‘‘ඒ කිව්වෙ බං ලොකු සර් හරි මැනේජර් මහත්තෙය හරි නං තට්ටු කරන ගමං ම ‘කළු මහත්තයෝ දොර අරින්න... මේ මං’ කියල කියනව.

කළු මහත්තෙය ඉතිං කටහඬ අඳුරනව නෙ... ඒ හිංද මොන වැඩේ කර කර හිටියත් ඇවිත් දොර අරිනව. අරිනව කිව්වට ඉතිං එයැයි ඇතුළෙ ඉන්න වෙලාවට ඔය දොර ලොක් කරල නෑ. නිකං වහල තියෙන්නෙ. අපි නං ඉතිං එයැයි ‘ආ... එන්න එන්න...’ කියපු ගමං දොර ඇරගෙන ඇතුළට යනව. ලොකු සර් හරි මැනේජර් මහත්තෙය හරි කතා කරොත් එයැයි ම ඇවිත් දොර අරිනව.’’

‘‘ආ... ඒක මිසක්ක...’’

මිනිහ කියපු දේ තේරුණාට පස්සෙ මම ගිහින් එයා පෙන්නපු පුටු අතරෙන් එකක වාඩි වෙලා හිටිය. විනාඩි දහයකට විතර පස්සෙ මිනිහ කලබලෙන් වගේ එක පාරට ම මට කතා කළා.

‘‘මෙහ්... ඕයි... අන්න අර යකා බෙල් කරා. යනව යනව... නැහ්නං ඔය යකාට තද වෙල මටයි දෙහි කපන්නෙ...’’

එහෙම කියද්දි මමත් පුටුවෙන් නැගිටුණේ ඉබේට ම වගේ. මං යන්න හදද්දි ම මිනිහ ආයෙත් කතා කරා.


‘‘මෙහ්... දැං ඔහේ ගියපු ගමං දොර ඇරං යන්නෙපා හරිය. ආයි දොරට තට්ටු කරනව හරිය. ඊට පස්සෙ කළු මහත්තෙය ‘‘ආ... එන්න එන්න..’’ කිව්වට පස්සෙ දොර ඇරං යනව හරිය.’’

මං මිනිහ කියපු විදියට ම කාමරේ දොර ගාවට ගිහින් එක පාරක් තට්ටු කරා. තත්පර පහක් විතර ගියපු හැටියෙ ම කවුන්ටරේ හිටපු කෙනා කියපු විදියට ම කාමරේ ඇතුළෙන් ‘‘ආ... එන්න එන්න...’’ කියන හඬ ආවා. හැබැයි ඒ කටහඬේ නම් අර උදේ පාන්දරට ඇවිල්ල කොල්ලන්ට කෑගහන සැර, මරුමුස් ගතිය නං තිබුණෙ නෑ.

මං හෙමිහිට දොර ඇරගෙන කාමරයට ඇතුළු වුණා. මිනිහ දැක්කමත් එක පාරට ම බය හිතෙනවා. මිනිහ කළු ම කළුයි. ඒ කළුවට ම හරියන්න කළු ම කළු කණ්ණාඩියකුත් දාල. ඒක දාල තියෙන්නෙ මිනිහගෙ ඇහැක තියෙන කැතකම වහගන්න. ඒ කණ්ණාඩියෙ කළු පාට කෑලි දෙක වෙනම ම උස්සන්න පහත් කරන්න පුළුවන්. ඒ කෑලි දෙක ඉස්සුව ම නිකම්ම නිකම් ඇස් කණ්ණාඩියක් විතරයි. එතකොට අර එක ඇහැක තියෙන කැත ගතිය හොඳට ම පේනවා. කළු කණ්ණාඩිය දාල ඉද්දිට වඩා බය හිතෙන්නෙ ඇත්ත ම ඇහැ දැක්කම.

මං ටිකෙන් ටික මිනිහ ගාවට කිට්ටු වුණා. මං හිතුවෙ මිනිහ අඳින්නෙ කලිසම කියල... නෑ... මිනිහ ඇඳල හිටියෙ මම ගියපු සමහර ඉස්කෝලවල හිටපු ප්‍රින්සිපල්ල ඇඳල හිටිය වගේ සුදු නැෂනල් එකයි සරමයි. ඒක වේට්ටිය ද සරමද කියල හරියට බලාගන්න බැරි වුණා. මිනිහ ටිකක් වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටිය.

‘‘ආ... තමුසෙ රොහාන් නේද...?’’ කියල කණ්ණාඩියෙ කළු කැලි දෙක පහතට දැම්ම.

detailofself portraitbylucienfreud
මට හිතෙන්නෙ මිනිහගෙ කැත ඇහැ මම දැක්ක නිසා වෙන්න ඇති. ඒ වුනාට ඒ වෙද්දි මම ඒ කැත ඇහැ දැකල ඉවරයි. සමහර විට ඒ මූණෙ තියෙන භයානකකම පෙන්වන්න මිනිහ ඒ කෑලි දෙක උඩට හරවගෙන හිටිය ද දන්නෙත් නෑ. මොකද කඩේ වැඩ කරන එවුන් හුඟ දෙනෙක් මිනිහට බයයි. එහෙම බයක් නොපෙන්වන්නෙ: බතික් අංකලුයි, ඇක්මන් අයියයි, සුමනසිරි අයියයි, ටී පැන්ට්‍රියෙ දහනායකයි විතරයි.

‘‘ඔවු මහත්තයො... රොහාන් යසසිරි...’’

කල්පනාවෙන් ගැලවුණු මම උත්තර දුන්නෙත් ටිකක් යටහත් පහත් විදියට.

‘‘හම්ම්ම්... මං නිකම්ම නිකං මහත්තය නෙවෙයි හරිය.. කළු මහත්තය... කළු මහත්තය... මීට පස්සෙ කතා කරද්දි ‘කළු මහත්තය’ කියල කතා කරනව හරි ද...’’

මිනිහ කිව්වෙ හරිම ගාම්භීර විදියට.

‘‘හරි මහත්තයො... න්... නෑ මේ... හරි කළු මහත්තයො...’’

img x1920 40685 64c6771a28cd08 61784601 54730452
වෙච්ච වැරැද්ද හදාගන්න ඕන නිසා ඒ වෙලාවෙම මම ආයෙ එහෙම කිව්ව.

‘‘හම්ම්ම්... හරි... මෙහෙං වාඩි වෙනවකො...’’ කියල මිනිහ එයාගෙ දකුණු අත දික් කරල එයා වාඩිවෙලා ඉන්න පැත්තට ඉස්සරහ පැත්තෙ තියෙන පුටු දෙකෙන් එකක් පෙන්නුව. මමත් හෙමිහිට වාඩි වුණා.


‘‘ඊයෙට තමුසෙ ඇවිත් මාසයයි නේද...?’’

මිනිහ ඇහුවෙ හරිම ගාම්භීර විදියට.

‘‘ඔවු කළු මහත්තයො.’’

GRATUITY 1024x768
‘‘හම්ම්ම්... තමුසෙ ඒ වගක් මතක තියාගෙන හිටිය ද...?’’

මිනිහ එහෙම ඇහුවෙ ඒ විදියට මතක තියාගෙන හිටියනම් ඒක ලොකු වැරැද්දක් වගේ දැනෙන විදියට. ඇත්තටමත් ඉතිං මට එහෙම මතකයක් තිබුණෙ නැහැ නෙ. ඒ නිසා මං ‘‘නෑ කළු මහත්තයො... උදේ මැනේජර් මහත්තය තමයි කිව්වෙ...’’ කියල මං කිව්වෙ තරමක් පහත් හඬින්.

මිනිහ කොන්ද ටිකක් පහත් කරගෙන එයා ඉන්න පැත්තෙ ලාච්චුවක් අරින ගමං ‘‘එහෙම හරියන් නෑ අයිෂෙ... තමුං වැඩට ආපු දවස තමුංට මතක තියෙන්න ඕන. එහෙම නොවුනොත් පඩි ගන්න පරක්කු වෙනව හරිද... මොකද ඒ ඒ කෙනා ආපු දවසට බලල පඩි ගෙවන්නෙ අපේ පහසුවට. නැහ්නං මාසෙ එකම දවසක ගෙවන්න ගියාම කරදරයිනෙ අයිෂෙ. හදිසියෙවත් ඒ දවසට ගන්න බැරි වුනොත් ඉතිං පරක්කු වෙනව. මොකද ඊළග දවසට පඩි ගන්න අයට දෙන්න එපායැ. එතකොට වෙන්නෙ කවුරුවත් පඩි නොගන්න දවසක් එනකං බලාන ඉන්න. තේරුණයි...?’’

ඒ වචන ඇතුළෙ අවවාදයක් වගේ ම විධානයකුත් තිබුණ. මං ඔළුවට ගත්තෙ අවවාදය. විධානය හිතට ගත්තම මිනිහත් එක්ක කේන්ති එනව.

‘‘හරි කළු මහත්තයො... ආයෙ ලබන මාසෙ දහනමය ඕෆ් වෙච්ච වෙලාවෙ ආවනං හරිනෙ නේද...?’’

‘‘එහෙමත් බෑනෙ අයිෂෙ... අපි හිතමු තමුසෙ ලබන මාසෙ දහනමවෙනිද ඕෆ් වෙන්නෙ රැ හතට කියල. ඉතිං තමුසෙ රැ හතට ඕෆ් වෙලා එනකං මං මෙතන බලාගෙන ඉන්නෝන ද...?’’

Two Men at Table 1620 21 Diego Rodriguez de Silva y Velasquez oil painting 1
මිනිහ එහෙම කියන ගමන් ම ලාච්චුවෙන් ගත්තු ලොකු පොතක් දිගඇරල පිටුවෙන් පිටුව පෙරළන්න ගත්ත. ඒ පෙරළන ගමන් ම ‘‘මං කියපු දේ ඇහුණයි...’’ කියල ඇහුවෙ ඔළුව පහත් කරගෙන ඉන්න ගමන්මයි.

‘‘ඇහුණ කළු මහත්තයො ඇහුණ...’’

මිනිහ පොත පෙරළන එක නවත්තල එක පාරට ම මගේ මූණ දිහා බැලුව. බලල ‘‘ඇහිල විතරක් වැඩක් නැ අයිෂෙ... ඇයි... එහෙම දවසට මොකද්ද කරන්න ඕනෙ කියල දැනගන්න ඕනෙ නැද්ද...?’’

ඇත්ත නෙ... එහෙම දවසට පඩි ගන්නෙ කොහොමද කියල දැගන්න ඕන නෙ... මට දෙන්න උත්තරයක් නැති නිසා මං සද්ද නැතුව ම හිටිය. මිනිහ, නැෂනල් කමීසෙ උඩ සාක්කුවෙ දාගෙන හිටපු පෑනක් අතට ගන්න ගමන් ‘‘එහෙම දවසට... දවල් කෑමට ගිහින් හරි යන්න කලින් හරි බිල් මහත්තෙයට හරි මැනෙජර් මහත්තෙයට හරි කියල එනව හරිද...’’

‘‘හොඳමයි කළු මහත්තෙයො...’’

මිනිහ මං දිපු උත්තරේ ඒ තරම් මායිං නොකර ම ‘‘ම්ම්ම්... තමුසෙගෙ පඩිය කීයද කියල මැනේජර් මහත්තෙය කිව්වයි...?’’ කියල ඇහුවෙ පෑනෙ තුඩ පැත්ත පොතේ පිටුවෙ උඩ ඉඳල පහළට ඇදගෙන යන ගමන්.


‘‘නෑ කළු මහත්තෙයො... කිව්වෙ නෑ...’’

උඩ ඉඳල පහළට ඇදගෙන ආපු පෑන් තුඩ එක තැනක නතර කරපු මිනිහ ආයෙත් මගේ මූණ දිහා බැලුව. ඒ එක්ක ම. ‘‘සාමාන්නයෙන් අපි අලුත් කෙනෙකුට මාසෙට දෙන්නෙ රුපියල් සීයයි. හැබැයි මැනේජර් මහත්තෙය කිව්ව තමුසෙ එක්කරගෙන ආවෙ සවුත් සිලෝන් එකේ ටී මේකර් කියල. ඒ නිසා තමුසෙට තව රුපියල් විස්සක් වැඩියෙන් දාන්න කිව්ව. මං හිතන්නෙ ලොකු සර්රුත් ඒකට කැමති වෙලා තිවුණ. හැබැයි කවුරු හරි ඇහුවොත් තමුසෙගෙ පඩිය කීය ද කියල... සීයයි කියනව හරිද...’’ එහෙම කියන ගමන් පෑන් තුඩ තොල් දෙක අතරෙ රඳවගත්තු මිනිහ, එක පාරට ම ‘‘ආ... හැබැයි තමුසෙට මස්සවල දීපු කලිසං දෙකට ම රුපියල් එකසිය විස්සයි. ඒ හින්ද මේ මාසෙ පඩියක් ඉතුරු වෙන්න නෑ හරිය.’’ කියන ගමන් පොතේ උඩ යට මාරු කරල මගේ පැත්තට හැරෙව්ව.

‘‘කමක් නෑ කළු මහත්තෙයො... මං ඒත් හිතුව මට මේ මාසෙ ගන්න පඩියක් නැතුව ඇති කියල,’’ එහෙම කියන ගමන් මං පුටුවෙන් නැගිටින්න හදද්දි ම කළු මහත්තය ‘‘ඔහොම ඉන්නව අයිෂෙ... මං තාම කියල ඉවර නෑ නෙ...’’ කියල පොත මගේ දිහාට තල්ලු කරන ගමන් ‘‘මේ... මැනේජර මහත්තෙය කිව්වෙ ඒ එකසිය විස්සෙං හැටක් කපාගෙන හැටක් දෙන්න කියල. ඉතිරි හැට ඊළඟ මාසෙ පඩියෙන් කපාගන්න කිව්ව. තමුසෙගෙ අතිං පිඟං කෝප්ප එමෙ මොකවත් බිඳුණෙත් නැහැ නෙ නේද... ඒ හිංද... මෙන්න මෙතන අස්සනක් දානවකො,’’ කියල මගේ නම තියෙන පේළියෙ කෙළවරේම තියෙන කොටුව පෙන්නුවා. මං පෑන අරගෙන අත්සන් කළා.

mobilejpegupload D4482823618347ACBB9A0FAACA617C66 master‘‘හප්පටසිරි... තමුසෙට ඉංග්‍රිසිත් පුළුවං ඈ... මං හිතන්නෙ බතික් අංකල් ඇරුනහම තමුසෙ විතරද කොහෙද මේ ඉංග්‍රීසියෙං අස්සන් කරේ... ආ... තව මේ කුස්සියෙ බාසුන්නැහෙ... කවුද මේ...’’ කියල පෑන කටේ ගහගෙන ටිකක් වෙලා කල්පනා කරල ‘‘ආ... විජේසිංහ... විජේසිංහ... මිනිහත් අස්සං කරන්නෙ ඉංග්‍රිසියෙං... බලනව... මේ අනික් එවුන් ඔක්කොම අස්සන් කරල තියෙන්නෙ සිංහලෙන්. සමහර එවුන්ට අකුරුත් බෑ... මේ බලනව... මේ බලනව’’ කියල කියන ගමන් මිනිහ පොතේ පිටු ආපස්සට පෙරළල සමහර අය ඇඟිලි අත්සන තියපු තැන් පෙන්නුව. ඊට පස්සෙ පොත ආයෙ එයා ළගට අරගෙන පොතේ යටි පැත්ත එයාගෙ පැත්තට හරවලා වම් අත පැත්තෙ ලාච්චුවක් ඇරල, ඒකට අත දාල මොනව හරි කරනවා විතරයි මම දැක්කෙ. ඒ එක්ක ම රුපියල් පනහෙ කොළේකුයි දහයෙ කොළේකුයි දිගෑරල මට දෙන ගමන් ‘‘සල්ලි නාස්ති කරන්නෙපා හරිය. මොකද තමුසෙලට තුන්වේලම කන්න හම්බෙනව, නාන්න, ඉන්න හිටින්න තැන හම්බෙනව. පඩියට අමතරව ටිප් එකත් කීයක් හරි හම්බෙනව නෙ. ඒ හිංද කීයක් හරි ඉතුරු කරගන්න බලනව හරිය... ආ... ඒක නෙවෙයි... මට ආරංචියි තමුසෙ පිචර් පිස්සෙක් කියල... දැං මෙහේ ආවට පස්සෙ පිචර් කියක් විතර බැලුවයි...?’’

‘‘වැඩට එන දවසට කලිං දවසෙ පිචර් දෙකක් බැලුව. ඊට පස්සෙ මයි හිතේ හතරක්ද කොහෙද බැලුව.’’

මම එහෙම කිව්වෙ හරි ආඩම්බරෙන්. ඒත් කළු මහත්තය කිව්වෙ ඊට හාත්පසින් ම වෙනස් දෙයක්.

4b83267ad7a2abee2cb8adfa3c23f4e9

‘‘හතරක්...! ඒ කියන්නෙ සුමානෙට එක ගානෙ බලල තියෙනව... නරක නෑ... හැබැයි කොල්ලො ඕකත් පුරුදු උනොත් අබිං කෑව වගේ තමයි හරිය... ගැලවීම බොරු. හැබැයි මේ දවස්වල නං හෝල් දෙකක ම දුවන්නෙ පරණ පිචර් නෙ... අලුත් එකක් ආවම ඉතිං එකක් මාස තුනක් විතර දුවනව නෙ. ඒ හිංද එතකොට සුමානෙට එක ගාණෙ බලන්න හම්බෙන්නෙ නෑ. කොහොම උනත් ඒකත් ගාණකට තියාගන්නව හරිද... නැහ්නං තමුසෙ හම්බ කරන සල්ලි ඔක්කොම අංතිමට හෝල්වලට පූජ කරල තියෙයි.’’

මම ඒකට උත්තර දුන්නෙ නෑ. ඒකට හේතුව මොකක්ද කියල මම දන්නෙ නෑ. සමහර විට ඒ මම පිචර් බලන්න ආස නිසා ම වෙන්නත් ඇති. ඒත් මම කළු මහත්තයගෙ මුණ දිහා බලාගෙන හිටිය.

Orig onelio marrero oil painting ushers master
‘‘හරි... දැං යනව... දැනට ම තමුසෙගෙ ඕෆ් පැය දෙකෙං පැයක් ම ඉවරයි වගේ,’’ කියද්දි ම මං පුටුවෙන් නැගිට්ට. ඒ එක්ක ම කළු මහත්තය ‘‘ආ තව එකක්... මේකෙ ඉන්න එවුං එක්ක පැටලෙන්න යන්නෙපා. මට ආරංචියි අර පාලිතයගෙ ඇට දෙක මිරිකුව කියල. ඊට පස්සෙ ඌට නාහෙං කටිං ලේ එන්න ගැහුවලුත් එක්ක නේද...? මේ වගේ තැන්වල ඕව සාමාන්නෙ දේවල් අයිෂෙ. ඒ හිංද අපි ඕවට අත දාන්නෑ. ටික කාලයක් යද්දි තමුසෙටත් ඒ වගේ දේවල් ඕන වෙයි. ඒ හිංද තමුසෙ අකමැති නං ඒක කතා බහ කරල විසඳගන්න බලනව. මොකද හතුරො හැදුනොත් තමුසෙටමයි අවාසිය හරිය. හරි හරි... දැං යනව.. ගිහිං හොඳිං වැඩ ටික කරනව හරිය...’’

‘‘හරි කළු මහත්තයො...’’

එහෙම කියල කාමරෙන් එළියට ආවෙ ගියපු මම නෙවෙයි. මොකද කළු මහත්තය කියන මිනිහ ගැන මගේ හිතේ මෙච්චර දවසක් තිබුණ අදහස මේ ටික වෙලාවට හුඟක් වෙනස් වුණා. මිනිහ ඔය වැඩ කරන එවුන් කියන තරමට ම නරක කෙනෙක් නෙවෙයි කියල මට හිතුණ. සමහර විට මිනිහ මට අවවාද කළේ අර ටී මේකර් මාව එක්කරගෙන ආපු නිසාද දන්නෑ. මට හිතෙන විදියට ඒ ‘ටී මේකර්’කියන මනුස්සයට මේ හෝටලේ ලොකු සර්රුයි, මැනේජර් මහත්තයයි, බිල් මහත්තයයි හැමෝම වගේ මොකක් හරි විශේෂ සැලකිල්ලක් තියෙනව. ඒ හිංද මං තීරණය කරා හෙට රැ හතට ඕෆ් එක ඉල්ලගෙන ජස්ටින් මාම මුණ ගැහෙන්න ඕන කියල. එයා හැමදාම හවස හයට ඕෆ් වෙනව.

 

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/12/08 

අපලෝකන - පසුගිය කොටස්...

අපලෝකන 11 : 'ඔහේ තාම ඇටෙං පොත්තෙන් එළියට ආව විතර නෙ...' -(ජයසිරිගේ අලුත්ම නවකතාව)

අපලෝකන 10 : මුනුත් ඔය කිව්වට ඒ ගෑනුත් එක්ක බුදියගන්නව - (ජයසිරිගේ අලුත්ම නවකතාව)

අපලෝකන 09 : අපි හැම කෙනෙක් ම ආස්සරේ කරන්නෝන...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)

අපලෝකන 08 : ඔහේට සල්ලිවල අගේ තේරෙන්න ටිකක් කල් යයි - ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන 07 : 'ඒක තවත් ඉතිහාස ගතවෙන සිද්ධියක්' - ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන 06 : මං සරං ඇඳල ම නැහැ නෙ... - ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන (05) : මගේ ගම කොහෙද කියල මං දන්නෑ...- ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන 04 : මං ඕයි නෙවෙයි ඕයි... මගෙ නම යසසිරි...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)

අපලෝකන 03 : අද නං ජස්ටිං අයිය කාමරේට ම බට්ටෙක් අරගෙන ඇවිත් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)

අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන (01): මුවන් පැලැස්සේ හිඟන කොල්ලා - ජයසිරිගේ අලුත්ම නවකතාව

වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)


Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්