theleaderlk 01

සර්ගේ දබරැඟිල්ලට ඉලක්ක වූයේ මා ය. කිසියම් පුද්ගලයෙකු ඔහුගේ දබරැඟිල්ලෙන් තවකෙකු ඉලක්ක කරන විට එම පුද්ගලයාගේ එම අතේ ම ඇඟිලි

හතරක්  ඔහු හෝ ඇය වෙත ම ඉලක්ක වන බවට ජන කියමනක් පැවතිය ද, මා වෙත ඉලක්ක කරගෙන සිටින සර්ගේ දබරැඟිල්ලේ බලය අභිභවන්නට ඔහු වෙත ඇඟිලි දහයක් ඉලක්ක කළ ද එය කළ නොහැකි ය; ඒ, සර්ගේ දබරැඟිල්ල එ’තරමට ම බලවත් ලෙස මවෙත ඉලක්ක කරගෙන සිටි බැවිනි.

‘‘මගෙ මූණ දිහා බලාගෙන ඉන්නැතුව අහපු ප්‍රශ්නෙට උත්තර දෙනව.’’

abstract.....human

සර් එලෙස පවසන්නටත් පෙර ම මා ඉඳ සිටි අසුනේ නැගී සිටියේ කෙසේ ද යන්න මට ම සිතාගත නොහැකි විය. මගේ දෙපා, දෙතොල් සහ දෙනෙත් චලනය වූයේ තිරය පිටුපස සිට කිසිවකු විසින් මෙහෙයවනු ලබන රුකඩයක් චලනය වන සේ ය. මා එතරමට ම බියපත් වූයේ ඇයි ද යන්න පවා සිතාගැනීමට කාලයක් ඉතිරි නොවිණ.

මගේ නිහඬතාව තව දුරටත් ඉවසිය නොහැකි බව සර්ගේ විසල් දෙනෙත් ද, මඳ රත් පැහැයෙන් දිලෙන උවන ද සාක්ෂි දැරී ය.

‘‘හරි... ඔය ළමය ඔහොම ම ඉන්න... ඊළඟ කෙනා කියන්න බලන්න.’’


සර්ගේ නෙත් ග්‍රහණයෙන් මා ඉවත ලූයේ බිත්තර ගොන්නක තිබූ බිඳුණු බිත්තරයක් ඉවත ලන ලෙසිනි. මා පංතියේ සිටින ‘‘පොත් ගුල්ලිය’’ ලෙස විරුදාවලි ලබා සිටිය ද, මේ මොහොතේ සර් අබියස කෂාය පානය කළ ගොළු කෙල්ලෙකු බවට පත්වූයේ ඇයි ද යන්න මට පමණක් නොව පංතියේ අනෙක් සිසු සිසුවියන්ට ද අදහාගත නොහැකි වූ බව පසක් වූයේ ඔවුන් සියලු දෙනා ම ඔවුනොවුන්ගේ හිස් මා දෙසට හරවා සිටි බැවිනි; ඔවුනොවුන්ගේ දෙනෙත් සියල්ල මා ඉලක්ක කර සිටි බැවිනි.



‘‘සර්... අහිංසනා තමයි මේ පංතියෙ ඉන්න අයගෙන් වැඩියෙන් ම පොත් කියවන්නෙ...’’

සර් විමසු පැනයට පිළිතුරු සපයනවා වෙනුවට දුලීකා මා වෙනුවෙන් පෙනී සිටියා ය. ඇය එසේ ඉදිරිපත් වූයේ මා කෙරෙහි දැක්වූ මිත්‍රත්වය සහ දායර්ද්‍රභාවය හේතුවෙන් ම මිස මා අපහසුතාවට පත්කිරීමට නොවන බව සක් සුදක් සේ ම පැහැදිලි ය. නමුදු සිදුවූයේ අප කිසිවෙකු බලාපොරොත්තු නොවූ සිද්ධියකි.

සර්: මා දෙසත්, දුලීකා දෙසත් අවධානය යොමු කර: උපහාසය, ළෙන්ගතු බව මෙන් ම දයාබරත්වය කැටිකළ සිතුවමක් උවනෙහි සටහන් කරගත්තේ ය.

‘‘ආ... ඒකත් එහෙම ද...? ඒ උනාට මට නං දැනෙන්නෙ අහිංසනා පොත් කියවනවට වැඩිය පොත් බලනව වගේ. මොකද... පොත් කියවන කෙනාට පොතේ නම විතරක් නෙවෙයි: පොතේ අන්තර්ගතය, තමන් කැමති සිද්ධියක්, චරිතයක්, අවස්ථාවක් මතක තියාගන්න පුළුවං. ඒත් මෙයාට අන්තිමට කියවපු පොතේ නමවත් මතක නෑ. පොත් කියවන්නෙ ඔය විදියට නං... කරුණ කරල අද ඉඳල පොත් කියවන එක නවත්තන්න. අඩුම ගානෙ ඒ කාලෙ අම්මට පොල් ටිකක් ගාල දෙන්න, ලූනු ටිකක් සුද්ද කරල දෙන්න එහෙමත් නැත්නං එළවළුවක් කපල දෙන්න බලන්න. ඒක අඩුගානෙ අම්මට කරන උදව්වක් විදියටවත් සලකන්න පුළුවං."

සර්ගේ අවසන් වදන් කිහිපය මා දෙසවන් තුළට ඇතුළු වූයේ විස පෙවූ හීයක් මෙනි. ඒ විස කෙතරම් ප්‍රබල ද යත් සර් තව දුරටත් එල්ල කළ වාග් ප්‍රහාරය මා දෙසවන් තුළ නොරැඳිණ.

පාසල් පැමිණීමෙන් ඉක්බිති මතකයේ රැඳි අවධියේ සිට මේ දක්වා ම විවිධ අවස්ථාවල දී විවිධ විෂය බාර ගුරුවර ගුරුවරියන්ගේ අනේක විද දඬුවම්වලට ලක් වු ද, දෝෂාරෝපණයට ලක් වුව ද, එදින තරමට මා අපසු තාවට පත් වු දිනයක් මතු නොව එක් නිමේෂයක් හෝ මගේ මතක ගබඩාවේ තැන්පත් වී නොමැත.

Four Girls Studying a Drawing | ThEodule Augustin Ribot | Oil Painting

එසැණින් අසුන් ගත් මා කෙතරම් ඉකිබින්දා ද යන්න පසක් වන විට සිංහල විෂයට වෙන්වු කාල පරිච්ඡේදය ද පංතිය පසු කර ගොසින් තිබිණ. අදාළ සිදුවීමෙන් ඉක්බිති සිදු වූ සියල්ල මා මතකයේ තැන්පත් කළේ දුලිකා ය. අන් කිසිවකුගේ එකදු වදනක් හෝ මගේ දෙසවන් වෙත ආකර්ෂණය නොවිණ. ආකර්ෂණය වුව ද ඒ සියල්ල මගේ දෙසවන් විසින් විකර්ෂණය කරන ලද බව පසුව මට පසක් විය.



******

එදින සිට ඇරඹි: සර්ගේ විවිධ වාග් ප්‍රහාර, දඬුවම්, දෝෂාරෝපණ යනාදිය මේ නිමේෂය ගෙවෙන තුරු දශමයකින් හෝ වෙනසක් හෝ අඩුවක් නොවිණ. එදින සිට මේ දක්වා දින තුන්සිය අනූපහක් අප පසු කර ගොසිනි. මේ මොහොතේ ගෙවමින් සිටින්නේ ද එහි එක් නිමේෂයකි. අනාගතයේ දී වුව ද මෙවන් අවස්ථා අනන්තවත් එළඹෙනු ඇත. ඒ සියල්ලට මුහුණ දීමට මම පසුබට නොවෙමි. ඒ, අන් කිසිවක් නිසා නොව සර් කෙරෙහි මසිත උපන් ආදරය වෙනුවෙනි; විරුද්ධ ලිංගිකයෙකු වෙනුවෙන් ම’සිත ගැඹුරෙහි ම ජනනය වූ බැඳීම වෙනුවෙනි; සර් මවෙත දක්වන (උත්තරීතර නොවූව ද) ආදරය වෙනුවෙනි.

‘‘ටාං... ටාං... ටාං...’’

පංතියේ කිසිවක් ම සිදු නොවන, සටහන් පොත් මාරු වන, ගුරුවරයා හෝ ගුරුවරිය මාරු වන තවත් කාලපරිච්ඡේදයක නිමාවත්, එබඳු ම කාලපරිච්ඡේදයක ආරම්භයත් සනිටුහන් කෙරෙන හඬ විද්‍යාල භූමිය පුරා රැව් දුන්නේ ය. ජීවිතය ද මෙබඳු ය. මම තවමත් දඬුවම් ඉරියව්වෙන් ම පසුවෙමි. සර් සහ මා වෙනස් නොවන කාල රාමුවක සිරවී සිටිති. එයින් නිදහස් වීම සඳහා තව කොතෙක් කාලයක් ඉවසිය යුතු ද යන්න සර්ට ගැටලුවක් නොවූව ද මට නම් එය පංති කාමරයේ දී ලක්වන සියලු දඬුවම්වලට වඩා තදබල දඬුවමකි.



මා සහ සර් අතර පවත්නා ආත්මීය බැඳීමේ ආරම්භය සුන්දර ය. පංති කාමරයෙන් පිටත හුදෙකලාවේ හමුවන සර්... නෑ... නෑ... මට වැරදුණා. ‘‘මගේ ප්‍රතිෂ්ඨ’’ සමග මා ගෙවන නිමේෂය සුන්දර ය. එහෙත් පාසලට පැමිණෙන සෑම දිනක ම මිනිත්තු හතළිස්පහක් හෝ හෝරා එකහමාරක් අප සහ සර් ගෙවන මේ කාලසීමාව මට කෙතරම් පීඩාකාරි ද...? ඒත් සර්... නෑ... නෑ... ‘‘මගේ ප්‍රතිෂ්ඨ’’ මට පවසන්නේ මේ සියල්ල සිදුවන්නේ සහ සිදුකරන්නේ මගේ අනාගත යහපත වෙනුවෙන් බවයි. එහෙත් මා කෙතරම් දුර්වල ද යත්, ඔහු පංති කාමරයට පැමිණි මොහොතේ සිට නැවත පිටව යන තුරු මා සිටින්නේ යම රජුගේ අඩවියේ දැයි මට සිතුණ වාර අනන්ත ය; අප්‍රමාණ ය. මා මනසින් පංති කාමරයෙන් පිටත ජීවත්වන්නට යත්න දරන්නේ යම රජු මල් කුමරෙකු බවට රුපාන්තරණය කරමිනි.



******

සර්, එළඹි පරිච්ඡේදයෙන් ද ඉතා සුළු කාලයක් හිමි කරගත්තේ අකුරු කරනට නොව උපදෙස් සැපයීමට ය.

‘‘අහිංසනා... දැන් සිංහල පංතිය ඉවරයි. ගිහින් වාඩිවෙන්න.’’මගේ කය එතැනින් ඉවත්ව ගිය ද, මනසින් ඒ ඉරියව්වෙන් ම සිටීම කෙතරම් සුවදායකදැයි සිතිණ. මා මට හිමි අසනේ අසුන් ගත් සැණින් සර් ඔහුගේ හඬ පංතිය පුරා විසුරුවා හැරී ය.

‘‘මෙහෙම කිව්වට ඔයාල මාත් එක්ක අමනාප වෙන්න එපා. මේ ගැන ටිකක් හිතන්න. අවුරුද්දකට ම තියෙන්නෙ දින තුන්සිය හැටපහයි. ඒ කියන්නෙ පැය අටදාස් හත්සිය හැටයි. ඒත් මේ පැය අටදාස් හත්සිය හැටෙන් ඔයාලට උගන්නන්න ලැබෙන්නෙ පැය කීය ද...?’’

පංතියේ සියලු දෙනා ම එකිනෙකාගේ උවනෙහි ඇඳී ඇත්තේ කෙබඳු සිත්තමක් දැයි පිරික්සූහ. එහෙත් කිසිවෙකුට අනෙකාගේ උවනෙහි සුන්දර සිතුවමක් නම් දක්නට නොලැබිණ. ඒ සියලු උවනත් මත සිතුවම්ව පැවතියේ ප්‍රශ්නාර්ථ ලකුණු පමණි. එය කිසිදු ආකාරයකින් ප්‍රශ්නයක් කර නොගත් සර් යළි සිය හඬ මුදා හළේ ය.

‘‘හා හා... දැන් ඔය එක එක්කෙනාගෙ මූණුවල ඇඳිල තියෙන්නෙ මොනවද කියල බැලුව ඇති. තව දුරටත් ඔය විදියට බලාගෙන හිටියොත් හරි එහෙම බලාගෙන ඉඳල ගණං හැදුවොත් හරි ඊළඟට මේ පංතිය බාරගන්න එන සර් හරි ටිචර් හරි මාව එළවනව. ඇත්තට ම දරුවනේ ඔයාලට උගන්නන්න මට අවුරුද්දකට ම හම්බවෙන්නෙ පැය එක්දාස් දෙකයි. ඒ කියන්නෙ අවුරුද්දකට අයිති පැය ගාණෙං අටෙං එකක් වගේ කාලයක්. ඉතිං ඒ කාලෙ අතරතුර ඔයාලගෙ කුණු කය විතරක් මෙතන තිබිල වැඩක් නෑ. ඔයාල මනසිනුත්: පාඩමත් එක්ක, පාඩමට අදාළ චරිතත් එක්ක, පාඩමට අදාළ සංසිද්දි එක්ක ජීවත් වෙන්න ඕන. බාහිර කිසිම දෙයක් ගැන අවධානය යොමු කරන්න බෑ. එහෙම යොමු කරන්න කාට හරි උවමනා නං කරුණා කරල පංතියෙං එළියට යන්න. ඒක තමයි එහෙම අය මටයි මේ අනිත් ළමයින්ටයි කරන ලොකු ම උදව්ව.’

Judith Godwin, <em>Epic</em> (1959). On loan from the National Museum of Women in the Arts, Washington, DC. Gift of Caroline Rose Hunt. Photograph by Lee Stalsworth. © Judith Godwin.

ප්‍රතිෂ්ඨ සර්ගේ බාහිර දේශනය අවසන් කිරීමට පෙර බස්නායක සර් පංතියට පැමිණීම අන් අයට කෙසේ වුව ද මගේ මනසට නම් ගෙන ආවේ ඉමහත් සැනසිල්ලකි. ඒ, අන් කිසිවක් නිසා නොව අද දිනට නියමිත ඒ කටුක කාලපරිච්ඡේදය අවසන් වන බැවිනි. ඒත් සර්ගේ ම වචනවලින් පවසන ආකාරයට තවත් මෙබඳු ම අසහනකාරී පැය අටසිය හැත්තෑ හයක් පමණ ගතකිරීමට දෛවය නියම කර ඇත.

ඊළඟට එළඹියේ ප්‍රතිෂ්ඨ සර්ගේ විවේක කාලපරිච්ඡේදය යි. සර් විවේක කාමරයට ගියේ හුදෙක් විවේක සුවයෙන් ගතකිරීමට නොව, මා හට මේ ආකාරයෙන් සැලකීමට සිදුවීම පිළිබඳ හටගත් සිත් වේදනාව පහව යන තුරු ස්වයං දඬුවමකට යටත් වීම සඳහා බව මම දනිමි. ඔහු විවේක කාමරයට ඇතුළු වූ පසු එහි කිසිවකු නොමැති නම් මෙසේ සිතනු නොඅනුමාන ය.

‘අහිංසනා... මොන තරං දක්ෂතා පිරි දැරියක් ද... ඒ වගේ දැරියකගෙ අනාගතය සාරවත් කරන එක මගේ ප්‍රමුඛ වගකීමක් උනත් දැං සිද්ධ වෙමින් පවතින්නෙ ඒකෙ විරුද්ධ වැඩේ නේද...’

ප්‍රතිෂ්ඨ සර් එසේ කල්පනා කළ ද ඒ සොඳුරු රුව, ඒ මෘදු හඬ, ඒ තරුණ සිරුරේ පහස වර්තමානයේ මගේ ජීවිතයේ ම කොටසක් බවට පත්වී හමාර ය. සර් සමග හුදෙකලා වූ සෑම තත්පරයක් ම මට හැඟෙන්නේ කල්පයක් ලෙසිනි. සතියකට වරක් එළඹෙන ඒ සොඳුරු මොහොත මා ගෙවා දමන්නේ කෙතරම් ආශ්වාදයකින් ද... මා ඇට්ලස් යෝධයා නම් සර් සමග ගෙවන හෝරා කිහිපය දීර්ඝ කරනු වස් පෘථිවියේ ගමන් වේගය අඩාල කරන්නට මම කිසි සේත් ම පසුබට නොවෙමි.

මගේ අනාගතය රඳා පවතින්නේ සර්ගේ ක්‍රියාකලාපය මත යැයි සර් මට කෙතෙක් නම් පවසා ඇති ද... සර් පංති කාමරයේ දි මා වෙත කිසිදු අනුකම්පාවක් නොදක්වන්නේ ද මගේ අනාගත සුරක්ෂිතතාව මෙන් ම යහපත වෙනුවෙන් බව මම ඉඳුරා ම දනිමි. එහෙත් එය මට නොවැටහෙන්නේ මන්දැයි මම සිය දහස්වර කල්පනා කරන්නෙමි... කෙතරම් කල්පනා කළ ද ඊට සරිලන පිළිතුරක් නම් මසිතට තවමත් එබිකම් නොකළේ ය.

ඉවර නෑ...



jayasiri 04 e1619629387941ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/02/01




වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්



වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 Leader Whats app

pe2024 2

worky sin

නවතම පුවත්