දන්න කතාවක් සොයා ගෙන යන්න සිදු වූයේය.
හැමෝම දන්නා කතාවේ නොදන්නා නොසිතන සංඥාවට ඉඩ ලැබුණේ දීඝථුණිකා වෙළඹිය සොයන්න යමින් සිටියදීය.
ඉතිහාසය ශාස්ත්‍රීය ග්‍රන්ථ වලින් කියවා විමර්ශනය කරමි. ඉන්පසු ජනී ජන හදවත් වලින් ලියා තබා ඇති තතු ඇහිදිමි. ඒ සමඟ සෙල් ලිපි කවි අන්දර හා ප්‍රවාද හා පුරාවිද්‍යා දත්ත සමඟ සිදුවීම මුසුකර බලමි. මේ මම දිගටම ඉතිහාසය සොයන හැටිය. මානව භාවය තුළින් චිත්‍රණය කර ගන්නා විට ඉතිහාසයේ සෙවීම් වපසරිය බහුවිධය.
ඉතින් දුටු ගැමුණු කුමරුගේ වෙළඹිය ගැන කතාව මහාවංශය හා දීපවංශය සමඟ ලියා ඇති විට එය ජනකතාකරණය නොවී තිබූ සිදුවීමම කුකුසක් ඇති කළෙමි. කුකුස සැකයක් නොකර ගෙන විමසුමක් කරගෙන දිගින් දිගටම සොයා යාම පිළිවෙත කොට සිටිමි. ඒ අනුව දීඝථුණිකා වෙළඹිය ගැමුණු කුමරුට හමුවුණු තොටමුණ බලාගන්න ගියේ මුහුදු වැද්දන් සමඟය.
එම තොටමුණ ගැන මට තුන් ආකාරයක කථාවන් හමුවී ඇත. මේ තුන් ඈදුනු කථාවන් තුනෙන්ම එකම කථාවක් මැදින් දිවයයි. එනම් ස්වර්ණ දීපයේ (මැලේසියානු - ඉන්දුනීසියානු) වෙළෙන්දන් ගැනය. ඒ වෙළෙන්දන් සමඟ හඳ බැදි ලංකා වෙළඹියන් ගැනය. ඒ හැම කතාවක් එක්කම බැදෙන්නේ කුමරු ගැමුණු දොළොස් වියේදී තෙපලූ ප්‍රකට කතාවය. එනම් "උතුරෙන් දෙමළුන් - දකුණින් ගොළු මුහුදය" යන්නය. තවත් පැහැදිලිව කියන්නේ නම් "ගඟෙන් එතෙරින් දෙමළුය. අනික් පසින් ගොළු මුහුදය". මේ තේමා පාඨයට සෙවිම් බැලීම් වැටුණේ වැද්දන් මුහුදේ සිටිමින් මේ ගැන මතක තබාගෙන ඇවිත් ඇති මතකය මුණ ගැසුණු නිසාය.
පිපාසෙන් ඉපිළි ගියෙමි. ඇතුලෙන් ඇතුලට යා යුතු යැයි සිතුණි. මන්ද උතුරෙන් ඉන්න දෙමළුන් ගැන නුතන අප ඇස ගියද, දකුණේ ගොළු මුහුද ගැන අපි ඉව නොකළේය. මන්ද එහි තිබුණේ වර්ග හැඟුම්කරණයක් නොවන නිසාය. බොහෝ විට ඉතිහාසය හැඟුම්කරණය වන තැන ඇත්තේ වසන් කළ නොහැකි ඇත්තය. කුමරු ගැමුණු දකුණේ ගොළු මුහුද ලෙස පෙන්නන්නේ කුමක් ද. උතුර පිටස්තරයෙකු අල්ලා ගෙන ඇතැයි කී කුමරු දකුණින් ඇති දේශපාලන ආතතිය පෙන්නන්නේ මහ මුහුද ඔස්සේය. මේ වැකිය ක්‍රි.පූ. දෙවන සියවසේ ලංකා දේශපාලනයෙහි හරස් කැපුමක් විදහා දක්වන සංකේතීය ප්‍රකාශයකි. එහි සත්‍යය ගැඹුර හෝ දැක්ම අපි දැක ඇත්තේ අර්ධමය ලෙසය. දෙමළාට එරෙහිව හැඟුමන් දැන වු කරුණ ඉව කළ ද ගොළු මුහුදේ අභියෝගය ගැන නුතන හැඟුම්වලට එබී බැලීමක් නැත.
ඇත්තටම ගොළු මුහුදින් රුහුණට තිබු අභියෝගය කුමක් ද. අභියෝගය උතුරින් ඇතිවන තෙරපීම නිසා දකුණින් ගොඩබිම කෙළවර මුහුද නිසා සිංහලයා මුහුදට වැටෙන බවද. එසේ නම් එයට 'ගොළු මුහුද' කිවේ මන්ද. මේ අලුත් සිතුමක් ගෙන ඉතිහාසයේ සැබෑ පදාසයක් කැණිම් කර බලන්න ඇති අමුතු කතාවකි. ලංකා රාජාවලියේ ජනකාන්තයාගේ හිරිමල් වියේ වු දේශපාලන ඉව ගැන කවුරුත් දන්නා මේ වැකිය කණින්නට පටන් ගත්තේ ඔය විදියටය.
මුහුදු වනාන්තර වල දිවි ගෙව්ව ලංකා වැද්දන් මුහුදු වැද්දන්සේ ප්‍රබල භූමිකාවක නිරත වූහ. තවමත් පතුලටම ගොස් ඔවුන් ගැන සොයා නොගත් කතා ගොඩකි. ඔවුන් ගැන කරන පර්යේෂණයන් නිබන්ධන හා උපාධි මත ඉලක්ක වී ඇති අතර, ලංකාවේ මෙන්ම ශාස්ත්‍රිය ලෝකයේ ඇති ගැටළුවක් වන්නේ මෙයමය. මන්ද ඕනෑම පර්යේෂණයක් භාව කැණීමකට ලක් නොවීමය. මානව භාව සංකල්පනා කැණිමකට ලක් නොකර ජානයේ කතාව සොයා ගත නොහැක. ජානයේ කතාව ශෘංගාරය දිගේ පැමිණි කතාවකි.
ලාංකික පොළොවේ දිග පළල හා බාහිර ජාන නැදෑයන් ගැන මනාව දන්නා ජන කොටසක් සේ මුහුදු වැද්දාද මුල් පෙළේ වේ. ඒ නිසා බොහෝ විට ඔවුන්ට මේ රහස්‍ය ඉතිහාසය නිසා සංහාරයට ලක්වන්නට සිදු වු හැටි ඉතිහාසයට එඹි බලා සොයා ගත හැකිය. අවසන් මුහුදු වැඳි ජනතාව නැගෙනහිර වෙරළට සීමා වුයේ මන්ද කියා සිතා බලන්න වටින්නේය. මේ සොයා බැලීම මැදින්ම යළි හැරිය යුත්තේ කුමරු ගැමුණුගේ හිරිමල් සමයේ සටන් පාඨයේ වටහා නොගත් වැකියටය.
ගැමුණු කුමරුට ගොළු මුහුද අභියෝගය වනුයේ කෙසේ ද. මේ සමය එළාර රජු විසින් ඇති කළ පාලනය නිසා ද්‍රවිඩ ජන සංයුතිය වේගයෙන් ලංකාවේ පැතිර ගිය බවට සැකයක් නැත. එහි ප්‍රතිඵලය ලෙස රුහුණු රටට දකුණු වෙරළ තීරයේ වෙළඳ බලය තීරක වේ. ඒ වගේම එම වෙළඳ බලය සමඟ ලංකා රාජධානියට බැඳි චීන, අරාබි, අග්නිදිග ආසියාවෙන් එන සංක්‍රමණ ප්‍රබල වු බව පැහැදිළිය. මෙම කලාපීය සංක්‍රමණය විසින් යැපෙන තත්වයට රුහුණු රට පත් වන්නට ඇත. මන්ද එළාර රජුගේ උතුරු ලංකාවට මුහුණ දීමට තිබූ එකම මාවත එම මුහුදදෙන් එන ධන බලය පමණි. එයම පාරාවලල්ලක් වී ඇති බව පෙන්වන්නේ ගැමුණු කුමරුගේ මුවින් ගොළු මුහුද ගැන කියවෙන ප්‍රකාශයයි.
ගැමුණු කුමරුගේ පියාට කලු කපුටා හෙවත් 'කපුටු පාට තිස්ස' හෙවත් 'කාක වර්ණ තිස්ස' කියා නම් පටබැඳී ඇත්තේ මන්දැයි සිතිය යුත්තේය. එම සිතිම පෙන්නන්නේ රුහුණ තුළම තිබු රජ පවුලට වූ ස්වදේශී සහ විදේශීය ජන විරෝධයේ ප්‍රබල සංකේතයයි. එම විරෝධතාව පසු ඉතිහාසය රචකයන් එම නමටම තබා රචනා කිරිමෙන් අප වෙත සංකේතීයව එම කරුණ ගැන කරන හැඟුම්කරණය කුමක් ද. එමෙන්ම දුටු ගැමුණු කුමරුට හිමිවිය යුතු රුහුණේ රජකම සද්ධාතිස්ස කුමරුට දීමට පිය රජු කාකවර්ණ තිස්ස තීරණය කිරීම ද එහි දිගුවක් බව පෙනේ. එය තවත් දිගට ගමන් කරන්නේ එම සමයේ රුහුණු නාවික යාත්‍රා තොටමුණ පුරා රැඳී පැතිර යන විදෙස් ජන සංයුතිය පරීක්ෂා කරන විටය.
එම නිසා "දීඝථුණිකා වෙළඹ" රැගෙන පැමිණි පර්සියානු යවනයන් ගැන ඇති කතාව ලංකාවේ ඉතිහාස වංශ කතාවට ගෙන තහවුරු කළ යුතුය. ලංකාවේ ඉතිහාසයට නූතනයන් කර ඇති සාපරාධී කටයුත්තක් වන්නේ දෙමළ විරෝධි වර්ග වාදයක් මතු කිරීම හා අපරදිග ජාන බැඳුම වසන් කිරීමේ කටයුත්තය. ගොළු මුහුදින් ඇති අනතුරු හැඟුම ගැමුණු කුමරුට දහර වියේම බැඳුනේ කෙසේද. දෙමළ විරෝධය හා අපරදිග විරෝධය හිරිමල් ගැමුණු කුමරුගේ හිතට එලෙසට ඇතුලත් වූයේ සැබැවින්ම කා හරහාද. ඒ කියන්නේ ලාංකික ජන මනස දෙමළ විරෝධයේ හා බටහිර විරෝධයේ මතවාදයෙන් සන්නද්ධ කරන්නේ කවර බලවේගයක්ද. එම නිසා අපරදිග බිය එදත් පැවති ප්‍රධාන දේශපාලන හැඟිමක් බව මේ තුළින් පෙනේ.
නුතන ලංකාවේ දේශපාලනයේ දිස්වන බටහිර කුමන්ත්‍රණය අතීත රුහුණු රාජධානියේ ප්‍රධාන සටන් පාඨයක්ද බව ඉතා පැහැදිලිය. ඒ අනුව ගොළු මුහුදේ අභියෝගය විසින් උතුර ජය ගැනීමට බලවේග ද අපරදිග විරෝධයට මාවත ද සෑඳී ඇති බව පෙනේ. ශ්‍රී ලාංකික ජාතිමාමකයන් බොහෝමයක් එකවිටම දෙමළ විරෝධයකින් ද ඒ එක්කම බටහිර විරෝධයකින් ද හෙබි චින්තනයක ජීවත් වන්නේ මේ නිසාමය.
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම