ඇස් ඇරන් බැලුවත් නොපෙනී ඇති මේ හැඟුම්කරණමය සංඥා අමුතුය. සැබැවින්ම වෙළඹියන් ඉතිහාසයේ හාත්පස පෙන්වන කැඩපතක් බඳුය.
සේන - ගුත්තික සම පුරුෂ රාජ සමය ගැන වටිනා වදනක් මහාවංශය හා දීපවංශය ලියා තබයි.
එනම් "ධාර්මික මහ බලැති අස්ව පුතුන් වූ සේන ගුත්තික දෙපලය". යන වදන් වැලය. ශ්‍රී ලංකා රාජ්‍යය අත්පත් කරගත් මේ දෙදෙනාද අශ්ව පුතුන්සේ හැඟුම්කරණමය සංඥාවක ලියා තබා තිබෙන්නේ කිමදැයි සිතාවත් නැත. තුරඟන් වෙළඹන් සොයා යන ගමනේ ඒ දෙදෙනා බැඳෙන්නේ, ඒ දෙදෙනා අශ්වයන් සමඟ සබැඳි නිසාම පමණක් නොවේ. කිසිඳු වදනකින් මේ දෙදෙනා ඉතිහාසය ලියා තැබූ සිංහල භික්ෂුන් වහන්සේලාගෙන් අපවාදයන් අසා නැති නිසාය. දැන් මේ සියල්ල ගැන සිත තුල සිතුවිළි මතක රූප මවන ඇසිල්ලේ මට සිහිවූයේ දීඝථුණිකාය.
තිඹිරි විලෙන් දොරමඩලාවට ඇවිත් වියලුවට ගියේ ඇය ගැන කතා පොකුරු ඇහිදින්නටය.
ඉතින් තිඹිරි විලෙන් දොරමඩලාවට ඇවිත් වියලුවට ගියේ ඇය ගැන කතා පොකුරු ඇහිදින්නටය. දීඝථුණිකා හා වේලුසුමනගේ බැඳීමක් එක්ක සේන ගුත්තික ද්විත්ව පුරුෂ රාජ යුගයට බැඳුණු විත්ති අහුලමින් සිටින සමයය. මුහුදු වැද්දන්ගෙන් ඒ ගැන අසන්න පුළුවන් කීවේ ඔළිදහාමි වෙදානෝය. ඔළිදහාමි වෙදානෝ මතක පොතට එන විට ඔහු සොයාදුන් තෙරිඳු දිඹුලාගල සීලාලංකාර ස්වාමීන් වහන්සේ නිබඳව සිහිවේ.දිඹුලාගලට ගියේ වියලුවෙන් ලද ඉව මැදින්ය. දැන් මම වංශකතාවේ ලියා ඇති ශාස්ත්‍රීය දත්තයන් මහජන පපු ගැඹුරේ සොයමින් හිදියෙමි. නිමක් නැති රසාලිප්තයක් කියන්නේ වෙළඹියන්ට රාජ කුමරුන් මෙතරම් ලෝලවී ඇත්තේ මන්ද . වළවාමුඛී වෙළඹිය එක්ක දිඹුලාගල කන්දේ සිවු වසරක් පණ්ඩුකාභය කුමරු ගෙවූ රස වෑහෙන ජීවිතය ගැන වංශ කතා ලියා තිබුණද අපට ඒ ගැන මතක කතාවක්වත් නැත.
පුදුමය කියන්නේ කුමරු ගැමුණු සේද නිරිඳු දුටු ගැමුණු සේද ඒ අලංකාරයටම වෙළඹියට බැඳී සිටි වග දන්නේ නැති තරම්ය. ඇත්තමයි දුටු ගැමුණු නිරිඳුගේ වෙළඹිය තමයි දීඝථුණිකා. මම වෙළඹිය වළවාමුඛියගෙන් දීඝථුණිකා සොයා යමින් ගමන් ඇරඹුවේ ඒකය. නිරිඳු ගැමුණුගේ ඇත් කුමරු කණ්ඩුල ගැන දන්නා අපි ඔහුගේ වෙළඹිය 'දීඝථුණිකා' ගැන දන්නේ නැති තරම් ගුප්ත නිහඞකමය. නිල වංශ කතාවේ ශාස්ත්‍රීයව කණ්ඩුල සේම දීඝථුණිකාද සිටී.
දුටු ගැමුණු නිරිඳුගේ වෙළඹිය තමයි දීඝථුණිකා
ඒත් මේ මන්ද ?. කණ්ඩුල ජනකාන්තය. දීඝථුණිකා සැඟවී ගොස්ය. ඉතින් රහසින් රහස හෙළිකර ගනිමින් ගැමුණු කුමරුගේ වසන්කර තබා ඇති ජීවන ලෝල රමණයේ කිමිද යන්නට විය.අලුත් පාරකින් සක්මන් කරන්න දීඝථුණිකා සිතුම් පහල කළේය. එමෙන්ම ශාස්ත්‍රීය ලෝල පිපාසාව මුළු මනස් තලයෙන් හදවත පුරා දිව ඇවිද යන්නට විය. වෙළඹිය වළවාමුඛිගෙන් වෙළඹිය දීඝථුණිකා කරා ඉතිහාසය ඇවිත් ඇති කමන රමණීය ජාන කතාවේ අතුරු වංගු වලින් එබී බලන්න සිතා ගතිමි.
සැබැවින් බහුවර්ණ පණ්ඩුකාභය නිරිඳු ද ජාතිකාභිමානී ගැමුණු නිරිඳු ද වෙළඹියන් හා බැඳුනේ කිමද. මෙම සම්‍යතා මෙනෙහි නොකොට ලියා ගොතා කටපාඩම් කරගෙන ඇත්තේ ඉතිහාස කඨෝරයන්ය. ඉතිහාස වේදිකාවට වෙළඹියන් කැඳවා කුමරුන් හා සමෝධාන කොට තැබුවේ මූල කතුවරුන්මය. ඒ නූතන පහසේ ඉන්න අපට අතීත පහස තත්වාරෝපිතවම හැඟුම්කරණය කර දෙන්නටය. එමෙන්ම ලක්දිව ලෝක ගෝලය හරහා අරන් ගියේ තුරඟා වෙළඹ වංශ අන්දරයේ සිත්තමද දිස්කරමිනි. තනිකමක් නැති තරමට ඉතිහාසය හෘද බන්ධනයය.එමෙන්ම ඉතිහාසය නැවතීමක් නැති තරමටම භව සත්තාවක්ය.
ලක්දිව ලෝක ගෝලය හරහා අරන් ගියේ තුරඟා වෙළඹ වංශ අන්දරයේ සිත්තමද දිස්කරමිනි
අවසානයේ යුගයන් අතරින් ඇවිත් යුගයන් අතර යුගයක් සේ දිවෙන මනුෂ්‍ය ආල ආතුර පපු මස්තකයේ දිග හැරීමකි. ලේ අවි ආයුධ, පළිහ, හෙල්ල, කඩු, ඊතල, දුනු මදක් මෑත් කොට බලන්න. දීඝථුණිකා සමඟ නැළවෙමින් පැද්දෙමින් කුමරු ගැමුණු වේලු සුමන හා ගිය ගමන් කතාවට කන් දෙන්න. ඒ ගමන් කතාව බහු පදයෙන් සොයා මම තවමත් ඇවිදිමි.
මහනාම හිමියන් තම ඓතිහාසික රචනාවෙන් වළවාමුඛිය සේම දීඝථුණිකාව ජාතික මනස්මරණයේ තබා ගියේ මන්දැයි දැන්වත් සිතන්න. මුහුදු වැද්දන් මාව අරන් ගිය ඔකඳ දෙවොල් මල් පලසට ගියෙමු. ඒ මල් යහනේ නිරිඳු සමඟ වෙළඹිය සයන ගතවූ මල් පාවඩය දුටු දා මම අලුත් උනෙමි. ඉතින් ඒ අලුත් සුසුමේ කිමිදීම ඉවරක් නැති සෙවීමකි. ලිවීමකි. ඇරඹීමකි.
දීඝථුණිකා සමඟ නැළවෙමින් පැද්දෙමින් කුමරු ගැමුණු වේලු සුමන හා ගිය ගමන් කතාව
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම