විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් විදුලිබල ඉංජිනේරුවන් ඇතුළු විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති කිහිපයක් ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය මේ වනවිට තාවකාලිකව

අත්හිටුවා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර 'නිව්ස්ෆස්ට්' සමග පැවසුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවති දුරකතන සංවාදයකින් අනතුරුව මෙම තීරණය ගත් බවය.

ගැටලු පිළිබඳව අද දිනයේ සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

මේ අතර ඊයේ (08) රාත්‍රියේ විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබිණි.

කෙසේ වෙතත්, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම විසන්ධි වී ඇති බව වාර්තාවේ.

කොළඹ, මහනුවර, අනුරාධපුර, ත්‍රිකුණාමලය, කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට මොරටුව – රත්මලාන, ගල්කිස්ස, මීගමුව ආදී ප්‍රදේශවලට අද(09) අලුයම 4.30 සිට මෙලෙස විදුලිය විසන්ධි වී තිබිණ.

Amma 20221
විදුලි බිඳ වැටීමේ අවස්ථාවකදී ගෘහනියක් විසින් රාත්‍රී ආහාරය සකස් කරමින්


2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතට යෝජිත සංශෝධන වහා හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල් කර ගනිමින් ඊයේ  (ජුනි 08) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති අවධාරණය කිරීමත් සමග විදුලිය බිඳවැටීමක් සිදුවේදැයි ජනතාව තුළ ඇත්තේ බලවත් අවිනිශ්චිතතාවකි.

විදුලි ඉංජිනේරුවන් වැඩ වර්ජනයකට සූදානම් වන්නේ දෛනික විදුලි කප්පාදුව මෙන්ම, ඉන්ධන හා ගෑස් හිඟය හේතුවෙන් ජනතාව උග්‍ර පීඩාවකට පත්ව සිටින පසුබිමකය.

ශ්‍රී ලංකා විදුලිබල පනතට යෝජිත නව සංශෝධනයෙන් සිදුවන්නේ කුමක්ද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.


විදුලිබල පනත සංශෝධනයෙන් මොකද වෙන්නේ?



2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතට යෝජිත සංශෝධන අද (ජුනි 09) පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීමට රජය අපේක්ෂා කරයි. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ ආර්ථිකයට අත්‍යවශ්‍ය වන දීර්ඝ කාලීන ප්‍රමාදයක් ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් අනුමත කර ක්‍රියාත්මක කිරීමට මෙම සංශෝධන අවශ්‍ය බවයි.

Screenshot 2022 06 09 at 10.03.40 AM



වෘත්තීය සමිති ඉල්ලීම් මොනවාද?



# 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතට යෝජිත සංශෝධන ඉල්ලා අස්කර ගැනීම (වහාම ක්‍රියාත්මක වන පරිදි 2022 අප්‍රේල් 29 වැනි දින ගැසට් කරන ලද 2013 අංක 31 දරන පනත මඟින් සංශෝධිත ).

# තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය අනුගමනය නොකර, රටේ සුළං සහ සූර්යය සම්පත් අදානී සමූහය වෙත පැවරීම නැවැත්වීම (ඩොලර් වලින් ගෙවීම).

# ප්‍රතිසංස්කරණ මුවාවෙන් ලංවිම පෞද්ගලීකරණයට තල්ලු කිරීම නැවැත්වීම.

# තවත් ප්‍රමාද කිරීමකින් තොරව ලංවිම සභාපති තනතුරට නොකැළැල් චරිතයක් ඇති සුදුසු වෘත්තිකයෙකු පත් කිරීම.



විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරු කියන්නේ මොකක්ද ?



ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් අවධාරණය කළේ; " මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මේවන විට රජය 2009 විදුලිබල පනත වෙනස් කිරීමට කටයුතු කරගෙන යනවා. 2013 මේක සංශෝධනය කරා. නමුත් මේ අවස්ථා දෙකේදිම මේකේ තිබ්බ හොඳ ගතිගුණයක් තමා competitive biding තරගකාරී මිලට තමා අපි විදුලිය ලබා ගත්තේ. මේකෙන් අඩු මිලට විදුලිය මිලදී අරන් ජනතාවටත් අඩුමිලට විදුලිය දුන්නා. මෙන්න මේ තරගකාරී මිලට විදුලිය ගන්නවා කියන එක වෙනස් කරන්න තමා මෙවර සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ."

"අවාසනාවට මේක මෙවර වෙනස් කරලා තමන් කැමති පුද්ගලයාට කැමති ගානකට දීලා විදුලිය ලබා ගන්න තමා මේගොල්ලෝ මේ සංශෝධන කරන්නේ. අපේ සියලු වෘත්තීය සමිති මේකට පැහැදිලිවම විරුද්ධයි." ඔහු චෝදනා කළේය.

"අදානි සමාගමට දෙන්න යනවා මන්නාරම පුනරීන් 500 මෙගාවොට් සුළං බලය නිපදවන්න. මේක දෙන්න යන්නේ ඒකකයක් ඩොලර් ශත 7.55කට. දැන් මෙතෙන ප්‍රශ්නය තියෙන්නේ, අපි දැන් තම්බපවනි කියලා බලාගාරයක් හදලා තියෙනවා, ඒකේ නිෂ්පාදන වියදම ඩොලර් ශත 4කට අඩුයි. එහෙම අවස්ථාවක තමයි මේ ඩොලර් සත 7.55කට දෙන්න යන්නේ. මුලින් ඉදිරිපත් කරපු අවබෝධතා ගිවිසුමේ තිබ්බේ ඩොලර් ශත 6.50කට එගොල්ලෝ දාල තිබුනේ. දැන් ඇයි ඒක ඩොලර් ශත 7.55ක් වුණේ. ඒක ගැටලුවක්.

"මේ සුළං බලාගාර වල ආයෝජනය කරන්න දේශීය ආයෝජකයින් කැමතියි. ඔවුන් ඩොලර් සත 5ටත් වඩා අඩුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් එගොල්ලන්ට දෙන්නෙත් නැහැ.. එහෙම තියෙද්දි තමා අදානි කියලා සමාගමක් තෝරාගෙන ඒගොල්ලන්ගේ කැමැත්තට එගොල්ලෝ ඉල්ලන ගානටත් වඩා වැඩි ගානකට ශත 7.55 කට දෙන්න යන්නේ. මෙතෙන පැහැදිලිව පෙනෙවා හොරයක් තියෙනවා. මේ ඔබතුමාලාගේ සාක්කුවේ තියෙන සල්ලි උදුරා ගැනීමක් තමා කරන්න යන්නේ. යම් අපහසුතාවක් වෙන්න පුලුවන්. ඔබ වෙනුවෙන් තමා මේ ෆයිට් එක කරන්නේ"


Sulan Mana 2022
මන්නාරම සුළං ගොවිපල


43 සේනාංකයේ ඉංජිනේරු සංසදයෙත් විරෝධය



තරගකාරී ටෙන්ඩර් පටිපාටියට පිටින් සිදුකරන ක්‍රියාවලිය හරහා ලංකා විදුලි බල මණ්ඩලයට ආර්ථික වශයෙන් අලාභයක් සිදුවන යෝජිත විදුලි බල මණ්ඩල පනත වහාම හකුලා ගත යුතු බව 43 සේනාංකය අවධාරණය කරයි.

'රජය විසින් යෝජිත විදුලිබල සංශෝධන පනතේ සැගවුන සැබෑ අරමුණ' මැයෙන් 43 සේනාංකය මඟින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ 43 සේනාංකයේ ඉංජිනේරු සංසදයේ සභාපති සුරත් සෙනෙවිරත්න පවසන්නේ විදුලිබල මණ්ඩලය පාඩු වන්නේ කුමන හේතුවක් නිසාද යන කාරණය සොයා බැලිය යුතු බවයි.

"පහුගිය අවුරුදු විස්ස පුරාවට අවුරුදු 13 - 14 ක්ම විදුලිබල මණ්ඩලය තිබුණේ රාජපක්ෂ රජය යටතේ. එයිනුත් වැඩිම කාලයක් පාලනය කරේ සභාපතිවරයා හෝ ලේකම්වරයා විදිහට දැන් ඉන්න සභාපතිවරයා. එහෙමනම් මේ පාඩුව පිළිබඳ වගකීම දරන්න ඕනේ ඒ පාලනයේ හිටපු පිරිස්ම තමයි.

එතකොට මේ 250% කින් විදුලිබිල වැඩි වෙනවයි කියන කතාව එද්දිම අපි පාරිභෝගිකයෝ විදිහට ගත්තොත් අපි ඒකට අකමැති වුණත්, ඒක මේ වෙලාවේ සිද්ධ කරන්න වෙනවා. රටේ තියෙන අර්බුදයත් එක්ක. අපි ඒක පිළිගන්නවා. නමුත් ඇත්තටම හොයලා බලන්න ඕනේ විදුලිබල මණ්ඩලයේ පාඩු වෙන්නේ මොකක් හින්දද කියන කාරණය."

"අපේ රටට මේ අර්බුදකාරී අවස්ථාවේ ඩොලර් එන එක සත්‍ය නමුත්, මේකෙදි සිද්ධ වෙන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක ගත්තොත් එහෙම, අන්තර්ජාතිකව මේ මොහොතේ සුළං බලශක්ති විකුණන සමාගමෙන් අපි මේ ගිවිසුම හරහා බලාපොරොත්තු වෙනවා; ඒකකයක් ඩොලර් සත හත හමාරක වගේ ගානකට මිලදී ගන්න. ඒකෙන් ඇත්තටම සිද්ධවෙන්නේ මෙගාවොට් 500 ක විදුලි බලාගාරයෙන් ඒකකයක් ඩොලර් සත 7.5ක මුදලකට විදුලිය මිලදී ගැනීමෙන් තවදුරටත් විදුලිබල මණ්ඩලයේ ආර්ථිකයට හානි වෙන එකයි . මේක ගේන්න ඕනේ අර අන්තර්ජාතික වෙළඳ පොළේ තියෙන වටිනාකමට"


43 සේනාංකයේ මුදල් ලේකම්, ඉංජිනේරු සංසදයේ විධායක සභික සුමේධ රත්නායක පැවසුවේ;


"මේ පනත බලාත්මක වෙන වෙලාවේදී සිද්ධ වෙමින් තිබුණු තාප සහ පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා විශේෂ ප්‍රතිපාදන සපයලා තිබුණා. අනික් කොන්දේසිය වුනේ සියලූම ව්‍යාපෘති තරගකාරී ලංසු කැඳවීම යටතේ කළ යුතුයි කියන එක. මේ පනතේ හතලිස් තුන්වෙනි වගන්තියට ඉතා කුඩා සංශෝධනයක් ගෙනල්ලා, අනාගතයේදී කරන්නට තිබෙන ව්‍යාපෘති තරගකාරී ලංසු කැඳවීමකින් තොරව කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම තමයි කරන්න යන්නේ "

"විදුලිබල මණ්ඩලය පාඩු වෙන්නේ මේ විදුලිබල මණ්ඩලයේ තියෙන ප්‍රශ්නයක් නිසාද? එහෙම නැත්නම් මේ අපේ පාරිභෝගිකයොන්ට අඩු මිලට විදුලිය දෙන නිසාද? නැහැ. ඇත්තටම වැඩිපුර මේ පාඩුව සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ කරන කටයුතු වලින්, මේ වගේ මහා පරිමාණයේ දූෂණ මඟින්, අනාගතයේදී මේ අදානි ලබාදෙන හැම විදුලි ඒකකයකින් අපේ ජනතාවට සිද්ධ වෙනවා පාරිභෝගිකයෙකුටම රුපියල් 13.50 ගානේ ගෙවන්න. ඩොලරය වැඩි වෙන තරමට වැඩියෙන් ගෙවන්න සිද්ධ වෙනවා " ඔහු පැවසුවේය.



විදුලිබල අමාත්‍යවරයා කියන්නේ මොකක්ද?


විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ ආර්ථිකයට අත්‍යවශ්‍ය වන දීර්ඝ කාලීන ප්‍රමාදයක් ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් අනුමත කර ක්‍රියාත්මක කිරීමට මග සලසන විදුලිබල මණ්ඩල පනතේ සංශෝධන සඳහා ( ජුනි 09) බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී අවශ්‍ය සහය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අවධාරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ, මෙම සංශෝධනයට විරෝධය පළ කරමින් රටපුරා විදුලිය ඇනහිටීමක් සිදුවිය හැකි බවට ලංවිම ඉංජිනේරු සංගමය සාකච්ඡා කර ඇති බවයි.

වෘත්තීය සමිති විසින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන්,අඩු වියදම් බල සැපයුම් සහ අඛණ්ඩ විදුලි සැපයුමේ අයිතිය අහිමි කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ අවහිර කිරීමට විරෝධතා සහ තර්ජනය කිරීම් කරන බව අමාත්‍යවරයා කියා සිටියි.

පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලසුම්වලට ලංවිම සහාය නොදක්වන බැවින් ගාස්තු වැඩි කරන ලෙස ලංවිම ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකර බව ද විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔහු කියා සිටියේ විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට ඉඩ දිය යුතු අතර ඔවුන්ගේම වැටුප් ගෙවීම සඳහා ගාස්තු වැඩි කරනවාට වඩා ජනන පිරිවැය අඩු කළ යුතු බවයි.

සෑම වසර 3කට වරක්ම විදුලිබල මණ්ඩල සේවක වැටුප් 25%කින් වැඩි කරන බවට ලංවිම සාමූහික ගිවිසුමක් ඇත.

පුනර්ජනනීය බලශක්තිය හෝ උත්පාදනයේ පිරිවැය අඩු කිරීම සඳහා කිසිදු සැලසුමක් නොමැතිව වැටුප් හා උත්පාදන පිරිවැයේ අධික පිරිවැය පාරිභෝගිකයින් මත පැටවෙන බව අමාත්‍ය කංචන විජේසේකර පෙන්වා දෙයි. මෙය වෙනස් විය යුතු අතර එය කිරීමට මීට වඩා හොඳ කාලයක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.


අමාත්‍යවරයාගේ අනතුරු ඇඟවීම…


මේ අතර විදුලි බිලබල මණ්ඩලය යෝජනා කර ඇති විදුලි බිල 300% කින් පමණ වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීමට තමා තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.

ඔහු කියා සිටියේ වැටුප් වැඩිවීම් වෙනුවෙන් විදුලි ගාස්තු වැඩි කිරීම වෙනුවට පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කර උත්පාදන වියදම අඩු කළ යුතු බවයි.

අද වන විට උත්පාදන වියදම අඩු කෙරෙන පුනර්ජනනීය ව්‍යාපෘති අඩාල කිරීමට වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගනිමින් ජනතාව සහ රජය අපහසුතාවයට පත් කිරීම කිසි ලෙසක අනුමත කළ නොහැකි අතර රටේ ජාතික විදුලිබල අවශ්‍යතාවය සංවර්ධනය කිරීමට දක්වන දායකත්වය සහ උත්පාදන වියදම් අඩු කිරීමේ ව්‍යාපෘති කඩිනම්ව ක්‍රියාත්මක කිරීමට ලැබෙන සහාය මත පමණක් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය කංචන විජේසේකර අවධාරණය කළේය.


රටපුරා විදුලිය බිඳ වැටෙයිද?


ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ප්‍රකාශ කළේ, "අපි සියලු දෙනා තීරණය කරලා තියෙනවා අපි වැඩකරන ස්ථාන වලින් සම්පූර්ණයෙන්ම එළියට බහින්න. එළියට බහිද්දී අපි එකපාරමට මේ සිස්ටම් එක නතර කරන්නේ නැහැ. අපි පැහැදිලම කියනවා රජයට මේක භාර ගන්න කව්රු හරි එවන්න. අපි භාර දෙන්න ලෑස්තියි. මේ දුවන ක්‍රමයටම කිසිම ගැටලුවක් නැතිව භාර දෙන්න ලෑස්තියි."

"හැබැයි කවුරුවත් එන්නේ නැත්නම් අපි ක්‍රමානුකූළව සේෆ්ලි ෂට්ඩුවන් කියන, අපේ මැෂින්වල තියෙන ආරක්ෂාවත් බලාගෙන අපි මේ ටික ක්‍රමාණූකූලව නවත්වනවා. සමහර විට හෙට උදේ 8 වගේ වන කොට සම්පූර්ණයෙන්ම විදුලිය නැතිවෙයි. මේකෙන් අපි අදහස් කරන්නේ, මේ රජයට බලපෑමක් කරන්න. අත්තනෝමතික විදිහට මේක ගේන්න එපා. ජනතාව ඉන්නේ බොහොම අමාරුවෙන් ජනතාවට ආහාර නැහැ, තෙල් නැහැ. ගෑස් නැහැ. මේවගේ තත්ත්වයක් තියෙද්දි මේගොල්ලෝ මේ කරන්නේ එගොල්ලන්ගේ සාක්කු පුරවගන්න එක" ඔහු කියා සිටියේය.


ස්වාධීන ඉංජිනේරු සංගමයේ සහයක් නැහැ


සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවන් නියෝජනය කරන ලංකා විදුලිබල මණ්ඩල ස්වාධීන ඉංජිනේරු සංගමය අද (09) දින වෘත්තිය සමිති කීපයක් මගින් පැවැත්වීමට සැලසුම් කර ඇති වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට කිසිදු සහභාගිත්වයක් හෝ සහයෝගයක් නොදක්වන බව ඊයේ නිවේදනය කළේය.

රටේ දැනට පවතින ආර්ථික අර්බුද හේතුවෙන් පොදු මහජනතාව විවිධාකාර ගැටලුවලට මුහුණ දෙමින් ඉතා පීඩාකාරී ජන ජීවිතයක් අත්විඳිමින් සිටින මෙවැනි බැරෑරුම් අවස්ථාවකදී තවදුරටත් රටේ ජන ජීවිතය අඳුරට ඇද දැමීමේ කිසිදු ක්‍රියාමාර්ගයකට තම සංගමය සහභාගි නොවන අතර එවන් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අනුමත නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරු සංගමයේ සභාපති යූ.කේ.එල් චූලකීර්ති අවධාරණය කරයි.

තවද මෙම වර්ජන ක්‍රියාමාර්ගය හමුවේ රටේ මහජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කිරීම සඳහා හැකි උපරිමයෙන් ලංවිම ස්වාධීන ඉංජිනේරු සංගමය කටයුතු කරන බවද ඔවුහු ඔහු අවධාරණය කර සිටියේය.

එසේ වුව ද විදුලිබල පනත සඳහා යෝජිත සංශෝධන වල රටට සහ රටේ බලශක්ති ස්වාධීනත්වයට අහිතකර සංශෝධනයන් ඉවත් කිරීමට රජයට බලකරන අතර ඒ සඳහා සාකච්ඡාමය විසඳුම් වලට එළඹීමට කටයුතු කරන බවද ස්වාධීන ඉංජිනේරු සංගමය පැවසීය.


විදුලිබල සැපයුම අත්‍යාවශ්‍ය මහජන සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්


විදුලිබල සැපයුම අත්‍යාවශ්‍ය මහජන සේවාවක් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලිබල පනත සංශෝධනයට රජයේ සූදානමට විරෝධය පළකරමින් ලංවිම වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයකට සැරසෙන පසුබිම තුළ මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.

විදුලි බල සැපයුමට අමතරව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලාවල, ප්‍රතිකාර කිරීම සම්බන්ධ සියලු සේවා ද අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ.


අග්‍රාමාත්‍යවරයාගේ කොන්දේසිය



පාරේ යන්න, බෝඩ් අල්ලන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් රට අඳුරේ තබන්න එපා යැයි වෘත්තීය සංගම් වලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රට අඳුරේ තැබුවොත් ඉන්දියාවෙන් තෙල් ඉල්ලන්නැයි තමාට පවසන්න එපා යැයි කී අග්‍රාමාත්‍යවරයා අපට ප්‍රශ්න විසඳා ගැනීමට හදිසියක් නැත්නම් වෙනත් රටවල් උදව් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

ඔහු අවධාරණය කළේ, රට අඳුරේ තැබුවොත් ඉන්දියාව තෙල් ලැබෙවියැයි වගකියන්නට තමාට නොහැකි බවයි.

මෙරටට තෙල් ලබා දෙනවාට ඉන්දියාවේ ඇතැම් අය විරුද්ධ බවද ඔහු පැවසීය.

හැම වෙලාවේම ජාත්‍යන්තර රටවල් කියන්නේ 'තමුන්නාන්සේලා තමුන්නාන්සේලාට උදව් කරගන්න. ඊට පසුව අප උදව් කරන්නම්" යනුවෙන් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.




(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


සබැඳි පුවත්
අරගලකරුවන්ගෙන් විදුලි ඉංජිනේරු සංගමයට ආයාචනයක් !

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක් - අගමැතිගෙන් සැර කතාවක්

{gallery}radicalcenter2022531{/gallery}

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්