එක අරමුණක් වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් පැමිණ රොද බැඳ සිටින ජනතාව ජනාධිපති කාර්යාලය අසල පවත්වන විරෝධාතවට අදට දින 05 කි.
ඊයේ රාත්‍රියේත් වැසි නොතකමින් ජනතාව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූයේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමිනි.
දේශපාලන පක්ෂ පාට අමතක කොට ලක් මවගේ අභීත පුත්‍රයන් ලෙස විරෝධතාවයට එක්ව සිටින මේ පිරිසට මහා සංඝරත්නය , කලාකරුවෝ සහ නීතිඥවරු වෘත්තිය සමිති නායකයන් ඇතුළු විශාල පිරිසක් ඊයේ දිනයේත් සහය පළ කළහ.
'අරගලයට ජය වේවා' - රෝහණ වීරසිංහ
මේ අතර අද දිනයේද කලාකරුවන් රැසක් තරුණ අරගලයට සහය පළකිරීම සඳහා ජන අරගල භූමියට එක්වීමට නියමිතය.
විශිෂ්ට සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ, සුනිල් ආර්, ගමගේ (මහ රජාණෙනි ගීතය ලියු) , වසන්ත කුමාර කොබවක ඇතුළු පසුගිය මැතිවරණ වලදී රාජපක්ෂවරුන් වෙනුවෙන් සහය පලකල කලාශිල්පීන් රැසක් අද පෙරවරුවේ දී අරගල භූමියට එක්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
ආචාර්ය රෝහණ වීරසිංහයන් ස්වකීය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ඊයේ පවසා තිබුනේ, රාජපක්ෂලාට කඩේ යෑම පිළිබඳව බරපතල පශ්චාත්තාපයකින් පසුවන බවත්, එය තමන්ගේ ජීවිතයට එක් වූ මැකිය නොහැකි කළු පැල්ලමක් බවත් ය.
නන්දා මාලනිය සහ සුනිල් ආරත්නයන් ගිය අරගල භූමියට තමන්ට යන්නට නොහැකි වීම පිළිබඳව උපන් පශ්චාත්තාපයෙන් යුතුව එම සටහන තබන ආචාර්ය වීරසිංහයන් හොරකම- දූෂණය – වංචාව පවුල්වාදය-අවනීතිය-අකාර්‍යක්ෂමතාව-නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගත බව කියයි.
අරගලයට ජයවේවායි ප්‍රාර්ථනා කරමින් රෝහණ වීරසිංහයන් තැබූ සටහන මෙසේය.
රට පුරා ම විරෝධතා:
මේ අතර කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව රටේ පවතින තත්වයට එරෙහිව රට පුරා පැවැත්වෙන විරෝධතා ද තවදුරටත් අඛණ්ඩව පැවැත්වේ.
ඌව පරණගම මස්පන්න නගරයේදී ජනතාව සහ ගොවීන් විරෝධතාවක නිරත විය.
බණ්ඩාරවෙල නීතීඥයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් ඊයේ බණ්ඩාරවෙල නගරයේදී පැවැත්විණ.
ඔවුහු බණ්ඩාරවෙල අධිකරණයේ සිට බණ්ඩාරවෙල බස් නැවතුම්පළ දක්වා පා ගමනින් පැමිණ විරෝධය පළ කළහ.
රටේ පවතින ආර්ථික අර්බුදයට වහා විසඳුම් දෙන්නයි ඉල්ලමින් දෙණියාය නගරයේදී ද ඊයේ විරෝධතාවක් පැවැත්විය.
වයඹ ඉංජිනේරු සංගමය කුරුණෑගල නගරයේදී විරෝධතාවක නිරත විය.
මේ අතර මහනුවර නගරයේද ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් පැවැත්විණ.
The Leader TV අද වීඩියෝ