ඝාතනයට ලක් වුණු ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) දින සිදු කිරීමට නියමිත ය.



ඔහුව ඝාතනය කර තිබුණේ, දෙසැම්බර් 15 වන දා ය. දිනේෂ් ශාෆ්ටර් කෲර ලෙස ඝාතනය කර මේ වන විට දින තුනක් ගත වී ති‍බේ.


සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු  සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.


ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් හතරක් යොදා ගනිමින් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


බොරැල්ල පොදු සුසාන භූමියේ දී  සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැද දමා සිටියදී පසුගිය 15 වැනිදා පස්වරුවේ දිනේෂ් ශාෆ්ටර් සොයා ගැනුණ අතර පසුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු අභාවප්‍රාප්ත වූයේ පෙරේදා රාත්‍රියේදීයි.



මෙම ඝාතනයේ අරමුණ කුමක්ද?
මෙය සිතා මතා කළ ඝාතනයක්ද?
නැතිනම් බියගැන්වීමක් සිදුකිරීමට උත්සාහ කර එය දුරදිග යාමකින් මොහු මියගියාද?




මෙම සැකය මතුවෙන්නේ දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල පොදු සුසාන භූමියේ දී හමුවන විට ඔහු මියගොස් නොතිබීම නිසායි.


කෙසේ වෙතත් පොලීසිය පැතිකඩ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, මෙම ඝාතනය සම්බන්ධයෙන් පැතිකඩවල් කීපයක් ඔස්සේ විමර්ශන සිදුවෙමින් පවතින බවයි.


වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ තොරතුරු රැස් කර ගැනීම සඳහා දුරකතන ඇමතුම් විශ්ලේෂණය, සී.සී.ටීවී. කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් කණ්ඩායම් කිහිපයක්ම ක්‍රියාත්මක වන බවත්, මෙම ව්‍යාපාරිකයා සම්බන්ධ තොරතුරු සහ ඔහුට එරෙහිව යම් යම් පොලිස් ස්ථානවල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යොමු වෙලා තිබෙන පැමිණිලි සහ වෙනත් ව්‍යාපාරික කටයුතු සහ සම්බන්ධතාවයන් ආදී සියලු කටයුතු කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.


විශේෂයෙන්ම එම කාර් රථය මේවන විට පරීක්ෂාවට ලක් කර ඇති අතර මීට අදාළව පුද්ගලයන් 23 ගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන තිබෙන බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ බොරැල්ල පොලිස් ස්ථානයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මෙන්ම ඇඟිලි සලකුණු නිලධාරින් විසින් වෙනත් විද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීමට ක්‍රියාකර තිබේ.



බ්‍රයන් තොමස්ගේ සම්බන්ධය කුමක්ද?


1671199249 Travel ban imposed on Brian Thomas over probes into murder of top businessman L


ශාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් ‍හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.


එසේම බ්‍රයන් තෝමස් ගේ ජංගම දුරකථනය ද මේ වන විට පොලීසිය භාරයට ගෙන තිබේ.


බ්‍රයන් තෝමස් පවසා ඇත්තේ, තමන්ට දිනේෂ් ශාෆ්ටර් ගේ දුරකථනයෙන් හමුවන ලෙසට එස්. එම්. එස්. පණිවුඩයක් ලැබුණ බවයි. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් එසේ හමුවීමක් අවශ්‍ය නොවන බවට දැන්වූ බවද ඔහු පවසා තිබේ.


කෙසේ වෙතත් බ්‍රයන් තෝමස් ගේ විදෙස් ගමන් තහනම් කරමින් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල පෙරේදා (16) නියෝගයක් ද නිකුත් කළේ ය.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, මෙම බ්‍රයන් තෝමස් නම් පුද්ගලයා, මෙම ව්‍යාපාරිකයා පවත්වාගෙන යන සමාගමකට සම්බන්ධව ඇතිවූ මුදල් ගනුදෙනුවක් පිළිබඳව පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකර තිබූ බවයි.


අපරාධ පරික්ෂණය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටී 143 කට අධික මුදලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබු බවත් විමර්ශන නිලධාරීන්ගේ අවධානය ඒ සම්බන්ධයෙන් ද යොමුව ඇති බවත්, අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීම උදෙසා කඩිනමින් විමර්ශන ක්‍රියාත්මක වන බවයි.


කවුද මේ දිනේෂ් ශාෆ්ටර්?…



දිනේෂ් ශාෆ්ටර් නීති උපාධිධාරියෙකි , බ්‍රිතාන්‍යයේ වරලත් කලමනාකරණ ගනකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි.


ඔහු මෙරට මූල්‍ය වෙළඳපොළ තුළද කීර්තිමත් නාමයක් හිමි කරගෙන සිටි අයෙකි.


මූල්‍ය වෙළඳපොළ තුළ විශ්වාසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙන් ඔහු දැඩිව පෙනී සිටියේ ය.


දිනේෂ් ශාෆ්ටර්  මෙහෙයවන මූල්‍ය සමාගම් කිහිපයක් මෙරට ප්‍රාථමික හා ද්වීතියීක වෙළඳපොළ තුළද ක්‍රියාත්මකයි.


ඒ අතරින් ඔහු කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය දරන එක් සමාගමක් වන්නේ ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී සමාගමයි .

 

මෙරට සිදූවූ ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර සිද්ධිය ඔබට මතකද? දිනේෂ් ශාෆ්ටර් මේ වංචාව හෙළිදරව් කිරීමේ ප්‍රභල සාක්ෂිකරුවෙකි. 2015 පෙබරවාරී 01 සිට ‍2016 මාර්තු 31 දක්වා මෙරට සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවට ඔහු ලබා දුන් සාක්ෂි තුළින් කරුණු රැසක් අනාවරණය විය. දිනේශ් ශාෆ්ටර් අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ලබා දුන් ප්‍රකාශය බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 223 වැනි පිටුවේ සටහන් වේ. 2015 පෙබරවාරී 27 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට පෙර රජයට අවශ්‍යව තිබූ කිසිදු මුදල් අවශ්‍යතාවක් හෝ මිල සංවේදී තොරතුරක් පිළිබඳව තමාට දැනුමක් නොතිබූ බව දිනේෂ් ශාෆ්ටර් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණි.  තමන් ඒ ගැන දැනුවත් වුණේ, රජයේ මුදල් අවශ්‍යතාවයක් පිළිබඳව කැඳවු විවෘත වෙන්දේසියෙන් පසුව බව දිනේෂ් ශාෆ්ටර් ප්‍රකාශ කර තිබුණි.

 

දිනේෂ් ශාෆ්ටර් ගේ සාක්ෂියට අනුව 2015 පෙබරවාරී 27 වන දින පැවති වෙන්දේසියේ දී ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී එහි ප්‍රධාන අලෙවි නියෝජිත සුහිණි හිමාලිකා ෆර්නැන්ඩෝ හරහා ලංසු තබා තිබේ.


මෙම බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් පිළිබඳව තමන්ට හැඟි ගිය බව බවද දිනේෂ් ශාෆ්ටර් කොමිසම හමුවේ පෙන්වා දී තිබුණි.


ඉන් එකක් නම් මෙම වෙන්දේසියේ වටිනාකමට වඩා 10 ගුණයකින් ලංසු කැඳවා තිබිමයි.


එය පිළිගත් ලංසු ප්‍රමාණයත්, ඉදිරිපත් කළ මුදලත් අතර විශාල අගයකි.


අනෙක් කරුණ වූයේ සඵල පොළී අනුපාතිකය එකල වෙළඳපොළේ පැවති පොලි අනුපාතයට වඩා ඉහළ අගයක පැවතීමයි.


මෙම සිදුවීම් පෙර නොවූ විරූ ඒවා බවත්, ඒ නිසා තමන් කම්පනයට පත් වූ බවත්, තමන් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි බව හර්ෂ ද සිල්වා ගේ අවධානය යොමු කළ බවත්, ශාෆ්ටර් සාක්ෂි ලබා දෙමින් පෙන්වා දී තිබුණි.


එම දැනුම් දීම ඊමේල් හරහා සිදු කළ බවත්, පළමු දැනුම්දීම 2015 මාර්තු 03 වැනි දීම, දෙවැනි ඊමේල් පණිවිඩය 2015 මාර්තු 06 වැනි දින සිදු කර ඇති බවත් බැඳුම්කර කොමිසමේ වාර්තාවේ දැක්වේ.


කොමිසමට සාක්ෂී ලබා දෙමින් ශාෆ්ටර් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ, අදාළ වෙන්දේසියට ලංසු තැබීමට තම ආයතනයට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවත් ප්‍රාථමික ගැණුම්කරුවෙකු විසින් අනුවාර්යෙන්ම ලංසු තැබීමේ අවශ්‍යතාව මත පදනම්ව තම ලංසුව ප්‍රතික්ෂේපවන ආකාරයට ඉදිරිපත් කළ බවයි.


අනපේක්ෂිත ලෙස අදාළ වෙන්දේසියේදී ඉතාමත්ම ඉහළ පොලී අනුපාත යටතේ තැබූ ලංසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගැනීම නිසා ප්‍රතිකෂේප වීමට නියමිතව තිබූ ලංසු ද අදාළ වෙන්දේසියේදී පිළිගත් බවයි.


ඒ හරහා තම ආයතනයටත් පාඩුවක් සිදුවූ බව ඔහු කොමිසමට සාක්ෂි ලබා දෙමින් අවධාරණය කර තිබුණි.


මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සඳහා දිනේෂ් ශාෆ්ටර් ගේ මෙම සාක්ෂිය ද ප්‍රබල පිටුවහලක් වී තිබුණි.


මේ ආකාරයෙන් බැලූ විට දිනේෂ් ශාෆ්ටර් මෙරට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ ප්‍රබල සාක්ෂිකරුවෙකි.


(newsfirst.lk)

 
 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්