The Leader News
BREAKING
ශ්‍රී ලංකාවේ පොත් රඳවා තබා ගැනීම: ලේඛකයින් ගේ ඒකාබද්ධ ප්‍රකාශය●පරිපාලන සෙල්ලමෙන් වැනසෙන ලාංකීය මළල ක්‍රීඩාවේ හෙට දවස●මිනිසා ගේ පළමු පෞද්ගලික දේපළ වූයේ ස්ත්‍රිය ද…?●යටිතල පහසුකම් අර්බුදයට පෞද්ගලික මුදල්: අවදානම ජනතාවට ද?●කඩා වැටීම් මැදින් නැගී සිටි රශිප්‍රභාගේ ජීවිත පාඩම●ඉරාන නාවිකයන් 40ක් ගාල්ලෙන් ගොඩබිමට: ජාත්‍යන්තර මානුෂීය වගකීම●හෝමාගම පොලිස් අත්අඩංගුවේ තරුණ පියෙකුගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්●ලූලාගේ සිව්වන ආගමනයට කොළඹින් ගිය සටන්කාමී සුබපැතුම●විදුලි වාහන රැල්ල හමුවේ මතු වන බැටරි අර්බුදය●ෆෝට්‍රස් රිසෝර්ට්ස් පාලනය වැලිබල් වන් අතට: කෝටි 73ක ගනුදෙනුවක්●
Top Ad
සාහිත්‍ය - කලා

මිනිසා ගේ පළමු පෞද්ගලික දේපළ වූයේ ස්ත්‍රිය ද…?

Nethmini

Nethmini

October 26, 2026 • 12:38 PM

මිනිසා ගේ පළමු පෞද්ගලික දේපළ වූයේ ස්ත්‍රිය ද…?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාල් මාක්ස්ගේ ආර්ථික පදනම සහ උපරිව්‍යුහය (Base and Superstructure) පිළිබඳ න්‍යායය පුරුෂාත්ම හීනනය හෙවත් බිජුහීනතාව හරහා නැවත කියවීම.
  • පෞද්ගලික දේපළ සහ ආර්ථික බලය මිනිස් සමාජයේ පුරුෂාධිපත්‍යය ගොඩනැඟීමට මූලික වූවා නම් , එම දේපළ හා ආර්ථික සම්බන්ධතා ඇතිවීමට පෙර හෝ ඒවා සමග සමගාමීව ක්‍රියා කළ හැකි වෙනත් බල සම්බන්ධතාවක් පැවතියේ ද ?
  • එය සමාජයේ ආර්ථික ව්‍යුහය පැහැදිලි කිරීමේ දී , එම ව්‍යුහ ගොඩනැගීමට සහ පවත්වාගෙන යෑමට බලපා තිබිය හැකි මනෝවිද්‍යාත්මක සහ ලිංගික බල සම්බන්ධතා ද සැලකිල්ලට ගත යුතු බවට ඉදිරිපත් කරන විකල්ප විග්‍රහයකි.
  • මිනිස් ඉතිහාසයේ ස්ත්‍රිය පුරුෂයාගේ පළමු පෞද්ගලික දේපළ බවට පත් වූයේද ?
අකුරු ප්‍රමාණය (Font Size):

කාල් මාක්ස්ගේ ආර්ථික පදනම සහ උපරිව්‍යුහය (Base and Superstructure) පිළිබඳ න්‍යායය පුරුෂාත්ම හීනනය හෙවත් බිජුහීනතාව හරහා නැවත කියවීම.

මිනිස් සමාජයේ පවතින පුරුෂාධිපත්‍යය, පෞද්ගලික දේපළ, ආගමික විශ්වාස, නීති පද්ධති, සංස්කෘතික සම්මත සහ ආර්ථික බලය අතර පවතින සම්බන්ධය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ විවිධ න්‍යායන් ඉදිරිපත් වී තිබේ. ඒ අතර කාල් මාක්ස් ගේ ඓතිහාසික භෞතිකවාදය සමාජ විද්‍යාවේ හා දේශපාලන ආර්ථික විද්‍යාවේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී.

එහෙත් අපට මෙහි දී වෙනත් ප්‍රශ්නයක් ඇසිය නොහැකිද?

පෞද්ගලික දේපළ සහ ආර්ථික බලය මිනිස් සමාජයේ පුරුෂාධිපත්‍යය ගොඩනැඟීමට මූලික වූවා නම්, එම දේපළ හා ආර්ථික සම්බන්ධතා ඇතිවීමට පෙර හෝ ඒවා සමග සමගාමීව ක්‍රියා කළ හැකි වෙනත් බල සම්බන්ධතාවක් පැවතියේ ද?

පුරුෂාත්ම හීනනය හෙවත් බිජුහීනතාව (Male Inferiority) පිළිබඳ සංකල්පය ඔස්සේ මා විමර්ශනය කිරීමට උත්සාහ කරන්නේ එම ප්‍රශ්නය යි.

මෙය මාක්ස් ගේ න්‍යාය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. එය සමාජයේ ආර්ථික ව්‍යුහය පැහැදිලි කිරීමේ දී, එම ව්‍යුහ ගොඩනැගීමට සහ පවත්වාගෙන යෑමට බලපා තිබිය හැකි මනෝවිද්‍යාත්මක සහ ලිංගික බල සම්බන්ධතා ද සැලකිල්ලට ගත යුතු බවට ඉදිරිපත් කරන විකල්ප විග්‍රහයකි.

ආර්ථික පදනම සහ උපරිව්‍යුහය: මාක්ස්ගේ න්‍යාය

1859දී ප්‍රකාශයට පත් කළ A Contribution to the Critique of Political Economy කෘතියේ පෙරවදනෙහි කාල් මාක්ස් සමාජයේ ආර්ථික ව්‍යුහය සහ එයට සම්බන්ධ නීතිමය සහ දේශපාලනික උපරිව්‍යුහය අතර සම්බන්ධය පැහැදිලි කළේය.

කාල් මාක්ස් 

ඔහුගේ විග්‍රහයට අනුව, සමාජයක නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සම්බන්ධතා එහි ආර්ථික ව්‍යුහය ගොඩනගයි. එම පදනම සමග නීතිය, දේශපාලනය සහ සමාජ විඥානයේ විවිධ ආකාර සම්බන්ධ වේ.

මෙම අදහස සරලව පැහැදිලි කළහොත්, මිනිසුන් නිෂ්පාදනය කරන ආකාරය, සම්පත් හිමිකර ගන්නා ආකාරය සහ ශ්‍රමය පාලනය කරන ආකාරය ඔවුන් ජීවත් වන සමාජයේ ආයතන සහ අදහස් හැඩගැස්වීමට බලපායි.

නිදසුනක් වශයෙන්, පෞද්ගලික දේපළ මත පදනම් වූ ආර්ථික පද්ධතියක, දේපළ අයිතිය ආරක්ෂා කරන නීති පද්ධතියක් සහ එම හිමිකාරිත්වය සාධාරණීකරණය කරන සමාජීය අදහස් වර්ධනය විය හැකිය.

එහෙත් මෙහිදී අපට තවත් ප්‍රශ්නයක් මතුවේ.

ආර්ථික බලය, පෞද්ගලික දේපළ සහ ඒවා ආරක්ෂා කරන නීති පද්ධති පිළිබඳව විමර්ශනය කිරීම වැදගත් වුවත්, ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා තුළ පවතින බල අසමතුලිතතාව පැහැදිලි කිරීමට එය පමණක් ප්‍රමාණවත්ද?

එසේත් නැත්නම්, පුරුෂාධිපත්‍යය ගොඩනැගීමට දායක වූ මනෝවිද්‍යාත්මක සහ සමාජීය සාධක ද ඊට පෙර විමර්ශනය කළ යුතු ද?

ස්ත්‍රිය පළමු පෞද්ගලික දේපළ ද…?

මෙහිදී මා යෝජනා කරන්නේ විවාදාත්මක නමුත් වැදගත් න්‍යායික ප්‍රශ්නයකි.

මිනිස් ඉතිහාසයේ ස්ත්‍රිය පුරුෂයාගේ පළමු පෞද්ගලික දේපළ බවට පත් වූයේද?

මෙම ප්‍රකාශය තේරුම් ගැනීමේ දී, ස්ත්‍රිය සැබෑ වස්තුවක් ලෙස සැලකීම සහ ස්ත්‍රිය දේපළකට සමාන ලෙස පාලනය කිරීමට උත්සාහ කිරීම යන කාරණා දෙක වෙන් කර හඳුනාගත යුතුය.

මෙහි මාගේ අවධානය යොමු වන්නේ දෙවැන්න කෙරෙහිය.

මිනිස් ඉතිහාසයේ බොහෝ සමාජවල කාන්තාවන්ගේ ලිංගිකත්වය, විවාහය, ප්‍රජනනය, ගමන් බිමන් සහ දේපළ හිමිකම් පාලනය කර ඇත. බහුතර සමාජවල කාන්තාවන් පිරිමියකුගේ පවුලට හෝ පුරුෂ පරම්පරාවකට අයත් අය ලෙස සැලකූ අතර, ඔවුන් ගේ ජීවිත පිළිබඳ තීරණ ගැනීමේ බලය පුරුෂයන්ට හිමි විය. ඉතාමත්ම දියුණු යැයි සැලකෙන රටවල අද පවා විවාහයෙන් පසු ස්ත්‍රිය ඇගේ සැමියා හෙවත් "ස්වාමියාගේ" වාසගම ගනී.

එවැනි සම්බන්ධතා පෞද්ගලික දේපළ පිළිබඳ සංකල්පය සමග සමාන කළ හැකි ලක්ෂණ පෙන්වයි. නමුත් එයින් ස්ත්‍රිය ඓතිහාසිකව මිනිසා ගේ පළමු පෞද්ගලික දේපළ වූ බව ස්වයංක්‍රීයව තහවුරු වන්නේ නැත.

එම ප්‍රකාශය ඓතිහාසිකව තහවුරු කිරීමට, පෞද්ගලික දේපළේ ආරම්භය, පවුල් ව්‍යුහවල වර්ධනය සහ ස්ත්‍රී පුරුෂ බල සම්බන්ධතා පිළිබඳ මානවවිද්‍යාත්මක සාක්ෂි විමර්ශනය කළ යුතුය.

එසේ වුවත්, මෙම ප්‍රශ්නය අපට තවත් වැදගත් විමර්ශන මාර්ගයක් විවෘත කරයි.

පෞද්ගලික දේපළ පිළිබඳ ආර්ථික සංකල්පය සම්පූර්ණයෙන් වර්ධනය වීමට පෙර, ස්ත්‍රිය ගේ ලිංගිකත්වය සහ ප්‍රජනන හැකියාව පාලනය කිරීමට උත්සාහ කරන සමාජීය සම්බන්ධතා පැවතියේ නම්, ඒවා පසුකාලීන දේපළ සම්බන්ධතා හා පවුල් ව්‍යුහයන් ගොඩනැඟීමට බලපෑවේද?

මෙය සොයා බැලිය යුතු ප්‍රශ්නයකි.

පුරුෂාත්ම හීනනය: මනෝවිද්‍යාත්මක මූලයක් පිළිබඳ උපකල්පනය

අප ඉදිරිපත් කරන පුරුෂාත්ම හීනනය හෙවත් බිජුහීනතාව පිළිබඳ සංකල්පය තුළ අවධානය යොමු වන්නේ පුරුෂයාගේ ජීව විද්‍යාත්මක සහ ප්‍රජනනමය ස්වභාවය පිළිබඳ ඔහුගේ මනෝවිද්‍යාත්මක අර්ථකථනය සහ එමගින් ඇති විය හැකි අනාරක්ෂිතභාවය කෙරෙහි ය.

කාන්තාව ගේ ශරීරය තුළ ගැබ් ගැනීම සිදුවන අතර, ඇය ගර්භය දරා දරුවකු බිහි කරයි. පුරුෂයා ප්‍රජනනයට දායක වුව ද, ඔහුට එම අත්දැකීම ස්ත්‍රිය මෙන් සෘජුව අත්විඳිය නොහැකි ය.

අපගේ න්‍යායික උපකල්පනය වන්නේ, බොහෝ ඓතිහාසික හා සංස්කෘතික තත්ත්ව තුළ පුරුෂයින් මෙම වෙනස තර්ජනයක් ලෙස අර්ථකථනය කර තිබූ බවයි.

එවැනි මනෝවිද්‍යාත්මක තත්ත්වයක් පැවතියේ නම්, එය ස්ත්‍රිය ගේ ප්‍රජනන හැකියාව සහ ලිංගිකත්වය පාලනය කිරීමේ උත්සාහ සමඟ සම්බන්ධ වූයේ කෙසේද යන්න විමර්ශනය කිරීම වැදගත් වේ.

මෙහි දී අප විමසිය යුත්තේ පුරුෂයා ස්වභාවයෙන් ම හීනමානයෙන් පෙළෙන බව නොවේ. පුරුෂාධිපත්‍යය පවත්වාගෙන යෑමට ඇතැම් පුරුෂයින් තුළ ඇති විය හැකි අනාරක්ෂිතභාවය, තත්ත්වය අහිමි වේ යැයි ඇති බිය සහ පාලනය කිරීමේ අවශ්‍යතාව දායක වී තිබේද යන්නයි.

මාගේ ප්‍රධාන තර්කය වන්නේ පුරුෂාධිපත්‍යයේ මූලාරම්භය විමර්ශනය කිරීමේ දී පුරුෂයන්ගේ මනෝවිද්‍යාත්මක අත්දැකීම් සහ ලිංගික බල සම්බන්ධතා ද විශ්ලේෂණයට ඇතුළත් කළ යුතු බවයි.

පවුල, ආගම, සංස්කෘතිය සහ නීතිය: පාලනය ආයතනගත වූ ආකාරය

ස්ත්‍රිය පාලනය කිරීමේ අවශ්‍යතාව යම් සමාජයක වර්ධනය වූයේ යැයි උපකල්පනය කළහොත්, ඊළඟට විමසිය යුත්තේ එම පාලනය සමාජ ආයතන තුළ තහවුරු වූයේ කෙසේද යන්නයි.

පවුල මෙහි දී විශේෂ වැදගත්කමක් ගනී. විවාහය, දරුවන්ගේ පීතෘත්වය, පරම්පරාව සහ උරුමය පිළිබඳ සමාජීය නීති මඟින් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා සංවිධානය කළ හැකිය. ලෝකයේ බොහෝ රටවල පවුල් ව්‍යුහයන් තුළ පුරුෂයාට තීරණ ගැනීමේ ප්‍රමුඛ බලය හිමි වන අතර, කාන්තාවගේ ලිංගික හා ප්‍රජනන නිදහස සීමා වේ.

ආගමික අදහස් සහ සංස්කෘතික සම්මත ද එවැනි බල සම්බන්ධතා සාධාරණීකරණය කිරීමට භාවිත කළ හැකිය. කාන්තාව ගේ කීකරුකම, පුරුෂයා ගේ පවුල් ප්‍රධානත්වය සහ ලිංගික හැසිරීම් පාලනය කිරීම පිළිබඳ ඇතැම් අදහස් ආගමික හෝ සංස්කෘතික වටිනාකම් ලෙස ඉදිරිපත් කර ඇත.

නීති පද්ධති මඟින් විවාහය, දික්කසාදය, උරුමය, දේපළ හිමිකම සහ කාන්තාවන් ගේ අයිතිවාසිකම් නියාමනය කරනු ලැබේ. එම නීති සාධාරණත්වය සහ සමානත්වය තහවුරු කිරීමට ද යොදාගත හැකි අතර, ඇතැම් ඓතිහාසික සන්දර්භ තුළ ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට ද යොදාගෙන ඇත.

මෙහි දී මතුවන මූලික ප්‍රශ්නය වන්නේ මෙම ආයතන ස්ත්‍රීන් පාලනය කිරීමේ අරමුණින්ම ආරම්භ වූවා ද යන්නයි. එහෙත් පවුල, ආගම, සංස්කෘතිය හා නීතිය මඟින් ලිංගික බල සම්බන්ධතා පවත්වාගෙන යෑමට හෝ වෙනස් කිරීමට හැකි බව විමර්ශනය කළ හැකි ය.

අපගේ න්‍යාය තුළ විමර්ශනයට ලක් වන්නේ මෙම ආයතනවල ඓතිහාසික වර්ධනය පමණක් නොව, ඒවා පිටුපස ක්‍රියාත්මක වී තිබිය හැකි මනෝවිද්‍යාත්මක අවශ්‍යතා ද වේ.

එංගල්ස් ගේ න්‍යාය සමඟ ඇති සම්බන්ධය

කාල් මාක්ස් ගේ සමීපතම සහකරු වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස් 1884දී The Origin of the Family, Private Property and the State කෘතිය ප්‍රකාශයට පත් කළේ ය. එම කෘතියෙන් එංගල්ස් පෞද්ගලික දේපළ, පවුල, උරුමය සහ ස්ත්‍රීන් ගේ සමාජ තත්ත්වය අතර සම්බන්ධය විමර්ශනය කළේ ය.

ඔහුගේ විග්‍රහය තුළ පෞද්ගලික දේපළ හා පීතෘත්වය තහවුරු කිරීමේ අවශ්‍යතා ස්ත්‍රීන්ගේ සමාජ තත්ත්වය වෙනස් කිරීම සමග සම්බන්ධ වේ.

එහෙත් මාගේ ප්‍රශ්නය එතැනින් තවත් පියවරක් ඉදිරියට යයි.

පෞද්ගලික දේපළ සහ උරුමය නිසා ස්ත්‍රීන් පාලනය කිරීමට අවශ්‍යතාවක් ඇති වූවා නම්, එම දේපළ සහ උරුමය පිළිබඳ සම්බන්ධතා ගොඩනැගීමට පෙර පැවති ලිංගික සහ මනෝවිද්‍යාත්මක බල සම්බන්ධතා පිළිබඳව අපට කුමක් කිව හැකිද?

එංගල්ස් ප්‍රකාශ කරන ස්ත්‍රී ලිංගයේ ඓතිහාසික පරාජය

එංගල්ස් මෙම කෘතියෙන් පවුලේ ඉතිහාසය, පෞද්ගලික දේපළේ වර්ධනය, උරුමය සහ පුරුෂාධිපත්‍යය අතර සම්බන්ධය විමර්ශනය කරයි. ඔහුගේ විග්‍රහය අනුව, පවුලේ සංවිධානය සහ ස්ත්‍රී පුරුෂ බල සම්බන්ධතා ඉතිහාසය පුරා වෙනස් වී ඇති අතර, පෞද්ගලික දේපළ හා උරුමය පිළිබඳ සමාජ සම්බන්ධතා එම වෙනස්කම් තේරුම් ගැනීමේදී වැදගත් වේ.

එංගල්ස් ගේ මෙම අදහස වඩාත් පැහැදිලිව පෙනෙන්නේ කෘතියේ “The Family” (පවුල) නමැති පරිච්ඡේදය තුළය.

ඔහු එහි මෙසේ ලියයි:

“The overthrow of mother right was the world-historic defeat of the female sex.”

මෙහි සිංහල අර්ථය මෙසේ දැක්විය හැකිය:

“මාතෘ අයිතිය පෙරළා දැමීම ස්ත්‍රී ලිංගයේ ඓතිහාසික පරාජය වීය.”

මෙහි mother right යන යෙදුමෙන් එංගල්ස් අදහස් කරන්නේ මවගේ පාර්ශ්වයෙන් පරම්පරාව හා උරුමය තීරණය වන, මාතෘ මූලික සමාජ ක්‍රමයට සම්බන්ධ අයිතිවාසිකම් සහ සම්ප්‍රදා ය. (මෙම මාතෘ මූලික සමාජ පිළිබඳව බහෝපන් ඔහුගේ Mother Right කෘතියේ ඊට පෙර ලියා තිබුණ ද, එංගල්ස් විසින් මෙම ලිවීම් ප්‍රතික්ෂේප කරන්නේ ඒවා ග්‍රීක මිත්‍යා සහ දේව කතා ආශ්‍රයෙන් ලියූ ඒවා වන නිසා ය)

එංගල්ස් ගේ ප්‍රකාශයේ වැදගත්කම ඇත්තේ ස්ත්‍රීන් ගේ යටත් තත්ත්වය ස්වභාවයෙන් ම පැවති දෙයක් ලෙස නොව, ඉතිහාසයේ ඇති වූ සමාජ පරිවර්තනයක ප්‍රතිඵලයක් ලෙස ඔහු විග්‍රහ කිරීම තුළ ය.

එම පරිච්ඡේදයේ ම ඔහු තවදුරටත් මෙසේ සඳහන් කරයි.

“The man seized the reins in the house also, the woman was degraded, enthralled, the slave of the man’s lust, a mere instrument for breeding children.”

මෙහි සිංහල අර්ථය මෙසේ දැක්විය හැකි ය.

“පුරුෂයා නිවසේ පාලනය ද අත්පත් කරගත්තේ ය. ස්ත්‍රිය පහත් තත්ත්වයකට ඇද දමනු ලැබ, යටත් කරනු ලැබී ය. ඇය පුරුෂයා ගේ ලිංගික ආශාවලට යටත් තැනැත්තියක් බවටත්, දරුවන් බිහි කිරීමේ මෙවලමක් බවටත් පත් කළේ ය.”

මෙම ප්‍රකාශය තුළින් එංගල්ස් අවධාරණය කරන්නේ, පවුල යනු හුදෙක් ආදරය, විවාහය සහ දරුවන් ඇති දැඩි කිරීම මත පමණක් ගොඩනැගුණු පෞද්ගලික ඒකකයක් නොවන බවයි. එය බලය, දේපළ, උරුමය සහ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා සමග ද බැඳී පවතින සමාජ ආයතනයකි.

පුරුෂයා ගේ ප්‍රජනනමය ස්වභාවය පිළිබඳ ඔහුගේ අවබෝධය, පීතෘත්වය පිළිබඳ අවිනිශ්චිතතාව සහ ස්ත්‍රියගේ ලිංගිකත්වය පාලනය කිරීමේ අවශ්‍යතාව අතර සම්බන්ධයක් පැවතියේ ද?

එවැනි සම්බන්ධතාවක් තහවුරු කළ හැකි නම්, එය පෞද්ගලික දේපළ සහ පුරුෂාධිපත්‍යය අතර සම්බන්ධය පිළිබඳ එංගල්ස්ගේ විග්‍රහයට අමතර මනෝවිද්‍යාත්මක මානයක් එක් කළ හැකි ය. එහෙත් එය තහවුරු කිරීම සඳහා එංගල්ස්ගේ කෘතිය පමණක් නොව, පසුකාලීන මානවවිද්‍යාත්මක පර්යේෂණ ද විමර්ශනය කළ යුතුය.

මාක්ස්ගේ න්‍යාය උඩ යට මාරු කිරීමක්ද?

දැන් අපට නැවතත් මූලික ප්‍රශ්නයට පැමිණිය හැකි ය.

මාක්ස් ගේ විග්‍රහයේ දී ආර්ථික පදනම සමාජයේ නීතිමය, දේශපාලනික සහ දෘෂ්ටිවාදී ව්‍යුහ තේරුම් ගැනීමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. අපගේ න්‍යාය තුළ මා විමර්ශනය කරන්නේ, එම ආර්ථික පදනම ගොඩනැගීමට පෙර හෝ එය සමග ම වර්ධනය වී තිබිය හැකි මනෝවිද්‍යාත්මක සහ ලිංගික බල සම්බන්ධතා පිළිබඳවයි. ඒ අනුව, පුරුෂාධිපත්‍යය ආර්ථික පද්ධතිවල ප්‍රතිඵලයක් පමණක් ලෙස නොව, ආර්ථික පද්ධතිවල වර්ධනයට ද බලපෑ හැකි සමාජීය බල සම්බන්ධතාවක් ලෙස විමර්ශනය කළ යුතු ද යන ප්‍රශ්නය මතුවේ.

මෙය මාක්ස් ගේ න්‍යාය සරලව උඩ යට මාරු කිරීමක් නොවේ. එය සමාජය තේරුම් ගැනීමේ දී ආර්ථිකය, මනෝවිද්‍යාව, ප්‍රජනනය සහ ලිංගික බලය අතර පවතින සම්බන්ධතා නැවත සලකා බැලීමට කරන යෝජනාවකි.

එමෙන්ම, ආර්ථික පද්ධති හා දේපළ සම්බන්ධතා ස්ත්‍රී පුරුෂ බල සම්බන්ධතා නැවත ශක්තිමත් කළ හැකි බව ද මෙහි දී අමතක නොකළ යුතුය. එබැවින් සම්බන්ධතාව එක් දිශාවකට පමණක් ගමන් කරන ක්‍රියාවලියක් ලෙස නොව, එකිනෙකට බලපාන සමාජීය ක්‍රියාවලියක් ලෙස විමර්ශනය කිරීම වඩාත් ප්‍රයෝජනවත් වේ.

පුරුෂාධිපත්‍යයේ සිට පාරිසරික අර්බුදය දක්වා

මෙම ප්‍රශ්නය ලිංගික සම්බන්ධතා සහ පවුල යන සීමා තුළ පමණක් නතර නොවේ; පුරුෂාධිපත්‍යය, බලය, ආධිපත්‍යය සහ සම්පත් පාලනය අතර පවතින සම්බන්ධතා පිළිබඳ විමර්ශනය ආර්ථිකය, දේශපාලනය සහ පාරිසරික අර්බුදය දක්වා පුළුල් කළ හැකි ය.

ඉතිහාසයේ විවිධ සමාජවල බලය සහ ආධිපත්‍යය භූමිය, ශ්‍රමය සහ ස්වාභාවික සම්පත් පාලනය කිරීම සමග සම්බන්ධ වී තිබේ. නූතන ධනවාදී ආර්ථික පද්ධති තුළ ද ස්වාභාවික සම්පත් නිෂ්පාදනය, පරිභෝජනය සහ ලාභය සඳහා යොදාගැනීමේ දී බරපතළ පාරිසරික ගැටලු ඇති වී තිබේ. එහෙත් පුරුෂාධිපත්‍යය සහ පාරිසරික විනාශය අතර සම්බන්ධය සංකීර්ණය. එය එක් මනෝවිද්‍යාත්මක හේතුවකින් පමණක් පැහැදිලි කළ නොහැකි ය. ආර්ථික වර්ධනයේ ආකෘති, තාක්ෂණය, දේශපාලන තීරණ, පරිභෝජන රටා සහ ආයතනික බලය ද එයට බලපායි.

මාගේ න්‍යායික උත්සාහය වන්නේ, ආධිපත්‍යය පිළිබඳ මනෝවිද්‍යාව සහ සමාජ ව්‍යුහ අතර සම්බන්ධය විමර්ශනය කිරීමෙන් මෙම ගැටලු පිළිබඳ නව ප්‍රශ්න මතු කළ හැකිද යන්න සොයා බැලීමයි.

පුරුෂයාගේ අනාරක්ෂිතභාවය ආධිපත්‍යය සඳහා වූ උත්සාහ සමග සම්බන්ධ වූයේ නම්, එම ආධිපත්‍යය ආර්ථික ව්‍යුහ සහ ස්වභාවධර්මය සමග මිනිසා පවත්වාගෙන යන සම්බන්ධතා හැඩගැස්වීමට දායක වූයේ කෙසේ ද?

මේවා තවදුරටත් පර්යේෂණය කළ යුතු ප්‍රශ්න වේ.

ආර්ථිකය පිටුපස ඇති මනෝවිද්‍යාව සොයා යෑම

කාල් මාක්ස් ගේ ඓතිහාසික භෞතිකවාදය සමාජයේ ආර්ථික පදනම සහ එහි නීතිමය, දේශපාලනික සහ දෘෂ්ටිවාදී ව්‍යුහ අතර සම්බන්ධය විමර්ශනය කිරීමට ප්‍රබල න්‍යායික රාමුවක් සපයයි. එහෙත් සමාජය තේරුම් ගැනීමේ දී ආර්ථික සම්බන්ධතා පමණක් නොව, ඒවා ගොඩනැගීමට සහ පවත්වාගෙන යෑමට බලපා තිබිය හැකි මනෝවිද්‍යාත්මක සාධක ද සලකා බැලිය යුතු ද යන ප්‍රශ්නය විවෘතව පවතී.

අප ඉදිරිපත් කරන පුරුෂාත්ම හීනනය හෙවත් බිජුහීනතාව පිළිබඳ සංකල්පය තුළ අවධානය යොමු වන්නේ එම ප්‍රශ්නයටයි.

Johann Jakob Bachofen

ස්ත්‍රිය පුරුෂයා ගේ පළමු පෞද්ගලික දේපළ වූවාය යන ප්‍රකාශය, මේ අවස්ථාවේ දී, තහවුරු කළ ඓතිහාසික නිගමනයක් ලෙස නොව, පුරුෂාධිපත්‍යයේ මූලාරම්භය පිළිබඳ විමර්ශනය කළ යුතු න්‍යායික උපකල්පනයක් ලෙස ඉදිරිපත් කරමි. මෙම උපකල්පනයේ වැදගත්කම වන්නේ ස්ත්‍රිය පාලනය කිරීමේ සමාජීය උත්සාහ පිටුපස ක්‍රියාත්මක වී තිබිය හැකි මනෝවිද්‍යාත්මක සාධක සොයා බැලීමට එය අපට අවස්ථාව ලබා දීමයි. එය තහවුරු කළ හැකිද යන්න තීරණය වන්නේ ඓතිහාසික සාක්ෂි, මානවවිද්‍යාත්මක පර්යේෂණ, මනෝවිද්‍යාත්මක අධ්‍යයන සහ පවතින න්‍යායන් සමග කරන විවේචනාත්මක සංවාදය මතය.

සමාජයේ ආර්ථික ව්‍යුහය තේරුම් ගැනීමට නම්, එම ව්‍යුහය ගොඩනැගීමට දායක වූ මිනිස් සම්බන්ධතා පමණක් නොව, එම සම්බන්ධතා හැඩගැස්වූ මනෝවිද්‍යාත්මක සාධක ද විමර්ශනය කළ යුතුය.

මාගේ මෙම ලිපියේ අරමුණ වන්නේ පුරුෂාධිපත්‍යය, ආර්ථික ආධිපත්‍යය සහ පාරිසරික අර්බුදය අතර පවතින සම්බන්ධතා පිළිබඳ එවැනි පුළුල් විමර්ශනයක් සඳහා න්‍යායික සංවාදයක් ගොඩනැගීම යි.

සටහන - සුමුදු ගුරුගේ

උපුටා ගත්තේ Sumudu Guruge ගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...