ශ්‍රී ලංකාවට එවා තිබූ ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා තිස් හතර වසරකට ඉහත නැගෙනහිරදී මාරාන්තික

උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ මාතාවකට නමස්කාර කිරීමට දෙමළ ජනතා නියෝජිතයන් ගත් උත්සාහයක් පොලීසිය විසින් වළකා තිබේ.

 මඩකලපුවේ නාවලඩි ග්‍රාමයේ පූපති මෑණියන්ගේ ස්මාරකය අසලදී ඇය අනුස්මරණය කිරීම සදහා අප්‍රේල් 19 වැනි අඟහරුවාදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී.අරියනේන්ද්‍රන් සහ ජී. ශ්‍රී නේෂන් උත්සාහ කළ අවස්ථාවේදී නිල ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනා වළක්වා ඇත්තේ අධිකරණයෙන් ලබා ගත් තහනම් නියෝගයක් ඉදිරිපත් කරමිනි.

 එල්.ටී.ටී.ඊ ය වෙනුවෙන් උපවාසයක නිරතව සිටියදී මිය ගිය පුපති කනපතිපිල්ලෙයි අනුස්මරණය කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව හිටපු ජනතා නියෝජිතයන් දෙදෙනාට දැනුම් දුන් පොලිස් නිලධාරියෙක් එහිදී සදහන් කර ඇත්තේ තම නිවෙස් තුළ ඇය අනුස්මරණය කිරීමට බාධාවක් නොමැති බවයි.

 

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ පූපති මෑණියන් අනුස්මරණය වැඩසටහන් පැවැත්වීම වළකාලමින් අප්‍රේල් 18 වැනි සදුදා  මඩකළපු මහේස්ත්‍රාත් අධිකරණය දෙමළ ජනතා නියෝජිතයන් ඇතුළු 11 දෙනෙකුට තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

 

පා. ම ගෝවින්දන් කරුණාකරම්, පා. ම රාසමානික්‍යම් ශානක්‍යන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී.අරියනේන්ද්‍රන්, එස්. යෝගේෂ්වරන්, ජී. ශ්‍රී නේෂන්, මඩකලපුව නගරාධිපති ත්‍යාගරාජා සරවනබවන්, නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී ඊ. ප්‍රසන්තා, ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ අංශයේ නායක කේ. සෙයෝන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ අංශයේ මඩකලපු දිස්ත්‍රික් නායක එල්. දිවාකරන්, සිවිල් සංවිධාන නායකයකු වන එස්. සිවයෝගනාදන් සහ වාලච්චේන ප්‍රදේශයේ ගුණසේකරම්  වෙත මඩකළපු මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.

“අන්නෙයි පූපති” (පූපති අම්මා) නාමයෙන් ගෞරවාදරයෙන් අමතනු ලබන දස දරු මාතාවක් වන කනපතිපිල්ලේ පූපති, 1988 මාර්තු 19 වැනිදා මාරාන්තික උපවාසයක් ඇරඹුවා ය. ඒ එදා ඉන්දීය සාම සාධක හමුදාව විසින් ශ්‍රී ලංකාව තුළ ගෙන යන ලද මානව හිමිකම් උල්ලංඝණ හා සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව, එම හමුදාව මේ බිමෙන් පිටමං කරන ලෙස ඉල්ලා සිටිමිනි.

 එදින සිට දින 32 ක් පුරා නිරාහාරව සිටිමින් තම ඉල්ලීම වෙනුවෙන් ඇය ගෙන ගිය  උපවාසය නිමා වුයේ  ජීවිතයට සමු දෙමිනි.

 ඇය අත අවි නොවීය. ඉල්ලා සිටියේ නිදහස පමණි.

 

අවිහිංසාවාදී ලෙස තම ජනතාව වෙනුවෙන් ගෙනගිය සටනේ යුක්ති සහගත බවත්, පොදු යහපත පතා ඇය පෙන්නුම් කළ උතුම් පරිත්‍යාගයත් වෙනුවෙන් ජනතා උපහාරය වූයේ පොදු මාතෘත්වයක් ඇය වෙත බාර කරමින් “පූපති අම්මා” ලෙස අමතනු ලැබීම යි.

 

මියගිය අය සිහිකිරීම හා ඔවුන් වෙනුවෙන් යාඥා කිරීම, ඔවුන්ගේ මරණ අනුස්මරණයේදී දී ඔවුන්ට වැඳුම් පිඳුම් කිරීම හින්දු සම්ප්‍රදායයේ ඉතා වැදගත් චාරිත්‍රයක් ලෙස සැලකේ.

 පූපති මෑණියන් අනුස්මරණය කිරීම වළකාලමින් අධිකරණ නියෝග නිකුත් කර තිබීම සම්බන්ධයෙන් අප්‍රේල් 19 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් සදහන් කළේ රට දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබියදීත් දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින් සිදු කරන ක්‍රියා තවමත් ආණ්ඩුව නතර කර නොමැති බවයි.

 පූපති මෑණියන් දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් උපවාස කළේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් බව පවසන මන්ත්‍රීවරයා එහිදී ආණ්ඩුවෙන් වැඩි දුරටත්  ප්‍රශ්න කළේ ඇය අනුස්මරණය කිරීමේ වැළැක්වුයේ කුමන පදනමකින්ද යන්නයි.

 දෙමළ ජාතික සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් පාර්ලිමේන්තුවේදී සදහන් කළේ දෙමළ ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් උපවාසයේ යෙදී සිටියදී මිය ගිය පූපති මෑණියන් තමන් පාර්ලිමේන්තුවේදී  සිහිපත් කරන බවයි.

 පසුගිය කාලය පුරාම අඛණ්ඩව වසරක් පාසා පූපති මෑණියන් වෙනුවෙන් ගරුබුහුමන් දැක්වීමට ඇයගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිස් කටයුතු කළ නමුත් ගිය වසරේදීත් පූපති මෑණියන් අනුස්මරණය කළහොත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි බවට අනතුරු අගවමින් කාත්තන්කුඩි පොලිසිය විසින් ඇගේ පවුලේ ඥාතීන් වළක්වා තිබුනි.

 මඩකලපු දිස්ත්‍රික්කයේ නාවලඩි හි ඇයගේ ස්ථාපිත කර තිබෙන තාවකාලික ස්මාරකයකදී ඇය අනුස්මරණය කිරීමේ සම්ප්‍රදායික ආගමික යුතුකම ඉටු කිරීම වළක්වමින්, පසුගිය වසරේද කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඇගේ ඥාතීන් වෙත කුරිරු නෛතික බාධකයක් ලෙස, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන ඉදිරිපත් කරන ලදී.

.
 
 
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්