මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු  සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී  මයන්ත දිසානායක පක්ෂයේ ඉල්ලීම අනුව ඒ තනතුරින් ඉවත්වීමට එකඟ

නොවීම නිසා පක්ෂය තුළ මතභේදාත්මක තත්වයක් නිර්මාණයවී ඇතැයි වාර්තාවේ.

මුදල් කමිටුවේ සභාපති ධූරයට මයන්ත දිසානායකගේ නම යෝජනා කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසිනි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල එම කමිටු සභාපති ධූරය සඳහා  යෝජනා කළේ සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ නමයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්  මයන්ත දිසානායක ගේ නම සභාපති ධූරය සඳහා යෝජනා කළ අවස්ථාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මයන්ත දිසානායක ට දුරකතනයෙන් කතා කර එම තනතුර බාර ගන්නේ දැයි විමසා ඇත.

ඒ අවස්ථාවේදී මයන්ත දිසානායක ප්‍රකාශ කර ඇත්තේ තමා එම තනතුර බාරගන්නා බවයි.

පක්ෂය හර්ෂ ද සිල්වා එම තනතුරට පත් කිරීමට යෝජනා කර ඇති හෙයින් සභාපති තනතුරින් ඉවත් වන්නේ දැයි කිරිඇල්ල, දිසානායක ගෙන් මෙහිදී පෙරළා ප්‍රශ්න කර ඇති අතර ඒ  අවස්ථාවේදී එම තනතුරෙන් ඉවත් වීමට සූදානම් නැති බව මයන්ත ප්‍රකාශ කර තිබේ.

මේ අතර පක්ෂයේ තීරණයට පිටින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මයන්ත දිසානායක ට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය කිසියම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි දැනගන්නට ඇත.

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයෙන් හර්ෂ ද සිල්වා ඉවත් කළේ ඇයි දැයි අප කළ විමසුමකදී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ ඔහු සිය රාජකාරිය හරියට ඉටු කළ හෙයින් තනතුරෙන් මෙසේ ඉවත් කිරීමට කටයුතු කරන්නට ඇතැයි තමා සිතන බවයි.



''මේක ජනපති දැනුවත්ව වෙච්ච වැඩක්'' - හර්ෂ


රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ට එම ධූරයෙන් ඉවත්වන ලෙස විපක්ෂ නායකවරයා දැනුම්දී ඇති බව එම සභාවේ හිටපු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

නමුත් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

"මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සම්පූර්ණ අනුදැනුම මත වෙච්ච දෙයක්."

"මම මයන්තගෙන් ඇහුවා. මයන්ත නිකන් දන්නේ නැහැ වගේ, එයාගේ ඔළුව හැප්පිලා වගේ මගෙන් අහනවා."

"මම කිව්වා.. එහෙම නෙවෙයිනේ මයන්ත.. දැන් ඔයාට කතා කරලා ඇහුවනේ ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඔබතුමා මේක ප්‍රතික්ෂේප කරනවාද ? භාරගන්නවා ද? කියලා."

"එතකොට කියලා තිබ්බා, නැහැ මම කථානායකතුමත් එක්ක අද උදේ කතා කරලා එකඟ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මම මේක අයින් කරගන්නේ නැහැ කියලා. මේක සැලසුම් කරලා කරපු කුමන්ත්‍රණයක්."

"විපක්ෂ නායකවරයා ඔහුගෙන් විමසලා තියෙනවා. ඔහු කියලා තිබෙනවා.. නැහැ මම මේක භාරගන්නවා කියලා. එතකොට විපක්ෂ නායක කියලා තිබෙනවා මේක කරන්න එපා මයන්ත. අපි එකඟවෙච්ච විදියට කරන්න කියලා."

"එතකොට ඔහු කිව්වයි කියලා කියනවා... මම දන්නේ නැහැ.. 'එහෙමනම් අපි ආණ්ඩුවට යනවා' කියලා."

මෙම පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ  දිනයේදී පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වුණි.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම හේතුවෙන් එම තනතුර අහෝසිවීමත් සමග පාර්ලිමේන්තුවේදී පෙරේදා (23) දිනයේදී රාජ්‍ය මුදල් කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේම පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ව පත් කරනු ලැබීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ නම අදාළ තනතුර සඳහා විපක්ෂය නම් කර තිබියදී ආණ්ඩු පක්ෂය විපක්ෂයේම මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර සම්මත කර ගත්තේය.

මේ අතර රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩි ඡන්දයෙන් තේරී පත්වී තිබේ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්