ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (11) දහවල් ජනාධිපති මන්දිරයේදී සිදුව ඇත.
සමගි ජන බලවේගයේ ප්‍රධානියකු වන සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ඊට සහභාගිවී ඇත්තේ, ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව ය. එහිදී වත්මන් දේශපාලන තත්වය හා ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ජා කර තිබේ.
අලුත් ආණ්ඩුවක් සැදීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය තමාට ලබාගත හැකි බව ෆීල්ඩ් මාෂල් වරයා මෙහිදී සඳහන් කර ඇතැයි ද වාර්තාවේ.
සමගි ජන බලවේගයේ ප්‍රධානියකු වන ෆීල්ඩ් මාර්ෂල්වරයා මෙසේ ජනාධිපතිවරයා හමුවන්නේ, අගමැති ධුරය බාරගනිමින් ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත කල ආරාධනය ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති තත්ත්වයක් තුලය.
සජබ මන්ත්‍රීවරුන් 20ක් තීරණයක් ගනියි !
මේ අතර පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදිය හැකි ඕනෑම කෙනෙකු අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත් කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇතැයි 'නෙත් නිව්ස්' වාර්තා කරයි,
'නෙත් නිව්ස්' වාර්තාවට අනුව, එම මන්ත්‍රීවරුන් ඊයේ රාත්‍රි කොළඹදී රැස්වී ඒ පිළිබද සාකච්ඡා කර ඇති අතර එලෙස තීරණය කර ඇති සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ගණන 20 කි.
පක්ෂ දේශපාලනය පසෙකලා අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට සජිත් ප්‍රේමදාස කටයුතු නොකිරීම හේතුවෙන් තමන් එම තීරණය ගත් බවද එම මන්ත්‍රී කණ්ඩායම වැඩිදුරටත් සදහන් කර ඇතැයි නෙත් නිව්ස් වැඩිදුරටත් කියා සිටියි,
කෙසේවුවද සජබ මන්ත්‍රීවරයකු පැවසුයේ පක්ෂයෙන් ස්වාධින වීමට මේවනවිට තීරණය කර ඇත්තේ, හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බවයි.
ස්වාධින කණ්ඩායමෙන් නම් 3 ක්!
මේ අතර අග්‍රාමාත්‍ය ධුරය සදහා නම් තුනක් යෝජනා කරමින් පක්ෂ 11 සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ ලිපියක් යොමු කර ඇති බවද වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම සහ නිමල් සිරිපාල ද සිල්වාගේ නම් අග්‍රාමාත්‍ය ධුරය සඳහා එලෙස යෝජනා කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.
රනිල් හෙට අගමැති ධුරයේ දිව්රුම් දෙයි ?
මේ අතර මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට ( (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන 'ලංකාදීප' පුවත්පතට පවසා ඇත.
රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර ඊයේ රාත්‍රී සාකච්ඡාවක්ද පැවැත්වුනු අතර අද (12) පෙරවරුවේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
''මේ සතිය තුල අගමැතිවරයෙක් පත්කරනවා'' - ජනාධිපති
මේ අතර ඊයේ රාත්‍රී ජාතිය අමතමින් ජනාධිපතිවරයා පැවසුයේ, මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයගේ විශ්වාසය දිනාගත් සහ ජනතාවගේ විශ්වාසය තහවුරු කළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් පත්කරන බවයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ රටේ දේශපාලන අස්ථාවරත්වය ඇතිවීමෙන් පසු පළමුවරට ජාතිය අමතමින් ඊයේ (මැයි 11) එබව පැවසීය.
ජනාධිපතිවරයා කියා සිටියේ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මකවන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටද තමා කටයුතු කරන බවයි.
''දේශපාලන ස්ථාවරත්වයක් නැත්නම් අස්වෙනවා' - මහබැංකු අධිපති
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (මැයි 11) පැවති මාධ්‍ය හමුවකදී පැවසුයේ, සතියක් හෝ දෙකක් තුළ දේශපාලන ස්ථාවරයක් ඇති නොවන්නේ නම්, තමා ධුරයේ රැඳී නොසිටින බවයි.
මහ බැංකු අධිපතිවරයා,අවධාරණය කළේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර නොගන්නේ නම්, ආර්ථිකය ගොඩනැංවීම කළ නොහැකි බවයි.
මෙරට දේශපාලනය අස්ථාවර වීමේ පළමු සිද්ධිය මිරිහානේ වූ සිදුවීම බවත් තමන් මහ බැංකු අධිපති ධුරයට භාර ගැනීමට කැමැත්ත පළ කළේ ඊට පෙර බවත් ඔහු සඳහන් කළේය.
ඔහු පැවසුවේ සති දෙකක් වැනි කාලයක් තුළ එම තත්ත්වය ස්ථාවර වනු ඇති බවටත් අනතුරුව ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකව කර ගැනීමට හැකි වනු ඇති බවටත් තමන් බලාපොරොත්තු වූ බව ය.
එහෙත් මේ වන විට පැවති තත්ත්වය උග්‍ර වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ඊයේ (මැයි 11) පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.
මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ, සියලු දේශපාලන පක්ෂ එකතු වී රට ස්ථාවර කිරීමට කටයුතු නොකරන්නේ නම්, තමන්ට පමණක් නොව කිසිවෙකුට රට ගොඩගැනීමට නොහැකි බවයි.
"මම මේකේ හිටියා කියලා විසඳුමක් වෙන්නේ නැහැ. ඒක තනියම මට හෝ කවුරු මේ තනතුරට ආවත් මහ බැංකුවක් විසින් තනියම මේ රට ගොඩගැනීමට බැහැ ඒ අත්‍යවශ්‍ය ස්ථාවරත්වය රටේ නැත්නම්. එතකොට රටේ හැමෝම අමාරුවේ වැටෙනවා. හැමෝම අරාජික තත්ත්වයට පත් වෙනවා. එවැනි පාලන ක්රමයක මහ බැංකු අධිපතිවරයෙකු ලෙස කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැහැ.
මම ඒක පැහැදිලිව කියලා තියෙනවා සියලු ම දේශපාලන පක්ෂවලට, ජනාධිපතිතුමා ඇතුළුව හැමෝටම මම ඒ පණිවිඩය දීලා තියෙන්නේ. ගිය සතියේ මේක සිද්ධ වුණාට පස්සේ මම ඒ පණිවිඩය දුන්නා ඒ හැමෝට ම."
''සාමකාමී අරගල කරන අයට නීති විරෝධී ලෙස පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා''
මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ "සාමකාමී අරගල කරන අයට නීති විරෝධී ලෙස පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඊට පස්සේ සිදු වෙච්ච සිද්ධි ඒ ආකාරයෙන්ම පිළිගත නොහැකි තත්වයක්. ගෙවල් ගිනි තැබීම, මිනීමැරීම්, නීතිය අතට ගැනීම් යම් යම් කණ්ඩායම්. ඒවට විරුද්ධව යම් කිසි ආකාරයක නීති රාමුව යටතේ කටයුතු නොකිරීම, එහෙම කටයුතු පවතින මොනම රටකවත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්න බැහැ. බොහොම අසීරු කාර්යයක්. බොහොම අසීරු කාර්යයක් අපි මෙතෙක් කල් කරගෙන යන අතරතුරේ මේ වගේ දේවල් සිද්ධ වෙනකොට රටේ නීතිය හා සාමය හරියට ක්‍රියාත්මක වෙන් නැති තත්වයක, රටේ යම්කිසි ප්රචණ්ඩත්වයක් සිදුවෙමින් පවතිනවා නම් එතනට අවශ්‍ය විදිහට ක්‍රියාමාර්ග නිසි ආකාරයෙන් පවතින් නැත්නම් ඒ රටේ ආර්ථික ස්ථායිතාව හෝ යම් අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ එන්න ඒක උදව්වක් වෙන්නැහැ."
ඔහු වැඩිදුර අවධාරණය කළේ, "රටේ ආර්ථිකය ගොඩනැගීමට ස්ථාවර දේශපාලන තත්ත්වයක් පැවතීම අත්‍යාවශ්‍යයි. දැන් අපි පත් වෙලා තියෙන්නේ රටේ අගමැති කෙනෙක් නැති, මුදල් ඇමති කෙනෙක් නැති, පාර්ලිමේන්තුව යම්කිසි ක්‍රියාදාමයක් නැති, විධායක ජනාධිපති වරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය තත්ත්වයක. හැකි ඉක්මනින් යම්කිසි ආකාරයක ස්ථාවර පාලන ක්‍රමයක්, ස්ථාවර රජයක්, රටේ තියෙන්න දැන් තියෙන තත්ත්වය සමථය කළ හැකි නීතිය හා සාමය මීට වඩා හොඳ ආකාරයට පවත්වාගෙන හැකි රජයක පැවතීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා වගකීම තියෙන්නේ ජනතාව විසින් පත් කරගත්තු ඒ නියෝජිතයින් 225 දෙනාට සහ ජනාධිපතිතුමා කියන ජනතා නියෝජිතයින්ට."