theleaderlk 01

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් ලිට්‍රෝ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වේ.


2022 අප්‍රේල් 14 වන දින සිට තමා සභාපතිධූරයෙන් මා ඉල්ලා අස්වන බව දැනුම් දෙමින් ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

ගෑස් සම්බන්ධව උද්ගත වී ඇති මෙම අර්බුධකාරී තත්ත්වය අභ්‍යන්තර ආයතනික මට්ටමෙන් පමණක් විසඳාගත නොහැකි අතර මෙය විසඳාගත හැකි වනුයේ රටේ සමස්ත ආර්ථික ක්‍රියාදාමයේ නියැලී සිටින්නන්ගේ සහයෝගයෙන් පමණක් බවත් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.

රුපියල අවප්‍රමාණය වීම, ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමට ඇති නොහැකියාව, රාජ්‍ය හා පෞද්ගලික බැංකු පද්ධතියේ ඇති අර්බුදකාරි තත්ත්වය සහ විදේශ ආයතනයන් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සිදුකර ඇති පුරෝකථනයන් යනාදිය ආයතනික මට්ටමෙන් ලිට්‍රෝ ආයතනයට විසඳිය නොහැකි ගැටලූන් බව ඔහු කියා සිටයි.

තෙෂාර ජයසිංහ විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.


අප පැතූ දුෂණයෙන් වංචාවෙන් තොර වූ රාජ්‍ය පාලනය කෝ ? 



පෞද්ගලික අංශයේ මූල්‍ය ආයතනයක් තුළ ඉහළ විධායක ශ්‍රේණියේ නියුක්තිකයකු ලෙස සේවය කරමින් සිටි මා පිළිබඳව විශ්වාසය තබමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් ලෙස ඔබතුමා විසින් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමෙහි සභාපතිවරයා ලෙස මා පත්කරමින් තැබූ විශ්වාසය සම්බන්ධව ප්‍රථමයෙන් කෘතඥ පූර්වක ස්තූතිය පුදකර සිටිමි.

2019 නොවැම්බර් 17 වන දින බල පෙරලියත් සමග අප පැතූ දුෂණයෙන් වංචාවෙන් තොර වූ රාජ්‍ය පාලනයක් තුළින් සෞභාග්‍යවත් දේශයක් කරා යාමේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල උදෙසා ඔබතුමාට අවශ්‍ය ශක්තිය ලබා දීමේ අරමුණින් යුතුව ඔබතුමාගේ ආරාධනයෙන් මෙම පත්වීම මම ගතිමි.



2021 ජූලි 26 වන දින මා බාර ගනු ලැබුවේ දූෂණ අක්‍රමිකතා වලින් පිරුණු, රාජ්‍ය මූල්‍ය විගණනයක් පවා නොතිබුණු රාජ්‍ය ආයතනයකි. එබැවින් මා ප්‍රථමයෙන්ම සිදු කරනු ලැබුවේ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මූල්‍ය විගණනයෙන් ඉවත් කිරීම සඳහා මට පෙර සිටි පාලනය විසින් විගණකාධිපතිවරයාට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඉවත් කරගනිමින්, එය යළි විගණකාධිපතිතුමාගෙ විගණනයට යටත්කොට ආයතනය තුළ මූල්‍යමය විනිවිදභාවයක් ඇතිකිරීමය.




එමෙන්ම මට පෙර පැවති පාලනාධිකාරිය විසින් පාරිභෝගිකයන් වංචනික ලෙස රවටමින් සංයුතිය වෙනස් කරමින් වෙළඳපොළ වෙත නිකුත් කර තිබූ ලීටර 18 ගෑස් සිලින්ඩරය නැවත නිකුත් කිරීම අත් හිටුවීමට ද මා පියවර ගන්නා ලදි.

ඉන්පසුව මෙරටට ගෑස් ආනයනය කරනු ලබන විදේශීය සමාගම් සමග එළඹෙන ගිවිසුම් පිළිබඳව මාගේ අවධානය යොමුවූ අතර, ඒවායේ නිගමනයන් වූයේ එම ගිවිසුම් තුළ විශාල වශයෙන් දූෂණ වංචා ඇති බවයි.




අප රටට බිලියන ගණනින් මුදල් අහිමි වන එම අන්තර්ජාතික මාෆියාවන් පිළිබඳව මා ඔබතුමා දැනුවත් කළ අතර ඔබතුමාගේ ආශීර්වාදය මධ්‍යයේ එම වංචා සහගත ගිවිසුම් වලට එරෙහිව කටයුතු කරන්නට මම මාගේ වපසරිය තුළ දැඩි පරිශ්‍රමයක් යෙදුවෙමි.



කෙසේ නමුත් එය එතරම් සුවදායි පහසු කාර්යයක් නොවන බවට මා හට අවබෝධ වූයේ, එම මාෆියාවන් හෙළි කිරීමත් සමග පරිපාලනමය සහ සමාජයීය වශයෙන් ලිට්‍රෝ සමාගමෙහි පාලනාධිකාරියට විටින් විට එල්ල වූ විවිධ බාධාවන් හේතුවෙනි. ඉන් අනතුරුව ගෑස් සම්බන්ධව සිදු වූ සියලූ අර්බුධයන්හි සිද්ධි දාමය යම් තිර පිටපතකට අනුව අධ්‍යක්ෂණය වන්නක් බව මා හට පසක් වුණි.


''මුදල් ඇමතිගේ සහයක් ලැබුනේ නැහැ ''



මා ධූරයේ රාජකාරී බාරගත් දිනයේ සිට ජනාධිපතිතුමන් ලෙස ඔබතුමාගේ ආශීර්වාදය නිබඳව මා හට ලැබුණ නමුදු, මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අයත් විෂය පථය බාරව සිටි වගකිවයුතු අමාත්‍යවරයාගේ හෝ මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහය මා වෙත නිසියාකාරව නොලැබුණු බව කනගාටුවෙන් වුව ද ප්‍රකාශ කරමි.

කෙසේ නමුත් අභිනවයෙන් පත්වූ විෂයභාර අමාත්‍යතුමා සහ රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රමුඛ මූල්‍ය ක්ෂේත්‍රයට නායකත්වය ලබාදෙන නව කණ්ඩායම මෙම කෙටි කාලය තුළදී ලබාදුන් සහයෝගය පිළිබඳව කෘතඥ වෙමි.

බහුතරයක් ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන මැති ඇමතිවරුන් සිදුකර සිටියේ මෙම අර්බුදය මැඩ පවත්වාගැනීමට සහය ලබාදීම වෙනුවට විවිධ සාවද්‍ය ප්‍රචාරණ සිදුකරමින් මෙම අර්බුදය තව තවත් උත්සන්න කිරීමට උත්සහ කිරීමයි.

එයට හේතුව වන්නෙ මුල සිටම මාගේ ප්‍රතිපත්තියේ රැඳෙමින් දූෂණ අක්‍රමිකතාවන්ට කිසිදු සහයක් ලබා නොදීම ද යන්න වග මා ඉදිරියේ ඇති ප්‍රශ්නාර්ථයකි.

ඔවුන්ගේ එම ප්‍රයත්න සියල්ල ඉවසීමෙන් දරාසිටිමින් මාගේ වගකීම මෙතෙක් දුරට ඉටු කිරීමට මම තීරණය කර සිටියේ වෘත්තිකයෙකු ලෙස ඔබතුමාගේ රජය හා සම්බන්ධවෙමින් දුෂණ අක්‍රමිකතාවලින් හෙබි රාජ්‍ය යාන්ත්‍රණය තුළ අදූෂිකත්වය වෙනුවෙන් ක්‍රියාකාරීව ‍යම් දෙයක් හෝ කිරීමට මාගේ තිබූ දැක්ම මතය.

මෙම පටු දේශපාලනික තත්ත්වය ලිට්‍රෝ සමාගමට පමණක් නොව අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි ද බලපවත්නා බව මාගේ හැඟීමයි.

මේ සියලූ කාරණා පිළිබඳව සලකා බලා, ගෑස් අර්බුදය සහ ඉන් ඔබ්බට ගොස් වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධය මා තුළ පවත්නා ප්‍රතිපත්තිමය කරුණු කාරණා මත 2022 අප්‍රේල් 14 වන දින සිට සභාපතිධූරයෙන් මා ඉල්ලා අස්වන බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි.



ගෑස් සම්බන්ධව උද්ගත වී ඇති මෙම අර්බුධකාරී තත්ත්වය අභ්‍යන්තර ආයතනික මට්ටමෙන් පමණක් විසඳාගත නොහැකි අතර මෙය විසඳාගත හැකි වනුයේ රටේ සමස්ත ආර්ථික ක්‍රියාදාමයේ නියැලී සිටින්නන්ගේ සහයෝගයෙනි. මන්ද, රුපියල අවප්‍රමාණය වීම, ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමට ඇති නොහැකියාව, රාජ්‍ය හා පෞද්ගලික බැංකු පද්ධතියේ ඇති අර්බුදකාරි තත්ත්වය සහ විදේශ ආයතනයන් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව සිදුකර ඇති පුරෝකථනයන් යනාදිය ආයතනික මට්ටමෙන් ලිට්‍රෝ ආයතනයට විසඳිය නොහැකි ගැටලූන් වේ.



රටේ මූල්‍ය කලමනාකාරීත්වයට අදාළව රාජ්‍ය මුදල් පරිපාලනය පිළිබඳව වගකීම සහ නියාමනය බාර ආයතනයන්හි පෙර සිටි බලධාරීන්ගේ නොසැලකිල්ල සහ අපරික්ෂාකාරී පිළිවෙත් නිසාවෙන් හෝ හිතාමතාම ඉතිහාසය තුළ මෙම අර්බුධය ඉතා පහසුවෙන් විසඳීමට අවශ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට ප්‍රයත්නයක් හෝ නොදැක්වීම හරහා ජනතාව පීඩාවට පත්වීමට ඉඩ හැර අවශ්‍ය පියවර නොගැනීම ජුගුප්සාජනක අත්දැකීමක් විය.

කෙසේ නමුත් අභිනව මුදල් අමාත්‍යතුමා ප්‍රමුඛ නව කණ්ඩායමට මෙම අර්බුදය විසඳාගැනීමට වුවමනාව සහ ඒ සඳහා අවශ්‍ය කරන පරිපාලනමය දැක්ම ඇති බව නිරීක්ෂණය කළෙමි.

මාගෙ දැනුමට අනුව, මට හැඟෙන පරිදි වර්තමානයේ රට තුළ පවතින ගෑස් අර්බුදය ඉතා පහසුවෙන් විසඳාගත හැකිව තිබූ අතර තවමත් එයට ප්‍රමාද නැත. ඒ පිළිබඳව නිර්දේශ මා ඔබතුමා ඇතුලූ වගකිව යුතු සියලූ පාර්ශවයන් වෙත මාස ගණනාවකට පෙර සිට ලබාදී ඇත.

අප රට බරපතල විදේශ විනිමය අර්බුධයකට ලක්ව ඇති මේ මොහොතේ, ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ණය පහසුකම් යටතේ ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය මූලික කටයුතු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා දැනටමත් මා සිදු කර ඇති අතර එය ඉදිරියට කරගෙන යාම තුළින් අඛණ්ඩ සැපයුම් ජාලයක් පවත්වාගෙන යාමට හැකිවනු ඇත.

 මේ මොහොතේ හෝ සිට එම නිර්දේශ ක්‍රියාත්මක කරමින් පොදු මහජනතාව මෙම පත්ව ඇති පීඩාකාරී තත්ත්වය මැඩපවත්වා ඔවුන් හට සහනයක් ලබා දීමට ඔබතුමන්ගේ මැදිහත්වීම සිදු කරන ලෙෂ කාරුණිකව ඉල්ලා සිටිමි.



ඉතිහාසයේ ප්‍රථම වතාවට 2022/23 වසර සඳහා ගෑස් ආනයන කිරීමේ ගිවිසුම සඳහා අතිශය පාරදෘශ්‍ය සහ විනිවිදභාවයකින් යුතුව සියලූ තානාපති කාර්යාල දැනුවත් කරමින්, කැබිනට් මණ්ඩල‍ය විසින් පත්කරන ලද ටෙන්ඩර් කමිටුවක් හරහා ලංසු ලබාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ අතර එය ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවේවා යැයි මම අපේක්ෂා කරමි.



අභ්‍යන්තර පීඩනයන්ට මුහුණ දෙමින් මෙතෙක් දුරට හෝ මෙම තනතුරෙහි රැඳී සිටීමට මා ක්‍රියා කළේ ගෑස් යනු අත්‍යාවශ්‍ය සේවාවක් බැවින් සැපයුම් ජාලය කෙසේ හෝ පවත්වාගෙන යාම හරහා මහජනතාව විඳින පීඩාව යම්තාක් දුරට හෝ සමනය කිරීම වෙනුවෙනි.

මාගේ මේ ධූරයෙන් ඉවත් වීම ඔබතුමා හට ඒ කර්තව්‍යය සිදු කිරීමට අවශ්‍ය දිරිගැන්වීමක් ලෙස ඔබතුමා සලකනු ඇතැයි විශ්වාස කරන අතර රාජ්‍ය යාන්ත්‍රණය නිසියාකාරව පවත්වාගෙන යාම උදෙසා ඔබතුමාට අවශ්‍ය ශක්තිය ධෛයය ලැබේවා යැයි මම ප්‍රා ර්ථනා කරමි.

 

Gass Latter 1
'එකමුතුව' නමැති සංවිධානයේ කැඳවුම්කරු වන තෙශර ජයසිංහ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේදී එම සංවිධානය හරහා ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් සිදුකල අයකු ලෙස සැලකේ. ඒ අනුව ගෝඨාභය ජනාධිපති ධුරයට පත්වූ වහාම ඔහුව තරුණ සේවා සභාවේ සභාපති ලෙස පත්කරනු ලැබිය.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ අනිල් කොස්වත්ත ඉවත්කර තෙසර ජයසිංහ සභාපති ලෙස පත්කළේ 2021 ජුලි 08 වෙනිදා ය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නියෝගයක් මතය. 

 
The Leader TV අද වීඩියෝ 


Leader Whats app

 

 

 

 

නවතම පුවත්