කොළඹ වරාය ආසන්නයේ ගිනි බත්වූ 'එක්ස් ප්‍රෙස් පර්ල්' නෞකාව මගින් පිළිකා කාරක විෂ රසායන මුහුදට එක් කර ඇති බවට ජාත්‍යන්තර පරිසර සංවිධානයක් හෙළිදරව් කර තිබේ.


''නොපෙනෙන රසායනික, විෂ රසායනික මිශ්‍ර, ප්ලාස්ටික් මුහුදට එක් කළ; `එක්ස් ප්‍රෙස් පර්ල්`නැවේ;තෙල් ඉසිරුම''  නමින්, දුෂක තුරන්කිරීමේ  ජාත්‍යන්තර ජාලය හා පරිසර යුක්ති කේන්ද්‍රය එක්ව සිදුකල අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙන්නේ, යුරෝපා සංගමයේ පිළිගත් ආරක්‍ෂිත ප්‍රමිතිය ඉක්මවා ගිය 'පොලි ඇරෝමැටික හයිඩ්රො කාබන්'  (PAH) නම් පිළිකා කාරක රසායනිකය මෙම නාවුක අනතුරින් මුහුදට එක්වී ඇති බවයි.

'ප්ලාස්ටික් පෙලට්' පමණක් ටොන් 1680ක් ප්‍රවාහනය කරමින් තිබුණු බවට වාර්තා වන 'එක්ස් ප්‍රෙස් පර්ල්' නැව ගිනි බත්වූ බටහිර වෙරළේ මීගමුව-සරක්කුව, බෝපිටිය, පානදුර සහ කළුතර ප්‍රදේශවලින් එකතු කරගත් ප්ලාස්ටික් පෙලට් සහ පිළිස්සුණු ප්ලාස්ටික් කැබලි නියදි චෙකොස්ලෝවැකියාව ප්‍රාග් නුවර රසායන විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරය තුලදී පරීක්ෂාවට ලක් කොට තිබේ.

 ඒ මගින් අනාවරණය වී ඇත්තේ විඛාදනශීලී හා පිළිකා කාරක රසායනික, මෙන්ම හෝමෝන ක්‍රියාකාරීත්වයට හානිකර රසායනික අයත් වන බවයි.



ඉතිහාසයේ සිදු වූ බරපතලම `ප්ලාස්ටික් පෙලට්` විසිරුම X-Press Pearl නෞකා අනතුරින් පෙන්නුම් කරන්නේ නැව්වල  ප්‍රවාහනය කෙරෙන  රසායනික සහ ප්ලාස්ටික් අඩංගු විශාල කන්ටේනර් වල ඇති අවදානම ගැන  වහා ක්‍රියාත්මක වියයුතු බව IPEN සහ පරිසර යුක්ති කේන්ද්‍ර අධ්‍යයන වාර්තාව මගින් පෙන්නුම් කර ඇත.


''ලෝකයේ වෙළඳභාණ්ඩ වලින් සියයට 90ක් ම වගේ අද වෙනකොට ප්‍රවාහනය කරන්නේ නැව් මඟින්. මේ වෙනකොට කන්ටේනර් යාත්‍රා ප්‍රමාණය විශාල වෙලා තියෙනව වගේම 'සංකීර්ණ මිශ්‍රණ'  ප්‍රවාහනයට යොදා ගැනීමත් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා මේ අනතුර අපි තෙල් විසිරුමක්, විදියට සලකන්න අව්‍යශ්‍යයි. අද මේ නාවික ගමනාගමන රටාවත්  එක්ක බැඳුනු අනතුරු වළක්වගන්නසහ ඒවාට මුහුණදෙන්න හැකි විදියේ නීති සකස් කර ගැනීමත් කළ යුතුයි,''  යැයි විෂ රසායනිකවලින් මිනිසාට සහ පරිසරයට වන හානිය වැළැක්වීමට ක්‍රියා කරන රටවල් 120ක, ක්‍රියාකාරී රාජ්‍ය නොවන සංවිධාන 600කට වඩා වැඩි ගණනකින් සමන්විත, දුෂක තුරන් කිරීමේ ජාත්‍යන්තර ජාලයේ විද්‍යා සහ තාක්ෂණික උපදේශිකා තෙරේස් කාල්සන් අවධාරණය කරන්නීය.

මෙම අධ්‍යයන වාර්තාව මගින් පෙන්වා දෙන්නේ දැනට පවතින නීති මේ සඳහා ප්‍රමාණවත් නොවන බවය. එහෙත් ජාත්‍යන්තර සමුද්‍ර සංවිධානයේ  සුරක්ෂිතතාවය පිළිබඳ කොමිසම මේ වනවිට, මුහුදේ විසිරෙන 'ප්ලාස්ටික් පෙලට්' ගැන මෙන්ම, සාමාන්‍යයෙන් වසරකට මුහුදේ දී අතුරුදන් වන කන්ටේනර දහසක ප්‍රමාණයක් සොයා ගැනීමටද සාකච්ඡා පවත්වයි.

'ප්ලාස්ටික් පෙලට්' අන්තරාකාරී ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කරන මෙන් ඉල්ලා  ලංකාව ද මෙම කොමිසම හමුවේ  යෝජනාවක් භාරදී තිබේ.



අන්තරාකාරී භාණ්ඩ මුහුදින් ප්‍රවාහනයේදි සිදුවිය හැකි සමුද්‍ර දූෂණය වළක්වාලීම සඳහා දැනට පවතින නාවුක කටයුතු හා බැඳුනු නීති, සහ සම්මුතීන් පිළිබඳ විශ්ලේෂණයක් ද මෙම ජාත්‍යන්තර අධ්‍යයන වාර්තාවෙන් ඉදිරිපත් කරයි.



ආචාර්ය තෙරේස් කාල්සන්, හේමන්ත විතානගේ, චලනි රූබසිංහ යන පාරිසරික උපදේශකයින් දායක වී සකස් කළ මෙම වාර්තාව මගින් නැව ගිනිබත් වූ බටහිර වෙරළේ ගම්පහ, කොළඹ, කළුතර දිස්ත්‍රික් වල ජන ජිවිතයට කළ බලපෑම් ද සමීක්ෂණයට ලක් කරමින් වෙරළ සහ ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශ දූෂණය වීම නිසා ආදායම් මාර්ග අහිමි වීම, ධීවර ආම්පන්න වලට හානි සිදු වීම, මත්ස්‍ය අස්වැන්න අඩු වීම, මුහුදේ ස්වභාවය වෙනස් වීම, සහ අනතුරින් පසු ඇතැමුන් ආසාත්මිකතාවලට ලක්වීම ආදී කරුණු අනාවරණය කර තිබේ.

''මේ අනතුරට ඉස්සරින් වෙරළේ ඉඳලා කි. මී. 3ක දුරකට යන තෙක් අපි මාලු ඇල්ලුව. අස්වැන්නත් හොඳට තිබුණා. අපි පාවෙන දැල් භාවිතා කරලා තමයි, ටෝර්පිඩෝ ස්කැඩ්මාළු, ෆ්‍රිගේට් ටූනා, යෙලෝෆින් ටූනා, කුඩා මාළු, ආදි හොඳ අස්වැන්නක් නෙලා ගත්තේ. නමුත් මේ සිද්ධියෙන් පසුව ධීවරයෝ පාවෙන දැල් අතහැර දැම්මා. දැන් අස්වැන්නක් නැති තරම්. දැල්ලන් කිලෝ 2ක්වත් අල්ලගන්න ලැබෙන්නේ නැති බව අසල්වැසි ධීවරයොත් කියනවා.  අපේ දැල්වල සුදු පාට කෙඳි පැටලී තිබෙනව අපිට දකින්න පුළුවන් වුණා. ඒවා අයින් කරන්න  උත්සාහ කළත්, සාර්ථක වූයේ නැහැ. ඒ දැල් තවත් භාවිතා කිරීමට නොහැකි නිසා  සමහරු ඒවා පුළුස්සා දැම්මා. නිලධාරීන් ඇවිත් අපේ දැල් නිරීක්ෂණය කරලා ගියා විතරයි. කවුරුවත් අපට වන්දියක් නම් දුන්නේ නැහැ,'' යි කළුතර උතුර මුහුදේ ධීවර කර්මාන්තයේ  යෙදුණු කේ.ඒ. කරුණාරත්න ගේ කරුණු දැක්වීම මෙම අධ්‍යයන වාර්තාව මගින් උපුටා දක්වයි.


2021 මැයි මස කොළඹ වරායට නුදුරින් ගිනිබත් වූ 'එක්ස් ප්‍රෙස් පර්ල්' වැනි නාවික අනතුරු වලක්වා ගැනීමත්, එවැනි දෙයින් සිදු විය හැකි පාරිසරික මෙන්ම පුද්ගලයන්ට සිදුවිය හැකි උපද්‍රව වලින් ආරක්ෂා වීමට සාමාන්‍ය ජනතාව ලෙස, මෙවැනි නාවුක අනතුරකින් පසු වෙරළට ගසාගෙන එන අපද්‍රව්‍ය වෙත ලඟාවීමේදී සියලුම ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම, ආරක්ෂිත බව තහවුරු කරන තෙක් කිසිදු ද්‍රව්‍යයක් අත්වැසුම් රහිතව ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම, වගකිව යුතු ආයතනවල සිට ජනතාවටත්, ජනතාව සතු තොරතුරු වගකිව යුතු ආයතන වෙතත් ලැබෙන පරිදි තොරතුරු හුවමාරු  යාන්ත්‍රණයක් සැකසීම, ශ්‍රී ලංකාවේ  සුවිශේෂී ආර්ථික කලාප තුළ මෙවැනි ඉසිරීම්, අනතුරු වළක්වා ගැනීම, පිළියම් යෙදීමට යාන්ත්‍රණ සකස් කර ගැනීමත්, සෑම වරායකටම අන්තරායකර ද්‍රව්‍ය කළමනාකරණය ගැන ප්‍රමාණවත් දැනුමකින් යුත්  පුද්ගලයින් බඳවා ගැනීම, මෙවන් අනතුරකින් පසුව ධීවර කර්මාන්තයේ යෙදීමට තහනම් කරන ප්‍රදේශ හඳුනා ගනිමින්, ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීම සහ HNS සම්මුතිය (Hazardous and Noxious Substances Convention) ක්‍රියාත්මක කිරීම, IPEN සහ පරිසර යුක්ති කේන්ද්‍රය  විසින් අධ්‍යයනය අවසන නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරයි.

 

 

Leader Whats app

 

 

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා