ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමින් අද (06) දිවයින පුරා හර්තාල් ව්‍යාපරයක් පැවැත්වේ.


රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති දහසකට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම හර්තාලය නම් කර ඇත්තේ 'ජන මතයට හිස නමනු ආණ්ඩුව ගෙදර යනු'වෙනි.

මේ හේතුවෙන් අධ්‍යාපන, ප්‍රවාහන, වතු, රාජ්‍ය අංශයේ මෙන්ම සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතුවලට බලපෑම් එල්ල වි තිබේ.

වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ, හර්තාලයට එක්වන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.



ප්‍රවාහනයට දැඩි බලපෑම්..



හර්තාලයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වි ති‍බේ.

පෞද්ගලික බස් රථ හිමියන් හා දුම්රිය සේවකයින් හර්තාලයට සහය පළ කරමින් වැඩ වර්ජනයක් ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පි. විතානගේ ප්‍රකාශ කළේ, දුම්රිය සේවකයින් රැසක් වැඩබිම්වලින් ඉවත්වි ඇති බවයි.

කෙසේ වෙතත් ලංගම බස් රථ අද දිනයේ සාමාන්‍ය පරිදි ධාවනයට යොදවන බව එහි සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළේ ය.



සෞඛ්‍ය වෘත්තිය සමිති හර්තාලයට එක්වේ



මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ද අද හර්තාලයට සහය පළ කර තිබේ.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර ප්‍රකාශ කළේ, තම සංගමය අද සේවයෙන් ඉවත්ව හර්තාලයට සහය පළ කරන බවයි.

හෙද හෙදියන් රැසක්ද අද වැඩ වර්ජනයේ නිරත වේ.

මේ අතර පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවල වෘත්තිකයින් රැසක්ද අද හර්තාලයට එක්වී ඇත්තේ සේවාවලින් ඉවත්වයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ද ඒ අතර වෙති.

අද දහවල් රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධාන කරමින් හර්තාලයට සහය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.



පාසල් වැසි යයි



හර්තාලය හේතුවෙන් පාසල් කටයුතු ද අද නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.

අද පාසල් ළමුන් ප්‍රවාහනයෙන් ඉවත්වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ සභාපති මල් ශ්‍රි ද සිල්වා පැවසී ය.

ග්‍රාම නිලධාරිවරුන් ද හර්තාලයට සහය පළ කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්‍ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පැවසී ය.

මේ අතර හර්තාලය හේතුවෙන් අද බැංකු කටයුතු ද අඩපණ වී ති‍බේ.

වෘත්තිය සමිති ප්‍රකාශ කළේ, හර්තාලයට සමගාමිව ‍කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමින් උද්ඝෝෂණ සංවිධාන කර ඇති බවයි.



පාස්පෝට් කාර්යාලයේ වැඩ ඇනහිටී...



මේ අතර එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා අද ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසී ය.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති හර්තාලයට සහයෝගය දැක්වීම පිණිස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන බව දැනුම් දීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

එක්දින සේවා සඳහා වේලාව වෙන්කරගත් ඉල්ලුම්කරුවන්ට රජයේ වැඩකරන වෙනත් ඕනෑම දිනක එක්දින සේවාව වෙත පැමිණිය හැකි බව වියානි ගුණතිලක වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර ගමන් බලපත්‍ර නිකුත් කිරි‍මේ එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවා අද ක්‍රියාත්මක නොවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසී ය.



ආගමන විගමන ලොක්කෝ VIP වැඩවලින් ඉවත් වෙති



කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයන්හි ආගමන හා විගමන රාජකාරි කටයුතු (වී.අයි.පී) සහ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතු අද  (6) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

රටේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය විසදීම සඳහා පාලකයන් ජාතික වැඩපිළිවෙළක් සකස් කර නිශ්චිත විසදුමක් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කියයි.  

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල ගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය එසේ පවසයි.

මීට අමතරව විශේෂ සත්කාර මගීන් සඳහා වන සේද මාවත මගී නිශ්කාශන කටයුතුවලින් ද ඉවත්වීමට ඔවුන් තීරණය කර තිබේ.



'හර්තාල් සාමකාමීව පවත්වන්න' - පොලිස් මූලස්ථානය


වෘත්තිය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර වලට අයත් කණ්ඩායම් සහ අනිකුත් සංවිධාන විසින් අද (06) ක්‍රියාත්මක කර ඇති හර්තාල්  ව්‍යාපාරය සාමකාමීව පවත්වන ලෙසට පොලිස් මූලස්ථානය මහජනයා වෙත දැනුම් දෙයි .

ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබාදී ඇති අයිතියට පොලිසිය විසින් ගරු කරන බවත්, එම අයිතියට මුවාවී  අන් අයගේ අයිතිය යටපත් කරමින් කටයුතු  නොකරන්නැයි  පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී .

 

279846773 540788334078815 3586788978578450922 n

279930299 540788404078808 7551346014676299051 n

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්