් ම මං ගියේ සුමනසිරි අයියව හම්බ වෙන්න. මොකද මං ඇවිත් මාසයක් ගියත් තවම ඔය කියන තට්ටුවට ගිහින් නෑ. ඒ තට්ටුවට අපි නිදාගන්න තට්ටුවෙනුත් යන්න පුළුවන් වුනාට ඒ දොර අනික් පැත්තෙන් වහල තියෙන්නෙ. ඒ තට්ටුවට යන්න එළියෙනුත් පඩි පෙළක් තියෙනව. සුමනෙ අයිය යන විදිය කිව්ව. කියල ඉවර වෙලා කිව්ව බය නැතුව ගිහින් මැනේජර් මහත්තය කිව්ව කියල පඩි ඉල්ලගන්න කියල.

මං සුමනසිරි අයිය කියපු විදියට පඩි පෙළ නැගගෙන උඩට යද්දි කවුදෝ ගෑනියෙකුයි මිනිහෙකුයි පල්ලෙහාට එනව. මං ඒක මායිම් කරන්නෙ නැතුව උඩට ම ගියා. යද්දි ම තියෙන පොඩි කවුන්ටරේ හිටපු කෙනා මගේ දිහා බැලුවෙ අමුතු සතෙක් දිහා බලනව වගේ. එහෙම බලල. ‘‘මොනවයි බැලුවෙ... කවුද ඔහෙට්ට මෙහෙට්ට එන්න කිව්වෙ...?’’ කියල ඇහුවෙ මං හරියට අනුන්ගෙ ගෙදරකට බලෙන් රිංගුව වගේ.

‘‘මේ... මේ... මැනේජර් මහත්තෙය කිව්ව කළු මහත්තෙය හම්බෙන්න කියල...’’

මං කිව්වෙ බොහොම හෙමින්. දන්නෑනෙ මුං මොන ජාතියෙ එවුන් ද කියල.

Four Men in a Restaurant Arthur Melville Oil Painting‘‘කළුමහත්තෙය...!’’

මිනිහ පුදුමෙන් වගේ මගෙන් ආයිත් ඇහුව. අහල ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉඳල වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිට්ට. නැගිටල ඔළුව කවුටරෙන් ඉස්සරහට දික් කරල මගේ ඇස් දෙකේ ඉඳන් කකුල් දෙකේ පල්ලෙහාට යනකම් ම බැලුව. එහෙම බලල ‘‘ඔහේ හෝටලෙයි වැඩ කරන්නෙ...?’’ කියල ඇහුව.

ඔන්න දැන් තමයි මටත් ටිකක් සැනසීමක් දැනුණෙ. මං පරක්කු වෙන්නෙ නැතුව ම ‘‘ඔ... ඔවු ඔවු... පල්ලෙහා හෝටලේ...’’ කියල කිව්වෙ හරිම සැහැල්ලුවෙන්.

‘‘ආ... එහෙමෙයි... මොකක් හරි ජල්ලියක් නටල ද...?’’

මිනිහ එහෙම අහද්දිම මට තේරුණා එයා මොකක් ද අහන්න හදන්නෙ කියල. ඒ නිසා මං ඉස්සර වුණා.

‘‘නෑ මේ... මැනේජර් මහත්තෙය කිව්ව කළු මහත්තෙය හම්බෙලා පඩි ඉල්ලගන්නෙයි කියල...’’

මං එහෙම කිව්වම මෙච්චර වෙලා අමුතු සතෙක් දිහා බලනව වගේ මං දිහා බලාගෙන හිටපු එකා ‘‘ආ ඒක මිසක්ක... මං ඒත් බැලුව මේ ඇටෙං පොත්තෙං එළියට ආපු ගමං වගේ එකෙක් මෙහෙට්ට ආවෙ මොකද කියල. ඔහේ ළඟදිය ආවෙ... මං දැක්කෙ නැහැ නෙ...’’ කියල දත් ටික විළිස්සුවා.

‘‘ආ... ඔවු මහත්තයො... ඊයෙට මාසයයි..’’

‘‘ආ... මේ... ඔය කොරිඩෝ එක තියෙනව නෙ...’’ කියල කියන ගමන් මගේ දකුණු අත පැත්තට අත දික්කරපු මිනිහ ‘‘ඔය කොරිඩෝ එකේ ඉස්සරහට යද්දි වම් පැත්තෙ තියෙන පළවෙනි කාමරේ හරිය... කාමරේ දොර වහල ඇත්තෙ. එකපාට්ටම දොර ඇරගෙන යන්නෙපා හරිය... තට්ටුවක් දානව හරිය...  ඇතුළෙං ‘ආ... එන්න එන්න...’ කියල කතා කරේ නැහ්නං ඩිංගක් වෙලා ඉඳල ආයෙ තට්ටු කරනව හරිය... ඒ තට්ටු කරලත් සද්දයක් නැහ්නං ඔය අර ඉස්සරහ පුටු තියෙනව නේද... ඇවිත් එතනිං වාඩිවෙලා ඉන්නව හරිය...’’

90
මට ඒ කියපු කිසිම දෙයක් හරියට තේරුණේ නෑ.

‘වාඩිවෙලා ඉඳල...’’

මං එහෙම ඇහුවම මිනිහ ආයෙත් අර මාව ඉස්සෙල්ල ම දැක්ක වෙලාවෙ වගේ පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන ඉඳල ‘වාඩි වෙලා ඉඳල නෙවෙයි... කළු මහත්තෙය බෙල් එක ගහනකං වාඩි වෙලා ඉන්නව. මොකද එයැයි මොකක් හරි වැඩක නං කවුරු ආවත් කතා කරන්නෑ. කතා කරනවනං ඉතිං ලොකු සර්ට හරි මැනේජර් මහත්තතෙයට හරි විතරයි. හැබැයි එයැයිල අපි වගේ තට්ටු කර කර ඉන්නෑ...’’

‘‘ඒ කිව්වෙ...’’

‘‘ඒ කිව්වෙ බං ලොකු සර් හරි මැනේජර් මහත්තෙය හරි නං තට්ටු කරන ගමං ම ‘කළු මහත්තයෝ දොර අරින්න... මේ මං’ කියල කියනව. කළු මහත්තෙය ඉතිං කටහඬ අඳුරනව නෙ... ඒ හිංද මොන වැඩේ කර කර හිටියත් ඇවිත් දොර අරිනව. අරිනව කිව්වට ඉතිං එයැයි ඇතුළෙ ඉන්න වෙලාවට ඔය දොර ලොක් කරල නෑ. නිකං වහල තියෙන්නෙ. අපි නං ඉතිං එයැයි ‘ආ... එන්න එන්න...’ කියපු ගමං දොර ඇරගෙන ඇතුළට යනව. ලොකු සර් හරි මැනේජර් මහත්තෙය හරි කතා කරොත් එයැයි ම ඇවිත් දොර අරිනව.

 

අටවෙනි විධායක ජනාධිපතිතුමා වෙත...,- (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2023/12/01 

අපලෝකන - පසුගිය කොටස්...

අපලෝකන 10 : මුනුත් ඔය කිව්වට ඒ ගෑනුත් එක්ක බුදියගන්නව - (ජයසිරිගේ අලුත්ම නවකතාව)

අපලෝකන 09 : අපි හැම කෙනෙක් ම ආස්සරේ කරන්නෝන...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)

අපලෝකන 08 : ඔහේට සල්ලිවල අගේ තේරෙන්න ටිකක් කල් යයි - ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන 07 : 'ඒක තවත් ඉතිහාස ගතවෙන සිද්ධියක්' - ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන 06 : මං සරං ඇඳල ම නැහැ නෙ... - ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන (05) : මගේ ගම කොහෙද කියල මං දන්නෑ...- ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන 04 : මං ඕයි නෙවෙයි ඕයි... මගෙ නම යසසිරි...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)

අපලෝකන 03 : අද නං ජස්ටිං අයිය කාමරේට ම බට්ටෙක් අරගෙන ඇවිත් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)

අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන (01): මුවන් පැලැස්සේ හිඟන කොල්ලා - ජයසිරිගේ අලුත්ම නවකතාව

වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)


Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්