සාහිත්‍යවේදී තෙලිවත්තේ ජෝසප් (1934-2022), සිය 88 වසක් දිගු දිවි සැරියට සිකුරාදා සමුදුන්නේය.


ඔහු, ශ්‍රී ලංකාවේ කඳුරට දෙමළ සාහිත්‍යයේ චිරස්ථිතියට කැපවෙමින් දශක හයකට වැඩි කාලයක් තිස්සේ දෙමළ ප්‍රබන්ධ සාහිත්‍ය කලාවට වැදගත් සම්ප්‍රදානයන් සිදුකළේය.


JDS sin

 JDS eng



(2017 මාර්තු මස 18 දින 'සිළුමිණ' පුවත්පතේ පළවූ ලිපියක් පහත පළවේ. )


‘කඳුකරයෙන් මතු වූ නොසැලෙන පන්හිඳ’ ‍තෙලිවත්තෙයි ජොසප්


ඌව කැටවල වත්තේ ටී මේකර්ගේ පටන් කම්කරුවා දක්වා බොහෝ දෙනකු ඔහුගේ මුහුණවත් බැලුවේ නැත. මන්දයත් ඔහු ඒ සියලු දෙනා ගැනම පත්තරවලට කතා ලියන බැවිනි.

දිනක් වතුපාලක සුද්දා ඔහුට කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා පණිවිඩයක් එවීය.

“තමුසෙට විරුද්ධව පැමිණිලි ඇවිත් තියෙනවා. තමුසෙක ඔය ලියවිලි නැවැත්තුවෙ නැත්තන් රස්සාවෙන් අස් කරලා දානවා” සුද්දා ඔහුට තර්ජනය කළේය.
මේ, මීට අවුරුදු පනහකට හැටකට පෙර ලංකාවේ තේවතු අධිරාජ්‍යයේ පැවති යථා තත්ත්වයය.

ඉහත කී කටුක අත්දැකීමට මුහුණ පෑවේ අද ලංකාවේ ජ්‍යෙෂ්ඨ දෙමළ සාහිත්‍යධරයන් කිහිපදෙනා අතර සිටින කීර්තිමත් ලේඛකයකු වන තෙලිවත්තෙයි ජෝසප් ය. බදුල්ලේ කැටවල වත්තේ වතු පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ඉන්දියාවට ගොස් ආපසු පැමිණ සාන්ත බීඩ්ස් පාසලෙන් සාමාන්‍ය පෙළ සමත් වූ තෙලිවත්තෙයි ජෝසප්ට තෙලිවත්තේ වතු පාසලේ ගුරු පත්වීමක් ලැබුණේ ය.

වතු පාලක සුද්දාට වතු පාසලේ ගුරුවරයාට වඩා වත්තේ වැඩ කරන මිනිසුන් වැදගත් විය. තෙලිවත්තෙයි ජෝසප් බඳු ගුරුවරයෙක් වැඩි කල් වත්තේ විසුවොත් පාසල් දරුවන් කෙසේ වෙතත් වතු ප්‍රජාව බොහෝ දේ ඉගෙන ගනු ඇතැයි සුද්දාට වැටහිණ. එකල වතු කාර්යාලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ තෙලිවත්තේගේ වැඩිමහල් සොහොයුරා ඔහුට කොළඹ ස්ටාර් ටොෆී කම්හලේ රස්සාවක් සොයා දුන්නේ ය. වතු පාසලේ ගුරු වෘත්තියටත්, වතු පාලක සුද්දාටත් ආ‍යුබෝවන් කියූ තෙලිවත්තෙයි කොළඹ ආවේය.



තෙලිවත්තෙයි සිය මුල්ම කෙටිකාතව රචාන කළේ 1959 දීය. එවකට ඔහු සේවය කරමින් සිටියේ වතු පාසලේ ය. ‘වලෙයි පලම් කෝල්’ (තෙංගල් ලෙල්ල) නමැති ඒ කතාව ලියූ ලීවේ තමිල්නාඩු සඟරාවකට ය. ඉන් පසු ඔහු ලංකාවේ පත්තරවලටත් ලියන්න පටන් ගත්තේ ය. ඔහුගේ බො‍හෝ කතාවලට පසුබිම් වූයේ වතු කර ජනතාවගේ ජීවන පුවත් ය. ඔහු ලියන කතා පත්තරවල පලවී වතුකරයේ ලයිම් වලට ද ආවේය. '' මේ මිනිසා අපේ ලයිම් අස්සෙ සිද්ධ වෙන දේවලුත් ලියනවා'' කියා කෝප ගත් වතුජනයා ඔහුගේ අත කපා දමන බවටත් මරා වත්තේ කාණුවක දමන බවටත් තර්ජනය කළහ. සුද්දාට පැමිණිලි කළේ මේ තර්ජනවලින් ඔහු නවත්වන්න බැරි වූ තැනය.



1963 දී වීරකේසරී පුවත්පත කෙටිකතා තරගයක් පැවැත්වීය. තෙලිවත්තෙයි ඊට කතා පහක් ඉදිරිපත් කළේ ය. ඔහුගේ කතාවකට ප්‍රථම ස්ථානය හිමි විණි. ඔහුගේ නම වේගයෙන් ජනප්‍රිය වන්නට පටන් ගත්තේ මේ ජයග්‍රහණයත් සමඟ ය. නැවතත් 1965 වීරකේසරී කෙටිකතා තරගයට ඉදිරිපත් වූ ඔහු එහිදී ද පළමු වන තැන දිනා ගත්තේ ය. තෙවැනි වතාවේ වීරකේසරී තරගයට ලිවීමට ඔහුට අවස්ථාව නොලැබිණි. වතුකරයේ එදිරිවාදියෝ වීරකේසරී පත්තරයට ද පැමිණිලි කළෝ ය. උපක්‍රමශීලී වූ වීරකේසරී කතුමඬුල්ල රැවුලත් කැඳත් දෙක ම බේරා ගනිමින් තෙලිවත්තෙයි ජෝසප් තෙවැනි කෙටිකතා තරගයේ විනිශ්චය මණ්ඩලයට ඇතුළත් කර ගත්තේ ය.

1964 වසරේ කොළඹට පැමිණි පසු ඔහුගේ ලිවීමේ වේගය වැඩි විය. ඉන්දියා ටුටේ වැනි සඟරා පවා ඔහුගෙන් කෙටිකතා ඉල්ලා සිටියේ ය. ඒ අතරතුර ඔහු‍ගේ අනාගත ජීවන සහකාරිය මුණගැසුණේ ද මෙකල ය. කොළඹ රටෙන් විවාහයක් කර ගත් තෙලිවත්තෙයි ගේ වැඩිමහල් සොයුරාගේ නෑණන්ඩිය සමඟ ඔහු පෙම් සබඳතාවක් ගොඩනඟා ගත්තේ ය. ඒ ප්‍රේම කතාවද අපූරු එකකි. පිලොමිනා රුබෙල්ලා නම් පෙම්වතියට ඒ වන විට වයස අවුරුදු 12 කි. තෙලිවත්තෙයිට 26 කි. වැඩිහිටියෝ විරුද්ධ වූහ. ‘පිලොමිනා දැන් පොඩි නම්, මම එයා ලොකු වෙනකම් ඉන්නම්’ කියා තෙලිවත්තෙයි පිළිතුරු දුන්නේ ය. 1964 සිට සිව් වසරක් පුරා පෙම්පත් වලට සීමා වී තිබූ ප්‍රේමය මල්ඵල ගන්වමින් 1968 දී අතිනත් ගත් ඔවුහු පසුව කොළඹ පදිංචි වූහ.

තෙලිවත්තෙයි - පිලොමිනා යුවළට දරුවන් සිව් දෙනෙකි. පුතුන් දෙදෙනකු හා දූවරුන් දෙ‍දනකු බැගිනි. කොළඹ ඔවුන් ජීවත් වූයේ මට්ටක්කුලියේ රජමල්වත්තේ කුලී නිවසක ය. නිවස අයිතිකාරිය වූයේ සොයිසා නම් මහත්මියකි. තෙලිවත්තෙයි පවුල අසල්වැසි සිංහල, දෙමළ සියලු දෙනා සමඟ ඉතා සුහදව දිවි ගෙවී ය.

අසූ තුනේ ජූලි කලබලය පැවති කාලයේ පවා ඔවුහු කලබල ‍නොවූහ. එහෙත් ගැටුම්කාරි තත්වය උග්‍ර වෙත්ම තෙලිවත්තෙයි පවුලට ද කරදර පැමිණියේ ය. තෙලිවත්තෙයි රැකියාව කළ ස්ටාර් ටොෆී කම්හලට ගිනි තැබිණි. යාබද තිබූ සෙයිස්තාන් සිනමා හලේ මුරකරු වූ සයිමන් අයියා තෙලිවත්තෙයි ඇතුළු කිහිප දෙනෙක් සිනමාහලේ හංගා ගත්තේ ය. ඔවුන් දවස් දෙකක් ම එහි සැඟවී සිටියහ. මට්ටක්කුලියේ නිවෙසට ද, මැර‍යෝ ආහ. බිරිඳක් ළමයි තිදෙනාත් එහි සිටියහ. බාල දියණිය පාසල් ගොසිනි. නිවස හිමි සොයිසා මහත්මිය වහා ඉදිරිපත් වී මැරයන්ට තර්ජනය කර පලවා නොහරින්නට ඔවුන්ගේ ජීවිත අවදානමට පත්වනු නියත ය. කන්‍යාරාමයේ ඉගෙනුම ලැබූ බාල දියණිය කන්‍යා සොහොයුරියන්ගේ රැකවරණය ලැබුවා ය. පවුලේ සියලු දෙනා නිරුපද්‍රිතව යළි එකතු වුණේ දින කිහිපයකට පසුව ය.



පසු කලෙක තෙලිවත්තෙයි ජෝසප් ලේඛකයා 83 ජුලි කලබලයේ අත්දැකීම් ඇසුරු කරගෙන නවකතාවක් ලීවේ ය. ඊට නම් තැබුවේ ‘නාත්තල් පාවීහලාන ඉරුක්කිරම් - 1938’ කියා ය. එහි සිංහල තේරුම වූ කලී ‘අපි පවුකාර මිනිස්සු වෙලා - 1983’ යනුය. තෙලවත්තෙයි එම පොතේ පිදුම ලියා ඇත්තේ 83 ජූලි කලබල සමයේ සිය පවුලේ දිවි බේරා දුන් සොයිසා මැතිනිය ප්‍රමුඛ සිංහල හිතවතුන් වෙනුවෙනි.


තෙලිවත්තෙයි ජෝසප් ලේඛකයා විශාල පොත් සංඛ්‍යාවක් ලියා නැත. කෙටිකතාව සිය ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යය කරගෙන සිටින ඔහු නවකතා කිහිපයක් ද පල කර තිබේ. සමස්තයක් වශයෙන් එතෙක් මෙතෙක් ඔහු විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පොත් සංඛ්‍යාව අටකි. ඒවා අතරින් හතරක් කෙටිකතා ය. නාම්රික්කුම් නාධෙ (1979) මීන්ගල් (2013) ‘මලයාග සිරුකත්තෙයි වරලාරු’ (2000) තෙලිවත්තෙයි ජෝසප් සිරුගතෙයිහල්’ (2014) ඔහුගේ කෙටිකතා සංග්‍රහ අතර වෙයි.

ඔහුගේ ප්‍රථම නවකතාව 1974 දී පල වූයේ ‘කාලන්ගල් සාවදිල්ලෙයි’ (කාලය නොමියෙයි) නමිනි. ‘කුඩෙයි නිලල්’ (2010) ‘පාලායි කුරුනාවල්’ (කෙටි නවකතා තුනක් - 1997) හා අවසන් නවකතාව වශයෙන් 2016 දී ලියූ ‘නාන්ගල් පාවීහලාන ඉරුක්කිරම් - 1983’ සමඟ ඔහුගේ නවකතා සංඛ්‍යාවද හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.



තෙලිවත්තෙයි ජෝසප් ලේඛකයා සිය පන්හි‍ඳෙන් ඉටු කළ මෙහෙවර වෙනුවෙන් එතෙර මෙතෙර සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත. මේ වන විට අවස්ථා දෙකකදී ඔහු රාජ්‍ය සම්මාන දිනා තිබේ. ‘මලයාග සිරුකත්තෙයි වරලාරු’ (වතුකරයේ කෙටිකතා) සඳහා 2000 වස‍ෙර් හොඳ ම දෙමළ කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් හා ‘තෙලිවත්තෙයි ජෝසප් සිරුගකෙයිගල්! (තෙලිවත්තෙයි ජෝසප් කතා එකතුව) උදෙසා 2014 වසරේත් ඔහු රාජ්‍යස ම්මාන දිනා ගත්තේ ය. මීට අමතරව දේශීය වශයෙන් ඔහු ඇගයීමට ලක්වූ අවස්ථා රැසකි. 1998 දී වාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ඔහුගේ මෙහෙවර අගයමින් සම්මානයක් පිරිනැමූ අතර යාපනය පාඨක සමාජය, මඩකලපු ලේඛකයන්ගේ ප්‍රවර්ධන මධ්‍යස්ථානය, පේරාදෙණිය හා කොළඹ විශ්ව විද්‍යාල හා ලේක් හවුස් ආයතනය වරින්වර ඔහු ඇගයීමට ලක් කළ සෙසු සංවිධාන හා ආයතන අතරය.


1991 කලාභූෂණ, 2011 ගොඩගේ දිවමන් සම්මානය හා 2014 සාහිත්‍ය රත්න සම්මානය, ජාතික වශයෙන් ඔහුට පිරිනැමෙන විට 2013 වසරේ ඉන්දියවේ ජය ‍මෝගන් ලේඛකයා ප්‍රමුඛ සම්මානයකින් ‘විෂ්ණු පුරම්’ සම්මානය ප්‍රදානය කෙරිණ. ඊට අමතරව තෙලිවත්තෙයි ජෝසප්ට ප්‍රණාමය දැක්වූ රටවල් අතරට ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරුව හා එංගලන්තය ද එක්වෙයි.

කඳුරට ලේඛක සංවිධානය, සිංහල දෙමළ ලේඛක එකමුතුව හා දෙමළ ලේඛක සංගමය වැනි සංවිධානවල නියමුවකු ලෙස කටයුතු කරමින් එක්සත් ලංකාවක් හා ශ්‍රී ලාංකික සාහිත්‍යයක් ගොඩනැඟීමට සිය ජීවන ගමනේ 83 වන සැතපුම් කණුව ද පසු කරමින් සිටින තෙලිවත්තෙයි ජෝසප් නම් මේ ධෛර්යසම්පන්න ලේඛකයා සැදී පැහැදී සිටියි.''

(කමල් පෙරේරා- 18 මාර්තු, 2017 )

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්