පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන සහ ප්‍රධාන හෝටල් කීපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාරවලින් සති තුනකට පමණ පසුව මුස්ලිම් ජන ජීවිත, දේපොළ සහ ආගමික පුදබිම් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරෙන ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ඇමති ඉමිටියාස් බාකීර් මාර්කර් මහතා සඳහන් කළේ,''බෞද්ධ සමාජයේ අතිබහුතරය ප්‍රචණ්ඩකාරී නොවන බව"යි.
"අද මේ ප්‍රශ්නය ඇතිවෙමින් පවතින්නේ කතෝලික ජනතාව ජීවත්වෙන ප්‍රදේශවල නොවෙයි. වැඩි වශයෙන් බෞද්ධ ජනතාව වාසය කරන ප්‍රදේශවලයි. මේවා ඇති කරන්නේ කවුද කියල හිතාගන්න බැහැ. මට සීයට සීයක් විශ්වාසයි, බෞද්ධ සමාජයේ අතිබහුතරය ප්‍රචණ්ඩකාරී නොවන බව," උද්ගතව පවතින තත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ හිටපු ඇමති ඉමිටියාස් බාකීර් මාර්කර් සඳහන් කළේය.
"ජනගහනයෙන් ඉතා සුළු පිරිසකට ප්‍රචණ්ඩත්වය ඇති කරන්න පුළුවන්. අපි අපේ ජීවිතකාලය තුළ මෙවැනි අවස්ථා දැකල තියෙනවා.අද අපි අපේ ඉතිහාසයේ සන්ධිස්ථානයකට ඇවිත් සිටිනවා.අපි ශ්‍රී ලාංකිකයන් විධියටයි - මේ ප්‍රශ්නය දකින්න ඕන" හිටපු ඇමති ඉමිටියාස් බාකීර් මාර්කර් මහතා වැඩිදුරටත් පවසයි.
"පාස්කු ඉරිදා ප්‍රහාර පිටුපස බාහිර බලවේගවල න්‍යාය පත්‍රයක් ඇති බව කාදිනල් උතුමාණන් මුණගැසුණ වෙලාවේ උන්වහන්සේ සඳහන් කළා. දැන් සිදු වෙමින් පවතින දේවල් අනුව හිතෙනවා - ඒ න්‍යාය පත්‍රයද මේ ක්‍රියාත්මක වෙන්නේ කියල," ඔහු ප්‍රශ්න කරයි.
දිගන ප්‍රදේශයේ ඇති වූ ගැටුම් සමනය කර ගොඩ නංවන ලද සාමය තහවුරු කර ගැනීමට මුස්ලිම් ප්‍රජා සහ ආගමික නායකත්වය කෙරෙන් ප්‍රමාණවත් දායකත්වයක් නොලද බවට වතුරකුඹුරේ ධම්මරතන හිමියන් කරන ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් හිටපු ඇමති ඉමිටියාස් බාකීර් මාර්කර් මහතා, පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටි පුද්ගලයන් පිළිබඳව රජය සහ වගකිව යුතු අංශ දැනුවත් කරන ලද්දේ මුස්ලිම් නායකයන් විසින් බවත් ඒවා සැළකිල්ලට ගෙන නැති බවත් පෙන්වා දුන්නේය.
ගැටුම් පැතිර ගිය ප්‍රදේශ කීපයක්
"මුස්ලිම්වරුන් ලංකාවට ආවේ ආක්‍රමණිකයන් හැටියට නොවෙයි. අපි වසර දහසකට අධික කාලයක් සිංහල ජනතාව සමග සාමයෙන් ජීවත් වුණා. අපට නිදහස දෙනකොට සුදු අධිරාජ්‍යවාදීන් කිව්වේ මොකක්ද? නිදහස් දුන්නොත් ඇනකොටා ගනීවි-මිනී මරා ගනීවි කියලයි කිව්වේ. ඒත් ටී.බී. ජයා වැනි මුස්ලිම් නායකයන් කියා සිටියේ, අපට අපේ වැඩිමල් සහෝදරයා වැනි සිංහල ජනතාව සමග අපේ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් - අපේ රටට නිදහස දෙන්න කියලයි. බණ්ඩාරනායක මහත්තයා කිව්වා -ටී.බී ජයා කරපු කතාව ඓතිහාසික ප්‍රකාශයක්ය කියල," හිටපු ඇමති ඉමිටියාස් බාකීර් මාර්කර් මහතා සිහිපත් කළේය.
"එදා ටී.බී.ජයා කළ එම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට මග කියන දිළිසෙන පහනකට සමානයි" ඔහු කියා සිටියේය.
අද සමාජය තුළ ඉස්ලාම් භීතිකාවක් මතු වී ඇතැයි පෙන්වා දුන් හිටපු ඇමතිවරයා, බෞද්ධ,හින්දු සහ කතෝලික ඉගැන්වීම් සහ ඉස්ලාම් දහම අතර සමානතා රැසක් ඇති බවත්, එවැනි උසස් ඉගැන්වීම් හතරකින් පෝෂණය ලද ශ්‍රී ලාංකික සමාජය ජාතියක් හැටියට එකමුතුව සාකච්ඡා මගින් සියලු ගැටලු නිරාකරණය කර ගත යුතුව ඇති බවත් සඳහන් කළේය.






