විසඳුම් සොයා ගැනීමට අසීරු සේ දිස්වන ආර්ථික අර්බුදයක ගිලී සිටින ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල

ආයෝජනයෙන් ලබන ආදායමට බද්දක් පැනවීමට ගෙන ඇති තිරණයට දිවයිනේ ප්‍රධානතම වෘත්තිය සමිති වල විරෝධය පළ වී තිබේ.

 වෘත්තීය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන 21 කින් සමන්විත ''පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය'' පෙන්වා දෙන්නේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව ගණනය කරනු ලබන 2020 අප්‍රේල් මස 01 වැනි  දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා බදු අයකළ හැකි ආදායම රුපියල් මිලියන දෙදහසක් ඉක්මවනු ලබන පුද්ගලයන්, ව්‍යාපාර සහ සමාගම් වලින් බදු අයකළ හැකි ආදායම මත 25% ක අධිභාර බද්දක් පැනවීමට රජය විසින් මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

 

එම අධිභාර බද්ද පෞද්ගලික විශ්‍රාම වැටුප් අරමුදල්, වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු අරමුදල්, වෛද්‍යාධාර අරමුදල් මෙන්ම සේවක අර්ථ සාධක අරමුදල සේවා නියුත්තීන්ගේ අරමුදල ඇතුලු සියලු සමාජ ආරක්‍ෂණ අරමුදල් සඳහාද බලාත්මක කෙරෙන බවට තමන් වෙත වාර්තා වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

 

එම  මධ්‍යස්ථානයේ සම කැදවුම්කරුවන් වන සිල්වෙස්ටර් ජයකොඩි හා රන්ජන් සේනානායක යන වෘත්තිය සමිති නායකයන් දෙදෙනාගේ අත්සනින් යුතුව පෙබරවාරි 11 වැනි සිකුරාදා නිකුත් කර තිබෙන නිවේදනය මගින් තව දුරටත් පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම සේවක අර්ථ සාධක අරමුදල 1958 වසරේදී විශේෂ පනතක් මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අර්ථ ලාභය වෙනුවෙන් පිහිටුවනු ලැබු අරමුදලක් වන අතර එවැනි සමාජ ආරක්‍ෂණ අරමුදල් සඳහා සේවකයා මෙන්ම සේවා යෝජකයා විසින්ද ඒකාබද්ධ දායකත්වය ලබා දෙන බවයි.

''සේවක අර්ථ සාධක අරමුදල කම්කරු කොමසාරිස්වරයා යටතේ පූර්ණ අධීක්‍ෂණය කෙරෙන අතර අරමුදලේ මූල්‍ය කළමනාකරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් සිදුකෙරේ. අරමුදලේ හිමිකාරිත්වය සාමාජිකයින් සතුවන අතර සිදුකරන ආයෝජන වලින් 90% ක්ම රාජ්‍ය මූල්‍ය ආයතන තුළ සිදුකරනු ලබයි.''

 සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු  මෙම සියලු සුබ සාධක හා සමාජ ආරක්‍ෂණ අරමුදල් වලින් දැනටමත් රජය විසින් බදු අයකර ගැනීමක් සිදුකරන අතර අරමුදලට දායක වන ශ්‍රමිකයන් සිය සේවා කාලය තුළදීද, සේවයෙන් විශ්‍රාම ගිය පසුවද විවිධ අයුරින් බදු ගෙවීම් වලට යටත් වේ.

 සියලු පාරිභෝගික භාණ්ඩ සඳහා පනවා ඇති වක්‍ර බදු වලට අමතරව 14% ක ආදායම් බද්දක් මෙම අරමුදලේ ඉතිරිය ආපසු ලබාගැනීමේදී ද අයකරනු ලබයි.

 

ඉතාම සොච්චම් වැටුපකට හිමිකම් කියන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අර්ථ ලාභයෙන් උපයන යම් මුදලක් වේ නම් එය රජය විසින් හඳුන්වාදීමට යන නව අධිභාර පනත මගින් 25% ක බද්දකට යටත් කිරීමට නිර්දේශ කර තිබීම බලවත් අපරාධයක් ලෙස පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

 

''රාජ්‍ය සේවක විශ්‍රාම වැටුපටද එම අනුවේදනීය ඉරණම අත්වීමට නියමිත අතර ජීවන බරින් මිරිකී සිටින වැඩකරන ජනතාව ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කර සිය අනාගතය පිණිස, දුවාදරුවන්ගේ යහපත පිණිස ඉතිරි කර ගන්නා එම මුදලට මෙලෙස බදුපිට බදු ගැසීම මානුෂීය නොවන ක්‍රියාදාමයක් ලෙස සලකමු.''

 බොහෝ විදේශීය රටවල පවා සමාජ ආරක්‍ෂණ අරමුදල් සියලු ආකාරයේ ආදායම් බදු වලින් පූර්ණ වශයෙන් නිදහස් කොට ඇත.

 සමාජ ආරක්‍ෂණයේ ඇති වටිනාකම මෙන්ම ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් කැපවෙන බවට ප්‍රතිඥා ලබාදෙමින් ජනතාවගේ ජනවරමින් බලයට පැමිණි රජයක් ලෙස එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරනු වෙනුවට මෙවැනි විනාශකාරී තීන්දු ගැනීම අතිශය කණගාටුදායක බව වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දෙති.

 එසේම පවතින සෞඛ්‍යමය ගැටලු හා සකලවිධ ආර්ථික පසුබෑම් තුළ රටේ වැඩකරන ජනතාව මෙන්ම සෑම ජන කොටසක්ම මේවන විට දැඩි අපේක්‍ෂාභංගත්වයකට පත්ව ඇති අතර රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක මෙම සමාජ ආරක්‍ෂණ අරමුදල් වලින් මේ අයුරින් අධිභාර බද්දක් අයකර ගැනීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි සිය නිවේදනය මගින් ඔවුන් වැඩි දුරටත්  අවධාරණය කර ඇත්තේ.

 

රාජ්‍ය හා පෞද්ගලික ශ්‍රම බලකාය රටේ සංවර්ධනයේ ප්‍රධාන නියමුවන් වන අතර එම අඩිතාලම බිඳ වැටුනහොත් තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් අනාගත පුරෝකථනයන් සිදුකිරිම ඉතා අසීරු වනු ඇති  බව පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයන් තව දුරටත් පෙන්වා දෙන්නේ එසේම රටේ යහපැවැත්ම වෙනුවෙන් රජයක් ලෙස සැමවිටම මහජනතාවගේ පැත්තේ හිඳිමින්, ඔවුන්ගේ සමාජ සුරක්‍ෂිතභාවය තහවුරු වන පරිදි තීන්දු තීරණ ගැනිම සිදුකළ යුතු බවයි.

 

''එබැවින් මෙම නව අධිභාර බදු පනත් කෙටුම්පත මගින් අසරණ සේවකයන්ගේ සමාජ ආරක්‍ෂණ අරමුදල් තවදුරටත් අවදානමකට පත් නොකර, එම 25% ක අධිභාර බද්ද, සුභ සාධක හා සමාජ ආරක්‍ෂණ අරමුදල් වලින් අය නොකිරීමට කටයුතු කරන ලෙසට අප රජයේ සියලු වගකිවයුතු පාර්ශව වෙත දන්වා ඇත.''

 එසේ නොවන්නේ නම් මෙම සමාජ ආරක්‍ෂණ අරමුදල් සුරක්‍ෂිත කරගැනීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් සමගින් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යොමුවීම   කටයුතු කරන අතර ඒ සඳහා සහාය ලබාදෙන පොදු මහජනතාවගෙන් හා සියලු මාධ්‍ය ආයතන වෙතින් ද පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය ලෙස  හෝදරාත්මකව ඉල්ලා සිටි.

 ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමය,  ලංකා වතු සේවා සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, එක්සත් කම්කරු සම්මේලනය,  තැපැල් හා විදුලි සංද්ශ නිලධාරීන්ගේ සංගමය,  ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය, එක්සත් පොදු සේවා සංගමය, වාණිජ හා කාර්මික සේවක සංගමය, රක්ෂණ සේවක සංගමය,  තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, දුම්රිය ‍ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, ටෙලිකොම් ඉංජීනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය,  ආහාරල බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය, ස්වාධීන තටාක සේවක සංගමය,  ජාතික නිදහස් වෘත්තීය සමිතිය, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, ලංකා වැවිලි සේවා සංගමය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය,  PEOTECT සංගමයෙන් පොදු දේපල හා මානව හිමිකම් සුරකීමේ මධ්‍යස්ථානය සමන්විතය.


කම්කරු ඇමැතිගේ ප්‍රතිචාරය


කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ආයෝජනයෙන් ලබන ආදායම මුල්‍යමය ආදායමක් සේ සලකා බදු ගෙවීමට සුදානම් නොමැති  බවයි.

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙබරවාරි 9 වැනිදා පාර්ලිමේතුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අරමුදල් ආයෝජනයෙන් ලබන අදායම මුල්‍යමය අදායමක් සේ දේශීය අදායම් කොමසාරිස් අර්ථ  නිරූපණය කිරීම පිළිබඳ තමන් විරුද්ධත්වය පළ කළ බවය.

 ''මේක මේ ගැසට් එකෙන් විතරක් ආපු එකක් නෙමෙයි. මීට පෙර ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් අර්ථ නිරූපණයක් කරලා තියෙනවා EPF, ETF වල මුදල්වලින් කෙරෙන ආයෝජනවලින් ලැබෙන මුදල් ඒ පනත යටතේ ආදායමක් හැටියට එන නිසා ඒකට බද්දක් ගෙවන්න ඕන කියලා. නමුත් අපේ අමාත්‍යාංශය පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා. ඒක වැරදියි.. දැන් මාස ගාණක් තිස්සේ අපි ඒක දන්වලා තියෙනවා. ඒක අපේ ස්ථාවරය.''

''ආදායම් බදු කොමසාරිස්තුමා අපෙන් ඉල්ලලා තියෙනවා මේක ගෙවන්න කියලා. අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා.'' අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩි දුරටත් පවසා තිබුනි.


සබැඳි පුවත් :


'අධිභාර බද්ද වැඩකරන ජනතාව මංකොල්ලකෑමක්'!

අධිභාර බදු පනත පනවලා තියන්නේ පෞද්ගලික අංශයේ සේවකයා මත

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්