තමා ආදරය කරන ගැහැනිය තමාට කෙතරම් ආදරය කරන්නේ ද යන්න සහ තමා ආදරය කරන පිරිමියා තමාට කෙතරම් ආදරය කරන්නේ ද

යන්න ඒ පිරිමියා සහ ගැහැනිය නිවැරැදිව අවබෝධ කර නොගන්නේ නම් හෝ නොගත්තේ නම් ඔවුනොවුන්ගේ ජීවිත කෙතරම් ව්‍යසනකාරි තත්ත්වයකට පත්විය හැකි ද...? 

 
එය ඔවුන්ගේ ජීවිත මතු නොව තවත් ජීවිතයක්, දෙකක් හෝ කිහිපයක් ම ඛේද ජනක ඉරණමකට ගොදුරු කළ හැකි නිමිත්තකි. ඇතැම් විට ඒ නිමිත්ත තරුණ වියේ සිට ඔහුගේ හෝ ඇයගේ ජීවන ගමන් මග අවසන් වන තෙක් ම වේදනාව පමණක් ම උරුම කර දිය හැකි ය. 
 
එබැවින් හැම ගැහැනියක් සහ පිරිමියෙක් ම තම පෙම්වතා හෝ පෙම්වතිය තමාට කෙතරම් ආදරය කරන්නේ ද යන්න ඉතා සියුම්ව නිරීක්ෂණය කළ යුතු ය. විවාහයට පෙර හෝ පසුව වුව ද ඔවුනොවුන් විසින් කරනු ලබන ඇතැම් ක්‍රියා කෙරෙහි බුද්ධිමත්ව අවධානය යොමු කළ යුතු ය. 
 
ඔහු හෝ ඇය ඔහුට හෝ ඇයට ඇති දැඩි ආදරය හේතුවෙන් ම ඔහුගේ හෝ ඇගේ දෙමාපියන්ට බොරු කියනු ඇත. දෙදෙනා සතුව ම නොපවතින යම් යම් වටිනාකම් ඔවුනොවුන් සතුව පවතින බව හැඟවිය හැකි ය. එසේ හැඟවීම අනෙකාගේ හෘද සාක්ෂියට එකඟ නොවිය හැකි ය; ඔහු හෝ ඇය කිසිසේත් ම බලාපොරොත්තු නොවූ යමක් විය හැකි ය. 
 
එහෙත් ඔහු හෝ ඇය ඒ සියල්ල ම කළේ අනෙකා කෙරෙහි දක්වන දැඩි ආදරය සහ සෙනෙහස හේතුවෙන් ම නම්... එහි දී අනෙකා කළ යුත්තේ කුමක් ද...? තමාගේ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරන සිය පෙම්වතා හෝ පෙම්වතිය ප්‍රතික්ෂේප කළ යුතු ද? ඔවුනොවන් විසින් ඔහුට හෝ ඇයට යථාර්ථය අවබෝධ කර දෙනු ලැබිය යුතු ද? 
 
මේ සියල්ල උභතෝකෝටිකයකි; එයට නිවැරැදි විස‍ඳුම මෙය යැයි නිශ්චිතව ම පැවසිය නොහැකි තරමට ම උභතෝකෝටිකයකි.
 
යට කී සියලු අවස්ථා ඉතා මැනවින් කලාකරුවකුගේ දෘෂ්ටියට ග්‍රහණය කරගෙන ඇති අවස්ථාවක් ලෙස ‘‘කලර්’’ සිනමා නිර්මාණය හැඳින්විය හැකි ය.
 
mvb
 
පළමුව තිර රචකයාගේ (අධ්‍යක්ෂකවරයා ද ඔහු ම ය) මනසේ මතුව, දෙවනුව ඔහු විසින් අකුරු කරන ලද පිටපත මනා ලෙස රූප රාමු ඔස්සේ ප්‍රේක්ෂක ජනතාව වෙත සමීප කරවන්නට සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා සමත්ව ඇත.
 
නිර්මාණයේ ප්‍රධාන චරිතය වන චිත්‍ර ශිල්පියා චිත්‍රපටය ආරම්භයේ දී ම ප්‍රේක්ෂකයා වෙත සමීප වන්නේ ඔහුගේ සැබෑ ජීවන චරිතයට හාත්පසින් ම වෙනස් චරිතයක් ලෙසිනි. ඔහුගේ ජීවන යථාර්ථය ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්නේ ඔහු විසින් ම ආවර්ජනය කරනු ලබන අතීත සිදුවීම් මාලාව ඔස්සේ ය.
 
 එම කාල සීමාව තුළ නිර්මාණකරුවා ප්‍රේක්ෂක ප්‍රජාව වෙත මිනිස් ජීවිතයේ සහ සමාජයේ පැතිකඩ කිහිපයක් ම පිළිබිඹු කරයි.
 
01.  කලාකරුවා සහ කලා වෙළෙන්දා අතර පවත්නා පරස්පරය.
02.  කලාකරුවකු හෝ කලාකාරියක ලවා කිසිවකුගේ අවශ්‍යතාව මත කළ නිර්මාණ ජනනය කළ නොහැකි බව.
03.  කලාකරුවා නොදැනුවත්ව ම ඔහු කලා වෙළෙන්දෙකු බවට පත්වීම.
04.  ආදරය වෙනුවෙන්, ආදරය කරන්නා අයිති කරගැනීම වෙනුවෙන් කරන ආදරවන්තියකගේ උත්සාහය සහ කැපවීම.
05.  ආදරය කරන්නා සහ ආදරය කරන්නිය එකිනෙකාගේ අභිලාෂ වටහා නොගැනීමේ සහ එකිනෙකා පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයක් නොමැති වීමේ විපාක.
 
 
dferrt
 
 
මෙහි එන චිත්‍ර ශිල්පියා තමාගේ අභිමානය ප්‍රේක්ෂකයා වෙත ප්‍රකට කරන්නේ ඔහුගේ අතීතාවර්ජනය ආරම්භයේ දී ම ය. ඒ එම අවස්ථාව වන විටත් කිසියම් මිලකට අලෙවි කර තිබූ ඔහුගේ සිතුවම් නිර්මාණයක්, නිර්මාණ ශිල්පියාට වැඩි මුදලක් ගෙවා රැගෙන යන්නට ඉදිරිපත්වන රසිකාවකගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙනි.
 
සැබැවින් ම කලාකරුවා අධික වටිනාකමකට විකිණෙන පුද්ගලයෙකු නොවිය යුතු බව මෙම රූප රාමුව ඔස්සේ ප්‍රේක්ෂකයාට අවබෝධ කරයි. රසිකාව නැවතත් කළ ඉල්ලීමට දක්වන ප්‍රතිචාරය තුළ අන්තර් ගතවන්නේ සිතුවම් නිර්මාණයක් යනු එය මිලදී ගන්නාගේ අදහසක් අනුව නොව නිර්මාණ ශිල්පියාගේ අදහසක් අනුව නිර්මාණය විය යුතු බවයි.
 
රසිකාව, ප්‍රදර්ශනයට තබා ඇති සිතුවමක් තමාට මිලදී ගැනීමට අවැසි බව සිතුවම්කරුට පවසන්නී ය. එවිට ඔහු, ඒ පිළිබඳව අසවලාගෙන් විමසන්නැයි පවසා ඔහුගේ සම්බන්ධීකාරකවරයා පෙන්වයි.
 
රසිකාව - 
‘‘ආ... මම එයත් එක්ක කතා කළා. ඒත් එයා ඒක දීලලු නෙ තියෙන්නෙ.’’
සිතුවම්කරු -
 ‘‘ආ... ඇත්ත ද මිස්. එහෙනං ඉතිං කරන්න දෙයක් නෑ.’’
රසිකාව - 
‘‘මං ඉල්ලන ගාණක් දෙන්නං. මට ඒ පේන්ටිං එක දෙන්න.’’  
සිතුවම්කරු - 
‘‘කොහොම ද එහෙම කරන්නෙ...?’’  
රසිකාව -
 ‘‘මට හොටෙල් එකක් තියෙනව. ඒකට මට ඔයාගෙ පේන්ටින් එකක් ඕන. ඒකෙ කලර්ස්වලට යන්නෙ මේ පේන්ටින් එක. මට ඒ පේන්ටින් එක ආපහු ඇඳල දෙන්න බැරිද...?’’
සිතුවම්කරු - 
‘‘මං කොහොමද ඒක ආපහු අඳින්නෙ. ඔය මං ඇඳපු එක පේන්ටින් එකක් විතරයි. ඒක වෙන කෙනෙක් සල්ලිවලටත් අරගෙන.’’
රසිකාව - ‘‘නෑ... එහෙම නෙමෙයි....’’
සිතුවම්කරු - 
‘‘මිස්ට මගේ පේන්ටිං එකක් ඕනම නං, මිස්ට හොටෙල් එකකුත් තියෙනව නං මං පේන්ටිං එකක් කරල දෙන්නං. මිස් හොටෙල් එකේ පාට වෙනස් කරගන්න.’’
 
කලාකරුවකු සතු ආත්මාභිමානය රැකගනිමින්, මුදලට අලෙවි නොවන කලාකරුවා සිටගෙන සිටිය යුත්තේ කොතැනද යන්න මෙම දෙබස් ඛණ්ඩය තුළින් පෙන්වා නොදෙන්නේ ද?
 
bnbn
 
එදා තත්ත්වය එසේ වුව ද පසු කලෙක දී සිතුවම්කරුගේ ආදරවන්තිය වන ඇය සිතුවම්කරුට නොදැනෙන ලෙස ඔහු කලා වෙළෙන්දෙක් බවට පත්කරන්නී ය. නමුදු ඒ හුදෙක් ඇගේ වුවමනාව මත ම නොවේ. 
 
ඇය එලෙස කරන්නී සිතුවම්කරුට දක්වන ආදරය හේතුවෙනි; ඇගේ දෙමාපියන්ගේ ආශිර්වාදය ද ඇතිව ඔහු තමාගේ ම කරගන්නා අදිටනෙනි. එහෙත් ඇගේ අවංක චේතනාව වටහාගන්නට සිතුවම්කරුවා අසමත්වන්නේ ඇයි..?
 
පැනයට පිළිතුර අන් කිසිවක් නොව තමාට ආදරය කරන අනෙකාගේ ඇතුළාන්තය වටහා නොගැනීම ය; ඇය ඔහුට කෙතරම් ආදරය කළා ද යන්න වටහා නොගැනීම ය. 
 
අනෙක් පසින් ගත් විට සිතුවම්කරුවා ද අසාධාරණ නොවන්නේ ය. මන්ද ඔහු කලා මුදලාලි කෙනෙකු වන්නට, ධනපතියෙකු වන්නට සිහින මවන්නෙකු නොවීම ය. ඔහුට වුවමනා තමා දන්නා කලාව. තමාගේ අභිමතය පරිදි නිර්මාණය කරමින් සාධාරණ මිලකට රසික ප්‍රජාව අතට පත්කිරීම ය.
 
 නමුදු ඔහුට එසේ වන්නට හෝ එසේ කරන්නැයි සිය පෙම්වතිය පවසන්නට බලපාන හේතු සාධකය කුමක් ද?
 
මුදල් සරි කිරීමේ අටියෙන් සමස්ත ජීවිත කාලය ම කැප කරන, පවතින මුදල් මත තව තවත් මුදල් ගොඩගසාගන්නා මං සොයන සමාජයේ එවන් පියෙකුට දාව උපන් සිය පෙම්වතියගේ අවශ්‍යතාව ඉටුකිරීම වෙනුවෙනි. 
 
ඇය ද එසේ කරන්නී හුදෙක් මුදල් මත ම යැපෙන්නියක නිසා නොව සිය දෙමාපියන්ගේ මන දොළ පිනවීම සඳහා ය. ඉදින් වරද ඇත්තේ කොතැන ද...? අන් කොතැනක හෝ නොව ‘බල්ලො මරා හෝ සල්ලි සෙවිය යුතු ය’ යන අදහස සමාජ ගතකර ඇති ක්‍රමයේ ම නොවන්නේ ද?
 
 fgdfg
 
කලාකරුවකු සිය කලා නිර්මාණ ජනතාව අතරට ගෙන යා යුත්තේ ද ගෝලීය ධනේශ්වර ආර්ථික ක්‍රමය තුළ සිදු වන, සිදු කෙරෙන මෙවන් ව්‍යසන පිළිබිඹු කෙරෙන කලා නිර්මාණ නොවන්නේ ද? තිර රචකයා දැනුවත්ව සිදු කර ඇත්තේ හෝ නොදැනුවත්ව සිදු වී ඇත්තේ එකී සමාජ දැනුවත් කිරීම ය. 
 
නැවත අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට ප්‍රවේශ වන හෙතෙම සිය දක්ෂතාව තුළින් රූපරාමු තුළට ගොනු කර ඇත්තේ ද එකි කර්තව්‍ය ම ය. 
 
නමුදු බොහෝ වෙහෙස මහන්සිව අන්තර්ජාලය පිරික්සා කර බැලුව ද අදාළ කාල වකවානුවේ දී මෙම සිනමා නිර්මාණය නිසි ඇගයීමකට ලක්වුවා ද නැද්ද යන්න පිළිබඳ තොරතුරක් සොයාගැනීමට නොහැකි විය.
 
 ‘‘කලර් තහනම් කළ යුතුයි’’ යන මැයෙන් පුවත් සිරසක් ඇස ගැටුණ ද එය පළ වූ වෙබ් අඩවිය වසා දමා තිබුණි.
 

kjghj

  
කමල් අද්දරආරච්චි සිය රංගන නිපුණතාව වඩාත් මැනවින් උද්දීපනය කරන්නේ නිර්මාණයේ වර්තමාන කාලසීමාවේ දී ය. යට ලියූ වාක්‍ය තුළින් අදාළ චරිතයේ තරුණ අවධිය නිරුපණය කිරීම කිසිසේත් ම අව ප්‍රමාණ නොකරන බව ද සඳහන් කළ යුතු ය.
 
 වර්තමාන චරිතය ඉදිරිපත් කිරීමේ දී  අවම දෙබස් උච්චාරණයෙන් යුත් බොහෝ රූප රාමු සිය රංගන කෞශල්‍ය තුළින් පරිපූර්ණ කරන්ට ඔහු සමත් වී ඇත. 
 
jdfgr
 
මේ වන විට රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ නිළියක වන ජයනි සේනානායකගේ පළමු සිනමා රංගනය මෙය බව සඳහන් කෙරෙන අතර එසේ වුව ද ඇය පෙනී සිටින රුප රාමු ද්විත්වය හෝ ත්‍රිත්වය තුළ කිසිදු ආධුනිකභාවයක් නොපෙන්වන්නී ය. 
 
ඇගේ තරුණ විය ද වැඩිවියට පත් චරිතය ද මැනවින් නිරූපණය කරන්නී ය.
 
 ප්‍රධාන නිළිය වන සඳනි සුලක්නා ද ඇය වෙත පැවරි තිබූ වගකීම් කොටස මැනවින් ඉටු කර ඇති අතර මෙම සිනමා නිර්මාණයේ මා දුටු තවත් විශේෂත්වයක් වූයේ කිසිදු චරිතයක් සඳහා නමක් නොතිබීම ය. සමස්ත සිනමා නිර්මාණය පුරා ම කිසිදු ස්ථානය කිසිදු චරිතයක නමක් නොකියවේ.  
 
2012 වසරේ අගෝස්තු මාසයේ දී තිරගත කෙරී ඇති මෙම නිර්මාණයට රංගනයෙන් දායක වී ඇත්තේ: කමල් අද්දරආරච්චි, සඳනි සුලක්නා, උදයන්ති කුලතුංග, ප්‍රියන්ත මංසිළු, ඇන්ජලා සෙනවිරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, ජයනි සේනානායක (හඳුන්වා දීම) සහ ආකර්ෂන පෙරේරා ඇතුළු පිරිසකි.
 
සංගීතය සංඛ දිනෙත්ගෙනි. කැමරාකරණය  ප්‍රියන්ත මලෙවිගේ වන අතර නිෂ්පාදනය  හිරන්ති සමරසිංහ සහ පාලිත සමරසිංහ වෙතිනි.
 
මෙම නිර්මාණයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය - ඉසුරු වීරසිංහ මුදලි නිර්මාණකරුවාගේ ය.
 
 
 
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2021/05/21
 
 
 
 
 
ජයසිරිගේ සිනමා විචාර කිහිපයක් :
 
 
 

 

 


 

THE LEADER TV 
 
මහා විනාශයක් අතළඟ : දැන්වත් කියන දේ අහන්න
 

 
 
තිස්ස කුට්ටිගේ ටයර් කැපිල්ල - තිස්සගේම වැඩක්? 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්