1200 x 80 DMirror

දශක ගණනාවක් පුරා සමාජ, ආර්ථික සහ දේශපාලනිකව පීඩාවට පත්ව සිටින කඳුකර දෙමළ ජනතාව ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමට ලංකා ආණ්ඩුවට

බලපෑම් කිරීමට මැදිහත් වන ලෙස ජාත්‍යන්තරයෙන් කෙරෙන ඉල්ලීම තවත් අදියරක් පෙරට ගොස් තිබේ.

''ජපන් ආණ්ඩුව ලංකාවේ රජයත් එක්ක තියෙන මිත්‍රත්වය පාවිච්චි කරලා මලයහ තමිල් ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න ලංකා ආණ්ඩුවට බල කරන්න කියලා අපි ජපානෙන් ඉල්ලා හිටියා,'' යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

මෙරට සිටින ජපන් තානාපති හිදෙකි මිසු කෝෂි වෙත කඳුකර දෙමළ ජනතාවගේ සමාජ හා දේශපාලන අභිලාෂයන් ඇතුලත් ලියවිල්ල ලබා දුන් දෙමළ ප්‍රගතිශීලි පෙරමුණු නායකයා මෙම ඉල්ලීම කර තිබේ.

කොළඹ පිහිටි ජපන් තානාපතිගේ නිල නිවසේ පැවති මෙම හමුවේදී කඳුකරයේ අධ්‍යාපනය සංවර්ධනය කිරීමට අදාළ ඉල්ලීම් මාලාවක් ද තානාපතිවරයා වෙත යොමු කළ බව මනෝ ගනේෂන් කියයි.

කඳුකරයේ දෙමළ ජනතාව මුහුණ දෙන අභියෝග, පවතින දේශපාලන වාතාවරණය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සමුළුව ගැන ද දෙපාර්ශවය අතර මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.

 

''උතුරු නැගෙනහිර ජීවත්වෙන දෙමළ ජනතාව ගැන මම ටිකක් දන්නවා. කඳුකර දෙමළ ජනතාව ගැන තවත් විස්තර දැනගෙන ඔවුන්ට උදව් කරන්න කැමතියි. ලංකාවේ ජිවත් වෙන ජන කණ්ඩායම් වලින් දෙමළ කතා කරන කඳුකර දෙමළ ජනතාව වෙනම කොටසක් ලෙස සළකා මින් පස්සේ කටයුතු කරනවා, '' යැයි ලංකාවේ ජපන් තානාපති මිසු කෝෂි පවසයි.

 

ඔහු පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවේ කඳුකරයේ දෙමළ ජනයාගේ ගැටළු ගැන නිශ්චිතව සඳහන් වී නොමැති බවයි.

ඒ සඳහා දේශපාලන නායකත්වය දීමට දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ ක්‍රියා කරමින්, පියවරෙන් පියවර කඳුකර දෙමළ ජනයාගේ ගැටළු ගැන ජාත්‍යන්තරය දැනුවත් කරන බව මෙම හමුවට එක්ව සිටී පලනි දිගම්බරම්, වේලුසාමි රාධාක්‍රිෂ්ණන් යන එම පෙරමුණේ නායකයන් පැහැදිලි කර තිබේ.

කඳුකර දෙමළ ජනතාව පිලිබඳව යුරෝපා සංගමේ සාමාජික රටවල් දැනුවත් කිරීමට ප්‍රංශ ආණ්ඩුව මුලිකත්වය ගන්නා බව ඉකුත් සතියේදී  මනෝ ගනේෂන් හමුවූ මෙරට ප්‍රංශ තානාපති සහතික වී තිබිණි.

දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ කණ්ඩායමක් ප්‍රංශ තානාපති වරයා ඉදිරි දිනවල දී හමුවීමට ද නියමිතය.



සබැඳි පුවත් :


මනෝගේ ඉල්ලීම නිසා කඳුකර දෙමළ ගැටළු ජාත්‍යන්තරයට යයි


The Leader TV අද වීඩියෝ

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය