සිංහල ටෙලි සහ සිනමා ගීත ඉතිහාසයේ නොමැකෙන සලකුණු තැබූ ගීත අතරේ අදාළ ගීත රචනය සම්බන්ධව විස්මයජනක හැඟීමක් ඇති කරන ගීත කිහිපයක් තියෙනවා.
ටෙලි නාට්‍යයකට හෝ චිත්‍රපටයකට ගීත රචකයන්ගේ දායකත්වය ලබා ගැනීම සාමාන්‍යය ක්‍රමවේදය වුණත් මේ ගීත කිහිපයේ ගීත රචකයා එක්තරා ආකාරයකට සුවිශේෂයි. මේ ගීත සියල්ලම රචනා කරන්නේ ටෙලි නාට්‍යයේ හෝ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා හෝ නිෂ්පාදකයා විනා වෙනත් පරිබාහිර ගීත රචකයෙක් නෙමෙයි. වෙනදාට ගීත රචනා නොකරන අධ්යක්ෂවරු තමන් ගේ නිර්මාණ වෙනුවෙන් රචනා කළ මේ ගීත සියල්ලම පුදුම සහගත විදියට රසිකයින් ඉතා ආදරයෙන් වැලඳගත්තා. ඒ වගේ ම ගේය පද රචනාවක් වශයෙන් බැලුවත් ඒ සියල්ල ම ප්රශස්ත මට්ටමේ ඒවා.
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නෝ
'ඉටි පහන්' ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන 'ඉටි පහනක්දෝ මා' රචනා කරන එහි අධ්යක්ෂ සෝමරත්න දිසානායක 'වට කැරකෙන්නෝ - සෙනෙහෙ මවන්නෝ - පණ නල ගනිති සොරා' කියලා සමස්ත නාට්‍යයේම සාරය එක පෙළකට ගේනවා.
"කළුවර පලස ඉරා
මා වත දුබලව දැවෙන තුරා
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නෝ
පණ නළ ගනිති සොරා .....
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා..."
නන්දා මාලනී සමග ධම්මිකා වල්පොල | සෝමරත්න දිසානායක | රෝහණ වීරසිංහ
ලාදුරු නිට්ටාවට සුව කළ හැකියි
'ඉර පායා' ටෙලි නාට්‍යයේ එන 'ඉර පායා .. ඉර පායා' ගීතය නාට්‍යයේ අරමුණ වන ලාදුරු රෝග නිවාරණය ගැන යටි අරුතක් දනවන ගීතයක් විනා පරිසර වර්ණනාවක් නෙමෙයි. ගීතය රචනා කරන අධ්යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම 'අඳුරු තිමිරපට ඉරා දිනින්දූ - සොඳුරු හෙටක් පාදයි මන බැන්දූ' කියලා ලියලා ස්වභාව වර්ණනාවක් විලාසයෙන් 'ලාදුරු නිට්ටාවට සුව කළ හැකියි' කියන පණිවුඩය සාර්ථකව සමාජගත කරනවා.
"එදා මෙදා තුර බිය සැක රැන්දූ
රුදුරු වෙසක් හද තුළ නිති ඇන්දූ
අඳුරු තිමිර පට ඉරා දිනින්දූ
සොඳුරු හෙටක් සාදයි මන බැන්දූ"
සමිතා මුදුන්කොටුව | චන්ද්‍රරත්න මාපිටිගම | රෝහණ වීරසිංහ
සබීතා පෙරේරා ගේ රංගනය එක මිටකට
'චිට්ටි' චිත්‍රපටයේ අධ්යක්ෂ සරත් ගුණරත්න ඒ වෙනුවෙන් 'සියුමැලී .. සියුමැලි රෝසමලී' ගීතය ලියනවා. 'අද අද ම ඔබෙ කුමරු වී එයි කියා - අනුරාගී නෙතගින් බලා' කියන ගී පදය සමස්ත චිත්‍රපටයේ ම සබීතා පෙරේරා ගේ රංගනය එක මිටකට ගන්නට සමත් වෙනවා.
'අද අද ම ඔබෙ කුමරු එයි එයි කියා
අනුරාගි නෙතඟින් බලා
සිරි යහනෙ සුදු සේලේ එළලා
සඳවතිය ගිරි මුදුනින් සැඟවී ගියා
සියුමැලී.. සියුමැලි රෝස මලී'
ලතා වල්පොල - රූකාන්ත ගුණතිලක | සරත් ගුණරත්න | කාලෝ විජේසිරි
දිය පිට නැගූ තරංග
'වීසි දැල' චිත්‍රපටයේ අධ්යක්ෂ එච්.ඩී ප්‍රේමරත්න ඒ චිත්‍රපටයේ 'බිඳුණා දැහැන් බිඳුණා' ගීතය රචනා කරනකොට 'දිය පිට තරග නගමි - දිය තුළ කිමිද මියෙමි' කියලා ලියමින් තමන් පද රචනයටත් අමුත්තෙක් නොවන බව පසක් කරනවා. කතා සාරාංශයම ඉසියුම් ලෙස ගීතයක් ඔස්සේ නිරූපණය කරන්නට සමත් වෙනවා.
"දිය පිට තරඟ නගමි
දිය තුළ කිමිද මියෙමි
බිඳුණා දැහැන් බිඳුණා
මිදුනා සිරගත ආශා"
ගුණදාස කපුගේ | එච්.ඩී. ප්‍රේමරත්න | රෝහණ වීරසිංහ
කිරි වැදී නටන ගොයම
දළ රළ පෙළ' ටෙලි නාට්‍යයේ නිෂ්පාදක සුනිල් රත්නායක එහි තේමා ගීතය වන 'වළා අතුළ සිරි යහනේ' ගීතය රචනා කරන්නේ විචිත්‍ර භාෂා යෙදුම් ඇසුරෙන්. 'හෙටක් ගැන යමක් නොදකින - හෙටක් තිබේදැයි නොසිතන - කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා' කියන ගී පද රචනය හරහා සුනිල් රත්නායක සරල ගීතයක් මතුපිට දාර්ශනික ඉඩකඩක් පාදාගන්න සමත් වෙනවා.
"කිරි වැදී නටන ගොයමට
මීදුමින් වැටී පිණිකැට
රන්දමක් ලෙසින් ගෙල වට
රනින් දිලෙනවා...
හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග
තවරගන්නවා ...."
අමරසිරි පීරිස් | සුනිල් රත්නායක | ප්‍රේමසිරි කේමදාස
දූවිල්ලෙන් සැදුණ ලිය
'වෙද හාමිනේ' ටෙලි නාට්‍යයේ අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි එහි එන 'දූවිල්ලෙන් සැදුණ ලියේ' ගීතය හරහා ගීත රචනාවට අත් පොත් තබනවා. 'දූවිල්ලෙන් සැදුණ ලියේ' කියන ප්‍රබල ආමන්ත්‍රණය ම ජයන්ත ගේ ස්ථානෝචිත නිර්මාණශිලීත්වයේ කැඩපතක් බවට පත් වෙනවා.
"දූවිල්ලෙන් සැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ...."
කෙටියෙන් ම කිව්වොත් මේ සියලු ම ගීත රචනා අදාළ නිර්මාණයේ අධ්යක්ෂවරයා හෝ නිෂ්පාදකයා විසින් ම රචනා කිරීම ඔවුන් ගේ ගේය පද කෞෂල්‍ය පිළිබඳ විස්මයජනක ප්‍රසාදයක් ඇති කරනවා.
සටහන - සහන් කසීර වික්‍රමසිංහ
උපුටා ගත්තේ Sahan Kaseera Wickramasingheගේ face book පිටුවෙන්



