The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
පුවත්

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’ - අනුෂ්කා කහඳගමගේ

T

The Leader Desk

December 28, 2020 • 3:27 AM

     සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’ - අනුෂ්කා කහඳගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''වෙනත් ලෙසකින් පවසන්නේ නම්, යුධවාදී සිනමා කෘති වූ ගාමණී, ඉර හඳ යට, සෙල්වම්, නොමියෙන මිනිසුන් වැනි චිත්‍රපට තුළ ස්ත්‍රිය ආකෘති ගත වන්නේ කෙසේද?'' ලෝරා මල්වී විසින් 1975 දී සිනමාවේ ‘පුරුෂ බැල්ම’ පිලිබඳ මුල් වරට ලියන ලදී.
  • ඇයට අනුව, පිරිමි බැල්ම තුන් ආකාර වෙයි. ඒ මෙලෙසිනි: 1) කැමරාව පිටුපස සිටින පිරිමියාගේ බැල්ම; 2) සිනමා කෘතිය තුළ සිටින පිරිමි චරිතවල බැල්ම සහ 3) සිනමා ප්‍රේක්ෂකයාගේ බැල්ම යන ආකාර තුනයි.
  • මිලිටරිකරණය වූ ශ්‍රී ලාංකේය සමාජයේ අධිපතිවාදී කතිකාව විසින් ස්ත්‍රියගේ චර්යාව මෙහෙයවන ආකාරය ලාංකේය සිංහල යුධවාදී සිනමාව තුළින් මතුව එයි. සිංහල යුධවාදී සිනමාව බොහෝ විට ඍජු සහ වක්‍ර ලෙස රාජ්‍යයේ අනුග්‍රහය ලැබූ සිනමාවකි.
  • ගාමණී, සෙල්වම්, නොමියෙන මිනිසුන්, ඉරහඳ යට ආදිය මෙරට නිපදවා ඇති යුධවාදී සිනමා කෘති කිහිපයකි. මේ චිත්‍රපට තුළ මතුකර දක්වන ‘යහපත්’ ස්ත්‍රී චරිත, සිංහල-බෞද්ධ රාජ්‍ය විසින් ඉල්ලා සිටින මව්වරුන්, පෙම්වතියන් සහ බිරින්දෑවරුන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. 
 
මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව විසින් යෝජනාකරන ලද ආකාරයත් සරලව ආකෘතිගත කිරීමටයි. 
 
වෙනත් ලෙසකින් පවසන්නේ නම්, යුධවාදී සිනමා කෘති වූ ගාමණී, ඉර හඳ යට, සෙල්වම්, නොමියෙන මිනිසුන් වැනි චිත්‍රපට තුළ  ස්ත්‍රිය ආකෘති ගත වන්නේ කෙසේද?
 
 
 
''වෙනත් ලෙසකින් පවසන්නේ නම්, යුධවාදී සිනමා කෘති වූ ගාමණී, ඉර හඳ යට, සෙල්වම්, නොමියෙන මිනිසුන් වැනි චිත්‍රපට තුළ  ස්ත්‍රිය ආකෘති ගත වන්නේ කෙසේද?''
 
 
 
ලෝරා මල්වී විසින් 1975 දී සිනමාවේ ‘පුරුෂ බැල්ම’ පිලිබඳ මුල් වරට ලියන ලදී. ඇයට අනුව, පිරිමි බැල්ම තුන් ආකාර වෙයි. 
 
ඒ මෙලෙසිනි:
 
 
1) කැමරාව පිටුපස සිටින පිරිමියාගේ බැල්ම;
 
2) සිනමා කෘතිය තුළ සිටින පිරිමි චරිතවල බැල්ම සහ
 
3) සිනමා ප්‍රේක්ෂකයාගේ බැල්ම යන ආකාර තුනයි.
 
 
 
ඒ අනුව, ස්ත්‍රිය තම ‘චර්යාව’ මෙහෙයවාගත යුතු වන්නේ, මේ පුරුෂ බැල්මට අනුකූල වන ආකාරයටයි. එම බැල්ම තුළ ස්ත්‍රිය ආකෘතිගත කරන අතර, පුරුෂ මූලික සමාජය විසින් ඉල්ලා සිටින ස්ත්‍රීන් එම සමාජය තුළ සුරක්ෂිත වෙයි. 
 
පුරුෂ මූලික සමාජය සමඟ අනුගත නොවන ස්ත්‍රීන් ‘නරක ගැහැණුන්’, ‘වෛශ්‍යාවන්’ සහ ‘චපල ගැහැණුන්’ බවට පත්වන අතර, එම ගැහැණුන් එම සමාජය තුළ අනාරක්ෂිත වෙයි. 
 
 
'' පුරුෂ මූලික සමාජය සමඟ අනුගත නොවන ස්ත්‍රීන් ‘නරක ගැහැණුන්’, ‘වෛශ්‍යාවන්’ සහ ‘චපල ගැහැණුන්’ බවට පත්වන අතර, එම ගැහැණුන් එම සමාජය තුළ අනාරක්ෂිත වෙයි. ''
 
පොදුවේ කරන ලද මෙම විශ්ලේෂණය හැරුණු විට වසර තිහකට ආසන්න කාලයක් යුද්ධයෙන් පීඩා විඳි ලංකා සමාජය සිනමා මෙවලම භාවිත කළ ආකාරය පිළිබඳ නැවත සිතා බැලීම වටී.
 
මිලිටරිකරණය වූ  ශ්‍රී ලාංකේය සමාජයේ අධිපතිවාදී කතිකාව විසින් ස්ත්‍රියගේ චර්යාව මෙහෙයවන ආකාරය ලාංකේය සිංහල යුධවාදී සිනමාව තුළින් මතුව එයි. 
 
සිංහල යුධවාදී සිනමාව බොහෝ විට ඍජු සහ වක්‍ර ලෙස රාජ්‍යයේ අනුග්‍රහය ලැබූ සිනමාවකි. රාජ්‍යය විසින් සකසන ලද ජන මතය සහ මතකය තවත් ශක්තිමත් කිරීම උදෙසා මෙම යුධවාදී සිනමාව විශාල කාර්යයක් ඉටුකරයි. 
 
 

105455650 2432929626999198 4727604779358178495 nනොමියෙන මිනිසුන් චිත්‍රපටයේ දර්ශනයක්...

 
ගාමණී, සෙල්වම්, නොමියෙන මිනිසුන්, ඉරහඳ යට ආදිය මෙරට නිපදවා ඇති යුධවාදී සිනමා කෘති කිහිපයකි. 
 
මේ චිත්‍රපට තුළ මතුකර දක්වන ‘යහපත්’ ස්ත්‍රී චරිත, සිංහල-බෞද්ධ රාජ්‍ය විසින් ඉල්ලා සිටින මව්වරුන්, පෙම්වතියන් සහ බිරින්දෑවරුන්ය.
 
 
 

dsc 0181 selvam film movie sandeshaya          සෙල්වම් චිත්‍රපටයේ දර්ශනයක්...

 
 
 සෙල්වම් චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා විසින් පණ පොවන ලද ගුරුවරියගේ චරිතය එවැන්නකි. දමිළ පිරිමි දරුවන්ට සිංහල රජෙක් සහ සිංහල පියෙක් පිලිබඳ පාඩම කියා දෙන්නේ ඇයයි. 
 
චිත්‍රපටයට අනුව ඇය ඔවුන්ගේ මව වන අතර, ඔවුන්ගේ පියා වන්නේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂයි. 
 
 

100965102GamaniFINAL                  ගාමණී චිත්‍රපටයේ දර්ශනයක්...

 
ගාමණී චිත්‍රපටයේ සිංහල මායිම් ගම්මානයකට පත්වීමක් ලබා පැමිණෙන ගුරුවරිය,  රට වෙනුවෙන් ‘දිවි පිදූ’ නාවික හමුදා නිලධාරියකුගේ දියණියකි. 
 
ඇයගේ එකම අභිලාශය මෙම ගම්මානය ‘කොටි ත්‍රස්තවාදී’ ප්‍රාහාරවලින් බේරා ගැනීමයි. 
 
ගම ‘ත්‍රස්තවාදීන්ගෙන්’ බේරා ගැනීම සඳහා, ගම් වැසියන්ට යුධ පුහුණුවක් ලබා දීම වෙනුවෙන් ඇය ආසන්නතම හමුදා කඳවුරේ ප්‍රධානියාගේ සහාය පතයි. 
 
සිංහල-බෞද්ධ පුරුෂ බැල්ම තුළ උත්කර්ෂයට නංවනු ලබන්නේ විනාශකාරී යුද්ධය වෙනුවට සාමය පතන ගැහැනුන්ට වඩා, යුද්ධය විසින් දෙනු ලැබූ නීතිගතකරන ලද ප්‍රචණ්ඩත්වයේ අවකාශය තුළ හැසිරිය හැකි, සිංහල පිරිමින්ට සහාය වන ගැහැනුන්ය. 
 
 
 1741 1         ඉර හඳ යට චිත්‍රපටයේ දර්ශනයක්...
 
 
ඉර හඳ යට චිත්‍රපටයේ ප්‍රධාන ස්ත්‍රී චරිතය, හමුදා නිලධාරියෙකු වූ තම සැමියා කෙදිනක හෝ තමා වෙත එනු ඇතැයි මග බලා සිටියි. 
 
සිංහල-බෞද්ධ මිලිටරි පුරුෂත්වයේ බැල්ම විසින් ඉල්ලා සිටින්නේ මෙම ගැහැණියයි.
 
නමුත් මේ සියල්ල එසේ තිබියදී, සිනමාවේ ස්ත්‍රීවාදී බැල්ම යනු කුමක්ද? විෂම ලිංගික පුරුෂ මූලික සමාජය විසින් නිර්මිත සිනමාව තුළ ‘අනෙකා’ගේ හඬට ඇත්තේ අඩු අවකාශයකි.
 
 මෙම අධිපතිවාදී ‘සිංහල-බෞද්ධ-පුරුෂ’ කතිකාව තුළ, වෙනස් ලිංගිකයින්, වෙනත් ආගම් සහ ජාතිවලට අයත් පුද්ගලයින් ආදී සියල්ලෝ විවිධ ලෙස සහ එකිනෙකට සම්බන්ධව පීඩාවට පත්වෙයි. 
 
පුරුෂ බැල්ම සහිත සිනමාව තුළ සිදුවන්නේත් එයයි. එය මෙහෙයවනු ලබන්නේ අධිපතිවාදී පුරුෂ කතිකාව විසිනි. 
ඒ තුළ ‘අනෙකා’ යොදා ගනු ලබන්නේ පුරුෂ කතිකාව පවත්වාගෙන යාමට මිස ‘අනෙකා’ ගේ බැල්ම සිනමාව තුළට ගෙන ඒමට නොවෙයි.
 
මෙනයින් බලන කළ, ස්ත්‍රීවාදී සිනමාව යනු කුමක්ද? ස්ත්‍රිය වීරවරියක් කරන සිනමාවක්ද? පුරුෂයා වෙනුවට ස්ත්‍රිය තුවක්කුවක් අත දරා සිටින සිනමාවක්ද? 
 
 ස්ත්‍රීවාදී සිනමාවක් යනු ස්ත්‍රිය හෝ ‘අනෙකා’ පුරුෂයෙකු මෙන්  ප්‍රචණ්ඩත්වයේ හැසිරෙන සහ  පුරුෂාධිපත්‍යමය ආකෘතිවලට අනුගතවන සිනමාවක් නොවෙයි. 
 
 
 
'' ස්ත්‍රීවාදී සිනමාවක් යනු ස්ත්‍රිය හෝ ‘අනෙකා’ පුරුෂයෙකු මෙන්  ප්‍රචණ්ඩත්වයේ හැසිරෙන සහ  පුරුෂාධිපත්‍යමය ආකෘතිවලට අනුගතවන සිනමාවක් නොවෙයි. ''
 
විධික්‍රමික වශයෙන්, ස්ත්‍රීවාදී සිනමාවක් යනු පුරුෂාධිපත්‍යමය ව්‍යුහ තුළ අදෘශ්‍යමාන  වී ඇති ‘අනෙකා’ ගේ බැල්ම (gaze) නිර්මාණකරණය තුළට ගෙන ඒමයි. 
 
පුරුෂවාදී සිනමාවේ ‘වස්තුව’ (object) වන්නේ ස්ත්‍රියයි. 
 
ඒ අනුව, ස්ත්‍රීවාදී සිනමාවක් තුළ ‘අනෙකා’ හුදු අක්‍රිය වස්තුවක් වෙනුවට ක්‍රියාකාරී පුද්ගලයෙකු (active subject) බවට පත්වන අතර, මෙතෙක් පුරුෂ ‘බැල්මට’ හසුවූ ස්ත්‍රියගේ බැල්ම තුළ, සිනමාව එතෙක් පැවති ‘දැකීමන්’ (seeing) ව්‍යුක්ත කර, ‘හැඟීම’ (feeling) දක්වා පරිණාමය කළහැකි වෙයි.
 
 සාමාන්‍යයෙන්, ‘අනෙකාට’ අවශ්‍ය වන්නේ ඔබට යමක් පෙන්වීමට නොව, ඔබ ඒ ‘අනෙකා’ සමඟ එක් කර ගෙන, එම හැඟීම ඔබට ග්‍රහණය කරගැනීමට අවකාශ සැලසීමයි. 
 
ඒ තුළ මෙතෙක් කල් කැමරා කාචය ඉදිරියේ වස්තුව බවට පත්වීමේ හැඟීම ප්‍රතිනිර්මාණය කළ හැකි වෙයි. 
එමෙන්ම, මෙතෙක් කල් තමා වෙත එල්ලව තිබූ ‘බැල්ම’ ලෝකය වෙත එල්ලකළ හැකි වෙයි. 
 
අවාසනාවකට, ලාංකේය යුධ සිනමාව තුළ අපි නොදකින්නේ මෙම පර්යාවලෝකයයි, නැතිනම් ‘අනෙකා’ගේ බැල්මයි. 
 
 Inoka 2020.12.28
ඉනෝකා සත්‍යාංගනී සුළං කිරිල්ලී සිනමා කෘතිය තුළ මෙම ‘අනෙකා’ ගේ බැල්ම ලාංකේය යුධ සිනමාව තුළට ගෙන ඒමට උත්සාහ දරා ඇත. 
 
එනමුත් ‘අනෙකා’ ගේ බැල්ම තවමත් ලාංකේය සිනමාව තුළ දක්නට නොලැබෙන තරම්ය.
 
 
 
පසු සටහන්:
 
 
 
 
 
 
 109530630 53744453 1113 4c4e bc3f 0127d8a6a0fa(අනුෂ්කා කහඳගමගේ )
දකුණු ආසියානු විශ්වවිද්‍යාලය
 
 
( උපුටා ගැනීම patitha.lk - පඨිත) 
 
 
 
 
 
 
කියවන්න :
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...