1200 x 80 DMirror

 
 

මෙරට ලක්ෂ සංඛ්‍යාත සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල්වලින් අධිභාර බද්දක් අයකරීමේ රජයේ සැලැස්ම මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ.



රටේ වැඩ කරන ජනතාවගේ අරමුදල්වලින් මෙලෙස අධිභාරයක් අය කිරීමේ කෙටුම්පතට විපක්ෂය මෙන්ම වෘත්තීය සමිති දැඩි විරෝධය පළ කරන අතර මෙම ගැසට් නිවේදනය හකුලාගන්නා ලෙස ඔවුහු රජයට බලකර සිටිති.

රටේ වැඩ කරන ජනතාවගේ අරමුදල්වලින් පවත්වාගෙන යන සේවක අර්ථ සාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල සහ වෙළෙඳ සේවා අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවක ලාභයෙන් 25%ක අධිභාරයක් අයකර ගැනීමට රජය සූදානම් වෙයි.

2022ක අයවැයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම යෝජනාව මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

මෙම බද්ද මඟින්, සේවක අර්ථසාධක අරමුදලෙන් පමණක් රුපියල් බිලියන 65ක් ඉවත්කර ගැනීමට රජයට අවස්ථාව ලැබෙනු ඇතැ යි විශේෂඥයින් පෙන්වා දෙති.




අලුත් නීතිය මොකද්ද?


2022 අයවැයෙන් යෝජනාකර තිබුණේ, 2020/2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2,000ට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක වරක් පමණක් අය කෙරෙන 25%ක අධිභාර (tax surcharge) බද්දක් පැනවීමට ය.

රජය මේ වන විට අධිභාර බද්ද නමින් වන කෙටුම්පත අලුත් පනත් කෙටුම්පතක් ලෙස ප්‍රසිද්ධ කර තිබේ. එය ඉදිරියේ දී සම්මතකර ගැනීමට නියමිත ය.

ඒ අනුව 2020 අප්‍රේල් 01 වැනිදායින් ආරම්භ වන තක්සේරු වර්ෂයේ රුපියල් මිලියන 2000 ඉක්මවන බදු අයකළ හැකි ආදායම් ලබන පුද්ගලයෙකු, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් එම ආදායමෙන් 25%ක අධිභාරයක් ගෙවිය යුතු ය. මෙය එක්වරක් පමණක් අයකෙරෙනු ඇත.



සේවක අරමුදල්වලට බලපාන්නෙ කොහොමද?


අධිභාර බද්ද පනත් කෙටුම්පතට අනුව සමාගමක් යනු කුමක්දැ යි අර්ථ නිරූපනය කළ යුත්තේ, 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ අර්ථයට සමානව යි.

එම අර්ථකනයට අනුව අර්ථ සාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, විශ්‍රාම පාරිතෝෂික අරමුදලක්, හෝ ඒ හා සමාන අරමුදලක් සමාගමක් ලෙස සැලකිය යුතු ය.

ඒ අනුව සේවක අර්ථසාධක, සේවක භාරකාර, වෙළෙඳ සේවා අර්ථසාධක ඇතුළු අරමුදල් ගණනාවක් සිය ලාභයෙන් 25%ක අධිභාරයක් රජයට ගෙවිය යුතු ය.

අර්නස්ට් ඇන්ඩ් යංග් බදු සේවා අංශ ප්‍රධානී දුමින්ද හුලංගමුව රූපවාහීනී සාකච්ඡාවකට එක්වෙමින් පසුගියදා පවසා සිටියේ, සේවක අර්ථ සාධක අරමුදල 2020 වර්ෂයේ දී රුපියල් බිලියන 265-270ක ලාභයක් ලබා ඇති බව යි.

ඒ අනුව අධිභාර බද්ද මඟින් සේවක අර්ථසාධක අරමුදලෙන් දළ වශයෙන් රුපියල් බිලියන 62ක්, සහ සේවා නියුක්ති භාර අරමුදලෙන් තවත් බිලියන 10ක් අධිභාරයක් ලෙස අයකර ගනු ඇතැ යි ඔහු සඳහන් කළේ ය.

හුලංගමුව පෙන්වා දුන්නේ, 2020 වර්ෂයේ දී සේවක අර්ථසාධක අරමුදල විසින් ප්‍රතිලාභ ලෙස 9%ක පොලියක් ප්‍රතිලාභීන් වෙත ගෙවා ඇති බව යි. අධිභාර බද්ද පැනවීමටත් සමග සේවකයින් වෙත ප්‍රතිලාභ ගෙවීම 5%- 6% දක්වා අඩුවනු ඇතැ යි ද ඔහු පෙන්වා දුන්නේ ය.




"වත්මන් රජය බලයට පැමිණි අවස්ථාවේ දීම ආදායම් බද්ද 24% සිට 18% දක්වා අඩු කළා. වැට් එක 8% දක්වා අඩුකළා. ජාතිය ගොඩැගීමේ බද්ද අයින් කළා. උපයන විට ගෙවීම බද්ද අයින් කළා. මම හිතන්නේ ඒ වෙනස්කම් කරපු එක දූරදර්ශී නැහැ," ඔහු පවසා සිටියේ ය. ඔහු පවසන්නේ එමගින් රජයේ අදායම විශාල වශයෙන් අඩුවූ බවයි.




"ආදයම් බද්ද එම අගයටම අවුරුදු 4ක් තිබ්බා නම් මේ සුපර්ගේන් ටැක්ස් එක අවශ්‍ය වෙන්නේ නැහැ."


dfgdfgr44අන්තර් සමාගම් සේවක සංගමය විසින් පසුගිය දා මේ ක්‍රියාවට විරුද්ධව උද්ඝෝෂණයක් ද පැවැත්වීය.




"මහබැංකු මංකොල්ලයට වඩා විශාල මංකොල්ලයක් මේ වෙන්නේ"


වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසා සිටියේ මින් සිදුවන්නේ රටේ සෑම සේවකයෙකුටම පහර වැදීමක් බව යි.

"සේවක අර්ථසාධක අරමුදලේ මුදල් තැන්පත් කළහම අපිට ලැබෙන ප්‍රතිලාභය තමා සේවක අර්ථසාධක අරමුදල උපයන ආදායම අපිට පොලියක් විදිහට ලැබෙන්නේ, සේවකයින්ට. ඒ උපයන ආදායම මත 25%ක බද්දක් ගන්නවා කියන්නේ දළ වශයෙන් බිලියන 60 - 65ක් විතර රජය ගන්නවා. රටේ ජනතාවට අයිතියක් තියෙන මුදල්වලින් බිලියන 65ක් රජය තමන්ගේ වියදම් වෙනුවෙන් බලහත්කාරයෙන් ලබා ගැනීමක් කරන්නේ," මහාචාර්යවරයා පවසා සිටියේ ය.

ඔහු පෙන්වා දුන්නේ, "රජය මේ වේලාවේ කරන වියදම් බැලුවම, වැඩ ලක්ෂය වගේ දේවල් රටේ වර්තමාන ප්‍රශ්නයට විසඳුමක් නොවෙයි," යනුවෙනි.




"ගමේ බෝක්කුවක් හැදුවේ නැහැ කියලා, ජොගින් පාත් එකක් හැදුවේ නැහැ කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ. මිනිස්සු මැරෙන්නේ බඩගින්නේ අද. මේ සල්ලි අරගෙන ඒවගේ ව්‍යාපෘතිවල ආයෝජනය කරනවා කියන්නේ ජනතාවගේ මුදල් අරගෙන තමන්ගේ පාක්ෂිකයින්ගේ සාක්කු පුරවනවා වගේ වැඩක්. තමන්ගේ හිතවත් අයනේ කොන්ත්‍රාත් කරන්නේ. මේක විශාල මංකොල්ලකෑමක්. මහබැංකු මංකොල්ලයට වඩා ලොකු මංකොල්ලයක් මේ වෙන්නේ."




"මේ බද්ද පනවන්නේ 2020ට. 2020 ලාභය අද වෙනකොට හවුල්කරුවන් හෝ කොටස්කරුවන්ට බෙදලා ඉවරයි ගොඩක් ආයතන. එතනම නීතිමය ගැටලුවක් තියෙනවා පසුගිය ලාභයකට බදු අය කිරීම සාධාරණ ද කියලා?" මහාචාර්යවරයා ප්‍රශ්න කළේ ය.

"මේ අවස්ථාවේ දී අපි කරන්න ඕනේ ව්‍යාපාර රැකගන්න එක මිසක් ව්‍යාපාර වට්ටන එක නොවේ. මේ වගේ බදු පැනවීම හරහා වෙන්නේ එන්න ඉන්න ව්‍යාපාරිකයෝ පවා වෙන රටවලට යන එක."

"අපි පහසුකම් සලසන්නේ නැතිව බදු පනවනවා. මේ ආයතන යන්න පුළුවන් වෙන රටවලට. අදටත් MAS, බ්‍රැන්ඩික්ස් වගේ ආයතන ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු අරන් ගිහින් තියෙනවා කෙන්යාව, නයිජීරියාව ඇතුළු අප්‍රිකානු මහද්වීපයට," මහාචාර්ය පෙරේරා පෙන්වා දුන්නේ ය.




වැඩ කරන ජනතාවගේ සල්ලිවලට තට්ටු කරන්නයි ආණ්ඩුව හදන්නේ - විපක්ෂ නායක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් රජයට බලකර සිටියේ මෙම කෙටුම්පත ප්‍රසිද්ධ කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත්කර ගන්නා ලෙස යි.

"අධිභාර බද්ද පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා වැඩ කරන ජනතාවගේ සල්ලි පික්පොකට් ගහන වැඩ පිළිවෙලක් ආරම්භ කරලා. අපේ රටේ ලොකුම අර්ථසාධක අරමුදල. මේකේ ට්‍රිලියන තුනක් තියෙනවා. 2020 වසරේ අර්ථසාධක අරමුදලේ ලාභය රුපියල් බිලියන 250ක්. 25%ක බද්ද තුළ රුපියල් බිලියන 65ක් මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලිවලට තට්ටු කරන්නයි මේ ආණ්ඩුව හදන්නේ," විපක්ෂ නායකවරයා චෝදනාකර සිටියේ ය.

"අලුතින් ආරම්භ කර තිබෙනවා වැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය දැන්. මේ වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියට වැඩ කරන ජනතාවගේ අර්ථසාධක සල්ලිවලින් 25%ක බද්දක් ගහලා, වැඩ ලක්ෂයේ වැඩසටහන තුළින් තමන්ගේ ගෝලබාලයින්ට සාත්තු සප්පායම් කරන්නයි මේ හදන්නේ," සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ය.

"මම මුදල් ඇමැතිගෙන් ඉල්ලා සිටිනවා මේ අසික්කිත ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්න එපා. මේ වැඩ කරන ජනතාවගේ සල්ලි හොරා කන්නට, මංකොල්ල කන්නට කටයුතු කරන්න එපා. කරුණාකරලා මේ ගැසට් එක හකුලා ගන්න. මේ ට්‍රිලියන තුනක අරමුදල පික්පොකට් ගහන මේ 25% බද්දෙන්, අර්ථ සාධක අරමුදල් සහ විශ්‍රාම අරමුදල් ඉවත් කරන්න."

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ මෙසේ බදු අයකිරීමට විපක්ෂය විරුද්ධ බව යි.

"සේවක අර්ථසාධක අරමුදලේ ආදායමට 25%ක අධිභාර බදු ගහන්න මේ රජය පෙර නොවූ විරූ අයුරින් කටයුතු කරමින් තිබෙනවා. අර්ථසාධක අරමුදලෙන් බදු අය කිරීමක් මෙයට පෙර ලංකා ඉතිහාසයේ කිසිදාක සිදුවී නැහැ. EPF අරමුදලෙන් 25%ක බදු අය කිරීමට විපක්ෂය සම්පූර්ණ විරුද්ධයැ"යි මන්ත්‍රී වික්‍රමරත්න ද පැවසුවේ ය.

"බැඳුම්කර වෝහාරික වාර්තා යට ගසමින් හොරු ආරක්ෂා කරමින් සිටින රජය දැන් සේවක අර්ථ සාධක අරමුදලටත් 25%ක බදු ගහන්න යනවා."

"ලක්ෂ 18ක් පමණ සේවකයන් තමා විශ්‍රාම ගැනීමෙන් පසුව පවුලේ අවශ්‍යතාවයක් සහ බොහෝදුරට ආයෝජනය කරන්නේ ඔවුන්ට ලැබෙන මේ විශ්‍රාම පාරිතෝෂිත මුදල යි. මෙම මුදල් බැංකු ගිණුමක තැන්පත්කර එම පොලියෙන් සේවකයන් විශ්‍රාම ජීවිතය ගත කරන්න මෙම මුදල ප්‍රයෝජනවත් වෙනවා.

යහපාලන රජය මේ ගැන හිතලා මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මේ ගිණුමේ මුදලට 15%ක උපරිම පොලී ගෙවන්න තීරණයක් ගත්තේ රට වෙනුවෙන් සේවය කළ අයට සහනයක් ලබා දීමේ අරමුණින්," මන්ත්‍රී වික්‍රමරත්න පෙන්වා දුන්නේ ය.

"සේවක අර්ථසාධක මුදල මෙසේ බදුවලට යටත් කිරීමට විපක්ෂය විරෝධය පළ කරනවා," ඔහු අවධාරණය කළේ ය.

"මේ රජය රටේ නැති ප්‍රශ්න මතු කරන ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය. 

 
කෙසේ නමුත්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල දි සිල්වා පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් පවසුවේ: "මේක මේ ගැසට් එකෙන් විතරක් ආපු එකක් නෙමේ. ආදායම් දෙපාර්තමේන්තුව මඟින් අර්ථ නිරූපනයක් කර තිබෙනවා. EPF සහ ETFවල මුදල්වලින් කෙරෙන ආයෝජනවලින් ලැබෙන මුදල්, පනත යටතේ ආදායමක් හැටියට ලැබෙන නිසා ඒකට ටැක්ස් ගෙවන්න ඕනේ කියලා."

"අපේ අමාත්‍යංශය පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා ඒ අර්ථ නිරූපනය වැරදියි කියලා. අපි මේක මහා භාණ්ඩාගාරයට දන්වලා තියෙනවා. දේශීය ආදායම් කොමසාරිස්වරයට දන්වලා තියෙනවා," ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන පර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පවසා සිටියේ, "පසුගිය යහපාලන රජය විසින් තමා මේ ආදායම් බදු පනත සම්මත කළේ. ඒ පනතේ විධිවිධානවලට අනුව තමා මේ නියමයන් කරලා තියෙන්නේ," යනුවෙනි.




වෘත්තීය සමිතිවලත් විරෝධය

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පවසා සිටියේ මෙම අධිභාර බද්ද පැනවීම තුළින් වාර්ෂිකව සේවකයින්ට ලැබිය යුතු පොලී ආදායමෙන් 3%ක් අඩුවෙන බව යි.

"සේවකයෝ වැඩ කරලාත් බදු ගෙවනවා. ආයෝජන ආදායමටත් බදු ගන්නවා. ඊට අමතරව සේවකයෝ 26 ලක්ෂයක අරමුදල් එකට එකතු කරලා ආයෝජනය කරලා, ඒකෙනුත් බදු ආදායම අරගෙන මේ සුපර් ගේන් ටැක්ස් එකක් ගන්න හදවා මිලියන 2000ට වැඩි නිසා කියලා."

"මේක බරපතල වැරැද්දක්. මේක අපරාධයක්. මේක කොල්ලයක්. මේ කොල්ලයට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කොල්ලකාරී ආණ්ඩුවක්. ආණ්ඩුව රටටත් ගහලා, සේවකයටත් ගහලා, අරමුදලටත් ගහලා කොල්ලකාලා අද රටේ ජනතාව අමාරුවේ දාලා තියෙන්නේ," වසන්ත සමරසිංහ අවධාරණය කළේ ය.


(BBC සිංහල සේවය) 

 
සබැඳි පුවත් :

අධිභාර බදු පනත පනවලා තියන්නේ පෞද්ගලික අංශයේ සේවකයා මත

 

 

Leader Whats app

 

 

 

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්