අනතුරුව මඳ දුරක් ධාවනය වූ යතුරු පැදිය: බෝගන්විලා ලතාවලින් වැසීගත් පවුරකට සවි කර ඇති ගේට්ටු පළු යුගලෙන් එකක් පමණක්
විවෘත කර තිබූ අවකාශයකින් ඇතුළු විය. භූමි බාගයට ඇතුළු වූ පසු ඔහු එම නිවසට ද පැමිණ ඇති බව සිහිපත් විය. නමුදු ඒ දේශපාලන සාකච්ඡා පැවැත්වීමට නොවන බැවින් හෙතෙම සැණෙකින් ඒ සිදුවීම් තම මනසින් මකා දැමී ය. ඒ වන විටත් එම විශාල භුමි භාගයේ මඳක් ඈතින් දිස්වන සුවිසල් පැරණි නිවස වෙත යතුරු පැදිය ධාවනය වෙමින් පැවතිණ.
‘ම්ම්ම්... මොකද්ද මේ සිද්ධ වෙන්නෙ...? මේක හරියට ෆිල්ම් එකක සීන් එකක් වගේ නෙ...? මෙයාගෙ යෙහෙළිය සඛීට මේ ගෙදරත් එක්ක තියෙන සම්බන්ධෙ මොකද්ද...?’
ප්‍රතිෂ්ඨ සිතුවිලි දැහැනක පැටලෙමින් සිටින අතර යතුරුපැදිය ධාවනය නරත විය; ඒ වනවිට එය නිවසේ පෝටිකොවේ යටට විත් තිබිණ.
දෙදෙනා යතුරු පැදියෙන් බැසීමටත් පෙර නිවසේ ප්‍රධාන දොර විවර විය. ප්‍රතිෂ්ඨ තිගැස්මකින් මෙන් එදෙස බලන විට දක්නට ලැබුණේ: නිල් පැහැති පසුබිමෙහි විවිධ පැහැයෙන් යුත් රටා සහිත සාරියකින් සැරසුණ, තද කළු පැහැයත් නොවන, රන්වන් පැහැයත් නොවන තලෙළු පැහැයෙන් යුත්, රූමත් මෙන් ම හැඩැති සිරුරක් සහිත කාන්තාවකි.
මීට පෙර කිසිදු දිනක ඇය නොදැක තිබූ බැවින් එතෙක් සිත තුළ පැවති අවිනිශ්චිත භාවය පසෙකට විසිකළ ප්‍රතිෂ්ඨ යතුරුපැදියෙන් බැස හිස් වැසුම ගලවා අතට ගන්නා විට ම දොර විවර කළ කාන්තාව සිය මුව ද විවර කළා ය.
‘‘බෙල් කරන්නත් ඉස්සෙල්ල මං දොර ඇරියෙ බයික් එකේ සද්දෙට. මං දැනගත්ත උඹල තමයි එන්නැත්තෙ කියල. ගේට්ටුවත් ඇරල තිබ්බෙ ඒකයි. ඉතිං... ඉතිං... කොහොමද...?’’
සඛී එසේ විමසමින් ම යතුරු පැදිය ආසන්නයට පැමිණියේ දෙදෙනා පිළිගන්නා අටියෙනි.
ඒ වන විට සචේතනි ද යතුරු පැදියෙන් බැස එහි අසුන ඔසවා ඇය රැගෙන ආ යමක් එතුළින් එළියට ගනිමින් සිටියා ය. ක්ෂණයෙන් මා වෙත අවධානය යොමු කළ ඇය ‘‘මේ තමයි සඛී... ඔයාට පහු ගිය දවස්වල හෙණ කට්ටක් කන්න වුණේ මෙයා වෙනුවෙන් තමයි.’’ යැයි පවසන අතර දෙනෙත් තුළ තිබූ කාන්තිය මතුපිටට විදාරණය කළා ය. එහෙත් ඇගේ උවනේ හැඩය කෙබඳුදැයි පැහැදිලි නොවූයේ ඇය තවමත් හිස්වැසුම පැලඳ සිටි බැවිනි. යළි සඛී වෙත අවධානය යොමු කළ සචේතනී ‘‘සඛී... මේ ප්‍රතිෂ්ඨ... මෙයා නොහිටින්න සමහර විට අපේ ෆෙන්ෂිප් එකත් නැතිවෙන්න ඉඩ තිබුණ.’’ යැයි පැවසුවේ හිස් වැසුම ගලවා අතට ගන්නා අතර ය.
‘‘මෙයාව ඉතිං මට අමුතුවෙන් අඳුරල දෙන්න ඕනෙ නෑ... උඹ ඉතිං දැං මාස ගාණක් තිස්සෙ ම මට මෙයා ගැන කිව්වනෙ... අනික ඉතිං උඹ අද එන්නෙ මෙයත් එක්ක කියලත් දන්නවනෙ... හරි හරි... යමංකො ඇතුළට... හරියට ම හයහමාර වෙද්දි වෑන් එක එනව. ඒ හිංද මට උඹලට සංග්‍රහ කරන්න වෙලාවක් නෑ. හැබැයි මං හැම දෙයක් ම රෙඩි කරල තියෙන්නෙ.’’ යැයි පවසමින් නිවස තුළට ඇතුළු වූවා ය.
‘‘ප්‍රතිෂ්ඨ... එන්න... මේ ගෙදර මගේ ම ගෙදර වගේ තමයි.’’
ප්‍රතිෂ්ඨ වෙත හිසෙන් සන් කරමින් දෙවනුව නිවසට ඇතුළු වූයේ සචේතනී ය.
අතීත සිතුවිලි මනස පුරා සිතුවම් වෙමින් පැවතිය ද ක්ෂණිකව ම ඒ සිතුවම් මකා දැමූ ප්‍රතිෂ්ඨ ද නිවසට ඇතුළු විය.
නිවසේ බාහිර පෙනුමට ම සරිලන ආකාරයේ ගෘහ භාණ්ඩ ආලින්දය පුරා පිළිවෙළකට තබා තිබිණ. නූතන ගෘහභාණ්ඩ කිහිපයක් තිබුණේ නම් ඒ: නවතම සෝෆා කට්ටලය, නවීන පන්නයේ රුපවාහිනී යන්ත්‍රය, ස්ටිරියෝ ඩොල්බි මාදිලියේ ගුවන්විදුලි සහ කැසට් යන්ත්‍රය සහ එම භාණ්ඩ තැන්පත් කර තිබූ නවීන පන්නයේ රාක්කය පමණි. ඒ හැරුණු විට: පැරණි ලී කැටයම් සහිත වේවැල් පුටු, අඩි හයක් පමණ උසැති පිඟන් භාණ්ඩ අසුරණය, තරමක් විශාල මේසය, ඒ වටා පනවා තිබූ ලී අසුන් අට, කළුර ලීයෙන් නිම කර ඇතැයි සිතිය හැකි කවිච්චිය යනාදිය සහ ඊට ම සරිලන ලී ටීපෝව ද ආලින්දයේ තනි නොතනිය රකින්නට මෙන් පිළිවෙළකට තැන්පත් කර තිබිණ.
‘‘ප්‍රතිෂ්ඨ වාඩි වෙන්න... අහිංසනා... මේ... බෝතලේට වතුර දාල තියෙන්නෙ. දවල්ටත් කෑම උයල තියෙන්නෙ. අනිත් අඩුවැඩිය තියෙන තැං උඹ දන්නවනෙ... මං දෙකයි කාල දෙක හමාර වෙද්දි එනව. මං ගේට්ටුව ඉබ්බ දාල යන්නං. හදිසියෙවත් උඹලට එළියට යන්න ඕනෙ උනොත් අර මේසෙ උඩ තියෙන මල් වාස් එක ඇතුළෙ යතුරක් තියෙනව හරිද... මං එනකං උඹලට ඔන විදියකට හිටපං හරිද... ආ... මං ආවට පස්සෙ කියලත් ඉතිං එහෙම වෙනසක් නෑ හරිද... තේරුණා නෙ... කොහොමත් අද උඹල ඉන්නව නෙ...’’
කරාමයක් විවර කළ ජල නළයකින් ජලය ගලා හැළෙන සේ පැහැදිලි ලෙස වදන් මුදාහළ සඛී කාමරයක් තුළට ගොස් ඇගේ අත් බැගය රැගෙන යළි ආලින්දයට පැමිණියා ය. ඒ අතර සචේතනි රැගෙන ආ පාර්සලයත් සමග ඇය නිවස තුළ අතුරුදන් වූවා ය.
‘‘අහිංසනා... කෝ මේකි...?’’ යැයි තරමක් හඬින් විමසමින් ම සඛී ද නිවසේ පිටුපසට ඇදුණේ නවක පුද්ගලයෙක් පැමිණ සිටිනවා යන්න මායිම් නොකරමිනි.
මිනිත්තුවක් ඉක්ම යන්නට මත්තෙන් දෙදෙනා ම යළි ආලින්දය වෙත පැමිණියහ.
එහෙනං ප්‍රතිෂ්ඨ... මං ගිහිං එන්නං... යැයි පැවසූ සඛී, ප්‍රධාන දොර වෙත ගමන් කළා ය; සචේතනී ද ඇය පසුපස ම වැටුණා ය.
මේ සියල්ල දෙස විශ්මයෙන් මෙන් දෙනෙත් අයාගෙන සිටි ප්‍රතිෂ්ඨ කිසියම් ව්‍යාකුලත්වයකට පැමිණ සිටියේ ය. ඊට ප්‍රධාන ම හේතුව වූයේ සඛී, සචේතනී හට ‘අහිංසනා’ යැයි ඇමතීම ය. අනෙක් පසින් ඔවුන් දෙදෙනා මේසා විසල් නිවසක තනිකර යන්න තරමට ම ඔවුන් අතර පවත්නා සබඳතාව සහ මෙවන් නිදහස් ස්ථානයකට පැමිණ මා සමග තනිවන්නට සචේතනීට අවැසි වූයේ මන් ද යන්න ය.
මෙතෙක් කාලයක් ප්‍රතිෂ්ඨ ඔහු සිත් ගත් කාන්තාවක සමග හුදෙකලා වන්නට සිතුවේ නම් ඒ සඳහා තෝරාගත් විවිධ ස්ථාන කිහිපයක් කොළඹ අවට මතු නොව කොළඹින් පිටත ද තිබිණ; එය ඔහුට ඉතා හුරු පුරුදු ය. අදාළ ස්ථාන බාරව කටයුතු කරන ප්‍රධානියාගේ සිට සුළු සේවකයා දක්වා වූ සියලු දෙනාට ද ප්‍රතිෂ්ඨ අමුත්තෙකු නොවේ. එහෙත් මේ අත්දැකීම ඔහුට නුහුරු ය; සපුරා ම වෙනස් ය. ඔහු කිසිදු දිනක මෙවැනි අවස්ථාවක් බලාපොරොත්තු නොවිණ. තවත් පසෙකින් ගත් විට එළඹ තිබෙන තත්ත්වය අනුව සචේතනී යෙහෙළියක ම මිස කිසිදු ආකාරයක ලිංගික සබඳතාවකට යොමු කරවා ගැනීමට දැන් ප්‍රතිෂ්ඨට නොහැකි ය. ඒ ඇයි ද යන්න ඔහුට ම ගැටලුවකි.
‘ම්ම්ම්... මොකද්ද මේ වෙන්න යන්නෙ... මෙයා දැකපු පළවෙනි දවසෙම මං හිතුවෙ මොනව ද... ඒත් දැං වෙන්නෙ මොනව ද...? ඇත්තට ම සචේතනී මගෙං බලාපොරොත්තු වෙන්නෙ මං එයාගෙං බලාපොරොත්තු වෙච්ච දේම ද...? ඒත්... ඇයි මෙයා මාව මේ තරමට ම විශ්වාස කරන්නෙ... ඒ විශ්වාසෙම තමයි මගේ අවාසියට හේතු වෙන්නෙ... ගෑනියෙක් එක්ක නිදාගන්නව කියන එක මට අමුත්තක් නෙවෙයි. ඒත් මේ අත් දැකීම ඊට වෙනස්. මේකට මූණ දෙන්නත් ඕනෙ වෙනස් විදියකට...’
ප්‍රතිෂ්ඨගේ කල්පනා දැහැන දෙදෙරා ගියේ නිවසේ ප්‍රධාන දොර වසන ශබ්දය සවනට ඇතුළු වීමත්සමග ම ය.
‘ම්ම්ම්... සචේති නේද දොර වහන්න ඇත්තෙ... දැං එයා මේ පැත්තට එනව ඇති.’
ක්ෂණයෙන් සිය ජංගම දුරකතනය අතට ගත් ප්‍රතිෂ්ඨ එය සමග අනිමිස ලෝචනයක යෙදිණ. එහෙත් එය රඟපෑමක් බව අවබෝධ කරගන්නට ඔහු පසුපසින් සිටගත් සචේතනීට අපහසු නොවිණ.
‘‘මොකෝ මේ පෝන් එක දිහා බලාගෙන කල්පනා කරන්නෙ...? අවුල් වගේ ද...?’’
සචේතනීගේ මුවෙන් ගලා ආ වදන් ප්‍රතිෂ්ඨගේ දෙවසනින් ඇතුළු වී සමස්ත සිරුර පුරා ම විදාරණය වූයේ සීතල දිය උගුරක් පානය කළ පසු එය සිරුර අභ්‍යන්තරයට ගලා යන ආකාරයෙනි.
‘‘අහ්... අවුලක් නං නෑ සචේති. හැබැයි...’’
‘‘හැබැයි... ඔයා මෙහෙම අවස්ථාවක් බලාපොරොත්තු උන්නෑ නේද...? එහෙම නේද...?’’
ප්‍රතිෂ්ඨගේ මුවෙන් නිකුත් විය යුතුව තිබු ඉතිරි වදන් වැල සචේතනිගේ මුවෙන් මුදාහළ ඇය ඔහු ඉදිරිපිට තිබූ සෝපා අසුනේ අසුන් ගත්තා ය.
‘‘ඇත්තට ම...’’
එම පිළිවදන මුදා හැරීමට මොහොතකට පෙර තවත් බොහෝ වදන් ප්‍රතිෂ්ඨගේ මුවෙහි තැන්පත්ව තිබුණ ද මුදා හැරිය හැති වූයේ එපමණකි.
‘‘හම්ම්ම්... මං දන්නව... මේහ් ඒක නෙවෙයි... ඔයාට බඩගිනි ද...?’’
සචේතනී විමසුවේ ආදරණීය ස්වරයකිනි.
‘‘ඇත්තට ම තවම නෑ...’’
ප්‍රතිෂ්ඨ පැවසුවේ අවංකව ම ය. කුසගින්න නොදැනුණ ද ඔහුගේ සිත තුළ වෙනත් ගින්නක් ඇවිළෙමින් පවතී. එහෙත් ඒ පිළිබඳ විමසා, එය නිවාලිය යුත්තේ ඉතා සිරුවෙනි.
‘‘ම්ම්ම්... හරි... සඛී උදේට පාං ගෙනල්ල තියෙන්නෙ. ඔයා මාජරිනුයි ජෑමුයි එක්ක පාං කනවනෙ... කෙසෙල්ගෙඩිත් තියෙනව...’’
‘‘ඔවු... ඒකෙනං ප්‍රශ්නයක් නෑ සචේති. ඒත් දැම්ම කන්න ඕනෙ නෑ...’’
‘‘හරි... ඉන්න... මං කොපි දෙකක් හදං එන්නං... බඩගිනි වෙනකං අපි ඒක බිබී කතා කරමු,’’ යැයි පවසමින් ම අසුනෙන් නැගී සිටි සචේතනී නිවසේ අභ්‍යන්තරයට ගමන් කළා ය.
ප්‍රතිෂ්ඨට පිටුපා යන සචේතනිගේ රුව දෙනෙතට ග්‍රහණය වූ ක්ෂණයෙන් ඔහුගේ සිතුවිලි යළි ගමන් කළේ ඇය දුටු පළමු මොහොත වෙත ය. අද උදෑසන ඇය හමුවූ මොහොතේ සිට මේ දක්වා ඇගේ සිරුර පිළිබඳ අවධානයක් යොමු කරන්නට තරම් අවකාශයක් ප්‍රතිෂ්ඨට නොලැබිණ. නමුදු ඇය දැන හෝ නොදැන අද ඇඳගෙන විත් සිටින්නේ ප්‍රතිෂ්ඨ ඇය දුටු පළමු දිනයේ ඇඳ සිටි කළු පැහැති ඩෙනිම් කලිසම සහ දම් පැහැති ටී කමිසය යි. එම ඇඳුම තුළින් ඇගේ සිරුරේ හැඩය ඉතා මැනවින් කැපී පෙනිණ. ඒ සිරුර ඉදිරියෙන් දුටුව ද, පිටුපසින් දුටුව ද එහි රුසිරිය විඳින්නට හැඟීම් දැනීම් සහිත කිසිදු පිරිමියෙකු අකමැති නොවන බව ප්‍රතිෂ්ඨට හැඟිණ. නිවසේ මඳ දුරක් දක්වා විහිද පැවති කොරිඩෝව දිගේ ගමන් කරන ඇය කිසියම් ස්ථානයකින් වම් පසට හැරෙන තෙක් එදෙස නෙත් යොමා සිටි ප්‍රතිෂ්ඨ යළි ඇය එම ස්ථානයෙන් මතුවෙන තුරුම ඒ අනන්තයේ නෙත් අලවාගෙන සිටියේ ය.
මිනිත්තු පහක් ඉක්ම යන්නට මත්තෙන් ඒ අනන්තයෙන් ඇගේ රුව මතුවිය. බන්දේසියක් දෑතින් ගෙන තමා සමීපයට පැමිණෙන සචේතනීගේ රුව ප්‍රතිෂ්ඨ සිය දෙනෙතට හසු කරගත්තේ දක්ෂ කැමරා ශිල්පියෙකු ලෙසිනි. බිළාල ගමනින් තමා සමීපයට පැමිණි ඇගේ සුන්දර රුව අවසන් වරට ඔහුගේ දෙනෙත් තුළ සිතුවම් වූයේ: ගෙල, තුණුපල යුවළ, තේ බන්දේසිය යටි නැබ සහ දෙදණට මඳක් ඉහළින් නාභිගත කර තිබෙන කැමරා කාචයක සටහන් දසුනක් ලෙසිනි. ඔහු දෙනෙත් නොසොල්වාම එම සිතුවම තව තවත් රස වින්දේ සියුම් ප්‍රහර්ෂයක් ද සමගිනි.
‘‘මේ මොකද මේ...! භාවනා කරනව ද...?’’
සචේතනී විමසුවේ බන්දේසිය ටීපෝව මත තබන අතර ය. එහි: විස්කෝතු කිහිපයක්, කෙසෙල් ඇවරියක් සහ කෝපි කෝප්ප දෙකක් තිබිණ. ඒ වන විට ඔහු මෙතෙක් රස විඳි රූප රාමුව වෙනත් රූප රාමුවකට පොලා පැන තිබිණ.
‘‘අහ්... නෑ නෑ... මට මේ... මේ...’’
වදන් අමුණාගත නොහැකි වූ ප්‍රතිෂ්ඨ වික්කලු විය.
‘‘මොකද අනේ... ඒ පාර කතා කරගන්නත් බැරි ද...? යැයි විමසු සචේතනී ඇගේ සුපුරුදු පූර්ණ ස්මිතය විදා පාමින් ම ප්‍රතිෂ්ඨ ඉදිරිපිට අසුනේ අසුන් ගත්තා ය.
‘‘මං ඇත්ත ම කියන්න ද...’’
අසුන්ගෙන, පූර්ණ ස්මිතය පාමින් ප්‍රතිෂ්ඨ වෙත නෙත් අලවාගෙන සිටින ඇගෙන් ඔහු විමසී ය.
‘‘කියන්න...’’
සචෙතනී ඉතා සැහැල්ලු ස්වරයෙන් පැවසී ය.
‘‘මට... මේ... මේ... ඔයා ඉස්සරල ම දැකපු දවස මතක් වුණා...’’
ප්‍රතිෂ්ඨ, අපහසුවෙන් අමුණාගත් වදන් වැල ඉතා මන්දගාමීව මුදාහැරියා ය.
‘‘ඒ ඇයි...?’’
ඇය ද, ඇගේ මිහිරි ස්වරය මුසු වදන් ප්‍රතිෂ්ඨගේ සවන්පත් අතරට පා කළා ය.
දිගු සුසුමක් ඉහළට ඇදි ප්‍රතිෂ්ඨ එය සෙමෙන් සෙමෙන් පහත හෙළා ‘‘මං... මං ඔයා දැකපු ඉස්සරල ම දවසෙත් ඔයා ඇඳං ඇවිත් හිටියෙ ඔය ඇඳුම...’’
‘‘හම්ම්ම්... හරියට ම හරි... හැබැයි මං හිතුවෙ නෑ ඔයාට ඒක මතක ඇති කියල. ඇත්තට ම මමත් හිතලමයි අද මේ ඇඳුම ඇන්දෙ. ඒ උනාට දැං ඔයා කියනකං මටත් ඒක අමතකවෙලයි තිබුණෙ...’’
‘මමත් හිතලමයි මේ ඇඳුම ඇන්දෙ... ඒ මොක ද ඒ...? මේ කියන්නෙ ඇත්ත ම ද?’
සචේතනීගෙන් විමසිය යුතු පැනයක් ප්‍රතිෂ්ඨ තමාගෙන්ම විමසී ය. ඒ සමග ම ක්‍රියාත්මක වූ සචේතනී ‘‘කන්න...’’ යැයි පවසමින් කෙසෙල් ගෙඩියක් සහ විස්කෝතු දෙකක් ප්‍රතිෂ්ට වෙත පාමින් ‘‘දැන් ඔයා හිතන්නෙ මං ඇයි ඒ ඇඳුම ම ඇන්දෙ කියල නේද... ඔවු... මං ඒකට හේතුව කියන්නං...’’
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/06/09
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්