ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති රැසක් අද (01) දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව, විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති 40

කට අධික ප්‍රමාණයක් අද දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවල හා විරෝධතාවල නිරත වීමට නියමිතය.

ඒ, රුපියල් ලක්ෂයට වඩා මාසික ආදායමක් ලබා ගන්නා වෘත්තිකයින්ගේ වැටුප් මත 6% සිට 36% දක්වා බදු අය කිරීමේ ක්‍රමය වහා හකුලා ගන්නා ලෙස බල කරමිනි.

නව ආදායම් බදු පනත සංශෝධනය කරන්නැයි ඉල්ලා මීට පෙර අවස්ථා ගණනාවකදී වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතා ක්‍රියාත්මක කළත් රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණ.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා හමුවූවද එම සාකච්ඡාව ද අසාර්ථක විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද එම ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් හදිසි ප්‍රතිකාර සේවා සහ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වමිල් විජේසිංහ පැවසිය. කෙසේවෙතත් රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවා අද දිනය තුළ අඩාල විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද අද දිනයේ ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වී වැඩවර්ජනයේ නිරත වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසිය.



ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් කළු පටි පැළඳ අද දිනයේ සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මෙසේ පැවසිය.



ලංකා බැංකු සේවක සංගමයට අයත් සියලුම බැංකු සේවකයින් ද අද දිනයේ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත. ඒ හේතුවෙන් බැංකු පද්ධතියේ කටයුතු අද දිනය තුළ අඩාල වනු ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ, ලංකා බැංකුව ශාඛාවේ ලේකම් ධනංජය සිරිවර්ධන පැවසිය.


ඛණිජ තෙල්, විදුලි, වරාය, ජාල සම්පාදන ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ද අද දිනයේ පැවැත්වෙන ජාතික විරෝධතාවට සිය සහය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්