තමාගේ පාලන කාලයේ අද තිබෙන ප්‍රශ්න කිසිදෙයක් නොතිබුන බවත්, රටේ ජනතාව ඉතාම සතුටින් හොඳින් ජීවත් වූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.


ඔහු මේ බව සඳහන් කළේ, යාපනයේ ඊයේ (20) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

පසුගිය මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ උඩප්පිටිය ආසනයේ දී මෙම සමුළුව කැඳවා තිබුනේ එහි වෙසෙන ජනතාවට ගෞරවය දැක්වීමක් ලෙසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් යාපනය නෙල්ලිඅඩි වඩමාරච්චි ප්‍රදේශයේ කොලින්ස් ක්‍රීඩාංගණයේදී පැවති එම සමුළුවට අති විශාල දෙමල ජනතාවක් සහභාගී වී සිටියේය. මෙම සමුළුව සංවිධානය කර තිබුනේ, ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ජනාධිපති ධුරයෙන් සමුගත් පසු වව්නියා සහ යාපනය දිස්ත්‍රික්කයේ සිදුකල ප්‍රථම සංචාරය මෙය වන අතර ඔහු එම සමුළුවට සභාභාගී වුයේ යාපනයේ නාග විහාරය, නල්ලූර් කෝවිල සහ කතෝලික දෙව් මැදුර වැඳ පුදා ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුවය.

එහිදී හිටපු ජනාධිපතිවරයාට යාපනයේ දෙමළ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවූ අතර ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උතුරෙන් මන්ත්‍රීවරයෙක් ලෙස අංගජන් රාමනාදන් තෝරා පත්කර ගනිමින් පාර්ලිමේන්තුවට එවීම සම්බන්ධව උඩප්පිටිය ආසනයේ දෙමල ජනතාවට හිටපු ජනාධිපතිවරයා ස්තූතිය පළ කළේය.

අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් යටතේ උතුරේ දෙමළ ජනතාවගේ ආර්ථික සහ සමාජීය ගැටළු විසඳන බවත්, ජනාධිපතිධූර  කාලයේ දී උතුරේ ජනතාවට ලබාදුන් සංවර්ධනය අනාගතයේ නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් යටතේ සිදුකරන බවත් ශ්‍රීලනිප සභාපතිවරයා මෙහිදී සහතික විය.

දෙමළ ජනතාවගේ තිබෙන ගැටළු හොඳින් අවබෝධ කරගත් නායකයෙකු ලෙස උතුරු ධීවර ජනතාවගේ ප්‍රශ්නය බැරෑරුම් ප්‍රශ්නයක් ලෙස තමා දකින බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් මෙන්ම සුරේන් රාඝවන්, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රීවරුන් සහභාගී විය.

{gallery}Maitripala{/gallery}

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේ සඳහන් කළේය.

"හොරකම නැති දූෂණය නැති දේශපාලන නායකයින් සිටින පක්ෂයක් විදිහට අපි මේ පක්ෂය ජනතාවාදිව ඉදිරියට ගෙනයනවා. මේ රටට අවශ්‍ය වන්නේ හොරකමෙන් දූෂණයෙන් තොර පාලනයක්. පසුගිය අවුරුදු 25ක් 30ක් මේ රටේ දේශපාලනඥයෝ හොරකමට පුරුදුවෙලා ජනතාවගේ දේවල් හොරකම් කරනවා, පොදු සම්පත් හොරකම් කරනවා. ඒ නිසා මේ අසරණ පොදු ජනතාවට වැඩකරන නායකයින් අවශ්‍යයි.

අපි දන්නවා තමුන්නාන්සේලාට අද ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ තියෙන ප්‍රශ්න මුළු රටේම ජනතාවට තියෙනවා. රටේ විශාල අර්ථික අර්බුදයක් තිබෙනවා. රටේ කෘෂිකර්මාන්තයේ ලොකු අර්බුදයක් තියෙනවා. ගොවි ජනතාවට ප්‍රශ්න රැසක් ඇතිවෙලා තියෙනවා. ගොවි ජනතාවට වැඩකරන්න පොහොර නැහැ. ඒ නිසා කෘෂිකර්මාන්තය ලොකු පහත වැටීමකට ලක්වෙලා තියෙනවා. අපි ඉතාම කණගාටුවෙනවා ඒ තත්ත්වය ඇතිවී තිබීම ගැන.

මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසිදෙයක් තිබුණේ නැහැ. රටේ ජනතාව ඉතාම සතුටින් හොඳින් ජීවත් වුණා. බඩු මිල පහත වැටිලා තිබුණා. ඒ වගේම මුළු ලෝකයේ නායකයින් සියලුදෙනාම මිත්‍ර කරනගෙන තිබුණා. ඒ නිසා මේ රට කරන්න ලෝකයේ සියලුම නායකයෝ මට සහාය දුන්නා."

 

 

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්