යෝජනාවට විරුද්ධව ඡන්ද 153 ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 49 ක් පමණි.
යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුද ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් ද ඡන්දය ප්‍රකාශ කළහ.
මෙය වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයෙකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පළමු විශ්වාසභංග යෝජනාවයි.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පෙරවරු දහවල් 11.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්විණ. වි
වාදය ආරම්භ කරනු ලැබුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා විසිනි.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය.
විපක්ෂයේ මන්ත්‍රීවරු බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය භාරදී තිබුණේ රාජ්‍ය මූල්‍ය පාඩුව, ජාතික බලශක්ති ආරක්ෂාව අනතුරේ හෙළීම, දූෂිත ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය හැසිරවීම, 'දූෂණය වරද' සඳහා ක්‍රියාකාරී අධිකරණ ක්‍රියාමාර්ගයන්ට ලක්වීම සහ රජයේ 'දූෂණ විරෝධී ජනවරම' පාවාදීම තුළින් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ විශ්වාසය ආපසු හැරවිය නොහැකි ලෙස අහිමිකරගෙන ඇති බව හා ඔහු දිගින් දිගටම බලශක්ති අමාත්‍ය ධුරයේ රැඳී සිටීම මහජන යහපතට, නීතියේ ආධිපත්‍යයට සහ යහපාලන මූලධර්මවලට පටහැනි බව සඳහන් කරමිනි.
ආනයනය කෙරුණු ගල් අඟුරු බාල නමුත් දූෂණයක් සිදුව නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක්
ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් පත් කරන බව මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම කොමිෂන් සභාව පත් කරන බවද ඔහු කීවේය.
පසුගිය 2009 වසරේ සිට මේ දක්වා ගල් අඟුරු නැව් 465ක් පැමිණ ඇති බවත් මේ සියලු ආනයනයන් පිළිබඳව මෙහිදී කරුණු සොයා බලනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වරදක් කර ඇතිනම් ඔහු හිරේ යනු ඇති බවත් අනික් අය වැරදි කර ඇත්නම් ඔවුන් ද හිරේ යනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.




