‘‘නෑ නෑ... මං අදහස් කරන්නෙ ඊටත් වඩා බරපතළ දෙයක් අහිංසනා... අපි මෙහෙම හිතමුකො... අපි ඒ වෙද්දි කසාද බැඳලත් නෑ. හදිසියෙවත් පොලිසියෙන් මාව ඇරෙස්ට් කරා නං... මගේ නමට කැළලක් වෙන්නෙ
නැද්ද..., මගේ විතරක් නෙවෙයි... මගෙන් ඉගෙන ගන්න දරුවන්ට කැළලක් වෙන්නෙ නැද්ද...,
මං කොහොමද ආපහු මගේ රස්සාව කරන්නෙ...?
නමුත් මං ඔයා කසාද බඳිනකං ඔයාගෙ ජීවිතේ වටිනා ම දේ උදුරගත්තෙ නෑ කියල මට ඔප්පු කරන්න පුළුවන්නම් ඒක මගෙයි ඔයාගෙයි දෙන්නගෙම අනාගතේට වටිනවා.
ඒකයි මං එහෙම දුර දිග බලල වැඩ කරේ... හැබැයි... හැබැයි... මං දැං නං ඒ කිසිම දේකට බය නෑ... මොකද මං අද ඔයා නීතියෙන් ම මට අයිති කරගත්ත නෙ...’’
එසේ පැවසූ අමෝද්‍ය දැඩි ප්‍රහර්ෂයෙන් යුතුව තරයේ ම මා වෙළාගත්තේ ය. ඒ වෙළාගැනීම ලිහිල් වූයේ: දිය කඳුරකින් ඇරඹි සිහින් දියපහරක් ඇළක්, දොළක්, ගඟක් වී කඳු, හෙල් තැනිතලා පසු කර අවසන සිඳු සිප සැනසෙන්නා සේ ය; සිහිල් පවන් රැල්ලක්ව ඇරඹී අවසන ගස්වැල් අඹරවා හමා ගිය සුළි සුළඟක් ලෙසිනි; මල්තුහිණ සේ පැමිණ, සිහින් පොද වැස්සක්ව පතිතව, පරිසරය අවට පිරි පැවති සියලු අපවිත්‍ර දෑ සෝදා හළ ද අමුතු ම සිසිලසක් අත් කර දුන් මහ වැස්සක් ලෙසිනි; කුඩා ගල් කැබලි දෙකක් එකිනෙක ඇතිල්ලීමෙන් පැන නැගි සිහින් ගිනි පුපුරක් අප දෙදෙනාගේ ම ශරීරාභ්‍යන්තරයේ නැගෙමින් පැවති උණුසුම් හැඟීම් සියල්ල සුවිසල් අග්නි ජාලාවක් බවට පත් කරමිනි.
ඒ කුමනාකාරයෙන් අවසන් වුව ද එය මා මෙතෙක් ජීවිතයේ ලද: මිහිරිතම, රසබර ම, උද්වේගකර ම, සන්තෘප්තකර ම රසාස්වාදය ලද මොහොත ය; ආදරය නමැති වෘක්ෂයේ හටගත් මිහිරිතම ඵලය භුක්ති විඳි මොහොත ය.
සාම්ප්‍රදායික ගෝත්‍රවාදී සිරිත්වලින් තොර මිහිරි රාත්‍රියක් ගෙවා දමමින් සුවබර උදෑසනක් ප්‍රාර්ථනා කළ හැකි බවට විශ්වාස කළ මොහොතකි. පසුදින පහන් වූයේ ඒ සැහැල්ලුව සැබැවින් ම අත් කර දෙමිනි.
* * * * * * * * *
අද ආරම්භ වූයේ මා අමෝද්‍ය සමග පැමිණි පසු එළඹි හත්වන දිනය යි. කුරුණෑගල පැවැත්වෙන පංතිවලට සහභාගි වීම සඳහා නිවසෙන් පිටව ගිය අමෝද්‍ය යළි නිවසට පැමිණියේ රාත්‍රී හතට පමණ ය. කාරයෙන් බසින මොහොතේ ම ඔහු කිසියම් මානසික පීඩනයකින් පසුවන බව මට හැඟිණ.
එහෙත් නිවසට පා තැබීමටත් පෙර ඒ පිළිබඳව විමසීම නුසුදුසු බැවින් මා සුපුරුදු ලෙස ම ඔහු පිළිගත්තේ ඔහුගේ මනස කිසියම් ව්‍යාකූල භාවයකින් පිරී ඇතැයි මට හැඟෙන බවක් නොහඟවමිනි.
රාත්‍රී ආහාරය ලබාගන්නා මොහොත දක්වා ම ඔහුගේ වෙනස පිළිබඳ නොවිමසූ මා අවසන ඒ පිළිබඳ විමසුවේ අමෝද්‍ය වෙනදා මෙන් සිය වෘත්තියට අදාළ කටයුතු කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකර ම ඉක්මනින් ම නින්දට යා යුතු බව පැවසූ හෙයිනි. සැබැවින් ම ඔහු ඉක්මනින් නිදන්නට සැරසෙන්නේ නම එය මට මහත් අස්වැසිල්ලකි. මන්ද අප විවාහ වූ දින හැර අද දක්වා අප පසු කර ගිය දින කිහිපයේ ම ඔහු නිදි යහනට පැමිණියේ මා නිදි ලොවට පිවිසීමෙන් ඉක්බිතිව ය.
එබැවින් අප දෙදෙනා එක්ව ගත කළ පළමු රාත්‍රියේ විඳි ප්‍රහර්ෂය යළි උදාකරගත හැකි වූයේ ද තවත් එක් දිනයක පමණි. එහෙත් රත් වූ තැටියක් මත තැබූ අයිස් කැටයක් දිය වී යනවාටත් වඩා වේගයෙන් මගේ බලාපොරොත්තු දියවී ගියේ අමෝද්‍ය කිසිදු උත්තේජනයකින් තොරව වැතිර සිටි බැවිනි. තව දුරටත් නිහඬ ව්‍රතය රැකිය නොහැකි තත්ත්වයට පත් වූ මා මෙතෙක් සිත තුළ රඳවාගෙන සිටි පීඩාව මුදාහළේ ය.
‘‘අමෝද්‍ය... ඇයි මේ...? මොකද්ද අද ඔයාට වෙලා තියෙන්නෙ...?’’
සයනයේ වැතිර සිවිලිම සමග අනිමිස ලෝචනයක යෙදෙන අමෝද්‍යගෙන් මා විසුවේ නීල වර්ණයෙන් දිදුලන, ඔහුගේ ළැම පුරා පැවති රෝම අතර මගේ ඇඟිලි තුඩු ඔබ මොබ සංසරණය කරන අතර ය.
මුවෙන් කිසිදු වදනක් මුදා නොහල අමෝද්‍ය මා වෙතට හැරී ඔහුගේ වමත මගේ බඳ වටා ඇතිරී ය; ඉක්බිති ඔහුගේ අඩවන් දෙනෙත් මගේ දෙනෙත් සමග එකිනෙක පටලන්නට යත්න දැරී ය. ඒ දෙනෙත් තුළ කුමක් හෝ රහසක් සැඟවී ඇති බව මට සක් සුදක් සේ පැහැදිලි විය. මා ද ඔහුගෙන් කිසිවක් ම නොවිමසා ඒ දෙනෙත් සමග අදහස් හුවමාරු කරන්නට යත්න දැරී ය.
එහෙත් ඒ දෙනෙත් තුළ ලියවී ඇති වදන් කියවා ගැනීම ඉතා දුෂ්කර වූයේ ජලය පිරී තිබූ බඳුනකට යමක් වැටුණු සැණින් එහි පැවති ජලය ඉතිරී පිටාර ගලන්නා සේ අමෝද්‍යගේ දෙනෙතින් අක් දහරක් පිටාර ගැලූ බැවිනි; ඒ සමගම ඔහු කුඩා දරුවකුසේ ඔහුගේ හිස මගේ ළමැදේ හොවාගත් බැවිනි. මට කිසිවක් ම අදහාගත නොහැකි ය. එහෙත් කුමක් හෝ විශේෂ යමක් සිදුව තිබෙන බව හෝ සිදුවන්නට නියමිත බව මට ප්‍රත්‍යක්ෂ විය.
‘‘අමෝද්‍ය...! ඇයි මේ...!!’’
මා විමසුවේ ඔහුගේ හිස මෘදු ලෙස සම්බාහනය කරන අතර ය.
තත්ත්පර කිහිපයක් අප පසුකර වේගයෙන් ගමන් කළ අතර රාත්‍රි දුහුල් ඇඳුම ද විනිවිද ඇතුළු වූ අමෝද්‍යගේ අක් දහරින් මගේ ළැම උණුසුම් වූ බවක් හැඟිණ.
‘‘අ... අද දවල් දි... දිවසත් කතා කරා පැටියො...’’
අසීරුවෙන් අමුණා ගත් වදන් කිහිපයක් අසීරුවෙන් මුදා හළ අමෝද්‍ය යළිත් ඔහුගේ හිස මගේ ළැමට තබා තෙරපි ය.
‘‘ඉතිං... ඒකට ඇයි මේ මෙහෙම...?’’
අමෝද්‍ය පිළිබඳ අනුකම්පාවකින් ද ආදරයකින් ද පිරි මගේ හැඟීම් එලෙස මුදා හැරී ය. ඔහු මෙතරම් ව්‍යාකුලත්වයට පත්ව සිටින්නේ මන් ද... දිවසත් අයියා පවසා තිබුණේ ඔහු අප අමතන තෙක් ඔහුව අමතා සිටීමෙන් වළකින ලෙස යි. අද ඔහු අමෝද්‍ය අමතා ඇත. එහෙත් ඒ ඇමතීම අමෝද්‍ය මෙතරම් ව්‍යාකුලත්වයට පත් කළේ ඇයි දැයි දැනගත හැකිවන්නේ ඔහුගෙන් ම ය. නොඑසේ නම් දිවසත් අයියා ඇමතීමෙනි. එහෙත් මා මේ මොහොතේ අමෝද්‍ය මගහැර දිවසත් අයියා වෙතින් කරුණු විමසීම යනු අමෝද්‍ය තව තවත් ව්‍යාකුලත්වයට පත්විය හැකි තත්ත්වයකි.
‘‘කියන්න අමෝද්‍ය කියන්න... ඔයා මේ තරමට ම අවුල් වෙන්න දිවසත් අයිය මොනව ද කිව්වෙ...?’’ ඔහුගේ හිස කෙස් අතර මගේ ඇඟිලි තුඩු මෙහෙවන අතර ම මා විමසී ය.
මගේ ළැම මත තබාගෙන සිටි හිස මඳක් ඔසවා, තත්ත්පර කිහිපයක් මගේ දෙනෙත් සහ ඔහුගේ දෙනෙත් එකිනෙක පැටලු අමෝද්‍ය කුමක්දෝ මුමුනන්නට යත්න දැරි ය. එහෙත් ඔහුගේ මුව විවර නොවිණ; ඒ වෙනුවට දෙනෙත්වලින් යළි පිටතට පැමිණි අක් බිඳු දෙකක් මගේ උවන මත වැතිරිණි; ඒ සමග ම ඔහුගේ හිස මගේ එක් කොපුලක් මත තැබී ය.
‘‘ඔ... ඔයාට ඔයාට... ඔයාගෙ දෙමව්පියො අහිමි කරපු එකට මට සමාවෙන්න පැටියො... මට සමාවෙන්න...’’
ඔහුගේ මුවෙන් ගිලිහි වදන් මගේ සිරුර දවාලන ගිනි දැල්ලක් තරම් වේදනාකාරි විය. එක් වර ම ඔහුගේ හිස දෙපසින් අල්ලා ගත් මා ‘‘අනේ අමෝද්‍ය... මොකද්ද සිද්ධ වෙලා තියෙන්නෙ කියල කියන්නකො... ඔයාට කියන්න බැරිනං මං මේ දැං ම දිවසත් අයියට කතා කරනවා...’’
වේදනාව ද, කුතුහලය ද ඉවසිය නොහැකි නිමේෂයේ මගේ මුවෙන් ගිලිහුණු ඒ වදන් හමුවේ තරමක් වික්ෂිප්ත වූ අමෝද්‍ය ඔහුගේ සිරුරේ බරෙන් අඩක් මගේ සිරුර මත සතපා මගේ ගෙල දෙපසින් දෑත් ඇතුළු කර, මගේ හිස මදක් ඉහළට ඔසවා ඍජුවම මගේ දෙනෙත් තුළට එබී ‘‘අද ඔයාගෙ අම්මයි තාත්තයි...’’ යැයි පවසා ඔහුගේ කොපුලක් මගේ කොපුලක් මත තබා තෙරපන අතර ම සිහින් ස්වරයෙන් ‘‘ඔයාගෙ අම්මයි තාත්තයි පන්සලට දානයක් දීල පැටියො...’’ යැයි පවසා මඳක් පළට ඇදී ඔහුගේ හිස මගේ ගෙල මත තබා තෙරපී ය. වදනකදු මුදා හළ නොහැකි වූ මා නිහඬව ම සිවිලිම සමග අනිමිස ලෝචනයක යෙදිණ.
‘ඒ කියන්නෙ අම්මයි තාත්තයි මං මැරුණ කියල හිත හදාගෙන... දරුවෙකුට එහෙම කරන්න දෙමාපියන්ට පුළුවන් ද...? අපි හැමදා ම දෙමව්පියො කියන කරන හැම දේකට ම අවනත වෙන්න ඕන ද...? මගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න මට අයිතියක් නැද්ද... එයාලට ඒ තරං නපුරු තිරණයක් ගන්න පුළුවන්නං... ඔවු... එයාල මට කන්න බොන්න දීල මාව උස් මහත් කරා තමයි; මට ඉගැන්නුව තමයි; එහෙමයි කියල දරුවො කියන්නෙ දෙමව්පියන්ගෙ වහල්ලු ද...? නැහැ නෙ... දරුවො කියන්නෙත් මනුස්සයො... ඉතිං මට මනුස්සයෙක් විදියට මං කැමති කෙනෙකුට ආදරේ කරන්න බැරිනං, එහෙම ආදරේ කරන කෙනෙක් එක්ක ජීවත්වෙන්න ඉඩ දෙන්නෙ නැත්නං...’
‘‘ඔයාට මෙහෙම දෙයක් උණේ ඔයා මට ආදරේ කරපු නිසානෙ අහිංසනා... මට දරාගන්න බරි ඒකයි මගෙ පැටියො...’’
මගේ සිතුවිලි දැහැන මත ඔහුගේ වදන් ඇතිරූ බැවින් මා යළි පියවි සිහියට එළඹිණ. වහා අමොද්‍ය මඳක් පසෙකට කර, එසැණින් ම මගේ සිරුරේ සමස්ත බර ම ඔහුගේ සිරුර මත වැතිරී ය; ඉක්බිති ඔහුගේ දෙකිසිලි යටින් දැත් යවා, ඔහුගේ සිරුර මඳක් ඉහළට ඔසවා මගේ පියයුරු ඔහුගේ සිරුරට තෙරපෙන සේ ඔහුගේ සිරුරට බර විය. දැන් මගේ සියලු දුක් පීඩා දැරිය යුත්තේ ඔහු ය; ඔහුගේ සියලු දුක් පීඩා දැරිය යුත්තේ මා ය. තවත් සරලව ම පවසන්නේ නම් අපි දෙදෙනාට සිටින්නේ අප දෙදෙනා පමණි...
‘නෑ නෙ... එහෙම වෙන්න බෑ නෙ... ඇයි... අමෝද්‍යගෙ අම්මයි තාත්තයි. එයාල මොනව කරනව ද... මොනව කරයි ද කියල මං දන්නෙ නැහැ නෙ... මට ඒ ගැන අමෝද්‍ය ගෙන් අහන්නවත් බැරි උණා නෙ..’
‘‘කමක් නෑ අමෝද්‍ය... මගේ අම්මයි තාත්තයි එයාල කැමති තීරණයක් ගත්තාවෙ. මට ඔයා ඉන්නව නෙ... ඔයාගෙ අම්මයි තාත්තයි ඉන්නව නෙ... ඔයා කවද්ද මාව ඔයාලගෙ ගෙදර එක්කරන් යන්නෙ...?’’
සිතුවිලි දැහැනින් මිදුණු මා කුඩා දරුවකු සේ අමෝද්‍ය ගෙන් විමසී ය.
එතෙක් දෑත් නිදහසේ තිබෙන්නට ඉඩ හැර සිටි අමෝද්‍ය මගේ බඳවටා දෑත් වෙළා ‘‘ම්ම්ම්...’’ යැයි පවසා ඔහුගේ දෙනෙත් තුළින් විහිදෙන ආලෝක කදම්භ මගේ උවන පුරා විසුරවාලී ය.
‘‘ම්ම්ම්... නෙවෙයි... ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්නත් මගේ අම්මයි තාත්තයි වගේ ඔයා මැරුණ කියල හිත හදාගනී ද අමෝද්‍ය...’’ යැයි මා ඔහුගෙන් විමසුවේ හෙතෙම ඍජු පිළිතුරක් ලබා නොදුන් බැවිනි.
‘‘මෙහෙමයි පැටියො... ම්ම්ම්... මගේ අම්මයි තාත්තයි නං ඒ තරම්ම දරුණු වෙන එකක් නෑ. හැබැයි...’’ යැයි පැවසූ හෙතෙම එක් වර ම අනෙක් පස හැරී ඔහුගේ සිරුරේ බර මා සිරුර මත වැතිරී ය. එය කෙතරම් වේගයෙන් සිදු වුවා ද යත් ඔහු මගේ සිරුර ඔහුගේ සිරුරෙන් පසෙකට කර මගේ සිරුර මත වැතිරුණා ද යන්න පවා මට සිතාගත නොහැකි විය; ඔහු එතරම් වේගයෙන් අප දෙදෙනාගේ ම සිරුරු පාලනය කළේ ය.
‘‘ඒ තරම් දරුණු වෙන එකක් නැත්නං කොච්චර දරුණු වෙයි ද...?’’ යැයි මා විමසුවේ උණුසුම් වෙමින් පවතින සිරුර තව තවත් උණුසුම් කරගන්නා අටියෙනි.
ඔහුගේ දෙදණ මගේ සිරුර දෙපසින් සිටින සේ සයනය මත තබා, ඔහුගේ සිරුරේ බර දෙදණට බාර දී මගේ හිස දෙපස් ස්පර්ශ කරන අතර ම ‘‘ම්ම්ම්... ඇත්තට ම පැටියො මාත් ගෙදරට මේ ගැන මොනවත් ම කියල නෑ...’’ යැයි පැවසුවේ ඉතා සැහැල්ලුවෙනි. එහෙත් ඒ සැහැල්ලුව තුළ ම වෙනත් බරක් සැඟව පවතින බව මට වැටහිණ.
‘‘ඒ කිව්වෙ...! මට තේරුන් නෑ...!!’’
වික්ෂිප්ත වූ මා විමසී ය.
දීර්ඝ සුසුමක් ඉහළට ඇදි අමෝද්‍ය යළි ඉතා මන්දගාමි ලෙස එය පහත හෙළන අතර ම මගේ සිරුර මතින් ද ඉවත් වී සයනය මත වැතිරිණ. ඒ හැසිරීම් කියා පෑවේ ඔහු සැහැල්ලුවෙන් සැලකිය නොහැකි යමක් පවසන්නට යත්න දරන ලකුණු ය.
‘‘ඇයි අමෝද්‍ය.. මොකද්ද ප්‍රශ්නෙ... ඔයාගෙ අම්මයි තාත්තයිත් අපේ අම්මයි තාත්තයි වගේ වෙයි ද... අනේ... එහෙම නං වෙන්න එපා දෙයියනේ...!!’’
ඒ අවසන් වදන් පහ මා සිතා මතා මුදා හැරියා නොව ස්වංක්‍රියව ම මුදා හැරුණකි. අමෝද්‍ය ද ඒ බව වටහාගත්තේ ය.
‘‘මගේ නංගි ගැන ඔයාට මං කියල තියෙනව නෙ...?’’
අමෝද්‍ය විමසුවේ මීට තෙවසරකට පමණ ඉහත අප මුණ ගැසුණ මොහොතක ඔහු සිය පවුලේ තොරතුරු පිළිබඳ මා දැනුවත් කළ මොහොත සිහිපත් කරමිනි. එදා අමෝද්‍ය පැවසු ඇතැම් දැ මට අද මෙන් සිහියට නැගිණ.
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.