ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත වූයේය.


එහිදී පනතට පක්ෂව 120 දෙනෙකු ඡන්දය භාවිතා කළ අතර විරුද්ධව ඡන්ද 36 ක් හිමිවූයේය. මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියහ.

මෙහිදී සිදුවූ සුවිශේෂී කරණය වන්නේ මෙම පනත් කෙටුම්පතට සංශෝධන ගෙන එන බවට ජනාධිපතිවරයා ඊයේ (08) රාත්‍රී විදුලිබල වෘත්තීය සමිතිවලට දුන් පොරොන්දුව නොතකා මෙම පනත් කෙටුම්පත සම්මත වීමයි.  

එසේ ජනාධිපතිවරයාගේ කීමට පිටුපා ක්‍රියාකිරීමට විරෝධය පළකරමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඡන්දය ප්‍රකාශ නොකොට පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව ගොස් ඇත.

ඊයේ රාත්‍රී විදුලි වර්ජනය ආරම්භ වු අවස්ථාවේදී ජනාධිපතිවරයා වෘත්තීය සමිති නායකයින්ට දුරකථන ඇමතුම් ලබාදෙමින්, කාරක සභා අවස්ථාවේ දී අදාල පනත සඳහා වෘත්තීය සමිති විසින් ඉල්ලා ඇති සංශෝධන ගෙන එන බැවින් වර්ජනය අත්හරින ලෙස ඉල්ලා තිබිණ. විදුලි වෘත්තීය සමිති වර්ජනය තාවකාලිකව අත්හැරීමට තීරණය කර තිබුනේ ඒ අනුවය.

එහෙත් පනත් කෙටුම්පත සම්මත කිරීමේදී එම සංශෝධන කිසිවක් ඉදිරිපත් කර නොමැතිබව වාර්තාවේ.

මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා විදුලිබල අමාත්‍යවරයාට දුමින්ද දිසානායක ගේ සහ පමිත තෙන්නකෝන් හිටපු අමාත්‍යවරුන් දෙදෙනාගේ සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබී තිබේ.

මේ වනවිට දින 14ක් යන තුරු විදුලි වර්ජනයක් නොවීම සඳහා අධිකරණ නියෝගයක් ගෙන තිබේ. ජනාධිපතිවරයා විසින් ඊයේ නික්තු කළ විශේෂ ගැසට් නිවේදනයකින් විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇත.



''පුනර්ජනනීය නංගි පෙන්වා දූෂිත අක්කාව ජනතාවගේ කරමතට''


අද දින (09) පැවති ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසුයේ, පුනර්ජනනීය නංගි පෙන්වා දූෂිත අක්කාව ජනතාවගේ කරමතට පටවා ඇති බවයි.

පුනර්ජනනීය ගැටලුවක් ඉදිරියට දමමින් පුනර්ජනනීය වන නොවන සියලුම ව්‍යාපෘති සම්බන්ධයෙන් ටෙන්ඩර් කැදවීමේ අවශ්‍යතාවය අහෝසිකර දූෂිතයන්ට  ඉඩකඩ විවර කිරීමට දරන වෑයමට තමන් විරුද්ධ බව ඔහු එහිදී සඳහන් කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ අදහස් දැක්වීය.


''අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත සම්මත කළ යුත්තේ ඇයි? ඒ පිළිබඳව ඇමතිතුමා ඉතා අපූරු හේතු ගණනාවක් පසුගිය දින කීපයේ ඉදිරිපත් කළා. ගම්මන්පිල ඇමතිතුමාගේ ගෙදර සෝලා පැනල් එකට සබඳතාවය දෙන්න මාස හයක් විදුලිබල මණ්ඩලය ගත්තා. විදුලි බිල 300% කින් වැඩි කිරීමට ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක මගේ සාක්කුවේ තියාගෙන මම ඉන්නවා.  විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප වසර තුනකට වතාවක් සියයට 25කින් වැඩි කරන්නට වෙලා තියෙනවා. මේ පනත සම්මත නොකළොත් පුනර්ජනනීය විදුලිය කරන්නට වෙන්නේ නැහැ. ජනතා ද්‍රෝහීන් විදිහට තමුන්නාන්සේලා ලේබල් වෙන්නට ඉඩ තියෙනවා.

අගමැතිතුමාත් නිකන් හිටියෙ නැහැ. එතුමාත් අපූරු හේතුවක් කිව්වා.  අදානිගේ ව්‍යාපෘතිය නතර කරලා ඉන්දියාවෙන් ණය ඉල්ලන්න නම් මට කියන්න එපා කියලා එතුමා මේ සභාවේ දී ප්‍රකාශ කළා.

මේ උදාන වාක්‍ය  ඇහුවහම ඇගේ මයිල් කෙලින් වෙනවා.  මහා කුමන්ත්‍රණයක් පරාජය කරන්න ඇමතිතුමා යනවා කියලා හිතලා ඒ සටනට අපිත් එකතුවිය යුතුයි කියන අදහසක් ඇති වෙනවා. නමුත් තිත්ත ඇත්ත නම් මේ කියන කාරණා සහ මේ පනත අතර කිසිම සම්බන්ධයක් නැහැ. පුනර්ජනනීය කියන වචනය වත් මේ පනතේ කොතනකවත් නැහැ. එහෙම නම් ජනතාව රවටන හැඟීම්බර ප්‍රකාශ කරනවා වෙනුවට මොකක්ද මේ පනතින් ඇත්තටම සිද්ධ වෙන්නේ කියලා අපි සොයා බලන්නට ඕනේ.


මේ පනතෙන් කාරණා දෙකයි වෙන්නේ. වර්තමානයේ මෙගා වොට් 25 කට වඩා වැඩි ව්‍යාපෘතියක් සඳහා ආන්ඩුවේ සහභාගිත්වය තියෙන්නට ඕනේ. එහෙම නැතුව විදුලි ව්‍යාපෘතියක් කරන්නට බැහැ. ඒ අවශ්‍යතාවය මේ පනතින් ඉවත් කරනවා. බොහොම හොඳ දෙයක්.  ආණ්ඩුවට සල්ලි නැත්නම් සල්ලි තියෙන අයට විදුලිය නිෂ්පාදනය කරන්න දෙන්නට ඕනෑ. විශේෂයෙන්ම විදේශ විනිමය තියෙන අයට එන්න දෙන්නට ඕනෑ. අපි ඒ යෝජනාවට සම්පූර්ණයෙන් සහය පළ කරනවා.


දෙවැනි සංශෝධනය තමයි හතළිස්තුන්වැනි වගන්තියෙ හතරවෙනි උප වගන්තිය ට කරනු ලබන සංශෝධනය. ඒ හරහා විදුලි නිෂ්පාදනයේ නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිලට ගැනීමේදී ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවය සහමුලින්ම ඉවත් කර දමනවා. ඔන්න ඔතනයි ඇත්තටම අපිට ප්‍රශ්නය තියෙන්නේ.


සියලුම විදුලි නිෂ්පාදකයන්ගෙන් තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින් විදුලිය මිලදී ගැනීම ප්‍රායෝගික නැහැ.  මගේ වහලයේ මම කිලෝ වොට් 5 ක සෝලා පැනල් දාලා තියෙනවා. ඕකට වෙන කාටවත් ටෙන්ඩර් දාන්න බැහැ. වත්ත පහල දිය ඇල්ලකින් ජල විදුලිය නිෂ්පාදනය වෙනව නම් ඒක වෙන කාටවත් කරන්නට බැහැ. පුංචි ව්‍යාපෘති අනිවාර්යෙන්ම ටෙන්ඩර් කැඳවීමේ නිදහස් කළ යුතුයි. අපි ඒකට එකඟයි. හැබැයි මහා පරිමාණ ව්‍යාපෘති, ව්‍යාපෘතිය විශාල වන්නට විශාල වන්නට ඒකක පිරිවැය අඩු වෙනවා නම් ඒකෙ වාසිය විදුලි බිල ගෙවන ජනතාවට ලබා දුන්නේ නැතිවීමේ විපාකය තමයි අපි මේ විදින්නේ.

2009 වනතුරු මේ ටෙන්ඩර් කතාව තිබුණේ නැහැ. හිතුණු හිතුණු මිලගණන් වලට විදුලිය මිලදී ගන්න නිලධාරීන් දේශපාලකයන් මැදිහත්වෙලා ගිවිසුම් ගැහුවා. එහි පාඩුව අද විඳින්නේ දැවැන්ත විදුලි බිලක් ගෙවන ජනතාව. ඒකෙන් මිදෙන්න නම් ටෙන්ඩර් පටිපාටියට යන්න ඕන කියන එක අපි යෝජනා කළා.

පසුගිය හත්වැනි දා අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී විපක්ෂ නායකතුමා වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා සහ මම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරා මෙගාවොට් දහයෙන් ඉහළ දැවැන්ත ව්‍යාපෘති වලදී එම ව්‍යාපෘතිය විශාල වීමේ වාසිය විදුලි බිල අඩු වීම හරහා ජනතාවට විදුලි පාරිභෝගිකයාට ලබාගන්න මේවා තරගකාරී ටෙන්ඩර් වලට විවෘත කරන්න කියලා. අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කරා.



''අගමැති තුමා එකඟතාවය පළ කරා''




නමුත් අගමැතිතුමා කැඳවපු සාකච්ඡාවේදී මෙගාවොට් දහයට වඩා වැඩියි ව්‍යාපෘති සඳහා තරගකාරී ටෙන්ඩර් කැඳවීමට අගමැති තුමා එකඟතාවය පළ කරා.


නයෝමි ක්ලේන් (Naomi Klein) ද ෂොක් ඩොක්ට්‍රින් (The Shock Doctrine ) කියලා පොතක් ලිව්වා.  මේ පොතේ සඳහන් කරන්නේ සමහර රටවල ව්‍යසනයන් හිතා මතා ඇති කර ගන්නවා මොකද ව්‍යසනයන් මැද ජාතික සම්පත් කොල්ල කන්න ලේසියි. ව්‍යසනයන් පෙන්නලා වංචා දූෂණ කරන්නත් ලේසියි. කොමිස් ගහන්නත් ලේසියි කියලා.



මේ රට මේ අර්බුදයට ගමන් කරනවා කියලා 2020 ඔක්තෝම්බර් ඉඳලා අපි කිව්වා. අපි කියන දේ අහන්නෙ නැති උනාම මේ රට සිතා මතා අර්බුදයට රැගෙන යනවා කියන චෝදනාව අපි මේ ආණ්ඩුවට එල්ල කළා. ඒ චෝදනාව එල්ල කළාම අපිවත් කනෙන් ඇදලා ඇමති මණ්ඩලයෙන් එළියට දැම්මා.

අද සිදුවෙන්නේ ඒක.  පුනර්ජනනීය නංගි පෙන්වා  දූෂිතා අක්කාව ජනතාවගේ කරමත පට වන්නයි හදන්නේ. පුනර්ජනනීය විදුලිය ලබා ගැනීමේ ව්‍යාපෘති ඕනෑනම් ජාතික ආපදා අවස්ථාවක ටෙන්ඩර් කැඳවන්න අවශ්‍ය නැහැ කියලා වගන්තියක් තියෙනවා. ඒක යටතේ ඔය පුනර්ජනනීය විදුලිය වහාම ගන්න බාධාවක් නැහැ.

ආණ්ඩු ආණ්ඩු අතර ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා වගන්තියක් තියෙනවා. ඒ නිසා මේ පුනර්ජනනීය ප්‍රශ්නයක් ඉස්සරහට දාලා පුනර්ජනනීය වන නොවන සියලුම ව්‍යාපෘති සම්බන්ධයෙන් ටෙන්ඩර් කැදවීමේ අවශ්‍යතාවය නැති කරලා දූෂිතයන්ට යටි මඩි ගහගන්න සහ එහි බර නැවත වතාවක් විදුලි පාරිභෝගිකයා මත පටවන්න දරන මේ වෑයමට අපි විරුද්ධයි. නමුත් අගමැතිතුමන් සමග අපි එකඟතාවක් හදාගත්තා. ඒ කිව්ව සංශෝධන මීට ඇතුළත් වෙනවා නම් අපි අපේ සහාය දෙන්නත් සූදානම්.''



අලි සබ්රිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්



මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසුයේ, ඩීසල් මාෆියාව සමඟ සිටින පිරිස් එකතුවී පුනර්ජනනීය විදුලි බලය නිර්මාණය කිරීමට බාධා එල්ලකරමින් සිටින බවයි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා එබව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලි සබ්රි චෝදනා කරන්නේ ඩීසල් බලාගාරවලට ගෙවන මුදල වැඩිවනවිට හඬ නොනැගූ වෘත්තීය සමිතිද පුනර්ජනනීය බලශක්තියට විරුද්ධ වී ඇති බවටය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙසේද සඳහන් කළේය.

''පුනර්ජනනීය බලශක්තිය මෙරටට ලබාගැනීම සඳහා කාලයක් තිස්සේ සාකච්ඡාවක් පවත්වාගෙන යනවා. නමුත් මේ සාකච්ඡා කොතරම් දුරට සාර්ථක වෙලා තියෙනවා ද ? මේක කරන්න ඉඩ දෙනවද ? 2006 වර්ෂයේ ඉඳලා මේ දක්වා අපේ රටේ සම්පූර්ණ පද්ධතියට කොච්චර ප්‍රමාණයක් එකතු කරලා තියෙනවද ?



එක එක කාලෙට මොන මොන හරි හේතුවක් මවලා මේක කරන්න දෙන්නේ නැති තත්ත්වයට තමයි පත්වෙලා තියෙන්නේ. දේශපාලනඥයනුත් තමන්ගේ වාසිය ගැන බලලා විපක්ෂයේ ඉන්නකොට මේකට විරුද්ධ වෙනවා ආණ්ඩුවේ ඉන්නකොට මේකට කැමති වෙනවා. නමුත් කවදාවත් මේක කරන්න ඉඩ දීලා නෑ. අද වෙනකොට මේකේ ප්‍රතිඵලය තමයි ඩීසල් බලාගාරවලට ගෙවන මුදල වැඩිවෙලා. මේවා ගෙවනකොට රටට ආදරේ වෘත්තීය සමිතිවල ඉන්න අයට දැනුනේ නැද්ද මේක. රිදෙන්නේ නැද්ද. මේකට විරුද්ධව වර්ජනය කරන්නේ නැද්ද.



විදුලි බල ඩීසල් මාෆියාව !



විදුලි බල ඩීසල් මාෆියාව එක්ක එක අතක ඉන්නකොට මේ පුනර්ජනනීය මුදලින් කීයද යන්නේ. රුපියල් 16 යි 22යි. එම ප්‍රමාණයට විරුද්ධව මෙච්චර විරෝධතාවයක් මෙහෙයවන මිනිස්සු දිගින් දිගටම රුපියල් 80ක් 100ක් 137ක් 182ක් දක්වා ගෙවනතුරු කිසිම ප්‍රශනයක් නෑ. එහෙනම් බලාගන්නට ඕන මේගොල්ලෝ ඉන්නේ කවුරු එක්කද කියලා.

මේක තමයි ඩීසල් මාෆියාව කියලා කියන්නේ. මේ මාෆියාවත් එක්ක එකතුවෙලා පුනර්ජනනීය විදුලි බලය නිර්මාණය කිරීම මොනවාහරි හේතුවක් දක්වලා හැමදාම බාධා කරලා අඩාළ කරලා තියෙනවා. අපි මොනවා හරි කෑල්ලක් අල්ලාගෙන ඊට පස්සේ ඒක පිටිපස්සෙන් යනවා.



මංගල ගේ ටෙලිකොම් විප්ලවය :


1996දී ටෙලිකොම් එක අපි පෞද්ගලීකරණය කරනකොට ජපානයට විරුද්ධව විරෝධතාවයක් මතුකර ගත්තා. අන්තිමේදී NTT එක ඇවිල්ලා ඒ එනකොට අවුරුදු 10ක් පොරොත්තු ලේඛනයේ ඉන්න ඉන්න ටෙලිෆෝන් එකක් ගන්න. මියගිය ගරු මංගල සමරවීර මැතිතුමා ඒ නායකත්වය අරගෙන ඒ පෞද්ගලීකරණය කරපු හින්දා මේ කලාපේ අංක එක හැටියට පහුගිය අවුරුදු දෙක තුනේ අපිට ඉන්න පුළුවන් වුණා. ඒ ආයෝජනය ආවා, ඒ තාක්ෂනය ආවා, ඒ දැනුම බෙදාගත්තා. විවිධ මිනිස්සු ආවා. එක සැපයුම්කරුවෙක් වෙනුවට 5 දෙනෙක් ආවා. තරගකාරී වුණා. තරගකාරී වුණාම වැඩියෙන් බදු ජනතාවට අයවුනා. ලාභ ටික ජනතාවට හම්බවෙනවා බදු හැටියට. මීට ඉස්සෙල්ලා ජනතාව ගෙවපු මුදල අලාභය නැතිවෙලා ගියා. ඉතින් මේක හොඳ නැද්ද.



ඒ හා සමානව තමයි එමිරේට් එක ආපු වෙලාවේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකන් එයාර්ලයින් එක වෙනුවෙන් ලාභාංශ ගෙව්වා භාණ්ඩාගාරයට. එමිරේට්ස් එකට විරුද්ධව ජාතිවාදයත් අල්ලගෙන එක එක කතා කිව්වා. අන්තිමේදී එමිරේට්ස් එක යැව්වා, පහුගිය අවුරුදු 14 තුළදී මේ කොහෙද යන ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකක් ආරක්ෂාකරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දුප්පතුන්, බිලියන 572ක් පාඩුවෙලා තියෙනවා. මොකක්ද මේ විහිලුව.

දැන් මේ අදානි කෙනෙක් අල්ලාගෙන. කාවහරි අල්ලගන්නවා. මේ ඉන්දියාව පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. ආයෝජකයන්ට බයවෙන්නට බෑ. ආයෝජකයෝ එනකොට ගෙන්නගන්න ඕන. අද ඉන්දියාව ගත්තම ඉතා වේගයෙන් දියුණුවන රටක්. මේ නිර්මාණය කරන අලුත් ශක්තිය ලංකාවට දෙන්න නෙවෙයි ඔවුන් කතාකරන්නේ. ඉන්දියාවට විකුණන්න.


මේ පහුගිය අවුරුදු කාළය තුළ. සුළං බලය ප්‍රමාණය මෙගාවොට් 15,000ක් විතර තියෙනවා. ඔහේ සුළං හමලා යනවා. කවුරුත් මුකුත් කතාකරන්නේ නෑ. ඒකට ආයෝජනය කරලා ඒක ලබාගෙන. රටටත් අඩුගානට දීලා. ආයේ අපනයනය කරලා විදේශ විනිමය ලබාගන්න හදනකොට මොනවාද එකක් කියවනවා. කොහොමද රටක් නිර්මාණය වෙන්නේ.


ඉන්දියාව අද වෙනකොට බංග්ලාදේශය සහ රුසියාවත් එක්ක එකතුවෙලා න්‍යෂ්ඨික බලාගාරයක් නිර්මාණය කරනවා විදුලිබලය ලබාගන්න. ඊට පස්සේ ඔවුන් ඉන්දියාවට අපනයනය කරනවා. භූතානයත් එක්ක කරලා තියෙනවා. නේපාලයත් එක්ක කරලා තියෙනවා.

ඉතින් අපෙන් හමන සුළඟ එකතුකරලා විදුලිබලය නිර්මාණය කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට රුපියල් 22ට ලබාදීලා, ඉතුරු ටික අපනයනය කරාම මොකක්ද තියෙන ප්‍රශ්නය.

මේක ඉන්දියාව සමඟ ප්‍රශ්නයක් ද. සම්පූර්ණයෙන් ම මේකට බාධා කරන අයගේ ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ ඩීසල් මාෆියාවත් එක්ක.



''බොරු ජාත්‍යාලයක් මවාගෙන දේශප්‍රේමයක් මවාගෙන බොරුවක් කියන්න උත්සාහ කරනවා''


බොරු ජාත්‍යාලයක් මවාගෙන දේශප්‍රේමයක් මවාගෙන මේ බොරුවක් කියන්න උත්සාහ කරනවා. ඔබ හිතනවාද ලෝක පූජිත සමාගම ලංකාවේ මෙගාවොට් 10කට අඩු ප්‍රමාණයකට ඇවිල්ලා මෙහෙ ටෙන්ඩර් කරාවි කියලා. ඔවුන්ට වැඩක් තියෙනවා ද. ඔවුන්ගේ ආයෝජනයේ වැදගත්කමක් තියෙනවා ද. ඒක අපනයනය කරන්න පුළුවන් ද. එවැනි අය එන්නේ නැතුව රටක් දියුණු කරන්න පුළුවන්ද.

1977 වෙනකොට අපි විතරයි විවෘත ආර්ථිකයට තිබුනේ. මිනිස්සුන්ට මෙහෙට එන්න හේතුවක් තිබුණා. අද වෙනකොට ඕක වෙනස්වෙලා. මුළු ලෝකෙම විවෘත වෙලා. කාම්බෝජය, වියට්නාමය, බංග්ලාදේශය, නේපාලය සියලුදෙනාම තරග කරනවා. ඒ තරග කරන අවස්ථාවේදී ආයෝජකයා අපි ගෙන්වාගන්න ඕන. ආයෝජකයා දිරිමත් කරන්න ඕන. ආයෝජකයන්ගෙන් ආයෝජනයෙන් තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න ඕන. ''
 


සබැඳි පුවත් 
 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්