*නිලතල පසෙකලා ක්‍රීඩකයෙකු ලෙස යුගල ඉසව්වට එක්වීමට හිටපු ශූර අයිසාම් උල් හක් කුරේෂි සූදානම් වේ.
* තරුණ ක්‍රීඩකයන්ට පන්නරයක් දෙමින් සභාපති ධුරයේ රාජකාරි සහ ක්‍රීඩා පිටියේ අභියෝගය එකවර බාරගනී.
පාකිස්තාන ටෙනිස් සම්මේලනයේ සභාපතිවරයා ජපාන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කිරීමට තීරණය කර තිබෙනවා.
හිටපු අමෙරිකානු විවෘත යුගල අවසාන තරගකරුවෙකු වන (ඉන්දියාවේ Rohan Bopanna සමග) 46 හැවිරිදි අයිසාම් උල් හක් කුරේෂි (Aisam ul Haq Qureshi) ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් යුගල ඉසව්වේ තරග කරන බව පවසන්නේ, “ඔව් මම තමයි පාකිස්තාන ටෙනිස් සම්මේලනයේ සභාපති. මම සභාපති විදියට මගේ රාජකාරිය ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉටු කරනවා. ඒ එක්කම, මම සම්පූර්ණයෙන් ‘ෆිට්’ එකේ ඉන්න නිසාත් තවමත් ස්ථිරව ටෙනිස් ක්‍රීඩා කරන නිසාත් යුගල ඉසව්වේ තරග කරන්න තීරණය කළා” යනුවෙන් සඳහන් කරමින්.
පාකිස්තානය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී පිරිමි හා කාන්තා ටෙනිස් තරගාවලියන් දෙක ට ම සහභාගි වන අතර ඔවුන් සතුව පළපුරුද්ද හා යෞවනයේ හොඳ සංයෝජනයක් තිබෙන බව අයිසාම් ප්‍රකාශ කරනවා. තමා කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සමග පුහුණු වී තිබෙන බවත් සංචිතයේ සිටින තරුණ ක්‍රීඩකයන්ට උපකාර කිරීම සඳහා තමා තමාගේ උපරිමයෙන් ක්‍රියා කර ඇති බවත් පාකිස්තාන ටෙනිස් සභාපතිවරයා කියා සිටිනවා.
සීමා කිරීම් තිබියදීත් පාකිස්තාන ටෙනිස් ක්‍රීඩාව ඉදිරියට ගමන් කරමින් සිටින අතර තම රට ඔක්තෝබර් මාසයේදී ‘බිලී ජීන්’ කාන්තා ඉසව්වට සත්කාරකත්වය දක්වන බව අයිසාම් කියනවා. රටවල් 10ක ටෙනිස් ක්‍රීඩිකාවන් මීට සහභාගි වීමට නියමිතව තිබෙනවා.
පියයුරු පිළිකාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා ද මේ තරගාවලිය යොදා ගැනෙනු ඇතැයි ඔහු පවසනවා.
පාකිස්තානයේ ඉහළම හා වඩාත්ම වටිනා ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් අයිසාම් ජාත්‍යන්තර ටෙනිස් ක්ෂේත්‍රයේ වසර ගණනාවක්ම රැඳී සිටියේ ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල ඉසව්වල තරග කරමින්. අනතුරුව පාකිස්තාන ටෙනිස් සම්මේලනයේ මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු 2024 වසරේදී එහි සභාපති ලෙස තෝරා පත්කර ගැණුනා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







